ජාතික ජාතික කියා සුදු අලියෙකු නඩත්තු කළ යුතුද?

0

ලංකාවේ ගුවන් සේවාව කියූ සැනින් එය මෙරට අභිමානයේ සංඛේතයක්ව ගෞරවයට පාත්‍රවිය යුත්තක් නමුත් අද එය ලංකාවේ කිරි සප්පයෙකුටත් වේදනාවක් ඇතිවන මාතෘකාවක් වීම අරුමයක් නොවේ. ඇයිද යන්න කීමට වචන නාස්ති කළ යුතු නැත්තේ එය ලංකාව සතු තවත් සුදු අලියෙක් නොව සුදු අළි රෑණක් බවට පත්ව ඇති බැවිනි. දැන් මේ ජාතික ධනය විනාශ කරන සුදු අලි රෑණේ තරම හොඳටම පෙන්නුම් කරමින් තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා රජයට ලංකා බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාර සහතික කළ ණය වලින් ඩොලර් මිලියන 105 ක්, ලංකා බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාරයේ
සහතික කළ ණය රුපියල් බිලියන 12.9 ක්, මහජන බැංකුවට ගෙවිය යුතු
භාණ්ඩාගාරයේ ඇපකර ණයවලින් ඩොලර් මිලියන 105 ක්, මහජන බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාරයේ සහතික කළ ණය රුපියල් බිලියන 18.5 ක් යන ණය මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තැන්පතුවල ඇති වාරික අගය 2019 දී නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 175,ක මුදල, අවුරුදු 5 ක ජාත්‍යන්තර බැඳුම්කරයකට සම්බන්ධ වේ. මෙම ණය 2024 ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිතව ඇත. තවද, එයාර්බස් එස්ඊ සමාගමට එරෙහිව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් පවරා ඇති අත්තනෝමතික නඩුවට පක්ෂව තීන්දුවක් ලැබුණහොත් එයින් ලැබෙන ආදායම රජයට පැවරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මේ තීරණය ගත්තේ ජාතික ගුවන් සේවය නැවත නැවත ණය මත යැපෙන්නට ඉඩ හැර ජාතික ධනය නිකරුනේ විනාශයට පත්වීමට ඉඩ හැරීම වලක්වා අර්ථයක් ඇති පියවරකට යෑම වෙනුවෙනි. මෙම තීරණය අනුව ජාත්‍යන්තර බැදුම්කර ප්‍රමාණය හැර අන් සියලු‍ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය විසින් පවරාගැනීමක් සිදු කිරීමෙන් පසුව නැවත අලාභයක් මත පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණ ගැනීමට අවස්ථාව හිමි වේ.
ඕනෑම රාජ්‍ය ව්‍යවසායයක් මෙන්ම එයාර් ලංකා ගුවන් සේවය ආරම්භයේදී එහි සේවය ප්‍රශස්ත මට්ටමක පැවතින. එතෙක් පැවති එයාර් සිලෝන් ගුවන් සමාගම අවලංගු කර එයාර් ලංකා යනුවෙන් එයට අලු‍ත් නමක් තැබූ ජේ. ආර්. ජයවර්ධන එහි ප්‍රධානියා ලෙස කපිතාන් රඛිත වික්‍රමනායක පත් කළේය. ගුවන්යානා පැදවීමෙහි මනා පළපුරුද්දක් තිබුණු නමුත් රඛිත ගැන සැක පහළ කළ සිංගප්පූරුවේ හිටපු අගමැති සුප්පයියා ධනබාලන් ගුවන් නියමුවකු ගුවන් සමාගමක් පාලනය කරන්නේ කෙසේ දැයි ප්‍රසිද්ධියේ විමසුවේය. එහෙත් රඛිත වික්‍රමනායක එයාර් ලංකා ගුවන් සමාගම ආසියාවේ හොඳම ගුවන් සේවයක් බවට පත් කිරීම සඳහා වැඩ කරන්නට පටන් ගත්තේය. නමුත් රාජ්‍ය සේවයේ ආවේනික දුර්වලතා වලට මුහුණ දෙමින් එය ලාබ ලබන සේවාවක් ලෙස පවත්වාගෙන යෑම අභියෝගයට ලක් විය.
ඊන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමයේ එයාර් ලංකා ගුවන් සමාගමේ කොටස් එමිරේට්ස් ගුවන් සමාගමට පවරා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ සේවාවක් ලෙස වඩාත් ලාබදායක සේවාවක් බවට පත් කිරීමට පියවර ගත්තේය. එම ගුවන් සමාගමේ නම ශ්‍රී ලංකන් එයාර් ලෙස වෙනස් කිරීමද කරන ලදී. එහෙත් පසුව එම කොටස් පැවැරුම් කාලය අවසන් සමයේදී ඒ යළි දීර්ග නොකර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම සමාගම සමග ඇතිකරගත් පුද්ගලික ආරවුලක් නිසා එමිරේට්ස් සමාගම සතුව තිබූ කොටස් ආපසු පවරා ගත්තේය. එය පවරා ගැනීමක් නොව පැහැර ගැනීමකි. එමෙන්ම එය රාජපක්ෂ පවුලේ බූදලයක් වන තැනට පත්කර ගත්තේය. ඒවන විට ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් 2011 වනවිට නැවතත් අධික පාඩු ලබන ආයතනයක් බවට පත්විය. 2013 දී ශ්‍රී ලංකන් සභාපති, ජනපතිගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ, ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලය හා ශෂීන්ද්‍ර රාජපක්ෂද එක්ව ඩොලර් බිලියන 2.3ක් නොහොත්, රුපියල් බිලියන 300කට අධික ගණුදෙනුවකට මුළ පිරුවේ ් 330 යානා 6ක් , ් 350 යානා 4ක් මිලට ගැනීමටත්, තවත් ් 330 යානා 4ක් කල්බදු ක්‍රමය යටතේ ගුවන් සේවය වෙත එකතු කිරීම සමගය. මේ බර දරා ගැනීමට නොහැකි නිසා ගුවන් සමාගම ක්‍රමයෙන් වැටෙන්නට පටන් ගත්තේ මේ අතපෙවීම් හා අක්‍රමවත් ගණුදෙනු හරහාය. දැන් ලංකාවේ විශාලතම ණය ගැත්තා බවට පත්ව ඇත.
විනාශයේ තරම
මුලින්ම ශ්‍රි ලංකන් ගුවන් සේවාවෙ පාඩුව කොතරම්ද යන්න විමසා බැලිය යුතුය. වර්තමානය වනවිට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ලබා ඇති පාඩුව රුපියල් බිලියන 594.4කි. එය රුපියල් මිලියන වලින් නම් පන්ලක්ෂ අනූහතරදහස් හාරසීයකි (මිලියන 594,440.00) කි. මේ සියල්ල ලංකාවේ ජනතාව විසින් බදු ලෙස ගෙවිය යුතු මුදල් හෝ ගෙවා දැමූ මුදල්ය. ගුවන් සේවාවක් ජාතික වශයෙන් නඩත්තු කිරීමට මේ තරම් ධනයක් වියදම් වන්නේද යන්න දරුවකුට වුවද තේරුම් ගත හැකි අතර මේ තරම් පාඩුවක් අඛන්ඩව සිදුවීම පුදුම සහගතය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ් 330 – 300 ගුවන් යානා, 06ක්, ් 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට සහ තවත් ් 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තීන්දුකොට තිබුණි. එමෙන්ම ් 330- 300 ගුවන් යානා 06ක් විකුණා නැවත ආපසු බදුපදනම මත, මිලදී ගැනීමට ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීන්දුකොට තිබුණි. මෙම තීන්දු තීරණ, ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ගෙන තිබීම මෙහි බරපතල ගණයේ වංචාවේ තවත් පැතිකඩකි. 2020/2021 යන වර්ෂවල ලැබීමට නියමිතව තිබූ ් 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට ් 321 නියෝ සහ ් 330 නියෝ ගුවන් යානා මිලදී ගැනීමට සමාගම හා එස්. ඒ. එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පවත්වා තිබුනි. මෙය සිදුවන අතරතුර එම වර්ෂයේ ඔක්තෝබර් මස 03වැනි දින වනවිට ගුවන් යානා ලබා ගැනීමේ පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2528.12ක (ඇමරිකානු ඩොලර් මිලියන 19.21) මුදලක් අදාළ සමාගම වෙත ගෙවා දැමීමට ගුවන් සමාගම කටයුතු කළේය. කෙසේවුවද 2016/2017 යන වර්ෂයන් වලදි ් 350-900 ගුවන් යානා 04ක් ද බදු පදනම යටතේ ලබා ගැනීමට කටයුතු සිදු කරන්නේ මේ අතරතුරය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන 16,924.36 මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි.
මේ සියලු‍ මිළදී ගැනීම් හා බදු පදනම යටතේ ලබාගත් ගුවන් යානා සදහා විටෙක බදු මුදල් ගෙවීම්ද ගුවන් යානා සැපයීම සිදු නොකිරීම යටතේ අය කරගත යුතු මුදල් අය කර නොගෙන නිදහස් කිරීම් හා ඥාතී පදනම යටතේ ගේවීම් සිදුකිරීම් ආදී කප්පරක් වංචාවන් සිදුව තිබේ.
මස්සිනා ගත්ත සැප
ශ්‍රී ලංකන් ගුවන් සේවය සුදු අලියකු බවට පත්වීමට තවත් ප්‍රධාන හේතුවක් ලෙසට අයථා මුදල් පරිපාලනය සඳහන් කළ හැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය ශ්‍රි ලංකන් ඇද දැමූ තැන අතිශය කනගාටුදායකය. ඒ වෙනවිට වයස අවුරුදු 70ට ආසන්න වෙමින් සිටි වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය කෙළිලොල් තරුණයකුට සමාන විය. අවම අධ්‍යාපන සුදුසුකමක්වත් නොතිබූ බව කියන ඔහු, සිය කායික හා මානසික සුවය සඳහා ගුවන් සේවා මුදල් වියදම් කළේය. මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි අලාභයක් සිදුවී ඇති බව බරපතළ වංචා හා දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසම සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව්වී තිබූ බව වාර්තා වේ.
වර්ෂ 2010 සිට 2015 දක්වා එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිට ඇත. ගුවන් යානාවල සේවය කරනු ලබන අයට ගෙවනු ලබන කාර්යක්ෂම දීමනාව ලෙස රුපියල් ලක්ෂ 14 1/2ක මුදලක් මාසිකව ඇයට ගෙවා තිබුනි.

මීට අමතරව හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් සපයා තිබූ මර්සිඩිස් බෙන්ස් රථයක් හා සුපිරි ප්‍රාඩෝ රථයක් පාවිච්චි කරමින් සිටින අතරතුර ගුවන් සමාගමේ මුදලින් තවත් කෝටි 1 1/2ක් වැය කර නවීන මෝටර් රථයක් මිලදී ගෙන තිබුනි. එසේම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, නිලධාරීන්, දේශපාලනඥයන් හා විශේෂිත වූ සේවක, සේවිකාවන් නිතර විදේශ සංචාරවල යෙදී ඇති අතර, ඒ සඳහා ගුවන් සේවයේ මුදල් වැය කළේය. උදාහරණයක් වශයෙන් දේශපාලනඥයෙක් ඇතුළු කීප දෙනෙක් එතෙර ගුවන් කරණම් සංදර්ශනයක් නැරඹීමට යාම සඳහා ලක්ෂ 20කට අධික මුදලක් වැය කර තිබූ බව සඳහන් වේ.
මේ අන්දමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය යනු තව දුරටත් ගුවන් සේවාවක්ම පමණක් නොව පවුලේ සහ දේශපාලන හිතවතුන්ට තම සුඛ විහරණය සදහා මුදල් පොම්ප කරන ජාතික ධනය නාස්ත කරන ස්ථානයක් බවට පත් විය.
අතිරික්ත සේවකයින්
කා දමන ජාතික ධනය

කොරේ පිටට මරේ කියන්නා මෙන් ගුවන් යානා ගුණු දෙනු වංචා, ඉහල නිලධාරීන්ගේ සුඛ විහරණයන් හා මුදල් ගසා ගැනීම් පමණක් නොව සේවක අතිරික්තයක්ද පවත්වා ගනිමින් සිදුකළ ධන විනාශය ගුවන් සමාගම මෙවැනි තැනකට ඇද දැමීමට හේතු පාදක විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා 23 ක් ඇත. මේ සෑම ගුවන්යානයකටම සේවකයන් 236 බැගින් සිටී. විශාලම ගුවන්යානයක් වුව විසිදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් නඩත්තු කළ හැකි බව සදහන් වේ. මීට අමතරව එක ගුවන්යානයක ටරදමබා ය්බාකසබට හෙවත් භූමියේ කරන ක්‍රියාකාරකම් සඳහා තවත් 15 ක් පමණ ප්‍රමාණවත්ය. ඊටත් අමතරව යානයේ නඩත්තු කටයුතු උදෙසා එක යානයකට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් 25 ක් පමණ අනුයුක්ත කළ හැකිය. අවසානයේදී එක ගුවන්යානයක් සේවකයන් 50 ට ටිකක් අඩු හෝ ටිකක් වැඩි ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි බව සරල අංක ගණිතයට අනුව හඳුනාගත හැකිය. එසේ තිබියදී එක ගුවන්යානයකට 236 ක කාර්ය මණ්ඩලයක් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ආයතනය සෑම ගුවන්යානයකින්ම අමතර 150 දෙනකුට නිකරුනේ වැටුප් ගෙවූ බවය. මේ අනුව ඥාති සංගහ හා දේශපාලන හිතවත්කම් මත නිකරුණේ විශාල ධනයක් ජාතික ගුවන් සේවාව හරහා සිදු කිරීමට මේ පාලනාධිකාරයන් කටයුතු කොට ඇත.
විගණන වාර්තාවෙන් කියන්නේ කුමක්ද?
ශ්‍රී ලන්කන් ගුවන් සේවාව සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයට අනුව විගණන වාර්තාවෙන් සදහන් කොට ඇත්තේ මෙහි අණාවරණය කර ඇති කරුණු අනුව පෙන්නුම් කරන්නේ, සමූහයට/සමාගමට අඛණ්ඩව ඉදිරියට යාමට ඇති හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක් ඇති කළ හැකි ද්‍රව්‍යමය අවිනිශ්චිතතාවයක් පවතින බවය.
රුපියල් බිලියන 594.4ක අලාභයක් සිදු කොට පවත්වාගෙන යනු ලබන මේ ගුවන් සේවාව දිනෙන් දින මේ පාඩුව වර්ධනය වන තැනකට තල්ලු‍ වීම විනා ලැබිය හැකි ලාභයක් පිළිබද සිතා ගැනීමටද නොහැකිය. මේ නිසා වර්තමාන ආණ්ඩුව විසින් ගත් තීරණය කවරක්ද? මේ සුදු අලි රෑන් නැවත නැවත පවත්වාගෙන යාම නොව මෙය ශ්‍රි ලංකා රජයට ප්‍රතිලාබයක් සහිතව පවත්වාගෙන යාමට හැකි සමාගමකට මෙහි කොටස් පවරා දීමය. ජාතික සම්පත්ය කියා මෙවැනි ආයතන නඩත්තු කිරීමෙන් සිදු ඇත්තේ ජාතියේ වළ කපා ගැනීමය. මේ පාඩ් පියවීම වෙන්වෙන් වැය කරන මුදල අද අස්වැසුම ලබා දීම වෙනුවෙන් වැය කරන මුදල මෙන් තුන් ගුණයකි. අඩුම තරමින් අස්වැසුම නිසා බඩ ගින්දරෙන් ඉන්න පවුල් ලක්ෂ 22 ක් ඒ ගින්දර හෝ නිවා ගනී. එහෙත් මේ ගුවන් සේවයට වැය කරන මුදල රටටම හෙණයක් වී ඇත. මේ මුදල් නාස්තිය දැනවත් වහාම නවතා දැමිය යුතුය.

……..කේ.පී.අයි. ප්‍රියංගනී…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *