ජනපති උගන්ඩාවේ කම්පාලා නුවරට ළඟාවෙයි

0

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය රුත් නන්කැබෙයර්වා (Ruth Nankabeirwa) මහත්මිය ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වුණේ.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙනවා.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වැනිදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර, බැන්ඩුන්ග් මූලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන අතර, 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *