දූෂණ විරෝධී සිදු පිරුවටයට මුවා වූ රොෂාන්ලා.

0

පසුගිය සති කිහිපය පුරාම ඇදෙමින් පැමිණ ලංකාවේ ප්‍රධාන ජාතික ප්‍රශ්නය ලෙස මුල් තැනක් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් වූ අර්බුදයයි. මෙම අර්බුදය කොතරම් ද යත්, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැති අවස්ථාවේදී පවා අයවැය විවාදය පසෙකලා ක්‍රිකට් සම්බන්ධයෙන් අතුරු විවාද ගණනාවක් පැවැත්විණි. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර, මෙහි දී රොෂාන් රණසිංහ ඉවක් බවක් නැතිව හතර අතේ නෙලමින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ද බැහැර කර විවිධාකාර ප්‍රකාශ කළ අතර, පුද්ගල අපහාසයන්ද අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශයන් ද සිදු කළේය.

පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති කැබිනට් රැස්වීම් අවස්ථාවේදී ජනාධිපතිවරයා  තමන්ට හිමි බලතල ප්‍රකාරව රොෂාන් රණසිංහව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා, තරුණ කටයුතු හා වාර්මාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු අතර, කැබිනට් රැස්වීම් අතරතුර අමාත්‍යවරයෙකු සිය ධූරයෙන් ඉවත් කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය. මෙම ඉවත් කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

මෙහිදී ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යාංශයට අදාලව යොමු කළ ප්‍රශ්නය වූයේ ක්‍රිකට් අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත්කර තිබියදී ක්‍රීඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි.

කැබිනට් මණ්ඩලය තුළ දී ජනාධිපතිවරයා, මතු කළ මෙම ගැටළුවට රොෂාන් රණසිංහ නිරුත්තර වී ඇති අතර, කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත.

කෙසේ වෙතත් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී නැවත වරක් විශේෂ ප්‍රකාශයක් කරමින් රොෂාන් රණසිංහ විසින් මේ සඳහා පිළිතුරු දුන් අතර, එම පිළිතුරෙන් ජනාධිපතිවරයාගේ චෝදනාව සනාථ විය. 

“මේ රටේ විපක්ෂයේ නායකයා කියන්නෙ මේ රටේ විපක්ෂය නියෝජනය කරන නායකයා. එදා විපක්ෂ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තය ඉන්දැද්දි එතුමා කතා කරන කොටත් මම ගියා. එතකොට වත්මන් විපක්ෂ නායකතුමා මට කතා කරනවා මගෙ කාර්යාලයට එන්න කියලා, මම කාර්යාලයට යනවා. ඒ වෙලාවෙ ඉන්දියානු මහ කොමසාරිස්තුමාත් එතනට කැඳවල තිබුණා කුමකටද කියලා මම අහන්න ගියෙ නෑ, ඒක මට අදාල නැහැ.

එතනදි එතුමා අහපු ප්‍රශ්නයක් තමයි මේ ඔබතුමාගේ මෙන්න මේ ගැටළුව තියෙනවා, ඉන්දියාව අපේ ක්‍රිකට් එකට මැදිහත්වෙලා තියෙනව කියලා, ක්‍රිකට් පාලක මණ්ඩලේ අය කොයිවෙලෙත්   ජෙෂා මහත්තයාගේ නම කියනවා. මෙන්න මේ සම්බන්ධයෙන් අපිට, එතුමා එක්ක අපි පත් කරපු අතුරු පාලන මණ්ඩලයට, රජයෙන් පත් කරපු කිසිදු ගැටළුවක් නෑ වැඩ කරන්න. එතුමලත් එක්ක, CCI එකත් එක්ක හෝ ICC එකත් එක්ක. ඒ නිසා යම් ගැටළුවක් තියෙනවද කියල අහන්න විතරයි කතා කළේ. ඒ කතා කරල ඉවර වෙලා මං ආවා”

රොෂාන් රණසිංහගේ මෙම ප්‍රකාශය තුළින් ඔහු සැබෑ ලෙසම විපක්ෂ නායකවරයා හා එක්ව කුමන්ත්‍රණයක් කළ බව පැහැදිළිය. ලංකාවේ ක්‍රිකට් තහනම් වුයේ ඇමැතිවරයාගේ ඇඟිලි ගැසීමත්, පාර්ලිමේන්තුවට තමන් විසින්ම ගෙන ආ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාවත් නිසා  සිදුව තිබු දේශපාලන මැදිහත්වීම් නිසා බව විපක්ෂ නායකවරයා නොදන්නා දෙයක් නොවේ. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා රොෂාන් රණසිංහ එක්ව යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ගැන ඉන්දියානු මහකොමසාරිස් වරයා හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කිරීමම නැවතත් සිදුකරන දේශපාලන මැදිහත්වීමක් බව ඔවුන්ට නොතේරීම අරුමයකි. මේ තවදුරදිග ගියේනම් ඉන්දියාවේ ක්‍රිකට් වලටත් මේ දේශපාලන මැදිහත්වීමේ චෝදනාව එල්ල වන්නට ඉඩ තිබිණි.  කෙසේ වෙතත් ක්‍රීඩා පරිපාලනය ගැන රොෂාන් රණසිංහගේ නොදන්නාකම හා දේශපාලන තක්කඩිකම ඔහුගේම කටින්ම දැන් හෙළිවී අවසන්ය.

අනෙක් කරුණ වන්නේ ජනාධිපතිවරයා විසින් නැගූ දෙවෙනි පැනයයි. එනම් මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි. ජනාධිපතිවරයා මෙම පැනය නගමින් රොෂාන් රණසිංහගෙන් විමසා ඇත්තේ ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් නොවේද යන්නයි.

මෙහිදී මහවැලි ඉඩම් බෙදාදීමේදී රොෂාන් රණසිංහ විසින් සිය දේශපාලන හිතවතුන් ඇතුළු පිරිසක් වෙත විශේෂතාවයක් දක්වමින් අති විශාල ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇති අතර, මෙම පිරිස අතර රොෂාන් රණසිංහගේ මැදිරිගිරිය ආසනයේ සම්බන්ධීකරණ ලේකම්, දිඹුලාගල ආසනයේ සංවිධායක,  ජන සහන පදනමේ (මෙම පදනම රොෂාන් රණසිංහගේ පුද්ලික පදනමකි) සාමාජිකයින් හා ඔහුගේ සමීපතම ඥාතීන්ද වේ. මෙය පැහැදිළිවම සිය බලය අවභාවිත කිරීමක් වන අතර, ජනාධිපතිවරයා විමසා ඇත්තේ මෙවැනි ක්‍රියා හේතුවෙන් සැබෑවටම හිමිකම් කීමට ඇති අහිංසක ජනතාවගේ අවස්ථාවන් අහිමි කිරීම සම්බන්ධවයි.

රොෂාන් රණසිංහ දැන් මොන වැල් බයිලාව වැයූවත් ඔහුගේ මහවැලි ඉඩම් බෙදීම සම්බන්ධයෙන් මුලින් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ දැන් රොෂාන් රණසිංහගේ සුගුණවත්බව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නා බව සපථ කරනා විපක්ෂ නායකවරයාගේ පක්ෂය වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසිනි. කවිරත්න මන්ත්‍රීවරියගේ මෙම චෝදනාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව මහවැලි ඉඩම් පැවරීම නවතාලීමට ද කටයුතු කෙරිණි. හාස්‍යයට කරුණ වන්නේ තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරියක් විසින් ඉඩම් කොල්ලකන බවට චෝදනා එල්ල කළ අයෙකුට වත්මන් විපක්ෂ නායකවරයා විසින් හොරු ඇල්ලීමේ සටනට එකතු වන ලෙස ආරාධනා කිරීමයි.

කෙසේ වෙතත් රොෂාන් රණසිංහ මෙම ක්‍රිකට් අර්බුදය පෙරට දමමින් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොරුන් පන්නා දැමිය යුතු බවකි. එසේම මේ වන විට රොෂාන් රණසිංහ පවසමින් සිටින්නේ ද හොරුන් ඇල්ලීමට ගොස් තමන්ගේ ජීවිතය අවධානමට ලක් වූ බවය.

රොෂාන් උස්සගෙන යන මේ හොරු අල්ලන සටන් පාඨයට දිගු ඉතිහාසයක් ඇත. ඊට ජනතාවගේ වැඩි ආකර්ෂණයක් ද ඇත. මේ වන විට අනුර කුමාර ඇතුළු මාලිමාව ද රට වටා “අපේ ආණ්ඩුවක් ආවොත් අපි හොරු අල්ලනවා” යනුවෙන් බෙරිහන් දීගෙන සිටින්නේ ද එම සටන් පාඨයේ ඇති වලංගුභාවය හා ජනප්‍රියවාදය නිසාමය. මෙම සටන් පාඨය කරපින්නාගත් රොෂාන්, මෙම සටන් පාඨයම කරපින්නාගෙන සිටිනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා රඟ දැක්වීමට පටන් ගත් නාඩගමේ තිර පිටපත විපක්ෂ නායකවරයා රචනාවක් වුවත්, රටේ නම ගිය රූපවාහිනී නාලිකාවක් තිර පිටපතේ සෙසු නළුවන් හා දෙබස් තීරණය කළ බවත් නොරහසක් නොවේ. අර්ජුන රණතුංගලා කරලියට අවේ එහෙමය.

මේ තිර පිටපතට අනුව ක්‍රිකට් නාඩගම මෙගා ටෙලි කථාංගයක් ලෙස විකාශයවීමට නියමිතව තිබිණි. රොෂාන් රණසිංහ, නීත්‍යානුකූලව පැවැති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට අහෝසිකරමින් තමන්ට තිබෙනවාය කියන බලය පෙන්වමින් තමන්ගේ කමිටුවක් පත් කිරීමේ උද්වේගකර අවස්ථාවෙන් නාඩගම ආරම්බ විය. නමුත් එයම නාඩගම අතරමඟ අත්හිටුවමින් අවසානය සනිටුහන් කළේය. නාඩගම් නොදන්න වුණ නාඩගම් නටන්න ගිය විට ඒවා විගඩම් වන්නේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයට යැවීමට පෙර රොෂාන් රණසිංහ නටපු තවත් නාඩගම් තිබිණි. ඒ ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා රග්බි සම්මේලනය  හා ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තහනම් වන තැනට  කටයුතු සැලසීමය. මේ හේතුවෙන් පාපන්දු, කරාටේ මෙන්ම රගර් ක්‍රීඩාව ද ලංකාවේ බරපතල අර්බුදයට ලක් කෙරිණි.

මේ ක්‍රිකට් අර්බුදය යනු හුදු ක්ෂණිකව ඇතිවූවක් නොවේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට පෙර අදහස් දක්වමින් පැවසුවේ මෙය දීර්ඝ කාලීන ගැටලූවක් බවයි.

“මටත් විරුද්ධව චෝදනා කරලා තිබුණා එක එක්කෙනා ආරක්ෂා කරනවා කියලා. ක්‍රිකට් කියන්නේ දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. කණ්ඩායම් දෙකක් අතර තියෙන අරගලයක් නිසා ක්‍රිකට් එක පිරිහුණා. ඒක ඇත්ත,

,මට ෂම්මි සිල්වා ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. විවිධ චෝදනා තිබෙනවා. ඒකයි මම කියන්නේ නීතියක් ගෙන ආ යුතුයි කියලා. එතැනට තියෙන විසඳුම, අපි හැමවෙලේම කිව්වේ මෙතැනට තියෙන්නේ නීතියක් ගෙනල්ලා නිතිය අනුව හරි කණ්ඩායමක් තෝරන්න. ඒ නීතිය ගේන්න තමයි අර චිත්‍රසිරි වාර්තාවත් අරගෙන ඒක සකස් කරන්න කියලා කිව්වේ,

,මම ඇමතිතුමාට කිව්වේ, මේක රහසක් නෙමෙයි. මේ නඩුව ඔහොම ගෙනියන්න එපා. එහෙම කළොත් අපිට ෂක්‍ක්‍ ය නැති වෙනවා, මැච් නැති වෙනවා, ටුවරිස්ට්ලා නැති වෙනවා කියලා,

,අනික නඩුවකට පැටලූනොත් ලේසියෙන් බේරෙන්න බැහැ කියලා. අපි ඒ ගැන කැබිනට් මණ්ඩලයේත් කතා කළා. ආපහු කතා කළා.”

ජනාධිපතිවරයා මෙයාකාරයෙන් අර්බුදය පැහැදිළිව හඳුනාගෙන ඒ වෙනුවෙන් වූ නව නීති පනත් කෙටුම්පත් කර අර්බුදය විසඳීමට කටයුතු සලසමින් සිටියදී හදිසියේම රොෂාන් රණසිංහ විසින් රඟ දැක්වූ නාඩගම හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තහනමට ලක් විය. ෂක්‍ක්‍ ය, ලංකාවේ දේශපාලන මැදිහත්වීම් මෙම තහනමට හේතු ලෙස සඳහන්කර සිටියදීත් රොෂාන් රණසිංහ නොනවත්වා රැඟිල්ල කරගෙන ගියේය. ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්ව ඉන්දීය මහකොමසාරිවරයාද පටලවා ගනිමින් තවදුරටත් දේශපාලන අතපෙවීම් සිදු කරමින් අර්බුදය තීව්‍ර කරන්න කටයුතු කළ බව පැහැදිලිය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම රොෂාන් රණසිංහ සමාජගත කිරීමට උත්සාහ දැරුවේ “මුං ඔක්කොම හොරු මං විතරක් හොඳයි” කියන උදාන වාක්‍යයය. මං සුදනාය, ක්‍රීඩාව හොරුන් ගෙන් බේරගන්න ආපු වීරයා මං තමයි, යනුවෙන් සමාජය කල්පනාකරනු ඇතැයි ඔහු සිතුවේය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් බොහෝ ප්‍රකාශයන් සිදු කරමින් ද ඔහු මේ බව තහවුරු කිරීමට බොහෝ වෙර වීර්ය ගත්තේය.

කෙසේ වෙතත් ක්‍රීඩාවේ දූෂණය පිටුදකිමින් දූෂණය නැවැත්වීමට පෙරට ආ සද්ගුණවත් උපාසක තෙමේ සුදු රෙද්දට මුවා වූ තවත් දූෂකයෙකු බව මේ වන විට හෙළිදරව් වී අවසන්ය. සිය ධූරය අවභාවිත කරමින් ඉඩම් මංකොල්ල කෑමෙන් නොනැවතී, මහා ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස කළ තවත් කූඨ ජාවාරම් ගැන කසුකුසුව ද දැන් පැතිර හමාරය. මෙතුවක් කල් ආනයනික වාහන අළෙවි කිරීමේ මුවාවෙන් තීරු බදු නොගෙවමින් ආනයනය කළ වාහන කොටස් එකලස් කොට විකුණන කූඨ වෙළඳාමක නිරතව ඇති බවට චෝදනා එල්ල වන යුරෝ නිපෝන් නම් වාහන අළෙවිසැල මෙම සද්ගුණවත් උපාසක රොෂාන් රණසිංහගේ හිමිකාරීත්වයට යටත් ව්‍යාපාරයකි. මේ මෙතෙක් හෙළි වෙමින් පවතින කරුණු පමණි. තවත් හෙළි වීමට නියමිත දෑ කොතරම්ද යන්න නිවැරදිව දන්නේ රොෂාන් රණසිංහ පමණි. දැන් හොරු අල්ලනට පෙර මේ චෝදනා වල සත්‍ය අසත්‍යතාවය ඔහු ඔප්පුකර පෙන්විය යුතුය.

ඔහු එදා පාර්ලිමේන්තුවේදි පැවැසුවේ, මීළඟ ජනාධිපතිවරණයේදී තමන් මොක්කදෝ එකක් කර පෙන්වන බවය. සමහර විට ඒ තමන්ට ඇතැයි කියන රාජයෝගය ගැන හිතලා විය හැකිය. හැබැයි ඒ කියා වැඩි දවසක් යන්න කලින් සජබය කිව්වේ රොෂාන් රණසිංහට සජබයට පැමිණිය හැකි නමුත්  විපක්ෂයේ පොදු අපේක්ෂකකම නම් කිසිසේත් නොලැබෙන බවය.  සජිත් තමන්ව ඇන්දූ බවවත් දැන් රොෂාන්ට තේරෙනවා නම් ලොකු දෙයකි. රාජයෝග තිබුණාම රජ වෙන්න පුළුවන් කියා හිතල දේශපාලන ජීවිතය විනාශ කරගත්ත අය තවත් මේ රටේ සිටිති.  කොහොම නමුත් රොෂාන් රණසිංහගේ රාජයෝගය ගැන කියන්න වන්නේ තවත් අමනෝඥ පුතෙකුගේ කීම්බහට කූඤ්ඤය ගැලවීමට ගොස් සිය වල්ගය අහිමි කරගත් වඳුරෙකු මොටෙකු සිංහාසනාරූඪ කිරීමට තරම් මේ රටේ ජනතාවට දැන් සෙනසුරු ඒරාශ්ඨක යෝග නොමැති බවය. ඒ අපල උපද්‍රව කාලය දැන් අවසන්ය. දැන් ලබා ඇත්තේ සුබඵල භුක්තිවිඳීමේ කාලයය. ඒ නිසා මොන නීච ග්‍රහයන් දේශපාලන පෙරළි කරන්න සැරසුනත් වැඩක් වන්නේ නැත.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *