තව මාස 6කින් ඔයාලත් අපේ පැත්තේ

0

අලු‍තින් පත්වූ ජනාධිපති නීතිඥවරුන් දස දෙනෙකු ඉකුත් සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේදි දිවුරුම් දුන්නේ ජනපති කළ පත්කිරීමට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට ඇති බලතල ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, ජනපති නීතිඥවරුන් වූවේ එසේය. ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන් පසු එම නීතිඥයන් සාදයක් පැවැත්වීම සම්ප්‍රදායකි.

ඉකුත් සතිය පුරාම ජනපති රනිල්ට සාදවලින් අඩුවක් නොවූවේ මෙම ජනාධිපති නීතිඥවරුන් නිසාය. සාදයක් පැවැත්වීම සේම ඊට ජනාධිපතිට ආරාධනා කිරීමත් නීතිඥ ක්ෂේත්‍රයේ සම්ප්‍රදායය. සදුදා රාත්‍රියෙන් ආරම්භ වූ මේ සම්ප්‍රදාය සිකුරාදා දක්වාම පැවැත්විනි. මෙම උත්සවවලට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව දේශපාලඥයන් ද නීතිඥවරුන් ද එක්ව සිටීම ද විශේෂත්වයකි.

සෝමාලියා මෙහෙයුම

ජනපති රනිල්ට දුරකතන ඇමතුමක් දුන් සාගල රත්නායක ඉකුත් ඉරිදා කීවේ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවකි. ඔහු නාවුක හමුදාපතිට දැනුම් දුන්නේ වහාම බහරේන්වල පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට මෙය දැනුම් දෙන ලෙසය.

ඊට අමතරව විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් හා සම්බන්ධ වූ සාගල තානාපති කාර්යාල හරහා විදේශ රටවල සහාය ඉල්ලා සිටියේය. ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා ද ඒ වන විටත් ජනපති රනිල් හා සාකච්ඡා කරමින් සිටියේ ධීවරයන් හා බහුදින යාත්‍රාව මුදා ගන්නා ආකාරය ගැනය.

සඳුදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක උපදේශක සාගල කැඳවා කීවේ ධීවරයින් මුදාගැනීම වෙනුවෙන් නාවුක හමුදාවේ නෞකාවක් යැවිය හැකිදැයි සොයා බලන ලෙසය. රතු මුහුදේ නාවුක ආරක්ෂක කටයුතුවලට යැවීමට සුදානම් කර තිබූ නෞකාව ධීවරයන් මුදා ගැනීමේ මෙහෙයුමට යැවිය හැකි නොවේදැයි ජනපති, ජාතික ආරක්ෂක උපදේශකගෙන් විමසා සිටියේය.

ජනපති උපදෙස් මත සාගල රත්නායක නාවුක හමුදාපති හා මේ ගැන සාකච්ඡා කළ අතර රතු මුහුදේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යැවීමට සුදානම් කළ නෞකාව ඒ වෙනුවෙන් යැවීමට සුදානම් කළේය. එදින සවස නෞකාව පිටත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන ජාතික ආරක්ෂක උපදේශකට කීවේ ෂී සෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් “ලොරොන්සෝ පුතා” බහුදින යාත්‍රව හා ධීවරයන් මුදාගෙන ඇති බවය.

සාගල වහාම බහරේනයට කතා කොට ඒකාබද්ධ සමුද්‍රීය බලකායට ස්තූති කළ අතර ධීවරයින් හා යාත්‍රාව ආරක්ෂිතව රැගෙන ඒමට නාවුක හමුදා යාත්‍රාවක් පිටත් කර හැරීමට ද පියවර ගත්තේය.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ සඳුදා පෙරවරුවේය. සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ අභාවයෙන් පුරප්පාඩුවූ ජල සම්පාදන රාජ්‍ය ඇමතිධූරය සම්බන්ධයෙන් පොහොට්ටුව සමඟ කළ සාකච්ඡාවේදී එය ශෂීන්ද්‍ර රාජපක්ෂට දීමටත් ඔහු දැරූ රාජ්‍ය ඇමතිධූරය ලොහාන් රත්වත්තේට දීමටත් යෝජනා වූවේය. ඒ අනුව ලොහාන් රත්වත්තේ මහවැලි රාජ්‍ය ඇමතිධූරයේ දිවුරුම් දුන්නේය.

ඒක අනුරට කියලා තියෙන්නෙ

ඇමති මණ්ඩල හමුවෙන් පසු සඳුදා රාත්‍රියේ ජනපති ගියේ ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වා ගේ සාදයටය. හේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගේ පුත්‍රයාය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, ඇමති හරීන් ප්‍රනාන්දු, ඇමති ටිරාන් අලස්, රුවන් විජේවර්ධන, සාගල රත්නායක මෙන්ම විපක්ෂයෙන් හර්ෂ ද සිල්වා හා සුජිව සේනසිංහ ද සාදයට පැමිණ සිටියහ.

නීතිඥ දිනේෂ් විදානපතිරණ හා සාගල රත්නායක ජනපති අසල හිදිමින් ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කරන්නට වූහ. ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව නීතිඥවරුන්ට ජනපති නොකියා කීවේ මෙහිදීය. ඊට සාගල ද සහායක් දුන්නේය.

“සර් පක්ෂයක අපේක්ෂකයෙක් විදියට නොවෙයි, පොදු අපේක්ෂකයෙක් විදියට එන්න.” නීතිඥ දිනේෂ් කියද්දී ජනපති හිස සලමින් එය අනුමත කළේය. මේ අතර ජනපති අසලට පැමිණියේ ජවිපෙ මෙන්ම ජාජබ යේද ප්‍රධාන නීතිඥයෙකු වන සුනිල් වටගලය.

“ජනාධිපතිවරණය ඉක්මණින් තියන්න. මොකක්ද ඉස්සෙල්ලාම එන මැතිවරණය” සුනිල් වටගල කියද්දී ජනපති කීවේ “ඔව් ඔව් නියමිත කාලයේදි ජනාධිපතිවරණය තියෙනවා. මම ඒක අනුරට කියලා තියෙන්නේ. එයා ඔයාට කියලා නෑ.” කියාය.

“අපේ අපේක්ෂකයා අපි දිනවනවා. එයා තමයි ජනාධිපති වෙන්නේ.” සුනිල් වටගල කී විට මද වේලාවක් ඔහු දෙස බලා හුන් ජනපති “තව මාස 6 කින් ඔයාලත් අපේ පැත්තේ.” කියමින් සිනා සෙද්දී රැස්ව සිටි නීතිඥයන්ට ද සිනහව නතර කරගත නොහැකි වූහ.

එජාප ප්‍රතිසංවිධානය කඩිනමින්

අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් නිදහස් දිනය ගැන මෙන්ම පාර්ලිමේන්තු කතාව ගැන ද නිලධාරීන් සමඟ කතා කළේය. අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණු අතර ඉක්මණින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කළ යුතු යැයි කියමින් ජනපති සැර පිළිතුරක් දී තිබිණි. මහලේකම් රංගේ ද තමන්ගේ වැඩකටයුතු ගැන වාර්තාවක් ඉදිරිපත් කළ අතර සෝමාවතියේ පැවැති පිංකම ගැන ද සිහිපත් කළේය.

ඊට අමතරව භික්ෂූන් වහන්සේලා 500 නමක් රුවන්වැලිසෑය ඉදිරිපිට සිට ජය පිරිත සාච්ඡායනා කිරීමට තිබෙන සුදානමක් ගැන ද රංගේ කරුණු ඉදිරිපත් කළේය. ජපන් මිත්‍රයෙකුගේ උදව්වෙන් අසරණ දැරියකට නිවසක් තනාදීමට ද රංගේ කටයුතු කරමින් සිටියි.

අන්තරේ පසුබසියි

කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ජනපතිට නොපැමිණෙන ලෙස අන්තරේ කියද්දී ජනපති එහි ගියේය. ආවොත් බලාගමු වැනි පෝසටර් අලවා තිබුණ ද ජනපති එහි ගොස් ගොඩනැගිල්ල විවෘත කළේ එහි මුල්ගල තැබුවේද තමන් බව සිහිපත් කරමිනි.

උත්සවය අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ජනපති අසලට පැමිණ “සර් ආපු එක හොදයි හුගක් අයට සැකයක් තිබුණා සර් එන්නේ නැති වෙයි කියලා.” යි කීවේය.

“මට ආරාධනා කළේ හාමුදුරුවෝ. මම ආවේ උන්වහන්සේලාගේ ආරාධනය පිළිඅරගෙන. හාමුදුරුවෝ එන්න එපා කීව්වා නම් මම එන්නේ නෑ.” ජනපති කීවේ සිනා මුසුවය.

“ජනාධිපතිතුමා කියන්නේ ඉතින් කැළණියෙත්, බියගමත් කාලයක් කරක් ගහපු කෙනෙක්. එතුමා මේකේ හතර කොණ හොඳට දන්නවා.” එහි සිටි නිලධාරියෙක් කියද්දී ජනපති සිනා සුනා මිස කිසිවක් කීවේ නැත.

එදින සවස කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල මෙරට සිටි ජපානයේ හිටපු තානාපතිවරයෙකු වන කොනිචි ෂුගනුමා මුණ ගැසුණේ ජනපතිගේ නියමයෙනි. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම ජපානය නවතා ඇති ව්‍යාපෘති සියල්ල ආරම්භ කරන බව ජපන් හිටපු තානාපති දැනුම් දුන්නේය. එසේම ජයිකා හි ප්‍රධානියා ලබන 14 වන දින මෙරටට පැමිණෙන බවට ද එහිදි කතා බහ කෙරිනි.

මේ ඝෝඨාභය නෙවෙයි

ජනපති රනිල් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අතර මැති ඇමතිවරු ඇතුළු දේශපාලඥයන් පිරිසක් ද ජනපති මුණ ගැසීමට පැමිණ සිටියෝය. ඔවුන්ගේ කතා බහට ලක්වූවේ කැළණිය විශ්ව විද්‍යාලයට ජනපති ගිය ගමණ ගැනය.

“අන්තරේ කට්ටිය යන්න කිව්වම ගෝඨාභය ජනාධිපතිතුමා ගියා වගේ අපේ ජනාධිපතිතුමාටත් එන්න එපා කිව්වාම නෑවිල්ලා හිදීවි කියලා එයාලා හිතන්න ඇති.” වජිර කතාව ආරම්භ කළේ එලෙසිනි.

“විශ්ව විද්‍යාලයේ හුඟක් ළමයි මේකට ආවේ නෑ. අන්තරේ ඇතුළෙත් මේ ගැන බෙදීමක් තියෙනවා. වසන්ත මුදලිගේගේ ඕනකමට තමයි මේක වෙලා තියෙන්නේ.” ඇමති ප්‍රසන්න කීවේ එවැන්නකි.

“මේ ෆැකල්ටියට අවශ්‍ය උපකරණ ගන්න මම තව මුදල් දෙන්න හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඒක ඕනා කියලා ශිෂ්‍යයෝ ඉල්ලු‍වොත් තමයි මට මුදල් වෙන් කරන්න පුළුවන් වෙන්නේ.” ජනපති කීවේ ඇගට පතට නොදැනීය.

“සජබේ උද්ඝෝෂණයත් දියාරු වෙලා ගියා සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය නිසා. මොනවා වුණත් ෆොන්සේකාට යහපාලන ආණ්ඩුව කාලේ මෙතුමා මෛත්‍රිපාල එපා කියද්දීත් ඇමතිකමක් දුන්නා. පක්ෂයේ සංවිධායක තනතුරකුත් දුන්නා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

ජේ.ආර්. හදපු දේ කඩන්න බෑ

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ බලතල ගැන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය ගැන ද මෙහිදි මන්ත්‍රීවරු විමසුවේ ජනපති රනිල්ගෙනි.

“ජනතා පරමාධිපත්‍ය දිලා තියෙන්නේ පාර්ලිමේන්තුවට හා විධායකයට පමණයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. එය කාටත් මතක් කරදීම තමයි මෙතන කරලා තියෙන්නේ.” ජනපති දුන්නේ සෘජු පිළිතුරකි.

“ඔව් 1977 මේ ව්‍යවස්ථා සම්පාදනය කරන කමිටුවේ හිටියේ ජේ.ආර්ගේ මල්ලි එච්.ඩබ්ලිව්.ජයවර්ධන. එතකොට එතුමා ගේ ජූනියර් විදියට හිටියේ රනිල් වික්‍රමසිංහ තරුණ නීතිඥතුමා. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරක් නෑර එතුමා දන්නවා.” වජිර කීවේය.

“අනෙක් පැත්තෙන් එදා ව්‍යවස්ථාව ගේන කැබිනට් එකෙත් ජනාධිපතිතුමා ඇමති කෙනෙක් හැටියට හිටියනේ.” ඇමති සියඹලාපිටිය ද කතාවට එක් වූවේය.

“එදා අපි තමයි ව්‍යවස්ථාව ගැන කතා කරන්න පත් කළ තේරිම් කාරක සභාවට තොරතුරු දුන්නේ. ප්‍රේමදාස අගමැතිතුමා තමයි ඒ කමිටුවේ ප්‍රධානියා වුනේ. ඉතින් මේ ඉතිහාසය දන්න කෙනෙකුට ඉන්නේ මම තමයි. ජේ.ආර් ජනාධිපතිතුමා හදපු විදියට මේ ව්‍යවස්ථාව ගෙනියන්න ඕනා.” ජනපති රනිල් දැඩි ස්වරයෙන් කීවේය.

“ඒ වගේම 13 වෙනි සංශෝධනය ගේනකොටත් මෙතුමා කැබිනට් එකේ හිටියානේ. 17 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභා හැදුවේ අගමැති ලෙස මෙතුමගේ උපදෙස් මතයි. 2015 යහපාලන රජය යටතේ සංශෝධන ගෙනාවෙත් මෙතුමගේ උපදේශකත්වයෙන්. 19 වෙනි සංශෝධනයත් එලෙසමයි. ඒ නිසා කවුරු හරි මෙතුමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන උගන්වන්න හිතනවා නම් ඒක විහිළුවක්.” මහාචාර්ය ආශු කීවේ ජනපති දෙස බලමිනි.

ජනපති ඉන් පසු වැඩි වේලාවක් කතා කළේ ඉඩම් අහිමි ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ගැනය.

……MEDIA MEN……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *