ජනවරම නොදත් විපක්ෂයේ නාඩගම

0

සිංහල-දෙමල අලු‍ත් අවුරුදු උත්සව සමය නිසා රටම යම් විවේකී සතියක් ගත කළේය. එහෙත් වසර තුනකට පසුව අලු‍ත් අවුරුදු සැමරුම උත්සවශ්‍රීයෙන් කිරීමට ජනතාව පෙළඹී තිබුණු අයුරුත් විශේෂ තත්වයක් විය. පසුගිය වසරේ අප්‍රේල් මාසය වෙද්දි උග්‍ර තත්වයකට පත්ව තිබූ ආර්ථික අර්බුදය සහ එහි අතුරු ප්‍රතිපල ලෙස පැවැති ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ආහාර හිඟය, බෙහෙත් හිඟය ආදිය නිසා ජනතාව සිටියේ පාන් කියා ගන්න බැරි තරම් අර්බුදයකය. අවුරුදු සැමරීම වෙනුවට අවුරුදු සැමරිය හැකි යහපත් ආර්ථික වතාවරණයක් ඉල්ලා රට පුර විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබිණි. අරගල ඇරඹිණි. රට කැරලිකාරයන්ගේ තෝතැන්නක් විය. ඒ සියල්ල අවසානයේ රටේ පාලනය රනිල් වික්‍රමසිංහ බාරගැනීමෙන් පසුව මේ වන විට යම් අස්වැසිල්ලක් ජනතාවට ලැබී තිබීම මෙවර අලු‍ත් අවුරුදු උත්සව හැකි පමණින් ඉහළින්ම සැමරීමට ජනතාව පෙළඹී තිබුණේ ඉදිරි කාලය වඩාත් යහපත් වන බවට තිබෙන වැටහීම අනුව විය හැකිය.

ජනාධිපතිවරයා පෙර පැවසූ පරිදිම අර්බුදයෙන් ජනතාව මුදවාලීමට අවශ්‍ය වැඩ කොටස ඉ‍ටුකර තිබීම නිසා අනාගතය ගැන ඔහු ස්ථිරසාරව පවසන අනාවැකි ද සඵල වෙනු ඇති බවට විශ්වාසයක් අද සියලු‍ ජන කොටස් වෙතින් පළවී තිබෙන බව මෙවර අවුරුදු සැමරීම බලාපොරොත්තුවූවාටත් වැඩිය හොඳින් සිදුවීම මගින් නැවත පහදන ඇත්තය.

කොහොම නමුත් පසුගිය සතිය තුළ රටේ දේශපලනය ගැන උණුසුමක් දකින්නට ලැබුණේද නැත. යම් කතා බහක් ඇතිව තිබුණේ ජාතික ආණ්ඩුවක සූදානමක් සහ ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන මාධ්‍යවල වූ පුවත්වලටය. ඒ අතර සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 18 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුවට එක්වීම ගැන යම් ප්‍රකාශයක් සිදු කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට විපක්ෂයට ආරාධනය කරනවා නම් ඊට සම්බන්ධ විය යුතු බව රාජිත පවසා තිබිණි. ඒ අලු‍ත් කතාවක් නොවේ. එම අදහස් ඔහු මීට කලින් කිහිප වතාවක්ම මාධ්‍යට පවසා තිබිණි. නමුත් පක්ෂය එම තීන්දුව නොගන්නේ නම් තමන් කණ්ඩායමක් වශයෙන් හෝ ආණ්ඩුවට එකතුවීම සිදු කිරීමක් ගැන රාජිත අදහස් දක්වා තිබීමත් සජබය නියෝජනය කරන දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ වෙතින් ද ආණ්ඩුවට එක්වීමක් ගැන ඉඟි පළ වී තිබීමත් නිසා සජබ නායක සජිත් ප්‍රේමදාස නම් මේ අවුරුදු සැණකෙළි අස්සේ බොහෝ කලබල වී තිබිණි.

සජිත් ප්‍රේමදාසට පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය සමඟ තරග කර ලක්ෂ 48ක තරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණද මහ මැතිවරණයේදී ඔහුගේ නායකත්වය යටතේ ජනාධිපතිවරණයට සහයෝගය ලබා දුන් පාර්ශ්ව සමඟ තරග කළද ලැබුණේ 27 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයකි. එනම් දෙකෙන් පංගුවට තරම් අඩු විය. සජිත්ට පක්ෂ විදිහට සහයෝගය අහිමි වූයේ එක්සත් ජාතික පක්ෂයේ සහය පමණි. නමුත් මහ මැතිවරණයේ දී එජාපය ඡන්ද ලක්ෂ දෙකාමාරකට ආසන්න ගණනක් ලබා ගෙන පහළම අඩියට වැටී තිබීමෙන් එජාපයේ ඡන්ද පදනම මුළුමනින්ම සජිත්ට ගැළවී ගියේ නැති බව පැහැදිලිය. එසේ වූවා නම් ජනාධිපතිවරණයේ ලැබු ඡන්ද සංඛ්‍යාවට ආසන්න අගයක් ලබා ගත යුතු විය. මහ මැතිවරණයේදී පක්ෂය දෙකඩවීම නිසා වූ කලකිරීම් ආදිය නිසා සැබෑ එජාප පාක්ෂිකයා ඡන්ද පොළට නොයෑමත්, එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා වුව සජිත්ව තමන්ගේ නව නායකයා ලෙස පිළිගැනිමට නොකැමති වූ සහ එජාපය ශක්තිමත්ව තිබුණා නම් එජාපය වෙත හරවා ගත හැකිව තිබු පාවෙන ඡන්ද දායකයන් විශාල පිරිසක් ගෝඨාභය රැල්ලට හසුවී පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කිරීම සිදු කර තිබිණි. ගණනින් එය ලක්ෂ විස්සක් හෝ ඉක්මවනවාට සැක නැත.

මේ වන විට සජබය සමඟ සිටි කණ්ඩායම් කිහිපයක්ම ඉන් ගැළවී ගොස් ඇත. එමෙන්ම ඇතුලේ සිටියද එකට වැඩ නොකරන ප්‍රතිපත්තියකට මාරු වූ පිරිසක්ද සිටී. එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වීම සහ මේ වසරකට ආසන්න කාලය මුළුල්ලේ ඔහු විසින් පෙන්වූ සුවිශේෂී නායකත්ව භුමිකාව සහ රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමට සමත්වීම ආදී කරුණු කාරණා නිසා තවත් විශාල පිරිසක් සජබයෙන් ඉවත් ව නැවත එජාපයට සහය දෙන තැනට පත්ව සිටිති. මේ අනුව තවදුරටත් සජබය තුළ ඉතිරිව සිටින පිරිසෙන් ප්‍රබලයන් කණ්ඩායමක් ඉන් ඉවත්වීම තුළ සජිත්ට ඉතුරු වන්නේ තමන්ගේ ගජමිතුරු සමාගම පමණි. ඒ අනුව රාජිතලාගේ දෙමළ – මුස්ලිම් කණ්ඩායම්වල අලු‍ත් කතන්දර නිසා සජිත් බරපතල ලෙස කළඹලවීම සාධාරණය. තමන්ගේ ඡන්ද පදනම ලොකු පතුරු පිටින් ගැලවී ඇති මොහොතක තවත් නාය යෑමක් සිදු වුවහොත් තමන්ට වැටෙන්න වෙන්නේ දේශපාලන ඉතිහාසයේ ජෝකර්ලාගේ කුණු බක්කියට බව සජිත් නොදන්නවා නොවේ.

සජිත් කලබලයෙන් මාධ්‍යට කිව්වේ, ජනවරමක් නැති ආණ්ඩුවට කිසිසේත්ම සජබය එකතු නොවන බවය. තමන්ගේ මන්ත්‍රීන් රුපියල් ලක්ෂ 2000ට නොවිකිණෙන බවත් ඇමැතිකමවලට පක්ෂය පාවා නොදෙන බවත් ආදී වශයෙන් කියවන්න ගත්තේ සජබය යනු තමන් සහ තමන්ගේ ගජමිතුරු කල්ලිය පමණක් බව සිතාගෙන නම් අවුලක් නැත. නමුත් ඇත්ත කතාව නැවත පක්ෂයෙන් කොටසක් කඩාගෙන යන බවට ඉව වැටී තිබීමය. තමන්ගේ ගජ මිතුරු කල්ලිය ලවා රාජිතලාට පහර පිට පහර ගසන්නට කටයුතු යෙදවූයේද ඒ නිසාය.

කොහොම නමුත් මේ සජිත් හෝ අනුර හෝ කියන ජනවරමේ කතාවට කිසිදු පදනමක් නැත. එසේම ඒ කතාවලින් ජනතාවට ඇති වැඩක්ද නැත. ජනතාවගේ අපේක්ෂා කෙසේ හෝ මුදුන්පත් වී සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හැකි වාතාවරණයක් කිසිවකු හෝ ඇති කරනවා නම් ඊට වැඩිය දෙයක් ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ නැති නිසාය. රාජපක්ෂලා විනාශ කළ රට යළි නිවැරදි පාරට ගෙන 2019 වන විට රටේ ආදායම් සරු කර, පුද්ගල ආදයම් සරු කර යහපත් ආර්ථික තත්වයක් ඇති කිරීමට එදාත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට හැකිව තිබිණි. නමුත් ජනතාවට පාඩම් අමතක නැතිනම්, ජනතා අවශ්‍යතාවයන් සැපිරිමෙන් පසුව රට ජාතිය බේරා ගැනීමේ ජාතිවාදී දේශපාලන ප්‍රවාහයකට නතු වී කර ගත් මෝඩකම යළිත් කරනු ඇතැයි කල්පනා කළ නොහැක. යුද්ධය ජයගත් වීරයා, වැඩ කරන විරුවකු ලෙස උත්කර්ශයට නවනු ලැබුවෙකු හමුවේ රැවටුණ ජනතාවක් ජෝකරයකු හමුවේ යළි රැවටේ යැයි කොහොමටවත් කල්පනා කළ නොහැක. ඒ සියල්ලටම වඩා පැහැදිලි අරමුණක් ඉලක්කයක් සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් තිබියදී ඒ ගමන වලක්වා රට නැවත බංකොලොත් තත්වයට ඇද දමන තීන්දු ගැනීමට තරම් ජනතාව යළි නොපෙළෙඹෙනු ඇත. විපක්ෂයේ අනෙක් නාඩගම වන ජවිපෙ ගැන කියන්න වන්නේ ඔවුන්ට සුපුරුදු ඡන්ද කෝටාවට වඩා දෙයක් ඉදිරි මැතිවරණයක්දී හෝ හිමිකර ගන්නේ නැති බවය.

ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට හෝ ජනවරමක් නැති කතාව වෙත නැවත යොමු වුවහොත් අප මෙම දේශපාලන තීරුවෙහිම සහ තවත් ලිපි මඟින් මේ ජනවරම යනු කුමක්ද එය ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට තිබෙන්නේ කෙසේදැයි කිහිප වතාවක්ම පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් ජනවරමක් නැතිනම් මේ ගෙවුණු අමාරුම වසරක පමණ කාලය හෝ ජනාධිපතිවරයාට රටේ පාලන බලය දැරීමට නොහැකි වෙනු ඇත. මහා ජනවරමක් පැහැදිලිව ලැබී තිබියදීත් විශාල බලයක් අත්පත් කරගෙන සිටියදීත් ජනතාව විසින් ගෝඨා පාලනය පෙරළා දැමූ තත්වයන් හමුවේ රනිල් ජනාධිපති පු‍ටුවේ කිසි කරදරයක් නැතිව කටයුතු කරමින් සිටින්නේ ජනතාවගේ කැමැත්ත සහ විශ්වාසය මේ මොහොත වන විටත් ජනාධිපතිවරයාට ලැබී තිබෙන නිසාය. ඇත්ත ජනවරම කියන්නේ ඒකටය.

සත්‍ය වශයෙන්ම කරුණු කාරණා පෙළගස්වා බැලු‍වහොත් අද ජනවරමක් නැත්තේ විපක්ෂයටය. ජනතාවගේ අරගලයට මුවා වී, එහි වාසි සහගත තත්වයන් කොල්ලකාගෙන මෙම විපක්ෂ කණ්ඩායම් තමන්ට ජනවරමක් නැතිනම් ජනතාවගේ විශාල කැමැත්තක් තිබෙනවා යැයි පෙන්වමින් කළ මාධ්‍ය සංදර්ශන රැලි සියල්ලම මේ වන විට හීන් කෙඳිරියක්වත් නොමැතිව අවසන් වී ඇත. අද විපක්ෂය තනිකර විහිළු සපයන නාඩගම් කණ්ඩායම් බවට පත්ව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන වැඩපිළිවෙල වලක්වා රට තවදුරටත් අර්බුදයට යවා රාජ්‍ය බලය ඩැහැ ගැනීමට මේ අය කරපු කියපු ජඩකම් නිසා ජනතාවගේ පිළිකුලට ද භාජනය විය. රජය ගන්නා සාධනීය පියවරයන්ට හරස් වෙමින් එය කඩාකප්පල් කරන්න මේ මොහොතේත් විපක්ෂය දඟලන දැඟලිල්ල ද ජනතාවට රහසක් නොවේ. ඒ සියල්ලටම වඩා පට්ටපල් බොරු කියමින් ජනතාව නොමඟ යැවීමට ගන්නා උත්සාහයන්ද හෙළිදරව් විය. මෙහෙව් විපක්ෂයකට ජනවරමක් හිමිවීමට නියමිත නැත.

දැන් මේ ඇත්ත දන්නා නිසා කරකියා ගන්න දෙයක් නොමැති සජිත් තමන්ගේ මන්ත්‍රීවරුන් සල්ලිවලට, ඇමතිකම්වලට විකිණෙන්නේ නැතැයි කියමින් පාරම්බාන්නේ බැරිවෙලාවත් මන්ත්‍රී පලු‍වක් ගැලවී ගියහොත් මේ කරන බොරු චෝදනාවලින් ඔවුන්ට පහරදීමේ අවස්ථාව තබාගෙන බවත් පැහැදිලිය. එහෙත් සල්ලි දී ආණ්ඩුවට මන්ත්‍රී ඔළුගෙඩි එකතුකිරීමේ වුවමණාවක් ජනාධිපතිවරයාට කිසිසේත්ම නැත. මන්ද එසේ අවශ්‍යතාවයක් මතුවී නැති බැවිනි. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයක් ලෙස සිටිමින් ජනාධිපති ධුරයටත් පත්වූ ඔහුට මෙතුවක් කල් පාර්ලිමේන්තුවට ගෙන ආ අණ පනත් යෝජනා ආදීය සම්මත කරගැනීමට අපහසුවක් නැති විට සල්ලිවලට ඇමැතිකම්වලට මන්ත්‍රීවරු එකතු කිරීමේ අවශ්‍යතාවයක් නැත. තමන් නිවැරදි දේ කරනවා නම් ඊට අවශ්‍ය සහය පාර්ලිමේන්තුවෙන් ලැබෙන විට එය සල්ලිවලට ගන්න වුවමණාවක් නැත.

නුදරේදී යම් ලෙසකින් හෝ සජබයෙන් කොටසක් ගැලවී ගියත් යන්නේ නිකම් නොවේ. පෙර කිව් ලෙස සජබයට ඉතිරිව තිබුණු ජනතා කැමැත්තත් දැන් අහිමිව ඇති බව ඔවුන් දන්නා නිසාය. දේශපාලනයේ පත්තියම් වූ දේශපාලනඥයන්ට රටේ ජන මතය කුමක්දැයි කියා දැන ගැනීමට ජන මතය උරගා බැලිය යුතු නැත. ඒ ඇත්ත දන්නා නිසා මේ මොහොතේ ජනාධිපතිවරයාට සහය දීම හැර වෙනත් දේශපාලන විකල්ප ඔවුන්ට ඉතිරිව නැත. දේශපාලනයේ දී බලය අත්පත් කරගැනීම මුලික ඉලක්කයකි. බලය නොමැතිව, ඒ සඳහා උත්සාහයක් නොමැතිව, නැතිනම් බලය අතහැර දමා කළ හැකි දේශපාලනයක් නැත. මේ නිසා සජබයෙන් හෝ වේවා වෙනයම් පක්ෂයකින් හෝ වේවා ජනාධිපතිවරයාගේ සහයට පිරිස් එක් වෙනවා නම් එය අරුමයක් නොවේ, සාමාන්‍ය තත්වයකි. අද සජබය පමණක් නොව පොහොට්‍ටු කණ්ඩායමෙන්ද ඉවත් වූ ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට සහය දෙන තැනක සිටී. ශ්‍රීලනිපය පවා සිටින්නෙ කොළ එළියක් දල්වාගෙනය. ජනාධිපතිවරයා ගෙන් කැඳවීමක් ලැබෙන විටම අර ඉබ්බා දියට දැමුවාම ඇන්නෑවේ කියමින් ඉබ්බා ගියා සේ ආණ්ඩුවට එකතු වීමට බලගෙන විශාල පිරිසක් සිටී.

එහෙත් වැදගත්ම දෙය නම් ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් දිගින් දිගටම විපක්ෂයට ආරාධනා කළත් ඒ පිහි‍ටුවන ආණ්ඩුවක් යනු වෙනදා මෙන් පිස්සු කෙලින ආණ්ඩුවක්වීමේ ඉඩක් නැත. ආර්ථික අර්බුදය මුළුමනින්ම ජය ගැනීම වෙනුවෙන් සහ වසර 25කට ඉලක්ක කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම වෙනුවෙන් වන කාර්යශූර, ජව සම්පන්න ආණ්ඩුවක් මිසක් වෙනකක් ඔහු බිහි නොකරනු ඇත. ඒ නිසා ආණ්ඩුවට එන්න කැමැත්තෙන් ආසාවෙන් සිටියාට රට ගොඩනැගුමට අවශ්‍ය බලවේග පමණක් ඔහු එකතු කර ගනු ලැබීමේ සම්භාවිතාව ඉතා ඉහළය. කටකයිවාරුකාරයන්ට නිකමුන්ට අවස්ථාව නොලැබෙනු ඇත. රට වෙනුවෙන් ජය ගත යුතු දේශපාලන ආර්ථික සහ සාමාජීය ඉලක්ක සාර්ථක කරගැනීම මිසක් මේ මොහොතේ රනිල්ට වෙනත් අරමුණු නැත. ඒ නිසා සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එකතුවීමට කැමැත්ත ප්‍රකාශ කළත් ඒ ජෝකර්ලා ආණ්ඩුවට ගෙන ඇමැතිකම් දී නඩත්තු කරගෙන යන්න රනිල් කැමැති වෙතැයි කල්පනා කළ නොහැක. මේ අනුව සජිත්ට සහ ගජමිතුරු කල්ලියට සදා විපක්ෂයට වී සිටින්නට සිදුවීම හැර වෙනකක් සිදුවීමට ඉඩක් මේ වන විට ඇති තත්වයන් අනුව නම් පෙනෙන්නට නැත.

  • ඝෝෂකF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *