ජාජබයේ ලිබරල් වෙස්මුහුණ අනුර අතින් ගැලවී ගියේය

0

මේ වසරේ මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ ජනාධිපතිවරණයක් බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන්කර ඇති බවත් පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් රටට ප්‍රකාශයක් කර සිටියා. එමෙන්ම පසුගියදා පැවැති කැබිනට් හමුවේදී මේ වසරේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා සූදානම්වන ලෙසත් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවක් ද මාධ්‍ය මඟින් හෙළි කළා. මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ “අවුරුදුත් කාලා, වෙසක් බලල ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න” කියල තමයි මාධ්‍ය කිවුවේ.
කොහොම වුණත් එළඹෙන සමය, මැතිවරණ සමයක් බව පැහැදිලියි. නමුත් පහුගිය දවස්වල විපක්ෂයේ කණ්ඩායම් කරපු යම් යම් ප්‍රකාශ තුළින් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් ද මහ මැතිවරණයක් ද කියන දෙගිඩියාවෙ තමයි කවුරු කවුරුත් කැම්පේන් කළේ. හැබැයි ඒ සැකසංකා සියල්ලම දුරු කරල ජනාධිපතිවරණය නිශ්චිතවම පැවැත්වෙනව කියල ජනාධිපතිවරයා රටට සහතිකයක් දීලා ඉවරයි.
මේ වෙන කොට හුඟක් අය කුමන හෝ මැතිවරණයක් වෙනුවෙන් මුහුණ දෙන්න සුදානමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය දැන් සෑහෙන කාලයක ඉඳන් වැඩ කටයුතු කරමින් ඉන්න බවත් දකින්න තිබුණා. ඒ විතරක් නෙමෙයි සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගය කරන කරන දේ කරමින් මැතිවරණ ක්‍රියාවලිය ඇතුළෙ අපිත් ඉන්නව වගේ මැසේජ් එකක් දෙන්න උපරිමය ට්‍රයි කරමින් තමයි ඉන්නේ.
කොහොම වුණත් පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මකයි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අගාධයට වැටී තිබුණු රටක්, යන්තමින් නැගී සිටින මොහොතක නැවත රට ඉස්සරහට යනවද ආපස්සට ගෙනියනවද කියල තීරණය කෙරෙන මැතිවරණයක් තමයි මේ පැවැත්වෙන්න සුදානම් කරල තියෙන්නේ. ඒ කියන්නේ මේ මැතිවරණය එක් පළාතකට, එක් දිස්ත්‍රික්කයකට, එක් ගමකට අදාල මැතිවරණයක් නෙමෙයි, මුළු රටටම හැම පුරවැසියකුටම දැඩිව බලපාන මැතිවරණයක්. ඒ නිසා මේ මැතිවරණය දිහා දකුණේ ජනතාව වගේම උතුරේ ජනතාව තුළත් තියෙන්නෙ අන් කවරදාටත් වඩා අවධානයක්.
ඒ වගේම මෙවර කවර මැතිවරණයක් පැවැත්වුවත් ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ බලාපොරොත්තු තියාගෙන ඉදිරිපත් වෙන කණ්ඩායමට දකුණේ බලය විතරක් තක්සේරු කරගැනීම ප්‍රමාණවත් නෑ. දකුණ වගේම උතුරත් දිනාගැනීම එළඹෙන මැතිවරණයේදී තීරණාත්මක සාධකයක්. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවේ ජාතික තලයේ මැතිවරණයන්හිදී ජය තහවුරු කරගැනීම වෙනුවෙන් දකුණේ බලය පමණක් ප්‍රමාණවත් සාධකයක් වුණේ නෑ. දකුණ වගේම උතුර හා නැගෙනහිර ඡන්ද මැතිවරණයේ ජයග්‍රහණය තීරණය කරන තීරණාත්මක සාධකයක්. එය යම් තරමකට වෙනස් වුණේ පසුගිය මැතිවරණයේදී.
ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය දකුණේ ජයක් වුණා. එය සුළු ජන කොටස්වලට එරෙහි වුණු මුළුමනින්ම ජාතිවාදී මෙහෙයුමක් වීම නිසා ඇතිවූ තත්වයක් වුණා. නමුත් එවැනි අවස්ථාවක් දැනට මෙවර නැහැ.
කොහොම නමුත් මේ කියන තීරණාත්මක සාධකය හසුරුවන්න අතීතයේ මෙන්ම අදත් ජාතිවාදය හරි අපූරුවට ක්‍රියාත්මක වෙන බවත් දකින්න තියෙනවා. මේ මොහොතේ මැතිවරණ ක්‍රියාවලියේ ක්‍රියාකාරී පක්ෂයක් වන ජාතික ජන බලවේගය පහුගියදා ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් රැස්වීම් මාලාවේ අවස්ථාවන් දෙකක් කිලිනොච්චිය හා වව්නියාව කියන දිස්ත්‍රික්ක දෙකේ පැවැත්වූවා.
මේ රැස්වීම් අතර වව්නියාව දිස්ත්‍රික් සමුළුව හරි සුවිශේෂීයි. වව්නියාව දිස්ත්‍රික්
රැස්වීමේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අපූරු කතාවක් කියනවා. ඒ තමයි “ෆෙඩරල් දෙනව කියල අපි ඡන්දෙ ඉල්ලන්නේ නෑ. 13+ දෙනව කියල අපි ඡන්දෙ ඉල්ලන්නේ නෑ” කියලා. මේ කතාව තීරණාත්මකයි කියන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි. අනුර කුමාර දිසානායක වව්නියාවේදී දෙමළ ජනතාව ඉස්සරහ මේ කතාව කියන්නේ ඇත්තටම දෙමළ ජනතාවට නොවන නිසා. අනුර දෙමළ ජනතාව ඉස්සරහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ දෙමළ ජනතාව තමන්ගේ අයිතීන්, ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ඉල්ලන්න එපා. අපි ඒව දෙන්නෙ නෑ කියලා. මේක ඇත්තටම උතුරේ ජනතාවට නෙමෙයි දකුණේ ජනතාවට දිපු සිග්නල් එකක්. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයත් දෙමළ ජනතාව කාලාන්තරයක් තිස්සේ දුක්විඳින, පීඩාවිඳීන තත්වයන් විසඳන්න ඔවුන් ඉල්ලන දේශපාලන විසඳුම දෙන්න සූදානමක් නෑ. “අපෙන් මුකුත් ඉල්ලන්න එපා. අපි ඔයාලට මුකුත් දෙන්නෙ නෑ” කියන පණිවිඩය උතුරේ ජනතාවට දෙන ගමන් ජාජබය දකුණේ සිංහල බෞද්ධ ජනතාවට පණිවිඩයක් දෙනවා “ඔයාල බයවෙන්න එපා දෙමළ ජනතාවට ඉල්ලන අයිතිය අපි එයාලට දෙන්නෙ නෑ. ඒ නිසා ඔයාලගෙ ඡන්දෙ බය නැතුව අපිට දෙන්න” කියලා.
පහුගිය කාල වකවානුව පුරාම මැතිවරණ වේදිකාවල මේ ජාතිවාදය නින්දිත විදිහට පාවිච්චි වුණා. රාජපක්ෂවරු ඇතුළු ජාතිවාදී කණ්ඩායම් විසින් දකුණේ තමන්ගේ බලය රැකගත්තේ ජාතිවාදය, ආගම්වාදය පාවිච්චි කරල. මේ කියන තත්වය රාජපක්ෂවාදී කඳවුරේ පමණක් නෙමෙයි වාමාංශිකයි කියන ජවිපෙ පවා තිබුණු තත්වයක්. ජවිපෙ හැමදාම බලය බෙදීමට විරුද්ධ අන්තය නියෝජනය කළේ මේ වෙනුවෙන් සමාජවාදයේ මුල් ගුරුවරුන්ගේ ප්‍රකාශයන් පවා විකෘති කරමින් ජවිපෙ අලුත් සූත්‍රයන් නිර්මාණය කළා. රෝහන විජේවීරගේ
“දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” යනුවෙන් නිකුත් වූ ප්‍රකාශනය පදනම් වෙන්නේ ඒ මත. එහිදී සුළු ජාතිකත්වයන්ට ස්වයං තීරණය සඳහා අයිතියක් තිබෙන බව ප්‍රතික්ෂේප කෙරුණා. මේ ඉගැන්වීම ප්‍රතිපත්තියක් ලෙස ජවිපෙ අද වන තුරුත් රකිනවා. අනුරගේ වව්නියා කතාවෙන්ද එළියට පැන්නේ ඒක.
මේ අනුව මෙවර ජාතික ජන
බලවේගයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම තුළ සිංහල ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමේ ක්‍රියාවලිය සිදු වන බව පැහැදිළියි. වව්නියාව දිස්ත්‍රික් සමුළුවේදී දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරමින් අනුර කුමාර බලය බෙදීමට තමන් මැදිහත් නොවන බව පවසන අතරතුර, දෙමළ ජනතාව වෙනුවෙන් තමන් මැදිහත්වන්නේ දෙමළ පුරවැසියෙකුට රජයට දෙමළෙන් ලියුමක් යැවීම, පොලිසියට ගොස් දෙමළ භාෂාවෙන් පැමිණිල්ලක් දැමීම වැනි කාරණා වෙනුවෙන් බව ප්‍රකාශ කරනවා. මේ ප්‍රශ්න නම් දැනටත් සෑහෙන දුරට විසඳලා අවසන්.
උතුරු, නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව භාෂා හරඹ මඟින් විසඳිය හැකි සරළ දෙයක් නෙමෙයි කියන එක ජවිපෙට තවමත් තේරෙන්නේ නැහැ. එසේත් නොවේ නම් ඔවුන් දකුණේ ඡන්ද ගොඩ බලාපොරොත්තුවෙන් එය නොතේරුණා සේ සිටිනවා.
එහෙත් ජවිපෙ, ජාතික ජන බලවේගය නමින් ගොඩ නැඟූ සංවිධානය මුල සිටම පෙන්නුම් කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් වෙත ගමන් කරන් බවයි. ජවිපෙ පැරණි වාම ජාතිකවාදය අත්හර ඇති බවයි. නමුත් ඒක පටට් බොරුවක් බව දැන් ජවිපෙ නායකත්වය විසින්ම පෙන්වා දෙන තැනට ඇවිත්. ජාජබයේ අනාගත අගමැතිනි වෙතැයි කියන සහ ලිබරල් අන්තයේ නායකත්වය හොබවන හරිනි අමරසූරිය විසින් මෑතක දී පැහැදිළිවම දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර සිටියේ 13 සංශෝධනය ක්‍රියාත්මක විය යුත් බවත් ඉන් එහා ගිය වැඩපිළිවෙලක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය බවයි. එමෙන්ම මෙම සාකච්ඡාවේදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගය තුළ මේ සම්බන්ධයෙන් විවාදයක් පවතිනවා කියලයි. එය විය හැක්කක් මෙන්ම විය යුත්තක්. මොකද මේ ප්‍රශ්නය හොඳම විදිහට විසඳාගත යුතු නිසා. කොහොම වුණත් හරිනිගේ ප්‍රවේශය ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගයන විරුද්ධ පාර්ශ්වයන් පවා ඉහළින් අගය කළා.
හරිනිගේ මෙම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු මහා කළබලයකින් මාධ්‍යයට අදහස් දැක්වූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කිව්වේ කිසිසේත්ම 13 විසඳුමක් ලෙස පිළිනොගන්නා බවත් ඊට ඉඩ නොදෙන බවත්ය. ඒ අතර රජයේ රූපවාහිනී නාලිකාවක් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රූපවාහිනී සංවාදයක් සංවිධානය කර තිබුණා. මේ සඳහා ආරාධනා කිරීමට නියමිතව තිබුණේ හරිනි අමරසූරියට. කොහොම වුණත් මේ සඳහා ඇයව සම්බන්ධ කරගැනීමට අදාල සංවිධායකයින්ට හැකිවුණේ නැහැ. මෙම රූපවාහිනී සංවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ වෙනත් කිසිවෙකු සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් අදාල නිෂ්පාදක කණ්ඩායම වෙත කරුණු දක්වා ඇති ජවිපෙ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කර තිබුණද ජවිපෙ මතය වන්නේ 13 වැනි සංශෝධනය උගුලක් බැවින් මෙම සංවාදයට සහභාගී නොවන බවයි. මේ සිදුවීමෙන් පසුව ජවිපෙ, හරිනිට මාධ්‍ය වාරණයක් දැම්මා ද යන සැකයත් ඇති වුණා. මොකද ඇය කාලයක් යනකම් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ මාධ්‍ය තුළ පේන්න හිටියෙ නැති නිසා.
කොහොම වුණත් මේ සිද්ධිය ජවිපෙ හා ජාජබය අතර අභ්‍යන්තර මත ගැටුම කරළියට ආපු අවස්ථාවක්. මේ අතර මෙම තත්වය සම්බන්ධයෙන් සමාජ කතාබහක් නිර්මාණය වෙමින් තිබියදී ඒ ආසන්න කාලයේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ 13+ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත්, ජාතික ගැටළුව විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ජවිපෙ හා මාලිමාවේ දෙබිඩි රංගනයන් එළියට ආවේ ආන්න එහෙමයි.
අතීතයේ වගේම වර්තමානයේත් ජවිපෙ, ලිබරල්වාදී ජාතික ජන බලවේගය නමින් පෙනී සිටියත් මේ විදහා දක්වමින් සිටින්නේ අන් කවරක්වත් නොව බලය උදෙසා සිය ජාතිවාදී පැවැත්ම පමණයි. දශක ගණනාවක් පුරා උතුරේ දුක් විඳි මිනිසුන්ගේ දේශපාලන ගැටළුව ඔවුන්ට අදාල නැහැ.
කොහොම වුණත් අනුරගේ මේ ප්‍රකාශත් එක්කම උතුරින් පණිවිඩයක් ලැබිල තියෙනවා. ඒ උතුරේ දේශපාලනඥයෙකු වන විග්නේෂ්වරන් හරහා. විග්නේෂ්වරන් කියා සිටින්නේ මෙවර උතුරේ බලය රනිල්ට ලබාදීමට කටයුතු කළ යුතු බවයි. මෙහිදි පැහැදිළිවම විග්නේෂ්වරන් කියා සිටියේ උතුරේ ජනතාව කිසි විටෙක අත්හදා බැලීම් කිරීමට සූදානම් නෑ කියලයි. විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය පදනම් වන්නේ පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයන්ට සාපේක්ෂව.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා
ප්‍රකාශ කර සිටියේ පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදීමට තමන් කටයුතු කරන බවයි. පසුගියදා “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ “…අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලු‍වක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලු‍වක් නැහැ…” යනුවෙනි.
මේ අනුව වත්මන් ජනාධිපතිවරයා දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවට ද එක සේ පිළිගත හැකි විසඳුමක් ලබාදීමට සූදානම් බව පැහැදිලියි. නමුත් දකුණේ ජාතිවාදය කරපින්නා ගත් ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින ඊනියා බලවේග තවමත් මේ සම්බන්ධයෙන් අවසන් එකතාවයකට හෝ පැමිණ නැති බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් අවසන් වරට පැවැත්වුණු සර්ව පාක්ෂික සාකච්ඡාවේදීත් පැහැදිලි වුයේ එයය. අනුර කුමාරගේ වව්නියා සමුළුවේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නෙත් එයයි.
උතුර ජනතාවට සැබැවින්ම ඇත්තේ තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට ඇති නොහැකියාවේ ගැටළුව පමණක් නොවේ. මේ රටේ උරුමකරුවන් වන ජාතියක් ලෙස අනන්‍යතාවය ඔවුන්ට අවශ්‍යය. ජාතියක් විදිහට ඉටුකරගත යුතු ඔවුන්ගේ අභිලාශයන් තිබෙනවා. වෙනස් කොට නොසැලකීමට ලක් නොවී සිටීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඔවුන්ට භාෂා ගැටළුවෙන් එපිටට ගිය දශක ගණනාවක් මුළුල්ලේ සමහර විට සියවස් ගණනක් තිස්සේ පීඩාවට පත්වෙමින් මුහුණ දුන් ගැටළුවලින් මීදීමේ වුවමණාව ඔවුන්ට තිබෙනවා. දකුණේ ජාතිවාදී පක්ෂ මෙය අවබෝධ කරගත යුතුයි. එය ජාතිවාදයෙන් ඔබ්බට ගිය මානුෂීයවාදී තලයේ සාකච්ඡාවට බඳුන් විය යුතු සංවේදි කරුණක් බව ද අවබෝධ කරගත යුතුව තිබෙනවා. පීඩිත දෙමළ ජනයාගේ ප්‍රජාතන්තවාදී අයිතීන් තහවුරු කළ යුත්තේ භාෂා හරඹවලින් නොවේ, ප්‍රායෝගික
විසඳුම්වලින්. සැබෑ දේශපාලනික ක්‍රියාවලියකින්. එසේ නොවන තාක් කල් ජාතිවාදයෙන් මිදුණු ජාතිවාදී ගැටුම්වලින් තොර සාමය සන්හිඳියාව පැලපදියම් වුණු ඒකීය ශ්‍රී ලංකාවක් තවදුරටත් පවත්වාගෙන යෑම යම් දිනෙක අවසන් වෙනු ඇතිය.

……..රිද්ම අනුරාධ ගමගේ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *