ජනපති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්.

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (17) පෙරවරුවේ බීජිං නුවරදී සිදු වුණා.

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ෆාම් ඔයිල් තහනම හේතුවෙන් දෙරට අතර ආනයන, අපනයන කාර්යයන් සඳහා ඇති වූ බලපෑම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානය යොමු වී ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ ආසියානු රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමටත්, ඉන්දියාව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් විධිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවයි.

ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිත බවයි මෙහිදී ඉන්දිනිසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝක ආර්ථික සහ දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳවත්, ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් ලෙස එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳවද මෙහිදී නායකයන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇත්තේ.

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි (Retno Marsudi) මහත්මිය ප්‍රමුඛ එරට අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් සහ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙම අවස්තාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *