ජනපති හුවාවි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක – පාසල් ඩිජිටල්කරණය සදහා ගිවිසුමකට ද අත්සන් කරයි.

0

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස අද (17) පෙරවරුවේ බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.

ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා

ආර්ථිකය සමගම ලාංකේය පුරවැසියන්ද ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර හුවාවි සමාගම විසින් සිදුකරන ජාත්‍යන්තර සේවාවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නවතම තාක්ෂණ ක්‍රමවේදයන් සහ උපකරණ පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැනුවත් කෙරිණි.

එසේම ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *