තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි – ජනපති (ඡායාරූප)

0

ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2023” අමතමිනි.

දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දීම මෙන්ම ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරඟ කිරීමට වේදිකාවක් නිර්මාණය කර දෙමින් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රි ලංකා අංශය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

තොරතුරු තාක්ෂණ සේවා අංශයේ විශිෂ්ටතා දැක්වූ තොරතුරු තාක්ෂණ ආයතන කිහිපයක් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ, ශ්‍රි ලංකා අංශයේ සභාපති ඇලන්සෝ ඩෝල් (Alanzo Doll) මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිලධාරී මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව සම්මානලාභී සියලු දෙනා සමඟ ද ජනාධිපතිවරයා සමූහ ඡායාරූපයකට එක්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

1980 දශකයේ මුල් භාගයේදී, මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේ දී අප තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කළා. එය එම වකවානුවේ ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නොවුනත්, මට සින්ක්ලෙයාර් සමාගමේ, සින්ක්ලෙයාර් මහතා හමුවීමට අවස්ථාව ලැබුණා.

ඔහුගේ පියා ලන්ඩන් නුවර, වෙස්ට්මිනිස්ටර් නගරයේ කොන්සර්වේටිව් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිසා කොන්සර්වේටිව් පක්ෂයේ උත්සවයකදී තමයි මට ඔහුව මුණ ගැසීමට ලැබුණේ.

ඉන්පසුව පළමු සින්ක්ලෙයාර් පරිගණක අපේ රටේ පාසල්වලට ගෙනාවා. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පරිගණක සහ තොරතුරු තාක්ෂණ කවුන්සිලය ආරම්භ කළා.

ඒ කාලේ තමයි මහාචාර්ය සමරනායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය ආරම්භ කළේ. ඒ වන විට ඉන්දියාව තොරතුරු තාක්ෂණය ගැන උනන්දු වුණා. නමුත් අපිට නැති ප්‍රශ්න ඔවුන්ට තිබුණා. උදාහරණයක් ලෙස, අපට පරිගණක ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විනිමය තිබුණා, නමුත් ඔවුන්ට ඒ සඳහා හැකියාව තිබුනේ නැහැ.

මේ අතර චීනය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරන්න සූදානමින් සිටියා. 1991 දී, මම කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. මම ගියේ බැංගලෝර් වලට, ඒ තමයි මේ කර්මාන්තය ආරම්භ කළ ස්ථානය. ඔවුන්ට මුදලින් බිලියන කිහිපයක් සමග ඩොලර් බිලියන දෙකක වටිනාකමක් ඇති අපනයන තිබුනා.

තොරතුරු තාක්ෂණය ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳ අපි සාකච්ඡා කළා. චීනයත් ඒ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඔවුනගේ අවධානය යොමු කරමින් සිටියා. අවාසනාවට, අපට එම අවස්ථාව මගහැරුනා. එම රටවල් ඉදිරියට ගියා. අපත් මේ සමග ඉදිරියට ගියා නම් අද පවතින අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වෙන්නේ නැහැ.

කෙසේ වුවත් දැන් පසුතැවී තේරුමක් නැහැ. ඒ දේවල් සිදු වී අවසන්. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි අපට තිබෙන අවසාන අවස්ථාව මෙයයි. එසේනම් අප දැන් තොරතුරු තාක්ෂණය සමඟ ඉදිරියට යාමට සූදානම් විය යුතුයි. නැතිනම් අපට මෙම අවස්ථාව සදහටම මග හැරෙනවා.

රටක් ලෙස ඉදිරියට යාමට නම් රටේ වෙළෙඳ ශේෂය අපට වාසි වන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. එසේම අපනයනයන්හි අතිරික්තයක් තිබිය යුතුයි. අපට තවදුරටත් ඇඟලුම් කර්මාන්තය සහ තේ මත රඳා පැවතිය නොහැකියි. අප නව ක්ෂේත්‍ර පිළිබඳ සොයා බැලිය යුතුයි. නමුත් ඊට වඩා, අප අවධානය යොමු කර තිබෙන්නේ නව ආර්ථිකයක ව්‍යුහයක් පිළිබඳවයි.

රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය නම් සහ රට තුළ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අප ලෝකයේ ඕනෑම රටක් සමඟ තරගකළ හැකි තරගකාරී ආර්ථිකයක් ඇති කර ගත යුතුයි.

එහිදී හරිත ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය යන සාධක දෙක ඉතා වැදගත් වෙනවා. පුනර්ජනනීය බලශක්තිය සහ හරිත ආර්ථිකය සඳහා අපේ රටේ ඉහළ විභවයක් තිබෙනවා. එසේම අප කඩිනමින් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළේ ආරම්භය පිළිබඳ ඉදිරි අය වැයෙ කතාවේ දී මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.

70 දශකයේ මුල් භාගයේදී අපේ රටේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පැවතුණා. එය නීති සම්පාදනය කිරීම මගින් ගෙන එන ලද්දක්. නමුත් 1977 දී වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වීම සමඟ එම නීති අහෝසි වුණා.

නමුත් මෙවර පියවරක් ඉදිරියට තබමින් තරගකාරී ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.නීති පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඩිජිටල් යටිතල පහසුකම් අංශය දෙස ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගතයුතු පියවර මොනවාද කියා සිතා බැලිය යුතුයි.

රජයට එය තනිව සිදු කිරීමට මූල්‍යම හැකියාවක් නැහැ. එසේම මානව ප්‍රාග්ධනය ද විශාල ගැටලුවක් වී තිබෙනවා. අප ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරනවා නම් අපට පුහුණු මානව සම්පතක් අවශ්‍යයි.

අප එම ක්ෂේත්‍රයේ පුහුණු උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් ඇතුළු කුසලතාවන් ඇති මානව සම්පතක් ගොඩනැගිය යුතුයි. මෙය අප මුහුණ දීමට තිබෙන ප්‍රධාන අභියෝග වලින් එකක් බව කිව යුතුයි. එසේනම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්නේ කෙසේද කියා අප මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

මේ සඳහා අරමුදල් සපයා ගැනීමේදී අප අපේම අරමුදලක් ඇති කර ගත යුතු වෙනවා. නැත්නම් අපට විදේශ ආයෝජකයින්ට ආරාධනා කිරීමට සිදු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ නමක් හදාගත යුතුයි.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියාවට සමීපවයි. තොරතුරු තාක්ෂණය අද ඉන්දියාව තුළ වර්ධනය වෙමින් තිබෙන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එයින් ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි. අප මෙම අරමුණු වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි. රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ඩිජිටල් පරිවර්තනයක් රටට අත්‍යාවශ්‍යයි.

එසේ නොමැතිව අපට ලෝකය සමග ඉදිරියට යා නොහැකියි.
මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය සැලසුම් රජයට සකස් කළ හැකියි. පෞද්ගලික අංශය ලෙස ඔබට තිබෙන්නේ එම වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමටයි. උදාහරණයක් ලෙස ගතහොත් 1977දී අපට ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳාමක් තිබුනේ නැහැ. නමුත් වසර 10-15ක් තුළ අප ඇගළුම් ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ලැබුවා.

අපි නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට එය වෙනස්කම්වලට ලක් වෙනවා. එම නිසා වේගවත් ගමනක් අවශ්‍යයි. මෙහිදී සම්මාන ලබාගත් කිහිපදෙනෙකු සමඟ කතා කළ විට මට විශාල සතුටක් දැණුනා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට ගොස් ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටයි. මේ සඳහා බැංකුවලින් අරමුදල් සපයා ගන්නේ කෙසේද මෙය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ගන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.

කෙසේ වෙතත් අප සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. දැනටමත් ඇතැමුන් මේ සඳහා ප්‍රවේශ වී සිටිනවා. ලබන වසර වන විට සෑම කෙනෙක්ම මේ සඳහා එක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ තොරතුරු තාක්ෂණ ආයතනවල විධායක කමිටු සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රාෂික් පාර්මර් (Rashik Parmar) මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-26

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු පුවත්