තරගෙට තෙල බෙදීම

0

තෙල් මිල එහෙට මෙහෙට වෙන එක ඒ ගැන හදල තියෙන සූත්‍රයක් අනුව දැන් ළඟ ළඟ වෙනවා. අද වැඩිවෙන එක තව මාස කිහිපයකින් අඩු වෙනවා, අඩු වෙන එක වැඩි වෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිලත් අනෙක් වියදමුත් අඩු වැඩි වීම් වෙන කොට මෙහෙම වෙනවා. මේක සාධාරණ වෙළඳපොළ ක්‍රමයක්. ඉස්සර කළේ තෙල් මිල වෙනස් කරන එක දේශපාලන වුවමණාවන් එක්ක වෙනස් කිරීම. මේ නිසා රජය විශාල පාඩුවක් දරාගෙන තෙල් අඩුවට දුන්නා.

හැබැයි මෙහෙම තෙල් මිල වැඩි වෙන කොට ආණ්ඩුවට බැන බැන ඉන්න එක තමා පුරුද්ද, ඒක වෙනස් වෙන්න තව කාලයක් යයි.

හැටේ දශකයේ ඉඳලා මේ රටේ තෙල් වෙළඳාම තිබුණේ රජයේ ඒකාධිකාරයක් විදිහට. ඒක පෞද්ගලික අංශයට නොදෙන්න හේතුවක් කරගත්තේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය රජයේ වගකීමක් කියාගෙන. ඒ නිසා මොන කැප කිරීමක් හෝ කර ඒක ‍රැකගත යුතුයි කියන එක පනහේ දශකයේ ඉඳලම තිබුණු ගොබ්බ වාමාංශිකයන්ගේ සහ ජාතිකවාදීන්ගේ මතයක්. ඒකට කිසිම ආණ්ඩුවකට අත තියන්න දුන්නේ නෑ.

විදේශීය පුද්ගලික අංශයේ සමාගම් කිහිපයක් අත තිබ්බ තෙල් වෙළඳාම 1961දී ජනසතු කළා. ඒ ව්‍යපාර ඔවුන්ගේ දේපොළ වන්දි ගෙවීමක් කරන්නෙත් නැතුව රජයට පවරා ගත්තා. ඒ අය සිංගප්පුරුවට ගියා. අද ලෝකයේ තෙල් වෙළඳාම හසුරුවන මර්මස්ථානයක් විදිහට සිංගප්පුරුව ගොඩනැගැණා.

ලංකාවේ රජය තෙල් බිස්නස් එක කරන්න ගත්තා. ඇත්තටම බදු ආදායමෙන් සෑහීමකට පත් වෙන්න හිතන් නැතිව විදේශ සමාගම් මේකෙන් ලාභ උපයන හැටි දැකලා තමා මේවා රජයට ගත්තේ. කොහොම හරි අන්තිමට රටට පිළිලයක් වෙන තැනට එනකම් ගෙනවා. බිලියන් ගණනින් පාඩු වුණා. දුෂිතයන්ගේ කල්ල මරේ වුණා. තවමත් නිලධාරීන් තොගයක් ඉන්නවා කැත විදිහට ගසා කන. ආදායමට වඩා වියදම වැඩිවුණා. බැංකුවලට බිලියන සිය ගණනින් ණය වුණා. රජයේ පාඩුව නවත්තලා වියදම බලලා අලාභ නොවී තෙල් දෙන්න ගත්තාම තෙල් මිල ඉහළ ගියා. ඒ ඔක්කොම බර මිනිස්සුන්ගේ කරපිටින් ගියා.

ඒත් කරුමෙ කියන්නේ මිනිස්සු ඉල්ලන්නෙම සහන. අඩු මිලට තෙල්. ඒක කමක් නෑ කියමු… ආණ්ඩුව මොකක් වුණත් විපක්ෂයේ ඉන්න හාදයොත් කියන්නෙම ආණ්ඩුවට අඩු මිලට තෙල් දෙන්න පුළු‍වන්, දෙන්නේ නැහැ, අපි ආවොත් දෙනවා කියලා. එහෙම දීලා තමා මේ හරිය කරගත්තේ.

ඒක මොක උනත් දැන් තෙල් මිල අඩු කරලා කාර්යක්ෂම සේවාවක් කරන්න, තෙල් ඒකාධිකාරය නැති කරන්න රජය වැඩ කරගෙන යනවා. මීට කාලයකට පෙර ඉන්දීය තෙල් සමාගමට වෙළඳපොළට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. මෑතකදී චීන සිනොපෙක් එකට ඉඩ දුන්නා. ආරංචි විදිහට තව සමාගම කීපයක් එනවාලු‍. මෙහෙම වෙළඳපොළ ඒකාධිකාරය නැති කරල වෙළඳපොළ තරගකාරිත්වය වැඩි වුණාම මිල අඩු වෙනවා. මිල අඩු වෙනව කියන එකටත් වඩා හරි කතාව මිල පාලනය වෙනවා කියන එක.

ඒත් දැන් තෙල් මිල වැඩි වෙනකොට, මේ විදේශ සමාගම්වලට අවස්ථාව දෙන්න රජය ගත්තු තීරණය විවේචනයට ලක් වෙනවා, කෝ තෙල් මිල අඩු වුණාද, කෝ තරගකාරිත්වය ගැන කතා කරපු අය මොකද කියන්නේ කියලා.

ඇත්තම කිව්වොත් තවමත් තෙල් වෙළඳාම වෙළඳපොළ තරගයට විවෘත කරලා නෑ. රජයේ පාලනය යටතේ තියෙන්නෙ. වැඩි පංගුව තියෙන්නේ රජයට. ඒවගේම මිල තීරණය කිරීමේ හැකියාවත් රජයට තියෙනවා. ඒකට තවම විසඳගන්න බැරි වෙච්ච හේතු තියෙනවා. මේ වෙලාවේ වෙළඳපොළ තරගය ඇති වුණොත් රජයේ නැතිනම් සිපෙට්කෝ එකට ඒ තරගයට මුහුණ දෙන්න බැරුව අසරණ වෙනවා. මොකද ඒකේ වියදම් වැඩියි. දූෂණය අධිකයි. අවශ්‍යතාවයට වඩා විශාල සේවක පිරිසක් නඩත්තු කරනවා. මේ වගේ ප්‍රශ්න තියාගෙන වෙළඳපොළ තුළදී අසමත් වෙලා සිපෙට්කෝ එක බංකොලොත් වුණොත් රජය ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න කලින් විසඳ ගන්න ඕන.

ඒත් මේ ප්‍රශ්න තියාගෙන තව විදේශ සමාගම්වලට ඉඩ දෙන්න ඉක්මන් වුණේ ලංකාවේ තිබ්බ ඩොලර් හිඟයට ඉක්මන් පිළියමක් විදිහට. රජය ඉන්ධන ගේන්න ඩොලර් වියදම් කරා නම් වෙන කිසිදෙයක් කරන්න වෙන්නෑ. දැනට මේ විදේශ සමාගම් තෙල් ගේන්නේ තමන්ගේ ඩොලර්වලින්. එයාලා ලාබෙට තෙල් ගේනවත් ඇති, එයාලගේ වියදමත් අඩු ඇති, ඒ නිසා තව අඩුවට තෙල් දෙන්නත් පුළුවන් ඇති. ඒත් අපිට අපේ ප්‍රශ්නය විසඳගන්නකම් ඒ වාසිය ගන්න වෙන්නේ නෑ. කවුරුවත් කියන විදිහට මේක වෙළඳපොළ තරගකාරිත්වයේ අවුල් නොවෙයි, රාජ්‍ය ඒකාධිකාරය පවත්වගෙන යෑමේ අවුලක්. මේ ප්‍රශ්නය විසඳන්න දේශපාලනිකව දෙන සහය අනුව මේක ඉක්මන් වෙනවද පරක්කු වෙනවද කියන එක තීරණය වෙයි.

මේ වෙද්දි සිනොපෙක් සමාගම ඩොලර් බිලියන 4.5 වියදම් කරලා හම්බන්තොට විශාල පිරිපහදුවක් හදනවා. ඒ ලංකාවට තෙල් බෙදන්න නොවෙයි. ජාත්‍යන්තර වෙළඳාමක් බලාගෙන. හැබැයි මේවායේ අතුරු ප්‍රතිපළ විදිහට තෙල් මිල අඩුවීමේ වාසිය රටට ගන්න පුළුවන්. රටට විදෙස් ආයෝජන ගේන්න ඕන වාමේ ජාතිකවාදීන් කියන විදිහට මේ රටේ දේවල්ම දියුණු කරන්න බලාගෙන නොවෙයි. එහෙම ඒවා එන්නෙත් නැහැ. මොකද මේ පොඩි වෙළඳපොලක් තියෙන රටක් නිසා. සිංගප්පුරුව කළේ ජාත්‍යන්තර වෙළඳාමට රට විවෘත කරන වැඩක්. හැබැයි එහාට වඩා හොඳම අවස්ථාව තිබුණේ ලංකාවට. හොඳම පිහිටීම තිබුණේ ලංකාවට. ඒකෙක් වැඩක් ගන්න දුන්නේ නැහැ. ජාතික සම්පත් කියාගෙන මළකඩ කාලා දිරලා යනකම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික රැකගෙන හිටියා. සිංගප්පුරුවට කළින් කලාපයේ බලශක්ති කේන්ද්‍රය වුණෙත් ලංකාව. අදත් ඒ අවස්ථාව ඉතුරුව තියෙනවා හරියට වැඩේ වෙනවා නම්.

ඒත් විදේශ ආයෝජකයන් නැතුව මේ වැඩේ කරගන්න බැහැ. ඒත් ආයෝජකයන් එනකොට එළවනවා ඕව මෙහේ බෑ කියලා. දැන් තෙල්මිල වැඩියි, රජයේ දූෂණ වැඩියි, වෙළඳපොළ තරගකාරිත්වයෙන් වැඩක් නෑ කියන්නෙත් මේ අයමයි.

  • ලොකූ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *