ජනප්‍රිය වාමාංශික රැළි ආර්ජන්ටිනාවට කළ විනාශය

0

(කයිවාරු හැර වමට කිසිවක් බෑ – 6 වන කොටස)

රටක අර්ථිකය සංවර්ධනාත්මක මට්ටමක පවත්ගෙන යෑම ඕනෑම රටකට අවශ්‍යතාවයකි. ආර්ථික වර්ධන වේගය සියයට 1 ද, 5 ද, 10 ද යන්න කවරක් වුවත් එය වර්ධනීය තත්වයක තිබීම ආර්ථික ස්ථාවරත්වය ගැන සාධකයකි. එහෙත් එය සෘණ මට්ටමට පත්වීම රටේ ආර්ථිකයේ කඩා වැටීම නිරූපනය කරයි. කෙසේ නමුත් ආර්ථිකය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට නම් රටේ ආර්ථික ප්‍රතිපත්තීන් විටින් විට ආණ්ඩු මාරුවෙන් මාරුවට පාලකයාගේ මාරුවීම සමඟ වෙනස් වන්නේ නම් එවැනි රටක ආර්‍ථික වර්ධනය යථාර්තයක් නොවන්නකි. ශ්‍රී ලංකාවෙන් පවා ඊට උදාහරණ ගත හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වූ අවස්ථාවන්වල පෙර සහ පසු අවස්ථා සැලකීමේදී මේ කඩා වැටීමට හේතුව හඳුනාගත හැකිය.

දිගු කාලීන ඉලක්ක සහිත ජාතික ප්‍රතිපත්තීන් අනුගමනය නොකිරීමේ වරද නිසා ඉතා බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දුන් රටක් ලෙස ආර්ජන්ටිනාව හැඳින්විය හැකිය. ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් ලෝකයේ ධනවත් සමෘද්ධිමත් රාජ්‍යයක්ව තිබු ආර්ජන්ටිනාව ඉතා කෙටි කාලකින් කඩා වැ‍ටුණේ මෙලෙස ප්‍රතිපත්තීන් වෙනස් කිරීම නිසාය. මේ තත්වයන් දිගින් දිගට පුරුද්දක් වූයේ ජනප්‍රිය දේශපාලනයේ ගිලීයාම තුළය. නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ ජයග්‍රහණයන් අත්පත් කරගනිමින් සිටි ආර්ජන්ටිනාව කඩා වැටීම්වලට මුල පුරනු ලැබුවේ වාමාංශික ප්‍රතිපත්ති මත ජනප්‍රිය දේශපාලනය කිරීමට ගිය පාලකයන් ගත් පියවරයන් නිසාය.

මේ මොහොතේ ආර්ජන්ටිනාව ගැන කතාබහ කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියාටත් වැදගත්ය. ඒ දැවැන්ත අර්බුදයක් හමුවේ යන්තමින් රට ගොඩනගමින් තිබෙන මොහොතක ඒ ආපසු හැරවීමේ ජනප්‍රිය වාම ජාතිකවාදි සිල්ලර දේශපාලනයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන නිසාය.

මේ වන විට ආර්ජන්ටිනාව දශක ගණනාවක් පුරා ආර්ථික අර්බුද රාශියකට මුහුණ දුන් රාජ්‍යයකි. විශේෂයෙන්ම දකුණු ඇමරිකානු කලාපයේ රාජ්‍යයක් ලෙස වැජඹුණු ආජන්ටිනාව මින් වසර සියයකට පමණ පෙර සිටම ලෝකයේ ධනවත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. කෙසේ වෙතත් මෙලෙස ආර්ථිකමය අතින් ඉතා ඉහළ තලයක වැජඹුණු ආජන්ටිනාව පසුව 105%ක තරම් අතිශය දරුණු වාර්ෂික උද්ධමනයකට මුහුණ දෙන තරම් පිරිහීමට ලක් වුයේ ඉතා අවාසනාවන්ත ලෙසකි. 1980 දශකයේ සිට විදෙස් ණය පැහැර හැරි රාජ්‍යයක් ලෙස ප්‍රකට වූ ආජන්ටිනාව මේ වන විට පස් වතාවක් විදෙස් ණය ගෙවීම පැහැර හැර ඇති අතර, එපමණ ප්‍රමාණයක් ණය ගෙවීම් පැහැර හැරි එකම රාජ්‍යය වන්නේ ද ආජන්ටිනාවයි. මේ වන විට ඩොලර් බිලියන 44ක පමණ හිඟයක් සහිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ණයකරු වන්නෙ ද ආජන්ටිනාවයි. මෙලෙස ණය පැහැර හැරීම් හේතුවෙන් ජාත්‍යන්තර ණය හිමියන් සමඟ පැවැති සබඳතා පළුදු කර ඇති අතර, මෙම තත්වය රටක් ලෙස ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍යකරණයට ප්‍රවේශවීම වඩාත් දුෂ්කර කර ඇත.

1973 ලෝක තෙල් අර්බුදය හමුවේ ලෝකයේ රාජ්‍යයන් ගණනාවක් අර්බුදයට ලක් වූ අතර ආර්ජන්ටිනාවටද එය බලපෑවේය. නමුත් එවකට පැවැති වාම ජාතිකවාදී පාලනය යම් ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් අර්බුදය ජය ගැනීමේ උත්සාහයක නිරත විය. එහෙත් තෝරා ගත්තේ වැරදි පියවරකි.

ඒනැගෙනහිර යුරෝපා සමාජවාදී රාජ්‍යයන් හා චීනය සමඟ ගමන් කිරීමය. මෙම කාලය තුළදි සෑම මාස තුනකට වරක්ම පාහේ මුදල් ඇමැතිවරු මාරු විය. පාලනය අස්ථාවර විය. 1975 වසරේදී මැතිවරණයෙන් ආජන්ටිනාව භාරගත් ලිබරල්වාදියකු වූ ලොපෙස් රෙගාගේ මුදල් ඇමැති වූ සෙලෙස්ටිනෝ රොද්‍රිගෝ හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්තිය නිවේදනය කර ක්‍රියාත්මක කරන්න කාලයක් හෝ ඉඩ නොතබා වාමවාදින් ගෙය ගිය මහා වැඩ වර්ජනය හමුවේ මේ පාලකයන්ට රටින් පලා යන්නට සිදු විය.

ආජන්ටිනාවේ ආර්ථිකය කඩා වැටීමට මෙම සිදුවීම ප්‍රධාන සාධකයක් විය. මෙම ආර්ථික ආජන්ටිනාවේ මුදල් ඒකකය වන පෙසෝ මුදල් ඒකකය 150%ක් වැනි ඉහළ අගයකින් අවප්‍රමාණය වී තිබු අතර එය තවදුරටත් කඩා වැටිනි. ඉන්ධන මිල 180%ක තරමට ඉතා සීග්‍රයන් ඉහළ ගිය අතර, 1976 දී වාර්ෂික උද්ධමනය 440% තරම් ඉහළ යෑම සිදුව තිබිණි. 1989 දී අදහාගත නොහැකි ලෙස 3000%ක ඉහළ අගයක්ද පෙන්වීය. විටින් විට අඩු වැඩි වූවද අතිඋද්ධමන තත්වය 16 වසරක් අඛණ්ඩව පැවැතියේය.

මෙම තත්වය මත ජීවන වියදම දරාගත නොහැකි වූ ජනතාව රජයට එරෙහිව නිරන්තරයෙන් අරගල කළේය, 1980 දශකයේ මුල් භාගය වන විට මෙම අරගල ඉතා උග්‍ර මට්ටමකට පත්ව තිබිණි. ජනතා අරගලයේ බලපෑම කෙතරම්ද යත් 1981 මාර්තු මාසයේ සිට 1982 ජුලි මාසය දක්වා වූ ඉතා කෙටි කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකුට බලයෙන් ඉවත්වීමට මෙම විරෝධතාවයන් හේතු විය.

ආජන්ටිනාවේ අධික උද්ධමනය හේතුවෙන් රාජ්‍ය වියදම් ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, අත්‍යවශ්‍ය භාණ්වල හිඟය හා අකාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් එවක රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට තීරණය කළේය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් 1983 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරට ගොස් ආජන්ටිනාවේ අර්බුදය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ කළේය.

පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජතයින් විසින් ආර්ථිකය කළමණාකරණය උදෙසා උපදෙස් මාලාවක් ඉදිරිපත් කළ අතර, මෙහි මූලික උපදෙසක් වූයේ ආජන්ටිනාවේ මුදල් ඒකකය ලෙස පවතින ‘පෙසෝ ලේ’ වෙනුවට නව මුදල් ඒකකයක් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව ආජන්ටිනා ‘පෙසෝ’ නමින් නව මුදල් ඒකකයක් හඳුන්වා දුන් අතර, පැවැති පෙසෝ ලේ 10,000ක් නව ආජන්ටිනා පෙසෝ 1ක වටිනාකමට තක්සේරු කරනු ලැබුවේය.

ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමත් සමඟම බ්‍රසීලය, මෙක්සිකෝව, කොලොම්බියාව සහ වෙනිසියුලාව යන රටවල් ආජන්ටිනාවට ඇමරිකානු ඩොලර් මිලියන 300 බැගින් ණය මුදල් ප්‍රදානය කළ අතර, 1984දී ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයන් ඇති කර ගැනීමෙන් පසු සහන රැසක් හිමිවිය. පසුව 1985දී ඔස්ට්‍රල් නමින් නව මුදල් ඒකකයක් හඳුන්වා දුන් අතර, ඒ අනුව ආජන්ටිනා පෙසෝ 1,000ක් ඔස්ට්‍රල් 1කට සමාන කරනු ලැබුවා. මේ තත්වයන් යටතේ 1985 වන විට උද්ධමනය සියයට 50 කට ආසන්නව අවම කරගැනීමට සමත් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග අනුව ආර්ථික අර්බුදය ජය ගැනීමට ආරන්ටිනාවට හැකි වුයේ නැත. එයට ප්‍රධානතම හේතුව වූයේ ආජන්ටිනා රජය විසින් දිගින් දිගටම ණය ගෙවීම පැහැර හැරීමයි.

මේ හේතුවෙන් තවදුරටත් ණය අනුමත කිරීමෙන් වැළකුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආජන්ටිනාවට ණය දීම අත්හිටුවීමට තීරණය කෙරුණි.

පසුව බලයට පැමිණි කාලෝස් මෙනම් ජනාධිපතිවරයා 1989 වසරේදී ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව පියවරයන් කිහිපයක් ගත් අතර, එහි ප්‍රධානතම ක්‍රියාවලිය වූයේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සිදු කළ අතර, මෙය ආජන්ටිනාවේ තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් විය. මීට අමතරව විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා පියවර ගැනීම, ආනයන තීරුබදු කප්පාදු කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා එතෙක් වර්ධනය වෙමින් පැවති උද්ධමනය තනි ඉලක්කමක් කරා ගෙන ඒමට කාලෝස්ට හැකි වූ අතර, නිදහස් වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ හරහා නැවත හිස ඔසවන පරමාදර්ශී රාජ්‍යයක් ලෙස ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වුණා.

කෙසේ නමුත්, කාලෝස් මෙනෙම් 1999 දී ධූරයෙන් ඉවත් වූ විට තත්ත්වය වෙනස් වූ අතර, ජනප්‍රිය වාම ජාතිකවාදී දේශපාලනයකින් බලයට පත් ෆර්ඩිනැංඩො ඩිලා රුආ, කාලෝස්ගේ ප්‍රතිසංස්කරණ ආපිට හැරවීමට කටයුතු කළේය. මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු වෙනත් රටවලින් ජාත්‍යන්තර සහයෝගය ආජන්ටිනාවට අහිමි වු අතර, කාලෝස් ජනාධිපතිවරයාගේ අරමුණ ඉටු කරගනීමට අපොහොසත් විය. 2001 වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට රට නැවත තල්ලුකරන ලද අතර පැවැති පාලනය දූෂිත විය. විරුද්ධවාදීන් මර්දනය උත්සන්න කර තිබිණි.
මෙසේ දිගින් දිගටම ආර්ථිකය කඩා වැටීම තුළ නව මුදල් ඇමතිවරයකු පත්ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලා සිටි අතර ඒ අනුව යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ආජන්ටිනා රජය විසින් මෙම යෝජනා ක්‍රියාත්මක කළ නමුත් මේ හේතුවෙන් ඉහළ ගිය පීඩාකාරිත්වය නිසා ජනතාව වීදි බැස සිය විරෝධය පළ කළ අතර, රජය පවත්වාගෙන යාමේ බරපතල තත්වයකට පත් විය.

ජනතා විරෝධය හමුවේ ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟම රට තුළ බරපතල අස්ථාවරත්වයක් නිර්මාණය විය. මෙහි ප්‍රතිපලයක් ලෙස දින 13ක් ඇතුළත ජනාධිපතිවරන් 4 දෙනෙකු බලයට පත් වූ අතර, එම ජනාධිපතිවරුන්ට ද ජනතා විරෝධය සමනය කර ගැනීමට නොහැකි විය.

පසුව බලයට පත් වූ ජනාධිපතිවරන්ට ද ආජන්ටිනාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නොහැකි වූ අතර, ආර්ථිකය දිනෙන් දිනම කඩාවැටීමට ලක් විය. වසරින් වසර එරට ණය ප්‍රමාණය ඉහළ ගිය අතර, මුදල අවප්‍රමාණ විය. මෙම තත්වය ආජන්ටිනාව ලොව දිළිඳුම රට බවට පත් කිරීමට සමත් වූ අතර, දකුණු ඇමරිකානු කලාපයේ රාජ්‍යයක් ලෙස ආජන්ටිනාවට මෙම තත්වය ඇති වීම සුවිශේෂී සිදුවීමක් විය.

කෙසේ වෙතත් මෙවන් තත්වයකට රට පත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආජන්ටිනාවේ ක්‍රියාත්මක වූ දේශපාලන භාවිතය සුවිශේෂීත්වයක් ගනී. දක්ෂිණාංහක දේශපාලනය විසින් රට ගොඩනැගීමට ගත් උත්සාහයන් සියල්ලම පාහේ වාම නැඹුරු පාලන සහ සමාජවාදී ප්‍රතිපත්තිවලට සමපාත පාලන ක්‍රමයන් විසින් ආපසු හැරවීම සිදු කර ඇති බව පැහැදිලිය.

පසුගියදා ජනාධිපති ධුරයට පත් වූ හවියේ මිලෙයි ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේදී සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් අතර, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු ස්වාධීන මතධාරීයෙකු ලෙස පෙනී සිටියේය. ජයග්‍රහණයෙන් පසු සිය පාක්ෂිකයින් අමතමින් හවියේ මිලෙයි පැවසුවේ දැඩි ලෙස අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකය පණ ගැන්වීම තම ප්‍රධාන අරමුණ බවයි. දැඩි සමාජවාදී විරෝධියෙකු වූ හවියේ මිලෙයි සිය මංගල කතාවේදී පැවසුවේ සමාජවාදී අත්හදා බැලීම් සෑම විටම කෙළවර වී ඇත්තේ විශාල මනුෂ්‍ය ඝාතනයන්ගෙන් හා මිලියන ගණන් ජනයා දුප්පතුන් බවට පත් වීමෙන් බවයි. ආජන්ටිනාවේ නව පාලන බලය ලබා ගැනීමට හවියේ මිලෙයිට බලපෑ ප්‍රධානම කාරණාව වූයේත් මෙම සමාජවාදී විරෝධයයි.

කාලාන්තරයක් තිස්සේ සමාජවාදය මූලික කර ගත් පාලන ක්‍රමයක් තුළින් ආජන්ටිනාවට ඇති කළ බලපෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාව හවියේ මිලෙයි පත් කරගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මුලින් කී ලෙස රට් ගොඩනැගුමේ දිසාවට ඉලක්ක කරන ලද ප්‍රතිපත්තීන් ජනප්‍රිය වාම ජාතිකවාදී දේශපාලනය විසින් කෙතරම් විනාශකාරී අන්තයකට රටක් තල්ලු කරනවාද යන්න ආජන්ටිනාව නරකම උදාහරණ පෙන්වා දී ඇත. කුමක් හෝ වසනාවකට ශ්‍රී ලංකාව වාම ජාතිකවාදී දේශපාලනය නිසා එතරම්ම නරක ප්‍රතිපළ අත්පත් කරගන්නා තැනට ඇද නොවැටුණේ කොන්ද පණ ඇතිව, නිවැරදි ප්‍රතිපත්ති අනුව රට කරගෙන යාමට සමත් දක්ෂිණාංශක නායකයන් සිටි නිසාය. නමුත් අනතුර පහව ගොස් නැත.

(මතු සම්බන්ධයි)

……….රිද්ම අනුරාධ ගමගේ………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *