ජනපති රනිල්ට ඉඩදෙනවා හැර වෙන විකල්ප නැත
දිනවල 2024 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේ සිදුවෙමින් පවතී. නමුත් මේ අයවැය යෝජනා විවාදය ඇල් මැරුණු විවාදයක් වී ඇත. විශේෂයෙන්ම අයවැය විවාදය කියන්නේ විපක්ෂයේ විවාදය යනුවෙන් හැඳින්වීමක් තිබේ. එසේ පවසන්නේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනාවන් සම්බන්ධයෙන් විපක්ෂයේ උද්වේගකර අදහස්, යෝජනා, චෝදනා බහුලව ඉදිරිපත් වන බැවිනි. නමුත් මෙවර විවාදය තුළ එහෙම තත්වයක් නැත. විශේෂයෙන් මෙහිදී විපක්ෂ නායකවරයාගේ ජාතික ගැටළුව වී තිබුණේ ක්‍රිකට් ය. ඊට අමතරව ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නය ඔහුට ලැබී තිබෙන විශේෂ වරප්‍රසාදය අවභාවිතා කරමින් පාර්ලිමේන්තු කාලයෙන් වැඩිම ප්‍රමාණයක් ඒ වෙනුවෙන් භක්ෂණය කළේය. මේ නිසාම අයවැය විවාදයට තිබු වැදගත්කම අහෝසි විය. විපක්ෂ නායකයා මෙලෙස පාර්ලිමේන්තු කාලය අනවශ්‍ය ලෙස වැය කරමින් තිබීම ගැන සජබයේම මන්ත්‍රීවරුන් අතර ද විවේචන මතුව තිබෙන බව ඔවුන්ගේ අවනඩු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා පැවැසීමෙන් දැනගැනීමට තිබිණි.
කෙසේ නමුත් මේ විවාදය තුළ අයවැය ගැන සැලකිය යුතු විරෝධයක් මතු නොවීමෙන් යළිත් ඔප්පු වූයේ ජනාධිපති රනිල් රට ගොඩනැගීම වෙනුවෙන්
ඉදිරිපත්කර තිබෙන වැඩපිළිවෙලට විකල්ප වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නැති බවය. විපක්ෂයේ විෂය ප්‍රාමාණික දැනුමැත්තන්ට සිදු වූයේ ජනාධිපතිගේ වැඩපිළිවෙල අඩුපාඩුවක් නැතිව ක්‍රියාත්මක කිරීම ගැන අමතර උපදෙස් දෙන්නය. ජවිපෙ හැමදාමත් විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමේ පුරුද්ද අත්නොහරින නිසා ඒ ගැන විශේෂයෙන් කිව යුත්තක් නැත. නමුත් සජබය සහ අනෙක් විපක්ෂ කොටස් කාරක සභා අවස්ථා ඡන්ද විමසීම්වලදී ඡන්දය පාවිච්චි නොකර මඟහැරීම දිගටම සිදුවූයේ යෝජනාවලට විරුද්ධවීම විය නොහැකි නිසාය.
කොහොම නමුත් විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ ආතක් පාතක් නැතිවුන් ලෙස කටයුතු කළත් ජනාධිපතිවරයා සිය ධුරයට පත්වූ දා සිට කටයුතු කළේ ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙලක් සහිත ඉලක්කයක් ජයගැනීම වෙනුවෙනි. කවර බාධා කිරීම් දුෂ්කරතා තිබුණද ඔහු ඒ අත්නොහැර සෘජුවවත් අධිෂ්ඨානශීලීවත් සිය මෙහෙයුමේ නියැලී සිටී.
පසුගියදා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලැබෙන වටිනාම, වැදගත්ම සහතිකය වෙනු ඇත. මේ අනුව යළි ජාත්‍යන්තරය සමඟ වන ගනුදෙනුවල සාර්ථකව නියැලීමේ අවස්ථාව හිමි වේ. ජාත්‍යන්තර ණය දෙන ආයතනවල සහය ලබාගැනීමේ හැකියාව ලැබෙයි. විදේශ ආයෝජකයන්ට මෙරටට පැමිණිමේ තිබු අවිශ්වාසයන් දුරු වෙයි. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන ණය සහනයේ ඩොලර් මිලියන 334ක දෙවැනි වාරිකය එළැඹෙන සතියේදී ලැබීමට නියමිතය.
එසේම පසුගියදා රොයිටර් පුවත් සේවය වාර්තාකර සිටියේ මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමෙන් අනතුරුව, එනම් මෙරට ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශවීමෙන් අනතුරුව ආසියානු සංවර්ධන අරමුදල විසින් ඩොලර් මිලියන 600ක අරමුදල් ප්‍රදානයක් මෙරටට ලබාදෙන බව එහි මෙරට නේවාසික අධ්‍යක්ෂවරයා පැවසූ බවය. එමෙන්ම ඉදිරි සිව් වසරක කාලයක් සඳහා ඩොලර් බිලියන 2ක් දක්වා මෙම ප්‍රදානය පුළුල් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මේ අනුව විදේශ සංචිත වර්ධනය වී රටේ ආර්ථිකය නියමාකාරයෙන් හැඩ ගැසීමට මෙය උපකාර වෙනු ඇත. එමෙන්ම ලෝක බැංකුව මේ වන විටත් යම් ආධාර ප්‍රමාණයක් මෙරටට ලබා දී ඇති අතර පසුගිය සතියේදී තවත් ඩොලර් මිලියන 150ක ණයක් ලබාදෙන බව වාර්තා විය.
කොහොම නමුත් මේ ලැබෙමින් පවතින ජාත්‍යන්තර සහයන් රට කෙරෙහි අනුකම්පාවකින් ලබා දුන් දේ නොවන බව අමතක නොකළ යුතුය. වීදියේ යාචකයන්ට මෙන් රටකට කවුරුවත් පින්තකා මුදල් දෙන්නේ නැත. ණයට කොහොමටවත් දෙන්නේ නැත. ප්‍රථමයෙන්ම දෙන මුදල් වියදම් කරන්නේ කුමකටද? එයින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ මොනවාද? ණය ආපහු ගෙවන්නෙ කෙසේද? ඒ සඳහා හැකියාවක් තිබේද නැතිනම් ගොඩනඟා ගනීද? ආදී කාරණා පැහැදිලි විය යුතුය. ජනාධිපති රනිල් ගෙන යන ආර්ථික වැඩපිළිවෙල මේ ගැටළු සියල්ලට ලබා දී තිබෙන පිළිතුරු අනුව මේ සහයෝගය ලැබෙන බව පැහැදිලිව පැවැසිය යුතුය.
විපක්ෂයේ ඇත්තෝ මෙන් උඩක් බිමක් නැතිව පිස්සු කෙළමින් නන්දොඩවමින් සිටියා නම් මේ කිසිවක් සිදුවන්නේ නැත. රට බංකොලොත් වූ මොහොතේ කටකයිවාරුකම පැත්තක තබා රට භාරගෙන අර්බුදය විසඳීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය සජිත්ට, අනුරට කළ ආරාධනය මේ අය භාරනොගැනීම එක අතකට ඔවුන් සතුව විසඳුම් නොතිබීම හෝ ඒ සඳහා ධෛර්යයක් නොතිබීම සැබෑ කාරණය වුවත්, එය රටේ වාසනාවක්ට වූ දෙයකි. විපක්ෂය මඟහැරි දේ අවසානයේ රනිල් භාරගත්තේ තමන්ට ඒ සඳහා නිවැරදිම විසඳුම් තිබූ නිසාය. තමන් කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරමින් ඒ වෙනුවෙන් රනිල් අඛණ්ඩව වැඩ කළේය. රට බංකොලොත් බවින් මුදවනවා, යනුවෙන් දුන් පොරොන්දුව ඔහු ඉටු කළේ ලෝකයම මවිතයට පත් කරමිනි. අද බංකොලොත් රටක් ගොඩගන්නේ
කොහොමද යන්න ගැන, ශ්‍රී ලංකාව ලෝක ආදර්ශයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන හා සමාගම්වල සැලකිල්ලට ලක්ව ද තිබේ.
කොහොම නමුත් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතු බවත් එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවය.
එසේම සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ද පසුගිය
වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම නොකරන බවත් අවධාරණය කරයි. මේ දක්වා මෙරට ජනයා ලැබු අත්දැකීම්වලින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යමක් කියන්නේ, කරන්නේ ඒ ගැන ගණන් හැදීමක් සහ විසඳුම ගැන පූර්ණ විශ්වාසයක් සහිතව බවය. ඔහු එදා දිනවකවානු සහිතව රටේ අනාගතය ගැන අනාවැකි කීවේය. ඒ කිවු ලෙසටම සියල්ල සිදු විය. මේ අනුව අද ඔහු රටේ අනාගතය ගැන පවසනු ලබන දෙය විශ්වාස නොකිරීමට හේතුවක් නැත. ඔහුගේ ඉලක්කය 2048 වන විට රට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වන තැනට අවශ්‍ය වැඩපිළිවෙල සැකසීමය. ඒ වෙනුවෙන් වන ගමන පහසු නොවුවත් ඒ දුෂ්කරතා විඳදරාගැනීම වෙනුවෙන් අද දවස කැප කළහොත් නියත වශයෙන්ම සිහිනය සැබෑකර ගත යුතු වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මනෝරාජික විහිළුවක් ලෙස නොවේ. ප්‍රායෝගිකව එය කළ හැකි බව වැඩකර පෙන්වමිනි.
මේ වන විට මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගැනීම ද තහනම් කර තිබේ. මේ රජය විසින්ම රජයට පනවා ගත් තහනමකි. රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයකට ආසන්න තත්වයකදී මුදල් නොමැතිව රජය පවත්වාගෙන යෑම අති දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තහනම් කොන්දේසි නොමැතිව සැබෑ ආර්ථික වර්ධනයක් ලබාගැනීම කළ නොහැකි බවය. කෙසේ නමුත් රාජ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් බදු ආදායම් වර්ධනය කරගැනීම රජය සතුව ඇති ආසන්නතම පිළියමය. බදු පදනම් පුළුල් කිරීම සහ බදු ආදායම් නිසි ආකාරයෙන් අත්පත් කරගැනීමට රජය මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමටද පියවර ගැනිණි. කෙසේ නමුත් මෙම වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීම නිසා භාණ්ඩ හා සේවා මිල සීග්‍ර ඉහළ යෑමට ලක්වීම වෙතැයි විපක්ෂ කණ්ඩායම්වල විවේචනයට ලක්ව තිබේ.
ඒ කෙසේ නමුත් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් යෝජිත වැට් බද්ද සියට 18 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව එම කාරක සභාවේ සභාපති සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
බදු පැනවීම් ගැන කවර විවේචන එල්ල වුවත් මෙරට ආර්ථික ස්ථායීතාව සහ තිරසාර වර්ධනයට ඉක්මනින් වැඩි බදු ආදායමක් එකතු කරගැනීම අනිවාර්ය තත්වයක පවතී. කාලාන්තරයක් තිස්සේ රටේ බදු පදනම ක්‍රමානුකූලව අඩු වීම හා පසුගිය පාලන සමයේදී ඒ කිසිදු ගණන් බැලීමකින් තොරව විශාල බදු සහන දීම නිසා ආර්ථික අර්බුදයක් අවුළුවා රට බංකොලොත් වන තැනට පත් කළේය. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ පහළම අගයක් වන සියයට 7.3 දක්වා බදු පදනමේ අනුපාතය පහත වැටිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩසටහනේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2026 වන විට මෙම අනුපාතය සියයට 14 දක්වා ඉහළ නැංවීමයි. බදු ආදායම ද.දේ. නිෂ්පාදිතයෙන් සියයට 15කට ආසන්න වූ පසු රටවල් ඉහළ වර්ධන මාවතකට ගමන් කරන බවට ලෝකයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. 90 දශකයට පෙර මෙරට බදු පදනමේ අනුපාතය සියයට 20ත් ඉක්මවා පැවැතිනි. එදා රට වේගවත් සංවර්ධන ගමනක සිටියේ එබැවිණි. එමෙන්ම සමාජ ආරක්ෂණය අධ්‍යාපනය සෞඛ්‍ය වැනි දේ වෙනුවෙන් රාජ්‍යයට වැඩි බදු ආදායමක් එකතුකර ගැනීමත් අත්‍යාවශ්‍යය.
කෙසේ නමුත් 2023 වසර සඳහා ආදායම් ඉලක්කයට ළඟා වීමට රජය අපොහොසත් විය. මේ නිසා මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිකුත් කිරීම ද ප්‍රමාද විය. බදු ආදායම ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස 2023 දී සියයට 9.2ක් වු අගය මෙවර 2024 අයවැය ඉලක්ක අනුව සියයට 12.1 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. නමුත් මෙහිදීද යම් සහනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව බදු රහිත සීමාව දැනට පවතින රු. මිලියන 60 අගය රු. මිලියන 80ක් තෙක් ඉහළ දැමීම සහ බදු බලපාන අයිතම 137න් 87ක් ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.
වැට් බද්ද මෙරටට සීමා වූ අමුතු දෙයක් නොවේ. මේ වන විට රටවල් 160කට වඩා වැඩි සංඛ්‍යාවක මේ ක්‍රියාත්මක අතර, ඔවුන් මුළු බදු එකතුවෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් මේ හරහා එකතු කර ගනී. ද.දේ. නිෂ්පාදිතයේ කොටසක් ලෙස වැට් බද්ද වෙනම ගතහොත් දියුණු ආර්ථිකයන් සහිත රටවල එය සියයට 7කට වඩා වැඩි වේ. අඩු ආදායම් සහිත රටවල සාමාන්‍යය සියයට 4කි. නමුත් ශ්‍රී ලංකාවේ, වැට් බදු ආදායම ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 2004 දී සියයට 6ක් වූ අතර 2022 දී සියයට 2 දක්වා පහත වැටී තිබිණි.
එමෙන්ම සාමාන්‍යයෙන් වැට් බද්ද කියන්නේ රටක ස්ථිරව පවතින රාජ්‍ය ආදායමකි. ඒ සැරින් සැරේ වෙනස් නොවන ප්‍රතිපත්තියකි. නමුත් 2002 වසරේ වැට් බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වැට් බදු අනුපාතිකය අට වතාවක් වෙනස් කර ඇත. වැට් බදු සීමාව හය වතාවක් සංශෝධනය කර ඇත. වැට් බද්දේ පුරෝගාමීයකු වන නවසීලන්තය, 1986 දී එය සම්මත කිරීමෙන් පසු වැට් බදු අනුපාතය වෙනස් කර ඇත්තේ දෙවතාවක් පමණි. පිලිපීනය 1988 දී සම්මත කිරීමෙන් පසු වෙනස් කර ඇත්තේ එක් වරක් පමණක් වන අතර, බංග්ලාදේශය 1991 සිට තවම එම අනුපාතයම පවත්වා ගෙන යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වෙනස්වීම් නිසා 2009, 2015 සහ 2020 වැනි වසරවල වැට් බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් වූ අතර, වැට් බදු අනුපාත අඩු කිරීම්, ලියාපදිංචි සීමාවන් වැඩි කිරීම සහ විවිධ භාණ්ඩ හා සේවා සඳහා නිදහස් කිරීම් හඳුන්වාදීම වැනි වෙනස්කම් නිසා මේ සිදුවිය. ශ්‍රී ලංකාවේ වැට් බදු සීමාව ආසියාවේ ඉහළම එකක් වන අතර එම නිසාම විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට කටයුතුකර ඇති බවත් සදහන් කළ යුතුය. මෙවර සංශෝධනයේදීද එය සිදු විය.
කොහොම නමුත් වැට් බදු අනුපාතය වැඩි කිරීම පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාවට අඩු කිරීමට, පරිභෝජන රටාවට අහිතකර ලෙස බලපෑ හැකි බවත් නිෂ්පාදනයට සහ අඩු ඉල්ලුමක් ව්‍යාපාරවලට ද අත්විඳිය හැකි බවටත් ආර්ථික විශ්ලේෂක මතය වේ. නමුත් ඊට විසඳුම වැට් බදු අනවශ්‍ය ලෙස අඩු කිරීම නොවන බව 2019 දී සියයට 15ක පැවැති අනුපාතය සියයට 8 දක්වා විශාල අඩුකිරීමක් කළ ද භාණ්ඩ හා සේවා මිළ අඩු නොවීම හා ව්‍යාපාර ආදායම් වර්ධනයවීම මඟින් පෙන්නුම් කර තිබේ. මේ නිසා වැට් සම්බන්ධයෙන් ගොඩනැඟී ඇත්තේ අනවශ්‍ය බියක් බව සැලකිය හැකිය. එසේම මෙහිදී වැඩි වන්නේ පවතින සියයට 15 අගය 18 දක්වා ඒකක 3කින් පමණය. අනෙක් කාරණය නම් මෙම බදු අනුපාතයන් වර්තමානයේ මුහුණ දෙන අභියෝගය ජයගැනීම සඳහා ගත් තාවකාලික පියවරකි. ජනාධිපතිවරයා ඉලක්කකර තිබෙන සීමාව ජයගත් පසුව අද රට වෙනුවෙන් කරන කැපකිරීමෙහි වඩාත් වාසිදායක ප්‍රතිලාබ රටට ලැබෙනු ඇති බව සහතිකය. මන්ද ඒ පොරොන්දුව දී ඇත්තේ ජනපති රනිල් නිසාය.
ඝෝෂක