දකුණු පළාතේ අපරාධ සම්බන්ධයෙන් පොලිස්පතිගේ විශේෂ අවධානයක්

0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දකුණු පළාතේ පසුගිය දින කිහිපය තුළ සිදු වූ අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම අපරාධ විමර්ශනයේ යෙදී සිටින සියලු නිලධාරීන් නිලධාරීන් කැඳවා සිදු කළ සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල පසුගිය දිනවල සිදුවු වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ ප්‍රදේශවල ඊයේ (13) සංචාරයක නිරත වුණා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ වාර්තා කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රජා පොලිස් කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්යය බළකාය හා බුද්ධි අංශ ඇතුළු සියලු නිලධාරීන් කැඳවා මෙම අපරාධ විසඳීමේ දී එකිනෙක සම්බන්ධීකරණය වීම, තොරතුරු හුවමාරු කරගැනීම හා නිලධාරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද පොලිස්පතිවරයා නියෝග ලබා දී තිබෙනවා

එමෙන්ම, මෙම සිදුවීම්වලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන්ගේ යම් දුර්වලතාවක් තිබේ යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් එම පරීක්ෂණවලින් නිලධාරීන් පිළිබඳ යම් දුර්වලතා අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවටත් මෙහිදී අවධාරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *