ජනප්‍රියවාදී දේශපාලනය යා හැකි උපරිමයට ගොස් අවසන්

0

ටක රාජ්‍යයක බලය අල්ලා ගැනීම සඳහා කරන සෙල්ලම නැතිනම් ඊට වඩා බරසාරව තේරෙන්න කිවහොත් ගේම් එක දේශපාලනය කියලා කියන්න පුළුවන්. රාජ්‍ය බලය දේශපාලනයේ දී වැදගත්ම දෙය වෙයි. මෙහිදී රාජ්‍යයට සුගතියක් වෙයි ද අගතියක් වෙයිද ජනතාවට වැඩක් වෙයිද නැද්ද යන්නට වඩා බලය අත්පත් කරගැනීම මුලික වෙයි. විශේෂයෙන්ම මැතිවරණ ආසන්න කාලයක් වන විට දේශපාලනඥයෝ කවුරුත් කල්පනා කරන්නේ රාජ්‍ය බලය ගැන පමණය. විශේෂයෙන්ම බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන විට මේ තත්වය තවත් උග්‍ර වෙයි.
දේශපාලනයේදී ප්‍රතිපත්ති ගැන සාකච්ඡාව මැතිවරණ සමයේ දී යටපත් වී පක්ෂ දේශපාලනය ඉස්මතු වෙයි. පුද්ගල ප්‍රතිරූප ඉස්මතු වෙයි. සහන මළුවල පුරවපු මැතිවරණ පොරොන්දු ගොඩගැහෙයි. මේ අනුව ජනතාව පෙළ ගැසෙන්නේද බොහෝ විටම මේ පක්ෂ, පුද්ගලයන් සහ තමන්ට දුන්නු පොරොන්දු වටා මිස දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති හෝ තමන් සහය දෙන අය ජය ගතහොත් රට මුහුණ දෙන ගැටළු‍ නිරාකරණය වෙයිද නැද්ද යන්න ගැන නොවෙයි. මේ නිසා හැදෙන ජනප්‍රිය රැලි එක්ක ගසාගෙන යන පිරිස වැඩිවෙයි. තමන්ව එහෙම ගහගෙන යන්නේ කොතෙන්ට ද මොකට ද කියන එක ගැන නිනව්වක් බොහෝ අයට නැත. එහෙම අයට තමන්ට සිදු වෙච්ච වැරැද්ද තේරෙන්න ගන්නේ තමන් බලාපොරොත්තු වූ දේවල් නොලැබෙන විටය. නමුත් මේ ජනතාවට කළින්ම නිවැරදි වෙන්න අවස්ථාව මේ දේශපාලන පක්ෂ හෝ නායකයෝ හදලා දෙන්නේ ද නැත. එහෙම කරන්න නම් සියල්ලට පෙර මේ නායකයන් සහ පක්ෂ ප්‍රතිපත්තිමය දේශපාලනයක් එක්ක ස්ථාවර විය යුතුයි. ඒත් එහෙම දෙයක් වෙන්නේ කලාතුරකිනි. රාජ්‍ය බලය මූලික වුණාට පස්සේ ඔවුන් බොහෝවිට තමන්ගේ කියන ප්‍රතිපත්ති පැත්තකට දමා හෝ යන්නේ බලය හොයාගෙනය. තමන්ගේ අරමුණුවලට වැඩි වාසි පැත්තට ගාල් වෙන්න උත්සහ කරයි. ඒ එසේ නමුත් ප්‍රතිපත්තිමය එකඟතාවයන් එක්ක කඳවුරු ගත වීම ගැටළුවක් නොවෙයි. එය දේශපාලනයේදී විය යුත්තකි. ප්‍රශ්නය තියෙන්නේ එහෙම සිදුවීම් මේ බල දේශපාලනය තුළ අවම වීමය.
මේ කාලයේ මේ බල හුවමාරුව වෙනුවෙන් දේශපාලන පක්ෂ එහාට මෙහාට වෙමින් කඳවුරු ගත වෙන්න උත්සහ ගනිමින් තිබේ. මැතිවරණ ආසන්න වෙද්දී පක්ෂ බොහොමයක් සන්ධාන ගත වෙමින් කඳවුරුවලට ගාල් වෙනු ඇත. මේ අනුව මේ දිනවල අදාල කඳවුරක් තුළ තමන්ගේ පංගුව නැතිනම් බලය අනෙක් වුන් අභිබවා අත්පත් කරගැනීමේ සීතල සටන් ඇවිළෙමින්ද තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය ලබා දෙන්නේ කාට ද යන්න ගැන යම් තීරණ තිබුණත් ඒ සඟවා ගනිමින් කටයුතු කරන්නේ ද ඒ නිසාය. අපි අපේක්ෂකයෙක් දානවා… තවම අපි ජනාධිපති අපේක්ෂකයකු නම් කර නැහැ, සහය දෙන්නේ කාට ද කියා තීරණය කර නැහැ… ආදි වශයෙන් කියමින් විවිධ පාර්ශ්ව සමඟ සහය ලබාදීමේ කොන්දේසි ආදිය සාකච්ඡා කරමින් තිබේ. මේ කේවල් කිරීම අවසානයේ තමන් වෙතට ලැබෙන පංගුවේ තරම අනුව කඳවුරුවලට ගාල් වීම අනිවාර්යයකි.
දැනට දේශපාලන කතිකාව තුළ වම, දකුණ හා අතරමැදියන් අතර තරගයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය වාමාංශික කඳවුර තමන්ගේ නමට ලියාගෙන තිබේ. එහි ඇතැම් ප්‍රතිපත්ති අනුව වාමාංශික බවක් හෝ දක්ෂිණාංශික බවක් හෝ නිශ්චිතව හඳුනාගත නොහැකි වුවත් ඒ තුළ මාක්ස්-ලෙනින්වාදී ජවිපෙ ක්‍රියාත්මක වීම සහ ජවිපෙ නායකයා ජාතික ජන
බලවේගයේද නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා වීමත් ඊට සහය දෙන ජවිපෙ පාක්ෂිකයාගේ විප්ලවවාදී කතන්දර නිසාත් ජාජබය ඉබේම වමේ කඳවුර වී ඇත. නමුත් මේ සඳහා වෙනත් කිසිදු වාමාංශික කණ්ඩායමක සහය හිමිව නැති අතර සහයට සිටින්නේ ජාතිකවාදී හෝ දක්ෂිණාංශික මතවලම එල්බගත් ජනප්‍රියවාදයට කැමති පහළ මධ්‍යම පාංතිකයන් පිරිසකි. ඒ බොහෝ විටම ග්‍රාම්‍ය පදනමක් සහිත පිරිසය. ජවිපෙ හා මේ අය අතර මතවාදී එකඟතාවයක් නැති වූවද ජනප්‍රියවාදයට යටවීම නිසා දැනට එම මත ගැටුම් යටපත්ව ඇත. එහි ආදීනව දැක ගත හැක්කේ යම් ලෙසකින් බලය අත්පත් කරගැනීමකින් පසුවය.
ඒ කෙසේ නමුත් මෙම වමේ කඳවුරේ ජනප්‍රිය දේශපාලනය නිසාම මෙවර මෑත ඉතිහාසයේ තිබු මට්ටමට වඩා වැඩි වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන බවට පළවන වාර්තා මත ඊට එරෙහිව බලවත් දක්ෂිණාංශික කඳවුරක අවශ්‍යතාවය ද මතු කරමින් තිබේ. ඒ අනුව මේ දක්ෂිණාංශික කඳවුරේ නියෝජනය සහ අනාගත නායකත්වය ගැන සංවාදයක්ද ඇතිව තිබේ. ඒ කොහොම නමුත් මේ කඳවුර තුළ ප්‍රතිපත්තිමය මත ගැටුම් ඇත්තේ නැති තරම්ය. ජනප්‍රියවාදය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක යෙදීම නිසා බලය අත්පත් කරගත්තා නොගත්තා කිය මේ කඳවුර බිඳ වැටෙන්නේ ද නැත. අද ඊට ශක්තිමත් නායකත්වයක් හිමිය.
වර්තමානයේ දක්ෂිණාංශික කඳවුරේ නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවැරී තිබේ. ඔහුගේ දේශපාලන දිවිය තුළම හැමදාම නියෝජනය කළේ මේ දක්ෂිණාංශිකයය. අදත් ඔහු රටට නායකත්වය දෙන්නේ එම දක්ෂිණාංශික ප්‍රතිපත්ති අනුවය. වාම ජාතිකවාදීන් විසින් බංකොලොත් කළ රට මුදවාගැනීමට ඔහු සමත් වූයෙත් රටේ ඉදිරි සංවර්ධනය සම්බන්ධයෙන් පියවරයන් ගණනාවක් ගෙන ඇත්තෙත් දක්ෂිණාංශික දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති පදනම මතය. කොහොම නමුත් ජනාධිපතිවරයා ලෙස ඔහුගේ දේශපාලන ජීවිතය තුළ මීට පෙර බලය හෙබවූ සියලු‍ අවස්ථාවන්ට වඩා අද ශක්තිමත්ය. එසේම ජනතාවගේ විශ්වාසය ආකර්ෂණය දිනාගත් නායකයකු බවටද පත්ව තිබෙන්නේ රනිල්ට බෑ යනුවෙන් සමාජය තුළ තිබු අපවාදය මුළු‍මනින්ම වෙනස් කරමිනි. රනිල්ට පුළු‍වන් බව ඔහු භාවිතයෙන්ම පෙන්වා තිබේ. රනිල් නැතිනම් මේක කරන්න වෙන කෙනෙකු නෑ යනුවෙන් අද සමාජ මතය පමණක් නොව විපක්ෂයටද පිළිගැනීමට ඇති සත්‍යය වේ. ඊටත් වඩා රට අර්බුදයට ගිය මොහොතේ විපක්ෂය රට භාරගැනීම මඟහැර තිබියදී රනිල් එය භාරගෙන සාර්ථකවීම මත විපක්ෂයට රනිල්ට පුළු‍වන් බව පිළිනොගෙන සිටීමේ හැකියාව කොහොමටත් නැතිකර තිබේ.
එමෙන්ම වැදගත්ම කාරණය එදා රනිල්ගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ඉතා තදබල ලෙස විවේචනය කළ, ඊට එරෙහිව කටයුතු කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ අවස්ථා විනාශ කළ ජවිපෙ මාලිමා කණ්ඩායමට, සජබ කණ්ඩායම්වලට මෙන්ම පොහොට්ටුවේ හා එයින් විතැන් වූ කණ්ඩායම්වලට පවා අද රනිල්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් පිළිගනිමින් තමන්ගේ ප්‍රතිපත්ති බවට ඒවා පත් කරගැනීමට සිදුව තිබීමෙන්, මේ රනිල්ගේ පුළු‍වන්කාරකමේ තරම ඉතා පැහැදිලිව ඉතිහාසය තුළ සනි‍ටුහන් කර ඇත. ජනපති රනිල්ගේ ප්‍රතිපත්තීන්ට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධව සිටින්නේ අන්තගාමී වාමාංශිකයන් සහ අන්තවාදී ජාතිකවාදීන්ය. ඒ ඉතා කුඩා සුළුතරයකි.
කොහොම නමුත් කාටවත් භාරගන්න බෑ කියු රට භාරගෙන රට ගොඩදැමීමෙන් පසුව මේ බෑ කියපු අය දැන් රට භාර ගැනීමට සූදානම් බව කියන විහිළු‍ කතා ද වැඩිපුර ඇසෙමින් තිබේ. දේශපාලනයේ දී අභියෝග භාරගැනිම තරම් අවධානම්කාරී දෙයක් තවත් නැත. ආවොත් ආවා ගියොත් ගියා සේ තමන්ගේ දේශපාලනය පවතීද නැද්ද යන්න මේ අභියෝගවලට මුහුණ දීමේ සාර්ථක අසාර්ථක භාවය අනුව තීරණය වේ.
පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසනයක් හෝ රනිල්ගේ නායකත්වයන් යුතු එජාපයට ලැබුණේ නැත. සමස්ත ඡන්ද ප්‍රතිපලයේ ප්‍රතිශතයක් අනුව ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ධුරයකට පමණක් හිමිකම් කීවේය. ඒ අනුව එජාපය තමන්ගේ පක්ෂ ඉතිහාසය තුළ ඇද වැ‍ටුණු පහළම තැන පසුගිය මහ මැතිවරණයේදී සනි‍ටුහන් කළේය. දේශපාලනයෙදී එහෙම අවස්ථා ඇති වීම සාමාන්‍ය තත්වයකි.
එහෙත් එම තත්වයන් හමුවේ පවා, ප්‍රතිපත්ති පාවා නොදෙමින් යළි නැඟිටීමේ
හැකියාව තිබෙන්නේ ශක්තිමත් නායකත්වයක් ශක්තිමත් දේශපාලන ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ඇති විටකදී ය. එසේම මේ දේශපාලන ගේම් එක ගැන හරියට දැනගෙන සීටී නම් පමණි. තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් ඒ සැනින් දකුණු කඳවුරට අවශ්‍ය නායකත්වය දෙමින් එජාපයේ දේශපාලන මතවාදය ඔසවා තැබීමට සමත් විය. කඩා වැ‍ටුණු එජාපය නැවත කෙළින් කටින් ඔසවා ශක්තිමත් කිරීමේ අභියෝගය ඔහු භාර ගත්තේය. ඒ කෙතරම් සාර්ථක වීද යත් දේශපාලන අර්බුද හමුවේ රටේ ජනාධිපති ධුරය ලබාගැනීමට සමත් විය. ජනාධිපති රනිල් තමන්ගේ ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවා සහය තමන්ට ලබා ගැනීමට සමත් විය. රනිල් තමන්ට පුළුවන් බව පෙන්වීම නිසා තැති ගෙන සිටින සෙසු සියලු‍ ප්‍රතිවාදීන්ට දැන් ගනන් හදන්න සිදුව ඇත්තේ මීළඟ මැතිවරණයක දී රනිල්ව පරාජයට පත් කරන්නේ කොහොම ද කියන කාරණයය. රනිල්ව මඟ හැර බලය අත්පත් කරගැනීමේ විදිහක් ගැනය.
වැඩි ඡන්ද පදනමක් සහිතව සිටින ප්‍රධාන විපක්ෂය වන සජබයට හා විපක්ෂ නායක සජිත්ට මහා අභියෝගය ජනපති රනිල් විය යුතුව තිබුණකි. නමුත් ඒ අභියෝගය භාරගැනීම සජිත් කරන්නේ නැත. කළ හැකි ශක්තියක්ද නැත. අද සජබය සෝදා පාලු‍වට ලක්වෙමින් තිබෙන්නේද රනිල්ගේ දේශපාලන භාවිතය නිසාය. දැනටම සජබයේ කණ්ඩායමක් ප්‍රසිද්ධියෙත් අප්‍රසිද්ධියෙත් ජනපතිට සහය දෙන විට සජිත්ට එය වැලැක්වීමේ හැකියාව නැත. එයට මුලික හේතුව සජිත්ගේ නායකත්ව දුර්වලතාවය සහ පක්ෂයේ ප්‍රතිපත්තිමය ඌණතාවය ය.
සජබය මේවන විට තෝරාගෙන ඇත්තේ අඩුම තරමින් මැතිවරණයක දී එජාපයේ රනිල්ට පරාජය වුවත් දෙවන ස්ථානය හෝ රඳවාගැනීමේ උපක්‍රමික භාවිතාවකි. ජාජබය යම් වර්ධනයක් අත්පත් කරගනිද්දී තමන්ගේ දෙවන තැනට ඒ අහියෝගයක් වෙන බව සජිත් හොඳාකරවම දන්නා දෙයකි. ඒ නිසා දැන් සජබයේ සටන ජාජබය සමඟය. ඒ අභියෝගය ජයගැනීමට නොහැකි වුවහොත් සජිත්ගේ දේශපාලනය අවසන් වෙනු ඇත. මන්ද සජිත් කියන්නේ කිසිදා අභියෝග භාරගත් අයකු නොවීමය. අනුන්ගේ පිහිටෙන්, නහයෙන් ඇඬීමෙන්, රණ්ඩු සරුවල් කරමින් තනතුරුවලට පැමිණි අයෙකි. එයටත් පාවිච්චි කළේ සිය පියාණන්ගේ දේශපාලනය මිස තමන්ගේ ඇති දෙයක් නොවේ. මේතාක් කාලයක් දේශපාලනික වශයෙන් සජිත් කළ දෙයක් නැත. මිනිසුන්ගේ නැති බැරිකම් අපහසුතා දඩමීමා කරගනිමින් සහන මළු‍ බෙදීම කරගෙන යයි. එය දේශපාලනික වැඩක් නොවේ. ජනතාවට අල්ලස් ලබා දී කැමැත්ත කොල්ලකෑමේ සටකපට උපක්‍රමයකි. ජනප්‍රියවාදය තෝරාගැනීමකි. මේ අනුව ජනප්‍රියවාදයේ කෙළවරකට ගොස් සිටින ජාජබය වැනි පක්ෂයකට අභියෝග කළ හැකි නමුත් දේශපාලනිකව පරිණත භාවිතාවක සිටින රනිල් වැන්නකු හමුවේ මේ සිල්ලර වැඩවලින් කළ හැකි අභියෝගයක් නැත. සජිත් දේශපාලනය යනු කුමක්දැයි හඳුන්නනේ නැත. එහෙම හැකියාවක් තිබුණේ නම් කළ යුතු වන්නේ මීට පෙර තමන්ට අතහිත දුන් රනිල් සමඟ මේ රට ගොඩනඟන ගමන යෑමට එකතුවීමය. ඒ දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කර රට හමුවේ ඇති වාමාංශික ජනප්‍රියවාදී ගොබ්බකමෙන් විය හැකි අනතුරෙන් රට මුදවාගැනීමට සහය වීමය. අඩුම තරමින් තමන්ගේ ජාම බේරාගැනීමේ හෝ හැකියාවක් ඒ තුළ තිබිණි. නමුත් එය දැන් අහිමි කරගෙන ඇත. වමටත් දකුණටත් නැති නපුංසක තැනකට සජබය වැටී අවසන්ය. ජාජබයද දේශපාලනය වෙනුවට බලයම අරමුණු කරගත් ජනප්‍රියවාදී භාවිතාව තුළ ගිලී යමින් තිබෙන අතර එය දැන් ඔවුන්ටම දරාගත නොහැකි තැනකට ඇද වැටී තිබේ. ඔවුන්ට එය තේරුම් ගත හැකි වන්නේ යම් ලෙසකින් බලය හිමිවූ පසුවය. ඇතැම් විට ඊට පෙරම මේ පුපුරා යෑම වුව සිදු විය හැකිය.
කොහොම නමුත් සජබයේ හා ජාජබයේ ජනප්‍රියවාදී ප්‍රචාරක මෙහෙයුම්වලට එසේ යා හැකි උපරිමයට ගොස් අවසන්ය. එය නැවත කඩා වැටීමට ලක්වීම හැර වෙනකක් ඉතිරිකර නැත. ඉදිරියට එන්නේ ඒ කඩා වැටීමේ කාලයය. එහි ලකුණු දැනට ම පෙන්වා තිබේ.
මේ අතර රනිල් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණ දෙන්නේ ද ජයග්‍රහණය ගැන දෙගිඩියාවක් නොමැතිව බව පැහැදිලි වෙමින් තිබේ. මේ ගණන් හැඳීම කළේ කොහොමද කියන එක වැදගත්ය. අද සජබයට ජාජබට මුහුණ දෙන්න සිදුව තිබෙන අර්බුදය කියන්නේත් මේ රනිල්ගේ ගණන් සාත්තරයේ ප්‍රතිපලයන්ය. ජයග්‍රහණය තමන් වෙතට එන බව රනිල් ගණන් හැදුවේ මීට බොහෝ කලකට පෙරය. ඒ එජාපයට හිමි වූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයේ වාඩි වීමටත් පෙර සිටය.
මේ අනුව ඔහු තවමත් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව කියන්නට හෝ ඉක්මන් වී නැත. ඊට පෙර තමන් භාරගත් වගකීම ඉටුකිරීම කළ යුතු බවට ඔහු තවදුරටත් සපථ කරමින් තිබේ. රටට වගකියන නායකත්වය ඔහු පෙන්වමින් තිබේ. දේශපාලන බල පොරය වෙනුවට රටෙත් ජනතාවගේත් අරමුණු පෙරට තබා වැඩ කිරීම එසේ මෙසේ දේශපාලකයකුට කළ හැකි නොවේ. ප්‍රතිපත්තිමය ශක්තිමත් බව තමන්ගේ නායකත්වය කෙරෙහි වන විශ්වාසය ඊට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. තම කඳවුර ගැන විශ්වාය මෙන්ම කඳවුරට තමන් ගැන විශ්වාසයද ගොඩ නැගෙන්නේ එවිටය.
මේ තත්වයන් මත දකුණට නායකත්ව අර්බුදයක් නැත. ඇතැමුන් එහෙම අර්බුද මතු කරමින් නායකත්ව පොරයකට ඉව අල්ලමින් සිටියත් එහෙම නායක අහේනියක් නැත. ප්‍රතිපත්තිමය ඌණතාවයන් නැත. වාමාංශික විගඩම්කරුවන්ට රට භාර දී යළි බංකොලොත්වීමේ ප්‍රතිලාභය අත්විඳීමේ වුවමනාව ඇති අයකුට මිස, දක්ෂිණාංශික දේශපාලනය පිළිගන්නා අයට රනිල්ගේ නායකත්වය පිළිගැනීමේ නොහැකියාවක් නැත. මේ මොහොතේ දක්ෂිණාංශික කඳවුරට අවශ්‍යවන්නේ ජනතාවගේ දේශපාලනික ශක්තිමත් භාවය පමණි. රනිල් එය කාටත් නොදැනෙන්න ගොඩනඟමින් තිබෙන බවත් පෙනේ. මේ නිසා රටේ අනාගත නායකත්වයද රනිල් වටා කැරකෙන්නක් මිස ජනප්‍රිය රැළිවලට ගහගෙන යන්නක් නොවන බවත්
පැහැදිලිය.

……….ඝෝෂක……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *