ජවිපෙ කියන විදිහට ආයෝජකයෝ ලංකාවට එයිද?

0

අනුර කුමාරගේ ඉන්දියානු සංචාරයෙන් පසුව ඒ වෙච්ච දේවල් මොනවාද කියා සහසුද්දෙන් දැන ගැනීමට ජවිපෙ මාලිමා පාක්ෂිකයන්ට වගේම අනෙකුත් දේශපාලන පාක්ෂිකයන්ට විශාල උනන්දුවක් තිබිණි. නමුත් ජවිපෙ නායකයා සහ ඔහුගේ කල්ලිය මේ දේවල් එහෙම කියන්න ගියේ නැත. වෙන වෙන වටවංගු ගසමින් ඉන්දියා සංචාරය තුළදි ඇත්තටම සිදු වු දේ වසං කළ බව පැහැදිලිය.
ඒවා කොහොම වුණත් මේ ගැන මාධ්‍යවලට කරුණු දැක්වීමේදී විජිත හේරත් මතු කරපු කාරණා අතර විදේශ ආයෝජන, විදේශ වෙළද ගිවිසුම් ආදිය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය මේ යැයි කියා දේවල් ටිකක් කියා තිබිණි. ඒ තමන්ගේ වීරකම් මධ්‍යයේ ඉන්දියාවත් පදිරි බව පාක්ෂිකයන් අමන්දානන්දයට පත් කිරීමට කළ කතා වුවත් මේ ප්‍රතිපත්තිවල බරපතල අවුලක් තිබිණි.
මෙහිදී මතු කළ කාරණයක් වූයේ, විදේශ ආයෝකයන්ට ඉඩදෙන්නේ සියයට 50ට 50 ලෙස දෙපැත්තටම ප්‍රතිලාභ ලැබෙන විදිහේ කොන්දේසිවලට යටත්ව බවත් සෑම විදෙස් ආයෝජනයක්ම විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවා සුදුසු ආයෝජයකයන් තෝරාගන්නා බවය.
ඒවා නියම වැඩය. මාර සාධාරණය. යුක්ති සහගතය. නමුත් වැඩේ තියන්නේ මේ කියන ප්‍රතිපත්ති කොන්දේසි අනුව මෙරට ආයෝජනයට බල්ලෙක් වත් එයිද කියන එකය. ජවිපෙ වෙනදා එරෙහි වූ ප්‍රතිපත්ති වචනයෙන් හෝ වෙනස් කරගැනීම සාධනීය වුවත් ජවිපෙ නව මාලිමා ප්‍රතිපත්තිවල පැහැදිලිතාවය අනුව තර්කානුකූලව කිව හැක්කේ විදේශ ආයෝජකයන්ට මෙරටට පැමීණීමට දැනට තිබෙන අවස්ථාත් අහිමි කරන බවය.
ඉන්දියාවේ අමුල් සමාගමේ ලොක්කෝ මුණගැසී ජවිපෙ කිව්වා කීවේ, මේ (NLDB) ගනුදෙනුව කෙරෙන්නේ විනිවිදභාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවීමකින් නොවන නිසා ඒකට කළින් ජවිපෙ විරුද්ධ වූ බවය. ඒ කියන්නේ නීති විරෝධීව වංචාකාරි විදිහට නැතිනම් ආණ්ඩුවේ ලොක්කෙකුට ජරාවක් දී මේ ගනුදෙනුව සිදු කර ඇති බවය. එහෙත් ඒ විදිහට ‘දැන් (NLDB) එක ඔයාලට දුන්නට අපේ ආණ්ඩුවක් ආවම ඒ ගිවිසුම් ඔක්කොම අයින් කරල ආපහු රජයට පවරා ගන්නවා’ කියා අමුල් ලොක්කන්ට කිව්වා කියා නම් විජිත මාධ්‍යට කිව්වේ නම් නැත. අමුල් එකේ මාධ්‍ය නිවේදනයේ තිබුණෙත් නැත.
අමුල් විරෝධි සටන මෙහෙයවන ජවිපෙ නාමල් කරුණාරත්ත ඊට දින කිහිපයකටත් පෙර මෙරට කිරි ගොවියන් ඉදිරියේ කියා තිබුනේ අමුල් එකට දුන්නොත් තමන්ගේ ආණ්ඩුවකින් මාස 6ක් ඇතුළත නැවත පවරා ගන්න බවය. ඒ කියා ඉන්දියා ගමනෙන් පසුව නාමල් කරුණාරත්න කීවේ,
“ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්වයට පත්කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒකට අපි එකඟයි. අමුල් සමාගම කියන්නේ ඉන්දියාවේ කිරි ගොවියන් එක්ව හදාගත් ව්‍යාපාරික සංවිධානයක්. ඒ සංවිධානයේ අත්දැකීම් පළපුරුද්ද අපේ ගොවියන් සමඟ බෙදාහදා ගැනීම හොඳ දෙයක්.
මොකද අමුල් සමාගම ගොවීන් එකතුව ගොඩනගාගෙන ජාත්‍යන්තර තලයට ගෙනාවේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න අපේ කිරි ගොවියන්ට අවස්ථාවක් ලැබෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දීය රජයේ ආරාධනාවකට එරටට ගිහින් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා…”
යනුවෙනි.
එහිදීම ජවිපෙ රජයේ අමුල් ගනුදෙනුවට විරුද්ධයි, ඒ විදෙස් අයෝජනයට විරුද්ධයි. (NLDB) සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමඟ ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි… යනුවෙන්ද කියන ජවිපෙ හිතාගෙන ඉන්නේ අමුල් සමාගම මේ රටට පැමිණිය යුත්තේ ගොවියන්ට කිරි බිස්නස් එක කරන හැටි උගන්නලා යන්න පමණක් විය යුතු බවය. අමුල් සමාගම කියන්නේ ජවිපෙ පක්ෂ අරමුදලෙන් නඩත්තු වෙන සමාගමක්
නම් එහෙම විය හැකිය. ඒ අනුව අදානිලා, අම්බානිලා මේ රටට එන්න ඕන බිස්නස් කරන හැටි කියලා දීලා යන්න විතරය. ජවිපෙ ආණ්ඩුවකදී, අතින් වියදම් කරගෙන අනුන්ගේ හරක් බලන්න මේ මහා ව්‍යාපාරිකයෝ මේ රටට එනවා යැයි ජවිපෙ කල්පනා කරන බව පැහැදිලිය. පිස්සු නැත්නම ෂෝක්ය. පිටරට යාළුවන්ගෙන්
ඩොලර් 500 ගානේ එකතු කරගෙන රටේ ඩොලර් හිඟය පියවන බව කීවෙත් මෙහෙම කල්පනා කරන ජවිපෙමය. විදෙස් ණය අනේ මචං ගෙවන්න වෙන්නෑ… කියලා කපාහැර ගන්නා බව කීවේද මේ ජවිපෙ නායකයෝමය.
මේ සිද්ධ වෙන දේවල් අනුව විදේශ ආයෝජකයන් තබා විදේශිකයකුට මෙරටට සංචාරයකුටවත් එන්න හිතෙන රටක් ජවිපෙ පාලනයකදී ඉතුරුවෙයිද කියන්න බැරිය.
එහෙත් මේ ජවිපෙයම තමන්ගේ මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුර ජනාධිපති වූ විට ඒ අවුරුදු 5 තුළ ලංකාවේ ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 10 කට වැඩි කරන බව පවසයි. එනම් අඩුම තරමින් වසරකට ඩොලර් බිලියන 7ක 8කවත් විදේශ ආයෝජන රටට ගෙන්වාගැනීම සිදුවිය යුතුය. ලංකාවට වැඩිම විදෙස් ආයෝජන ආවේ 2018 දීය. ඒ ඩොලර් බිලියන 2ට ආසන්න ප්‍රමාණයකි. එය දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 4කටත් අඩු ප්‍රමාණයකි. (මේ හරිය ගැන අපි පසුගිය
සතිවල විශේෂ ලිපි දෙකක් පළ’කර ඇත). මේ තත්වය හෝ වර්ධනය කරගත්තේ ජවිපෙ වැනි වාම ජාතිකවාදී කණ්ඩායම්වල බරපතල විරෝධයන්ට මුහුණ දී එය පරාජය කිරීමෙන් පසුව බවත් සඳහන් කළ යුතුය. එදා ඉන්දියානු ආයෝජන කිසිවකට ජවිපෙ ඉඩ දුන්නේ නැත.
කෙසේ නමුත් අද ජවිපෙ ඉන්දීය සංචාරයෙන් පසුව කුමක් හෝ අදිසි හේතුවක් මත, තමන්ගේ ආණ්ඩුවක් යටතේ හෝ විදේශ ආයෝජනයන්ට රට විවෘත කරන බව හෝ පැවැසීම සාධනීය දෙයකි. එහෙත් මෙතන දැන් පෙනෙන්නට තියෙන ලොකුම ගැටළුව මේ විදේශ ආයෝජන කියන්නේ මොනවාද කියා හෝ ජවිපෙ නායකත්වයටවත් දැනුමක් නැති බව පැහැදිලිව පෙන්වා තිබීමය. එහෙම දැනගෙන සිටියානම් ජවිපෙ නායකයෝ ආයෝජන ගෙන්වන හැටි ගැන ගොං කතා කියන්නේ නැත.
ජවිපෙ නොදන්න විදේශ ආයෝජන
විදේශ සෘජු ආයෝජන (FDI) යනු කුමක්ද යන්න සරළව කිවහොත් වෙනත් රටක ආයතනයක් විසින් තවත් රටක ව්‍යාපාරයක් ව්‍යවසායක පාලන අවශ්‍යතාවයක් පිහිටුවීමය. එයට සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන සහ විදේශීය ව්‍යවසායයේ ක්‍රියාකාරී කළමනාකරණය හෝ හිමිකාරිත්වය ඇතුළත් වේ. එහිදී ඉඩම්, කර්මාන්තශාලා, ගොඩනැගිලි හෝ උපකරණ වැනි වත්කම් අත්පත් කරගැනීම මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාර පුළුල් කිරීම එයට ඇතුළත් වේ.
(FDI) බොහෝ විට සිදු කරනු ලබන්නේ බහුජාතික සමාගම් (MNCs) විසින්ය. නැතිනම් මහා පරිමාණ ව්‍යාපාරික ආයතන විසිනි. මෙහිදී විදේශ වෙළඳපොලවල පැවැත්ම තහවුරු කිරීමට, නව ගනුදෙනුකරුවන් වෙත ප්‍රවේශවීමට, වෙනත් රටක සම්පත් හෝ හිතකර ව්‍යාපාරික තත්වයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන් උත්සාහ කරයි. මෙම සෘජු විදේශ ආයෝජන විවිධ ආකාරවලින් සිදු කෙරේ.
ග්‍රීන්ෆීල්ඩ් ආයෝජනය, මෙයින් අදහස් කරන්නේ රටක නව ව්‍යාපාරික පහසුකමක් හෝ ව්‍යාපෘතියක් පිහිටුවීමයි. දේශීය සේවකයින් බඳවාගැනීම සහ බිම් මට්ටමේ සිට මෙහෙයුම් සංවර්ධනය කිරීම, මුල සිටම නව නිෂ්පාදන පහසුකම්, වෙනත් යටිතල පහසුකම් ගොඩනැගීම ඇතුළත් වේ. ග්‍රීන්ෆීල්ඩ් ආයෝජන මඟින් ආයෝජකයාට වැඩි පාලනයක් ලැබේ.
විදේශ රටක පවතින ව්‍යාපාරයක් හෝ සමාගමක් මිලදී ගැනීම හෝ අත්පත් කරගැනීම(CrÈs-Border Mergers and Acquisitions ) තවත් ආකාරයකි. මෙහිදී ආයෝජන සමාගමට ස්ථාපිත මෙහෙයුම්, සම්පත් සහ වෙළඳපොළ කොටස වෙත ක්ෂණික ප්‍රවේශය ලබාගැනීමට හෝ වෙනත් උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉඩ සලසයි.
හවුල් ව්‍යාපාරයක් a (Joint Ventures) තුළ, බොහෝ විට විවිධ රටවලින් සමාගම් දෙකක් හෝ වැඩි ගණනක් එකතු වී නව ව්‍යාපාර ආයතනයක් පිහිටුවයි. සෑම හවුල්කරුවෙකුම ප්‍රාග්ධනය, සම්පත් සහ ප්‍රවීණත්වයට දායක වන අතර, ව්‍යාපාරයේ හිමිකාරිත්වය සහ පාලනය බෙදා ගනී. හවුල් ව්‍යාපාර
සමාගම්වලට සම්පත් එකතු කිරීමට, අවදානම් බෙදා ගැනීමට සහ ඔවුන්ගේ දේශීය හවුල්කරුවන්ගේ හැකියාව යොදාගනී.
කළඹ ආයෝජනය(Portfolio Investment)යනු රටක සමාගම් කොටස්, බැඳුම්කර හෝ වෙනත් මූල්‍ය වත්කම් වැනි සුරැකුම්පත් මිලදී ගැනීමයි. FDI මෙන් නොව, කළඹ ආයෝජනය තුළ ක්‍රියාකාරී කළමනාකරණය හෝ ආයෝජනය කළ ආයතනයේ පාලනය සම්බන්ධ නොවේ. ආයෝජකයින් ලාභාංශ, පොලී ගෙවීම් හෝ ප්‍රාග්ධන ලාභ හරහා තම ආයෝජනට අදාළ ප්‍රතිලාභ ලබාගනී.
බලපත්‍ර ලබා දීම සහ බලය පැවරීම (Licensing and Franchising) තවත් ආයෝජන ක්‍රමයකි. බලපත්‍ර ලබාදීම යනු රටක යම් ආයතනයකට බුද්ධිමය දේපල, තාක්‍ෂණය හෝ වෙළඳ නාම භාවිතා කිරීමට ගාස්තු හෝ කර්තෘභාග සඳහා අවසර ලබා දීමයි. බලය පැවරීම යනු ව්‍යාපාර ආකෘතියක්, වෙළඳ නාමයක් හෝ වෙළඳ ලකුණක් ගාස්තු හෝ ආදායමේ ප්‍රතිශතයක් සඳහා රටක ආයතනයකට බලපත්‍ර ලබාදීමකි. බලපත්‍ර ලබා දීම සහ බලය පැවරීම සමාගම්වලට සැලකිය යුතු ප්‍රාග්ධන ආයෝජනයකින් තොරව විදේශීය වෙළඳපොළ තුළින් ආදායම් ඉපැයිය හැකිය.
අක්වෙරළ ක්‍රමය (Offshore Outsourcing) ව්‍යාපාරික ක්‍රියාවලීන් හෝ සේවා වෙනුවෙන් රටක සමාගමකට කොන්ත්‍රාත්තු ක්‍රමයට ලබාදීම වේ. මෙයට පාරිභෝගික සහාය, තොරතුරු තාක්ෂණ සේවා, නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධන, හෝ වෙනත් කාර්යයන් ඇතුළත් විය හැක. මෙහිදී
සමාගම්වලට පිරිවැය ඉතිරි කිරීම්වලින් ප්‍රතිලාභ ලබාගැනීමට, විශේෂිත කුසලතා වෙත ප්‍රවේශ වීමට හෝ මූලික නිපුණතා කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසයි.
ස්වෛරී ධන අරමුදල් (Sovereign Wealth Funds -SWFs) යනු කොටස්, බැඳුම්කර, දේපළ හෝ වෙනත් මූල්‍ය උපකරණ වැනි වෙනත් රටක වත්කම්වල ආයෝජනය කරන රජයන්ට හෝ රාජ්‍ය ආයතනවලට අයත් ආයෝජන අරමුදල් වේ. SWFs සාමාන්‍යයෙන් අරමුණු කරන්නේ ඒවා අයිති රජයට හෝ ආයතනයට ණය පොලී ආදිය මගින් ප්‍රතිලාභ උත්පාදනය කිරීම සහ ගෝලීය මූල්‍ය වෙළඳපොලවල සක්‍රීය වීමය.
මේ ආදි ලෙස රටකට ආයෝජන ලැබෙන ආකාර ගණනාවක් වෙයි. නමුත් මේවා ජවිපෙ කියන විදිහට ඒ හැම එකක් ටෙන්ඩර් දමා සියයට 50ට 50 ප්‍රතිලාභ ලැබෙන සේ නම් කිසිවිටෙක ක්‍රියාත්මක වන්නේ නැත. ලෝකයේ කිසිදු රාජ්‍යයක් විදෙස් ආයෝජන කැඳවාගෙන සියයට 50 ප්‍රතිලාභයක් භුක්ති විඳ තිබේ නම්, ඒ අටපටට්මට කියන්න ඕන ජාතියේ වැඩකි.
එහෙත් සෘජු විදේශ ආයෝජන, ආයෝජක රට සහ ලබන රට යන දෙකටම විශාල ප්‍රතිලාභ රැසක් ගෙන එයි. ආයෝජනය කරන රට සඳහා, එය වෙළඳපොළ පුළුල් කිරීම, විවිධාංගීකරණය සහ නව තාක්ෂණයන් හෝ සම්පත් වෙත ප්‍රවේශය සඳහා අවස්ථා ලබාදෙයි.
ආයෝජකයන්ට සැලකීම
ආයෝජන ලබන රට සඳහා, ප්‍රාග්ධනය,
රැකියා උත්පාදනය, තාක්‍ෂණ හුවමාරුව, නිපුණතා සංවර්ධනය, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දායක විය හැක. මේ වෙනුවෙන් විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සඳහා ප්‍රතිපත්ති සහ දිරිගැන්වීම් ක්‍රියාවට නැංවීම රජයන් බොහෝ විට සිදු කරයි.
මේ අනුව රටක සෘජු විදේශ ආයෝජන ප්‍රවණතාවලට සාධක ගණනාවක් බලපෑම් කරයි. මෙම සාධක එක් එක් රටවල විශේෂිත තත්වයන් සහ ලක්ෂණ අනුව වෙනස් වෙයි.
මෙහිදී රටේ ආර්ථික ස්ථාවරත්වය පැවැතීම වැදගත්ම දෙයයි. අඩු උද්ධමන අනුපාත, කළමනාකරණය කළ හැකි රාජ්‍ය මූල්‍ය හිඟයන් සහ පුරෝකථනය කළ හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඇතුළුව ස්ථාවර ආර්ථික තත්ත්වයන් සහිත රටවල් විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමයි. ආයෝජකයින් ආර්ථික අවදානම් නැති ඔවුන්ගේ ආයෝජන සඳහා ස්ථාවර පදනමක් සපයන පරිසරයන් සොයයි.
ඊළඟ කාරණය දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයයි. ආයෝජකයින් කැමති ශක්තිමත් පාලනයක්, නීතියේ ආධිපත්‍යය, දේපොළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ දේශපාලන අස්ථාවරත්වය හෝ සමාජ අසහනය නොමැති රටවලට ය. ස්ථාවර දේශපාලන පරිසරයන් ආයෝජකයින්ගේ විශ්වාසය සහ දිගුකාලීන කැපවීම් පෝෂණය කරයි.
එමෙන්ම රටක වෙළඳපොළේ ප්‍රමාණය සහ වර්ධන විභවයන්ද ආයෝජන ප්‍රවණතා කෙරෙහි බලපායි. වර්ධනය වන මධ්‍යම පාන්තික ජනගහනය සහිත විශාල
පාරිභෝගික වෙළඳපොලවල්වල ඔවුන්ගේ පාරිභෝගික පදනම පුළුල් කිරීමට සහ විකුණුම් වැඩි කිරීමට ආකර්ෂණීය අවස්ථා ලබා දෙයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි අවස්ථාවක් නැත. ඒ අනුව කුඩා දේශීය වෙළඳපොලක් ඇති රටවල් කලාපීය වෙළඳ කේන්ද්‍රස්ථාන ලෙස පවතී නම් හෝ වෙත් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් හරහා විශාල වෙලඳපොලවල් වෙත ප්‍රවේශය තිබේ නම් විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැක. ශ්‍රී ලංකාවට මේ සඳහා අවස්ථාව නිදහස ලබන යුගයේ පටන්ම විවෘතව තිබුණු නමුත් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සිදුවුයේ නැත. සිංගප්පුරුව වැනි කුඩාම රාජ්‍යයක් එය විධිමත්ම පාවිච්චි කළ අතර එය අද ලෝක ආර්ථිකයේ වැදගත්ම වෙළඳ මධ්‍යස්ථානයක්ව පවතී. විශාල වෙළඳපොලවල් වෙත ප්‍රවේශ වීමේ වෙළඳ බාධක අඩු රටවල ආයෝජනය කිරීමට සමාගම් දිරිමත් කළ හැකිය. වර්තමාන ජනාධිපතිවරයා කලාපීය නිදහස් වෙළඳ ගිවිසුම් හා ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ගණනාවක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මේ බාධකය ජය ගැනීම වෙනුවෙනි.
එමෙන්ම ප්‍රවාහන ජාල, බලශක්ති සැපයුම, විදුලි සංදේශ සහ සැපයුම් ඇතුළු ප්‍රමාණවත් යටිතල පහසුකම්, ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඉතා වැදගත් වේ. හොඳින් සංවර්ධිත යටිතල පහසුකම් මෙහෙයුම් පිරිවැය අඩු කරයි, කාර්යක්ෂම සැපයුම් දාමයකට පහසුකම් සහ සම්බන්ධතා වැඩිදියුණු කරයි.
නිපුණ සහ උගත් ශ්‍රම බලකායක් තිබීමත් අත්‍යවශ්‍ය සාධකයකි. විශේෂඥ දැනුම සහ ප්‍රවීණත්වය අවශ්‍ය වන කර්මාන්ත සඳහා. ශක්තිමත් අධ්‍යාපන පද්ධතියක්, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ පර්යේෂණ ආයතන ඇති රටවල් තාක්‍ෂණය, පර්යේෂණ සහ සංවර්ධනය සහ උසස් නිෂ්පාදන වැනි අංශවල ආයෝජන ආකර්ෂණය කරගැනීමට නැඹුරු වේ.
විනිවිද පෙනෙන නෛතික රෙගුලාසි, ව්‍යාපාර කිරීමේ පහසුව, කාර්යක්ෂම නිලධරය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඵලදායී නීති පද්ධති ඇතුළත් හිතකර ව්‍යාපාරික පරිසරයක් ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍යය.
රටක බදු ප්‍රතිපත්ති ද සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. තරඟකාරී බදු අනුපාත, නිශ්චිත කර්මාන්ත හෝ කලාප සඳහා බදු සහන සහ පැහැදිලි බදු රෙගුලාසි වැඩි ආයෝජන ආකර්ෂණය කරගත හැකිය. ආණ්ඩු බොහෝ විට ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට බදු සහන, සහනාධාර හෝ වෙනත් දිරිගැන්වීම් ලබා දෙයි. මීට අමතරව ත්‍ෘෂ ප්‍රවණතා කෙරෙහි බලපාන සාධක තිබේ. විශේෂිත කර්මාන්තය, ආයෝජක මනාප සහ ගෝලීය ආර්ථික තත්ත්වයන් අනුව මෙම සාධකවල වැදගත්කම වෙනස් විය හැකිය.
මෙම සාධක සපුරාලමින් ආයෝජන සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන රටවල් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ රටේ ආර්ථික වර්ධනය,
රැකියා උත්පාදනය සහ තාක්‍ෂණ අත්පත් කරගැනීම ආදය මඟින් සංවර්ධන ඉලක්ක ජය ගනු ඇත. අද ඇමරිකාව ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇත්තේ අමරිකානුවන්ගේ හපන් කමක් නිසා නොව විදේශ ආයෝජකයන්ට රට විවෘත කිරීම තුළය. ලෝකයේ වැඩිම විදේශ ආයෝජකයන් පැල් බැඳගෙන ඇත්තේ ඇමරිකාවේය. චීනය දෙවැනි ආර්ථිකය වන්නේ විදේශ ආයෝජන නිසාය. ඉන්දියාව මහා ආර්ථික පිම්මක් පැන්නේ විදේශ ආයෝජන නිසාය. සිංගප්පුරුව ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අත්පත් කරගත්තේ විදේශ ආයෝජන නිසාය.
විදේශ ආයෝජන ප්‍රතිලාභ
විදේශ ආයෝජන මඟින් සත්කාරක රටට ආකාර ගණනාවකින් ප්‍රතිලාභ ලැබිය හැකිය. එය ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ බදු ආදායමට දායක විය හැක. ආයෝජන ගලා ඒම බොහෝ විට ආයතනික බදු, රැකියා ආශ්‍රිත බදු සහ භාණ්ඩ හා සේවා සඳහා වක්‍ර බදු හරහා බදු ආදායම වැඩි කරයි. රජයට මෙම ආදායම පොදු යටිතල පහසුකම්, සමාජ සුබසාධන වැඩසටහන් සහ අනෙකුත් සංවර්ධන මුලපිරීම් සඳහා අරමුදල් යෙදවිය හැකිය.
දේශීය ශ්‍රම බලකාය සඳහා රැකියා අවස්ථා නිර්මාණය කළ හැකිය. විදේශීය සමාගම් රටක ආයෝජනය කරන විට, ඔවුන් බොහෝ විට නව මෙහෙයුම් ස්ථාපිත කිරීම හෝ පවතින ඒවා පුළුල් කිරීම, රැකියා
උත්පාදනයට මග පාදයි. මෙමඟින් විරැකියාව
අඩු කරනවා පමණක් නොව නිපුණතා සංවර්ධනය හා තාක්‍ෂණික හුවමාරුව සඳහා අවස්ථා ද සැලසේ. විදේශීය ආයෝජකයින් විසින් දේශීය ශ්‍රම බලකායේ කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කළ හැකි නව නිෂ්පාදන ශිල්පීය ක්‍රම, කළමනාකරණ භාවිතයන් සහ දැනුම හඳුන්වා දිය හැක.
විදේශ ආයෝජන, දේශීය සමාගම් සහ කර්මාන්ත වැඩි දියුණු කරයි. එය දේශීය භාණ්ඩ හා සේවා සඳහා වැඩි ඉල්ලු‍මක්, සැපයුම්කරුවන් සම්බන්ධ කිරීම්, සහ තාක්ෂණික හුවමාරු කිරීම්වලට හේතු වෙයි. දේශීය සමාගම්වලට විදේශීය ආයෝජකයින් සමඟ සහයෝගිතාවයෙන් ප්‍රතිලාභ ලැබිය හැකිය, නව තාක්ෂණයන්, වෙළඳපොළ සහ කළමනාකරණ විශේෂඥතාවයන් වෙත ප්‍රවේශය ලබා ගැනීම, විදේශීය සමාගම්වල
තරඟකාරිත්වය වැඩිවීම දේශීය සමාගම්වලට
ඔවුන්ගේ කාර්යක්ෂමතාව සහ තරගකාරිත්වය වැඩිදියුණු කළ හැකිය.
තරගකාරී මිල ගණන් යටතේ පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා ලබා දීමෙන් විදේශ ආයෝජන පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලැබෙයි. විදේශීය සමාගම් රටක ආයෝජනය කරන විට, ඔවුන් බොහෝ විට නව නිෂ්පාදන, තාක්ෂණයන් සහ ව්‍යාපාර ආකෘති හඳුන්වා දෙන අතර එමඟින් පාරිභෝගික තේරීම්, ගුණාත්මකභාවය සහ භාණ්ඩ හා සේවා මිල අඩු කරයි.
විදේශ ආයෝජන රටක ගෙවුම් ශේෂයට ධනාත්මක ලෙස බලපෑමක් කරයි. රටක විදේශ විනිමය සංචිත වැඩි කරන අතර එමඟින් මුදල් ස්ථාවර කිරීමට සහ බාහිර බැඳීම් සපුරාලීමේ හැකියාව වැඩි දියුණු කරයි.
එක් එක් ආයෝජනයේ නිශ්චිත තත්වයන්, නියාමන පරිසරය, සත්කාරක රටේ ආයතනික ධාරිතාව සහ ප්‍රතිලාභ බෙදාගන්නා ප්‍රමාණය ඇතුළු විවිධ සාධක මත පදනම්ව විදේශ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ බෙදා හැරීම වෙනස් වේ. ජවිපෙ කියන විදිහට බාගෙට බාගයක් වන්නේ නැත. නමුත් සාමාන්‍යයෙන්, ශක්තිමත් සාකච්ඡා එකඟතාවලින් ආයෝජකයාට වඩාත් හිතකර කොන්දේසි ලබා දීම මෙන්ම ප්‍රතිලාභවලින් සැලකිය යුතු කොටසක් රටට ලබා ගැනීමට ආණ්ඩු සමත්විය යුතුය. ආකර්ශනීය ආයෝජන පරිසරයන් සහ ශක්තිමත් කේවල් කිරීමේ හැකියාව ඇති සත්කාරක රටවලට වඩාත් සමබර කොන්දේසි සාකච්ඡා කිරීමට හැකිය.
එහෙත් ලංකාව වැනි අවදානම් සහිත පරිසරයක හෝ කර්මාන්තවල ආයෝජනය කිරීමේදී ආයෝජකයින් සාමාන්‍යයෙන් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරයි. එවැනි අවස්ථාවන්හිදී, ආයෝජකයා ඉහළ අවදානම් නිරාවරණය සඳහා වන්දි ගෙවීම සඳහා ප්‍රතිලාභවලින් විශාල කොටසක් ඉල්ලා සිටිය හැක. ආයෝජකයන් පැමිණෙන විට රටේ අරගල වැඩවර්ජන වැනි දෑ පවතින විට ඉන් සිදුවන්නේ රටට අවාසියක්ම පමණි.
විදේශීය ආයෝජකයින්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සත්කාරක රටවල් රෙගුලාසි සහ නීතිමය රාමු සකස් කළ යුතුය. සත්කාරක රටවල් විදේශීය ආයෝජකයින්ට නීතිමය ඇපකර සහ ආරක්ෂාව ලබා දීම විය යුතුය. සාධාරණ වන්දි ගෙවීමකින් තොරව අත්පත් කර ගැනීමට හෝ ජනසතු කිරීමට එරෙහිව සහතික කිරීම්, වෙනස් කොට සැලකීමට එරෙහිව ආරක්ෂාව සහ ආරවුල් ඇති වූ විට නීතිමය පිළිසරණ සහතික කිරීම් මේවාට ඇතුළත් විය හැකිය. ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ආයෝජන ගිවිසුම්, ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂණ ගිවිසුම් හෝ ජාතික නීති හරහා ආයෝජන ආරක්ෂාව සැපයිය හැකිය. ආරවුල් විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර බේරුම්කරණ විශේෂිත වාණිජ අධිකරණ සේවා තිබිය යුතුය.
විශේෂයෙන් තාක්ෂණය, පර්යේෂණ හෝ නිර්මාණාත්මක කර්මාන්තවල නියැලී සිටින අය සඳහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. නියාමන විනිවිදභාවය සහ වෙනස්කම් නොකිරීම විය යුතුය. දේශීය ආයෝජකයින් හෝ වෙනත් රටවල ආයෝජකයින් හා සසඳන විට විදේශීය ආයෝජකයින්ට අසාධාරණ ලෙස අවාසි නොවන බව සහතික කරයි.
එමෙන්ම විදේශීය ආයෝජකයින්ට ඔවුන්ගේ ලාභ, ලාභාංශ, ප්‍රාග්ධනය සහ ආයෝජන විකිණීමෙන් ලැබෙන ආදායම නැවත තමන්ගේ රටට ගෙන ඒමට ඉඩ සලසන රෙගුලාසි තිබිය යුතුය. රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම, තිරසාර සංවර්ධනය සහතික කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාරිසරික සහ සමාජ රෙගුලාසි ඇත. නමුත් ඒවා විදේශීය ආයෝජනයන්ට කරන බලපෑම සීමා කළ යුතුවීම ද අවශ්‍යතාවයකි. මේ රෙගුලාසි සහ නීති රාමු රටින් රටට සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. මේ අනුව රටට වඩාත්ම ගැලපෙන සේ මේවා ශෝධනයකර සකසා ගැනීම ආයෝජන කැඳවීමට පහසුවේ.
ශ්‍රී ලංකාවට ඇති අවස්ථා
කොහොම නමුත් විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමටත් ඉන් විශාල ප්‍රතිලාභ ලැබීමටත් ශ්‍රී ලංකාවට හැකියාව ඇත. විදේශීය ආයෝජකයින් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කළ හැකි සාධක විශාල ප්‍රමාණයක් රට සතුව ඇත.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, දකුණු ආසියාවේ දොරටුවක් බවට පත්කරන අතර කලාපයේ ප්‍රධාන වෙළඳපොල වෙත ප්‍රවේශය ද සපයයි. රටේ වරාය සහ යටිතල පහසුකම් වෙළඳාම සහ ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කළ හැකි අතර, සැපයුම්, ප්‍රවාහනය සහ සම්බන්ධතා සඳහා පහසු අවස්ථා ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, මූල්‍ය, සංචාරක සහ සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍රවල හොඳින් උගත් නිපුණ ශ්‍රම බලකාය, රටේ ශක්තිමත් අධ්‍යාපන ක්‍රමය සහ ඉංග්‍රීසි ප්‍රවීණතාවය දැනුම පදනම් කරගත් කර්මාන්ත සහ සේවා සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත්කර ගැනීමේ හැකියාව තිබේ.
ශ්‍රී ලංකාව ඛනිජ, ධීවර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු ස්වභාවික සම්පත්වලින් පොහොසත්ය. රටේ විවිධ හා දර්ශනීය භූ දර්ශන, සංස්කෘතික උරුමයන් සහ ඓතිහාසික ස්ථාන සංචාරක ව්‍යාපාරය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කරයි.
විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විවිධ ආයෝජන ප්‍රවර්ධන ප්‍රතිපත්ති සහ දිරිගැන්වීම් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. බදු සහන, තීරුබදු නිදහස් කිරීම්, විධිමත් ක්‍රියා පටිපාටි සහ විශේෂ ආර්ථික කලාප ඇතුළත් වේ. ආයෝජන මණ්ඩලය (BOI) ආයෝජකයින්ට සහාය සහ පහසුකම් සපයන අතර ආයෝජන අනුමත කිරීම් සඳහා එක් නැවතුම් මධ්‍යස්ථානයක් ලබා දෙයි. එය තවදුරටත් පුළුල් කරමින් නව ආයතනයක් බිහිකිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සහ විදුලිබල උත්පාදනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇත. මෙම වර්ධනයන්ගේ සම්බන්ධතාවය, සැපයුම් සහ සමස්ත ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කරන අතර, එය විදේශීය ආයෝජකයින් සඳහා වඩාත් ආකර්ෂණීය කරයි.
කෙසේ වෙතත්, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ එයින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යම් යම් අභියෝග තවදුරටත් තිබේ. ජවිපෙ ඉන්දු ඇමරිකානු අක්ෂයට සමීප කරවීම සැලකිය හැක්කේද මේ අභියෝගය ජය ගැනීමේ වැදගත් කටයුත්තක් ලෙසය. මන්ද විදේශ ආයෝජනයන්ට තිබු බරපතලම බාධාව වුයේ ජවිපෙ ආදී වාම ජාතිකවාදීන්ගේ දේශපාලන අවස්තාවාදීකම මත කෙරුණු විරෝධය නිසාය.
කොහොම නමුත් පැවැති රජයයන් විසින් ක්‍රියාත්මක කළ ජාතිකවාදී පටු ප්‍රතිපත්ති නිසා ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධයෙන් මේතාක් කල් සිටියේ දුර්වල තැනකය. නමුත් මේ තත්වය වෙනස්කර වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. පරිපාලන ක්‍රියා පටිපාටි විධිමත් කිරීම, නිලධාරිවාදය අඩු කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීම වඩාත් ආයෝජක හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ පියවර ගෙන ඇත.
මෙහිදී දේශපාලන ස්ථාවරත්වය සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් පවත්වා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් 2048 ඉලක්කය සහිතව මෙම රාමුව ඉදිරිපත්කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාව යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රගතියක් ලබා ඇති අතර, වැඩිදියුණු කිරීම සිදුවෙමින් තිබේ. ප්‍රවාහනය, බලශක්තිය සහ ඩිජිටල් සම්බන්ධතාව ඇතුළු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩ ආයෝජනය ආර්ථික වර්ධනයට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.
විදේශ ආයෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රම බලකායේ කුසලතා වැඩි දියුණු කිරීම, විශේෂයෙන් තාක්‍ෂණය සහ නවෝත්පාදන වැනි නැගී එන අංශවල වැදගත් වේ. අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ආයෝජනය කිරීමෙන් කුසලතා පරතරය පියවා රටේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා පියවරයන් ගණනාවක් දැන් ක්‍රියාත්මකය.
විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී ශ්‍රී ලංකාව අසල්වැසි රටවලින් තරගයට මුහුණ දෙන අතර සංචාරක, සේවා සහ නිකේතන කර්මාන්ත වැනි සංසන්දනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඊට මුහුණ දීමට පියවර ගෙන ඇත. සමස්තයක් වශයෙන්, නිවැරදි ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සමඟින්, ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ එයින් ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉතා ඉහළ හැකියාව ඇත.
මේ ආදි කරුණ මත ජවිපෙ කියන තරම් මේවා සරළ නැත. එමෙන්ම ජවිපෙ දැනුමේ තරම ද දැන් පැහැදිලි විය යුතුය. වත්මන් ජනාධිපතිවරයා රටට ඇති සියළු අවස්ථා සහ හැකියාවන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට දරන වෙහෙස ගැනත් පැහැදිලි විය යුතුය. ඒ කඩාකප්පල් කිරීමට යම් හෝ පාර්ශ්වයක් වෙර දරනවා නම් ඒ රටට කරන බරපතලම ද්‍රෝහිකම වෙනු ඇත.

………ජයතුංග බණ්ඩාර……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *