තව පොඩ්ඩෙන් සජිත් ගුටි කනවා.

0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් කොප් 28 සමුළුවට ගිය ජනපති රනිල් සාර්ථක සංචාරයකින් පසු යළි මෙරටට පැමිණියේ ඉකුත් අඟහරුවාදා අළුයමය. ජනපති රනිල් පාර්ලිමේන්තුවට එදින දහවල් ගියේ අයවැය විවාද කාලයේ කැබිනට් මණ්ඩල හමුව පාර්ලිමේන්තුවේ යොදාගෙන තිබු බැවිනි. ඔහු පාර්ලිමේන්තුවට යන විටත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ විසින් කේක් ගෙඩියක් ගෙනැවිත් තිබිණි.
ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ උපන් දිනය සැමරීම වෙනුවෙනි. මේ වෙලාවේ මහාචාර්ය ආශුට දැනගන්නට ලැබුණේ අග්‍රමාත්‍යවරයා ද ජොනිගේ උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කැපීමට සුදානම්ව සිටින බවකි. ඔහු ඉක්මණින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් කේක් දෙකම එකම ස්ථානයේදි කැපීමට යෝජනා කළේය.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඊට එකඟවීමෙන් පසු මන්ත්‍රීවරු පිරිසක් ගොස් ජොනීව කැඳවාගෙන ආවේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙතය. අගමැති ගෙනා කේක් ගෙඩිය මෙන්ම ජනාධිපති ගෙනා කේක් ගෙඩිය ද කැපූ ජොන්ස්ටන් මන්ත්‍රීවරයා එය කැවීමට සුදානම් වෙද්දී අගමැති දිනේෂ් විසින් කේක් කැබැල්ලක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කැව්වේය.
අහඹු ලෙස සිදුවූ මේ කෙක් කැපීම නිසා සතුටට පත්වූ මන්ත්‍රී ජොන්ස්ටන් මගේ පරණ නායකයත් එක්ක කේක් කපන්න ලැබීම සතුටක් බව කීවේය. තමන් හැමදා එතුමන්ට ගරු කළ බවද ඔහු කියා සිටියේය.
කොප් 28 ජයග්‍රහණ

“ජනාධිපතිතුමා කොප් 28 සමුළුවට ගිහිල්ලා පාර්ලිමේන්තු ආවේ රටට ජයග්‍රහණ රැසක් අරගෙන.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී සැවොම ඒ දෙස බැලුවේය.
“ප්‍රංශ ජනාධිපතිතුමා එතුමාගේ අතින් අල්ලාගෙන කතා කරද්දී ජනාධිපතිතුමාගේ යෝජනාවට සහාය දෙන බව කියද්දී අපට ආවේ ඉමහත් ආඩම්බරයක්.” දොලවත්ත මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය.
“අපේ ජනාධිපතිතුමාගේ හමුව මෝධි අගමැතිතුමා විසින් ඔහුගේ ටුවිටර් ගිණුමේ පවා දැමීමෙන් මෙතුමාට තිබෙන ජාත්‍යන්තර සහාය පැහැදිලි වෙනවා. රාජ්‍ය නායකයෝ ජනාධිපතිතුමා එක්ක ගැවසෙන හැටි කතා බහ කරන හැටි දැක්කාම අපේ ඇගේ මවිල් කෙලින් වෙත තරමේ ලොකු ආඩම්බරයක් එනවා.” මධුර යළිත් කිවේ මන්ත්‍රීවරුන් දෙස බලමිනි.
“කොප් 28 සමුළුව තුළින් ජනාධිපතිතුමා ලංකාවේ නම ලෝකයට අරන් ගියා. ඒ වගේම එතුමා ලංකාව ගැන කතා නොකර නිවර්තන කලාපයේ රටවල තියෙන පොදු ප්‍රශ්නයට අදාළ විසදුම් යෝජනා ඉදිරිපත් කළා. එය ලෝකයම පිළිගත්තා.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.
“සර් පිටරට ගිහිල්ලා විදෙස් රාජ්‍ය නායකයන් සමඟ ගණුදෙනු කරන ආකාරය බලලා අත්දැකිමක් ගන්න කාන්තාවන්ටත් අවස්ථාවක් දෙන්න.” මන්ත්‍රී රාජිකා කියද්දි සැවොම කොක් හැඩලූහ.
“ජනාධිපතිතුමා කාන්තාවන්ට සම තැන දෙන නිසා මන්ත්‍රීවරියන්ටත් අවස්ථාව දේවි.” මහාචාර්ය ආශු කියද්දී ජනාධිපති හිස සැලීය.
“ජනාධිපතිතුමා දැන් එක පක්ෂයක නායකයෙක් නොවෙයි රට යනකොට පොදුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හැමෝම ගෙනියනවා. එතුමා හැමෝගෙම ජනාධිපති කියන එක මේ පාර පැහැදිලි වුණා.” ඇමති මනූෂ කීවේ එවැන්නකි.
“නොබැදී ජාතීන්ගේ සමුළුවට යන කොටත් මම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මන්ත්‍රීවරු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.” ජනපති කීවේ ඒ අවස්ථාවේ එහි පැමිණ සිටි විපක්ෂ මන්ත්‍රීවරුන් දෙස බලමිනි.

සතුටු පවුල

‘සතුටු පවුල’ නමින් ජනතාවට සහන ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන් මේ දිනවල කටයුතු කරමින් සිටිති. එම මන්ත්‍රීවරුද ඒ වන විට ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි නිසා ඔවුන් පෙන්වමින් ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග උසුළු විසුළු කරන්නට විය.
“මෙයාලා දැන් රටේම සතුටු පවුල් හදන්න යෝජනා එකතු කරනවානේ සර්.” ප්‍රසන්න කීවේ ජනාධිපති දෙස බලමිනි.
“ඕන යෝජනාවක් සාකච්ඡාවක් තිබ්බට කමක් නෑ. හැබැයි ඒ සාකච්ඡාවන් අමද්‍යපව කරනවා නම් තමයි හොඳ” අගමැති ද ඇගට පතට නොදැනී දුෂ්රාවක් එව්වේය.

මන්ත්‍රීවරුන්ටත් ටැක්ස්

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අංශයේ නිලධාරීන්, මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාවට නඟමින් සිටිති. මන්ත්‍රීවරුද ආදායම් බදු ලිපිගොනු විවෘත කිරීමට මෙන්ම බදු ආදායම් ගැන මේ නිලධාරීන් හා සාකච්ඡා කරමින් දැනුම වර්ධනය කරගන්නේ මහත් උද්යෝගයෙනි.
මන්ත්‍රීවරුන් හා ආදායම් බදු නිලධාරීන් සම්බන්ධිකරණය කරනා මහාචාර්ය ආශු මන්ත්‍රීවරුන් ඉදිරියේ කීවේ මෙරට මහා පරිමාණ සමාගම්වල ගිණුම්කරණ කටයුතු කරන සමාගම් 27 ක් මෙරට භාණ්ඩාගාරයට ආදායම් යොමු කිරීම කඩාකප්පල් කරන බවයි.
ජනපති රනිල් එදින පාර්ලිමේන්තුවෙන් පිටත්ව කෙලින්ම පැමිණියේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාව වෙතය. ඒ එහි පැවැති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සමරුවට සහභාගී වීමටය. කොප් 28 සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කළ තරුණ ප්‍රකාශනය ජනපති රනිල් වෙත පිළිගැන්වූවේ බදාදා පෙරවරුවේය.

ටීඑන්ඒ එකට කැපිල්ලක්

දෙමළ සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත එන විටත් ජනපති පාර්ලිමේන්තු පැමිණ නොතිබිණි. ඔහු පැමිණියේ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. ඒ විපක්ෂයෙන් ඔවුනට කතා කිරීමට ලබාදෙන කාලය සීමා කිරීම හා කථික ලැයිස්තුවේ හිමි තැන නොදීම ගැනය.
චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා මහාචාර්ය ආශු වෙත පැමිණ පාර්ලිමේන්තු සභා ගැබේදී වූ සිදුවීම විස්තර කළේය. විපක්ෂ කථික ලැයිස්තුවේ දෙවෙනි කථිකයා ලෙස විපක්ෂ නායක කාර්යාලය නම් කර තිබුණේ චාල්ස් නිර්මලනාදන්වය. එහෙත් එම අවස්ථාව ඔහුට නොදී මරික්කාර් මන්ත්‍රීවරයාට ලබාදී සිය කතාව ප්‍රමාද කිරීම නිසා කෝපයට පත් වූ මන්ත්‍රීවරයා විපක්ෂ නායක ආසනය අසලට ගොස් විපක්ෂ නායකට බැන වදිනු ලේකම් මණ්ඩලයට ද දැකගත හැකි විය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඒ දෙසට ආවේ පහරදීමක් වේදෝ යන සැකය මතය. එහෙත් මන්ත්‍රීවරයා බැන වදිමින් ඉන් පිටව යාම නිසා කාර්ය මණ්ඩලය ද විසිර ගියේය.
විපක්ෂ නායකවරයාට බැන වැදුනු චාල්ස් මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගියේ කරහෙන් පුපුරමිනි. පසුව ඔහුගේ කතාවේදි පවා තමන්ට කළ අසාධාරණය ගැන චෝදනා මුඛයෙන් කතා කළේය. මෙම සිද්ධිය දහවල් පාර්ලිමේන්තුවට පැමිණි ජනපති රනිල්ගේ ද කන වැකුනි.

මෛත්‍රීගේ උත්සවයට ජනපතිත් යයි

ඔහු මේ සියලු කතා මැද්දේ “ලෝක සාමය සඳහා වන මන්ත්‍රී සංසදයේ” ප්‍රථම හමුව ඇමතීමට පාර්ලිමේන්තු කමිටු ශාලාව වෙත ගියේය. මැලේසියාවේ හිටපු කම්කරු අමාත්‍යරයා මෙන්ම නේපාලය, ජපානය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
යහපාලන ක්‍රියාවලිය ගැන මෙන්ම පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන ද ජනපති සිය කතාවේදි සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මේ අතර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මුදල් මහා භාණ්ඩාගාරයට දීම ගැන මන්ත්‍රී වජිර ඇමති මනුෂට ප්‍රසංශා කළේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදීය.
එදින පාර්ලිමේන්තුවේ වැය ශිර්ෂය වූ සංස්කෘතික අමාත්‍යාංශ වැය ශිර්ෂය අවස්ථාවේ සංස්කෘතික අරමුදලේ මුදල් මෙන්ම අමාත්‍යාංශයේ සේවක අවභාවිතාවක් ගැන විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්දානන්ද අලුත්ගමගේය. මෙම කාරණය ද ජනපති සිටියදී මන්ත්‍රීවරුන් විසින් ඇද ගත්තේය.

සජිත්ගේ බොරුව

“විපක්ෂ නායකතුමා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව සත්‍ය වාර්තාවක් කියමින් කතා කළානේ. ඒක සත්‍ය වාර්තාවක් නම් විපක්ෂ නායකතුමා සංස්කෘතික ඇමති කාලේ කරපු දේවල් ගැන තිබෙන විගණන වාර්තාවත් ඇත්ත වෙන්න ඕනානේ. ක්‍රිකට් එක ඇත්ත මේක බොරු න්‍යාය තමයි දැන් විපක්ෂ නායකතුමා රඟ දක්වන්නේ.” තේනුක විදානගම ඇමතිවරයා කීවේ සැමට ඇසෙන්නටය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මේ සතියේ ලැබෙයිද” ඒ ප්‍රශ්නය මංජුලා දිසානායක මන්ත්‍රීවරියගෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 දා රැස්වන බව පෙන්වා දුන් ජනපති එහිදි සුබදායක පණිවුඩයක් ලැබෙනු ඇතැයි පැහැදිලි කළේය. ඉන් නොනැවති ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ලෝක බැංකුව ද මෙරටට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ගැනත් ජනපති විස්තර කළේය.
වැට් බදු වැඩි කිරීම ගැන ද මන්ත්‍රීවරු මෙහිදි ප්‍රශ්න කළ අතර ජනපති කීවේ ඉන්දියාවෙත් වැට් බද්ද සියයට 18 ක් බවයි. ආර්ථිකය ටිකෙන් ටික වර්ධනය වන බවත් එතෙක් යම් කැප කිරීමක් කිරීමට සැමට සිදුවන බවත් ජනපති පෙන්වා දුන්නේය. රට බංකොලොත් භාවයෙන් මුදවාගැනීම තම මූලික අරමුණ බවද ඔහු සිහිපත් කළේය.
එදින සවස ජනපති වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයාට ජනාධිපති උපදේශක තනතුරක් පිරි නැමුවේ වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් වැඩකොටසක් ඉටු කිරීමටය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ගියේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාරගේ පුතුගේ විවාහයේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කිරීමටය.
සවස චීන බෞද්ධ දූත පිරිසක් මුණ ගැසුණු අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150 ක් සපීරීම ගැන ද කතාබහ කළේය. එසේම නීති විද්‍යාලයට ඉඩමක් පරිත්‍යාග කිරීමට ජනපති පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *