“‍ආණ්ඩුවේ පාර්ශ්වය විසින් සමාජ ජාලවලට විශාල වශයෙන් මුදල් යොදවා මට මෝඩ පුතානෝ, වැඩ බැරි පුතානෝ වැනි දෑ කියමින් සමච්චල් කරනවා.”‍ මේ කතාව කාගෙද? පසුගියදා
එහෙම කිව්වේ සජබ නායක සජිත් ප්‍රේමදාසය.
මෙහෙම කියා සජිත් වහන්න උත්සාහ කරන්නේ අන් කිසිවක් නොව තමන්ගේ මෝඩකම සහ වැඩ බැරි ගායය. නිතරම අගක් මුලක් නැති කතාවලින් මෙන්ම ලොවෙත් නැති ශබ්ද කෝෂයෙන් සජිත් වහගන්න උත්සාහ කරන්නේ ඒ අඩුපාඩුවය. හිනා වෙන්නද අඬන්න ද කියා හිතාගන්න බැරි වැඩවලින් ද සජිත් වහගන්න යන්නේ ද ඒ අඩුපාඩුව ය. ඒ සියලු‍ උත්සාහයන් අපතේ යන්නේ හැංගෙන්න හිස පමණක් වැල්ලේ සඟවා ගන්නා මෝඩ පැස්බරු සිහිපත් කරමින්ය.

මන්ද කියන කරන කොයි දෙයිනුත් සජිත් ඔප්පු කරමින් සිටින්නේ තම අසමත් භාවය මිස අනෙකක් නොවන නිසා ය. ඕකට ජනවහර කියන්නේ “‍කෙනෙකුගේ බුද්ධිය පටු වන තරමට දේශනාව දික් වෙනවා”‍ කියාය.
සජිත් 2023 වසරට සමුදුන්නේද 2024 නව වසර මස්ත බාල්දුවකින් පිළිගත්තේ ද ඒ බව යළි යළිත් ඔප්පු කරමින්ය.
2023 වසර සජිත් අවසන් කරේ, ඩලස්ව හළා පැමිණි නිදහස ජනතා සංවිධානයේ මන්ත්‍රීවරු හය දෙනෙක් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම සමඟය. දෙසැම්බර් 28 වෙනිදා ඒ ගිවිසුම අත්සන් කළේ ජී.එල්. පීරිස්ගේ ගෙදරදීය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මේ අවබෝධතා ගිවිසුම අනුව සජිත් ඩලාව හළා එන ගෝලයන්ට දෙන ‘ෆුල් ඔප්ෂන් පැකේජය’‍ මෙහෙම ය.
ජී.එල්. පීරිස්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අමතරව ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූරයක්ය. නාලක ගොඩහේවාට ගම්පහ දිස්ත්‍රික්කයේ සම සභාපති ධූරය වගේම මීරිගම ආසන සංවිධායක ධූරය එක්කම ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූරයක්ය. චන්න ජයසුමනට අනුරාධපුර සම සභාපති ධූරය සමග, කලාවැව ආසන සංවිධායක ධූරයය. ඩිලාන් පෙරේරාට බදුල්ල දිස්ත්‍රික් නායකත්වය එක්ක ප්‍රබල අමාත්‍ය ධූරයක්ය. වසන්ත යාපා මහනුවර නිසාත්, මහනුවර සජබ ප්‍රබලයන් රැසක් ඉන්න නිසාත් ඔහුට නියෝජ්‍ය ලේකම් තනතුරක් සමඟ යටිනුවර ආසන සංවිධායක ධූරයය.

2023 එසේ අවසන් කළ සජිත් 2024 නව වසරට ගත්තේ ද කුල්ල කුජීත ආරම්භයක්ය. ඒ තමන්ගේ වෙන්ඩ ජනාධිපති හීනයට කුල වාර්ගිකකරණය ද ඈදා ගනිමින්ය. ජනවාරි 01 වනදා ඒ වෙඩිල්ල පත්‍තු වූයේ ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කළ ශාන් විජයලාල් සජබට ගැනීම සමඟය. එයින් සිදුවූයේ කුලය මත පදනම්ව මන්ත්‍රීවරුන් තේරී පත්වන ආකාරය ගැන සමාජ කතිකාවක් නිර්මාණය වීමය. ඒ අනුව නිදහස ජනතා සභාවේ කරාව කුලය නියෝජනය කරන ජී.එල්. පීරිස්, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඒ වන විටත් හිටියේ සජබට එකතුවය. සලාව කුලය නියෝජනය කරන වියත්මඟ හිටපු කැඳවුම්කරු නාලක ගොඩහේවා ද ඒ වන විට සජබ යේය. ඒ සමඟ සිදුවූ දයාශ්‍රිතගේ ආගමනයත් තහවුරු කළේ සජිත් හදනවා කියන සන්ධානය කරාව, සලාගම, පදු, දුරාව කුලවලට අයත් දේශපාලකයින්ගේ එකතුවක් ද යන ප්‍රශ්නය සමාජය තුළින් පැන නැගීමය.

සජිත්ගේ මේ කුල ඈඳිල්ල නිසා මුලින්ම අවුල් වුණේ සජබ සිටින ගොවිගම කුලේ උදවිය ය. ලොක්කව මෙන්ම ලොක්කාගේ පටු අවස්ථාවාදී උපක්‍රමයත් බේරගන්න ඒ අය කළේ, කුලයේ කැලැල්ල වහන්න ගොවිගම කුලයේ කෙනෙකුත් උස්සන්න යෝජනා කිරීමය.

වැලිගම හේමාල් ගුණසේකර සජබෙට උස්සන මෙහෙයුම දියත් කෙරුණේ ඒ අනුවය. එහෙත් එය අසාර්ථක වූ අතර, තවමත් ඒ පුරප්පාඩුව සජබ රැකගෙන ඉන්නේ ඕනම පක්ෂයක ඉන්න ගොවිගම ලොක්කෙක් සජබෙට ගන්නය.
2024 වසර ඔය විදිහට හොර බාල්දු ගහන්න ගිහින් කුජීත කරගත් සජිත්ගේ ගොංකං එයින් අවසන් වූයේ නැත.
2024 වසරේ පළමු පාර්ලිමේන්තු දිනයේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණේය. එම සිදුවීම වාර්තාවලට එක්වූයේ ජනතාවගේ ශාපයෙන් ගැලවෙන්න ඉල්ලා අස්වූ පළමු මන්ත්‍රී ලෙසය.

නමුත් දේශපාලන ක්ෂේත්‍රයේ ඒ ගැන අහන්න ලැබුණේ, වෙනත් කතාවක් ය. එනම්, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත්ගේ දානපතියා වූ, ජලනි ප්‍රේමදාසගේ මස්සිනාට පාර්ලිමේන්තු එන්න සජිත්ගේ බලපෑම නිසා චමින්ද ඉල්ලා අස්වූ බවය. දිගින් දිගටම එල්ලවූ බලපෑම් හමුවේ චමින්දට දේශපාලනය තිත්තව සිටි බවය. ඩිලාන් පෙරේරා වැනි අවස්ථාවාදී කුණුපොල් දේශපාලනඥයින් පක්ෂයට ගෙන ඔවුන්ට දිස්ත්‍රික් නායක ධූර දීමත් සමඟ ඒ කලකිරීම් ඉස්මුරුත්තාවට ගිය බවය.
ඔය අතරේ මහින්දානන්ද අලු‍ත්ගමගේ
පාර්ලිමේන්තුවේදී කතානායකගෙන් ඉල්ලීමක් කළේය.
“ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ, එතුමාට පාරේ යන්න බැහැ. ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා. මන්ත්‍රීවරු සියලු‍ දෙනා හෑල්ලු‍ කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා, මිනිස්සු අතර ඉන්නවා, අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පස්සේ, ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900ක් අර‌ගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොඳ නැහැ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත්, චමින්ද ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්නත්, මේ කරන ප්‍රකාශ හොඳ නෑ. ඒගැන හොයා බලන්න කියා මම ඉල්ලා සිටිනවා.”
මහින්දානන්ද මේ අනාවරණය සිදුකර සතියක් ගතවී ඇතත් ඊට අදාළ සජබ ප්‍රතිචාරය තවමත් නැත. ඒ වෙනුවට නිල නොවන මට්ටමින් සජිත් පාර්ශ්වය ප්‍රචාරයක් යැව්වේ චමින්ද මුදල් ප්‍රශ්නයක් නිසා නයන වාසලතිලක සමග මන්ත්‍රී ධූරය මුදලට හුවමාරු කරගත් බවය.
ඒ කතා ඇත්ත නම් සජිත් වාර්තා අතරට යන්නේ, ජනතා නියෝජිතත්වය විකුණාගෙන කෑමේ ආදර්ශයට නායකත්වය ලබාදුන් නායකයා වශයෙන්ය. මන්ත්‍රී ධූරයක් විකිණීම අනුමත කරමින් ජනතා පරමාධිපත්‍යට ලංසුවක් නියම කළ සජිත් මේ නිසා කරගත්තේ මහජන දේපොළ රැකගැනීම ගැන කතා කරන්න තිබු සාදාචාරාත්මක හෝ දේශපාලනික අයිතිය ද නැති කරගැනීමකි.
ඒ ආකාරයට දේශපාලන නායකයකු ලෙස කරන්න තිබෙන පහත්ම සහ දරුණුම නරුම ක්‍රියාව සජිත් සිදුකර අවසානය. වැඩේ කියන්නේ ගලේ පහරා හත්පොළේ ගාගත්තා මදිවට, ඒ වැසීමට ප්‍රසිද්ධියේ වැලි පස් ද සෙවීමය. ජනවාරි 09 වනදා කළු ඇඳගෙන පාර්ලිමේන්තු පැමිණීමේ නාඩගම ද එවැන්නක්ය. නමුත් සජිත්ගේ මේ ළදරු දේශපාලන වලිප්පුව දැන් ඇතැම් සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉවසීම ඉක්මවා හමාරය. ඒ බවත් තහවුරු කෙරුණේ ජනවාරි 09 වනදාය. එදා සජබ ජ්‍යෙෂ්ඨ නායකයන් වන කබීර් හෂීම්, තලතා අතුකෝරළ වැන්නවුන් කළු ඇන්දේ නැත. ඒ බව දුටු කිරිඇල්ල නායකතුමා කළු අදින ලෙස දැනුම්දී ඇති නිසා ඇඳුම් මාරු කරගෙන එන ලෙස දන්වා ඇතත්, ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “ඔය ගොං පාර්ට් වලට අපි නෑ”‍ කියාය.
එපමණක් නොව, ගෝඨාගේ උපදේශකයන් ලෙස කටයුතු කර, මේ වන විට සජිත්ගේ ද ප්‍රධාන උපදේශක ධූර ලබා සිටින ගොඩහේවායන්ද සජබ ජ්‍යෙෂ්ඨයන් වෙතින් ගේම ඉල්ලන තැනට පත්ව ඇත.
සජබ ඇතුළේ ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව සිටින්නේ එහි ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කළ පිරිසය. ඒ අතරේ හර්ෂ ද සිල්වා විශේෂ ය.
ගොඩහේවා සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ “‍හර්ෂගේ ආර්ථික ප්‍රතිපත්ති මම පිළිගන්නෙ නෑ, මම සාකච්ඡා කළේ හර්ෂ එක්ක නෙමේ සජිත් එක්ක”‍ කියාය.
දැන් ප්‍රශ්නය වන්නේ ඔය ගොඩහේවා කියන විදිහට හර්ෂගෙයි සජිත්ගෙයි ආර්ථික ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් ද? යන්නය. ඊට අදාළව සජිත්ගේ ප්‍රතිචාරය පසුගියදා පැවති සජබ ජ්‍යේෂ්ඨ කණ්ඩායම් හමුවේ දී ද එළිබැස තිබිණ. සජිත් ප්‍රසිද්ධියේ කියා තිබුණේ, සජබ ආර්ථික සැලැස්ම වූ බ්ලූ ප්‍රින්ට් එක ජනාධිපති රනිල් වික්‍රමසිංහ යස අගේට කරමින් සිටින බැවින් තවදුරටත් එය සජබ ආර්ථික සැලැස්ම නොවිය යුතු බවය.
දැන් ප්‍රශ්නය මෙහෙමය.
එතකොට සජබයේ, ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහක තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම “ද බ්ලු‍ ප්‍රින්ට් 2.0”‍ එක යනුවෙන් පහුගිය
පෙබරවාරියේ කොළඹ පැවැති ඔවුන්ගේ ආර්ථික සමුළුවේදී රට හමුවේ ප්‍රකාශයකට පත්කළේ බොරුවක් ද? එදා “ද බ්ලු‍ ප්‍රින්ට් 2.0”‍ එළිදැක්වීම අවස්ථාවේ එය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ බව සජිත් දැන නොසිටියා ද?
මේ ප්‍රශ්නවලට දෙන්න පිළිතුරු සජිත්‍ට නැත. 2020 දී දේශපාලනඥයින් කිහිපදෙනෙකු ගනුලැබූ අදූරදර්ශී තීන්දුව නොවන්න සජිත් වැන්නෙකුට කිසිදාක පක්ෂ නායකයකු වෙන්න ලැබෙන්නේ නැත. එදා රනිල්ට බැන සජිත්ව කරේ තියාගත්ත පිරිසටත් සජිත්ගේ තරම තේරුණේ සජිත් නායකයා කළ පසුවය. මේ වන විට සජිත්ව පක්ෂ නායකයකු කරන්න මැදිහත් වූ කිසිම දේශපාලනඥයකු දැන් සජිත් සමග නැත.
ඒ නිසා පරණ පිනකට මෙන් ලැබුණු නායකත්වය ගැනත් සජිත්‍ට වගක් නැත. එහි පාලනය මුළුමනින්ම සිදුවන්නේ සජිත්ගේ බිරිඳ ජලනි සහ සජිත්ගේ ව්‍යාපාරික මිතුරන් කිහිපදෙනෙකුය. සජිත් කියන්නේ ඒ පිරිසේ විධානයට වැඩ කරන දේශපාලන ළදරුවෙක් ය.
මෑතකදී සජිත් ඒ බව ඔප්පුකර සිටියේ 2024 අයවැය විවාදය අවස්ථාවේය. එම විවාදය සජිත් මුළුමනින්ම කැප කරේ ක්‍රිකට් වෙනුවෙන්ය. ඒ පිටුපස තිබුණේ ජලනිගේ මස්සිනා වූ නයන වාසලතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලිදීමේ ව්‍යාපෘතියය. ‘මනි ලොන්ඩරින්’ සහ ‘මැච් ෆික්සින්’ ජාවාරම්කාරයෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් කදිම දඩබිමකි. ඒ ව්‍යාපෘතිය භාරගත් සජිත් කළේ, සමස්ත අයවැය විවාදය ක්‍රිකට් වෙනුවෙන් වෙන් කිරීමය. නමුත් අයවැය විවාදය අවසන් වන විට සජිත්ගේ ක්‍රිකට් වල්ලිපුව සනීප වූ ආකාරය අමුතුවෙන් ලිවිය යුතු නැත. සජිත්ගේ මාසයක මහන්සිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක නිවේදනයෙන් තමන්ගේ ගිණුමට බැරකර ගත්තේ ය.
මේ ආකාරයට සජිත් මොනවා කරත් එහි දේශපාලන ලකුණු සියල්ල වැටෙන්නේ ජනාධිපති රනිල්ට බැවින් මේ වන විට සජබ දේශපාලන ව්‍යාපෘතිය මුලු‍මනින්ම අර්බුදයට ගමන්කර ඇත. එක් පසෙකින් සජිත් දේශපාලනඥයකු ලෙස අසාර්ථක වී ඇති අතර අනෙක් පසින් සජිත්ගේ බිස්නස් මිතුරන්ගේ මුදල් විසිකිරීම් ගඟට ඉනි කැපීමට සමාන ප්‍රතිඵලයක් උදාකර ඇත. සජිත්ගේ ප්‍රධාන අර්ථපතියා වූ නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කේවල් කළේ ද ඒ නිසාය. මේ වෙන දේවල් අනුව 2024 සජිත්‍ට තීරණාත්මකය. ඔහු ෘද දර ෘසැ දේශපාලන තාප්පයට හේත්තු වී ඇත. ඒ නිසා ඇති වූ පීඩනය සුළුපටු නොවන බව තහවුරු වන්නේ පසුගිය
සමයේ දරුණු දූෂණ විරෝධයක සිටි සජබ, එහිම ප්‍රතිවිරෝධය ක්‍රියාවට නැංවූයේ රාජපක්ෂවරුන්ගේ සියලු‍ නොපනත්කම් අනුමත කළ, ඊට අනුශාසනා සිදු කළ, සෑම ආකාරයකින්ම දූෂිත තක්කඩි පිරිසක් සමග සජිත් ඵධඹ අත්සන් කිරීම සමඟ ය.
ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින්නේ සජබ බවට කියූ පම්පෝරියත් සජිත් අවසන් කළේය. ඒ චන්න ජයසුමන වැන්නවුන් සජබට ගැනීම ගැන සුලු‍ පක්ෂ නායකයන් දැක්වූ විරෝධයට පිටුපාමින් ය. එහිදී සජිත්ගේ තර්කය වී තිබුණේ “රටේ බහුතරය සිංහල බෞද්ධ”‍ බවය.
සජිත් නටන්න යන දේශපාලන සූදුව සෙල්ලම් නැත්තේ මේ නිසාය. රාජපක්ෂ කඳවුරේ සිටි දක්ශයන් සමඟ ජනාධිපති රනිල් රට ගොඩනගන අතරේ සජිත් එහි සිටි දූෂිත උපදේශකයන් රැස්කරන තැනට වැටී ඇත. ජනතාව ප්‍රතිකේෂ්ප කළ ඔවුන්ගේ රැකවලා වී ඇත. ඔවුන්ගේ උත්සාහය සජබ ඡන්දවලින් හෝ ආයෙත් පාර්ලිමේන්තු කැන්ටින් බතේ රස බැලීමය. තම පක්ෂයේ සිටින නවකයන් දක්ෂයන් කපමින් සජිත් ඉඩ හදාදෙන්නේ ඒ සඳහාය. අද විජේසිරිට අත්වූ ඉරණම හෙට හර්ෂටය. පසුව එරාන්ටය. රෝහිණී කවිරත්නටය.
සැබවින්ම සජිත්ගේ මේ මොහොතේ දේශපාලන ව්‍යාපෘතිය වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඕනම දෙයක් පරදු තැබීමය. එය කොතනින් අවසන් වේද කියා අප දන්නේ නැත. මානසික රෝගීන් රෝගීත්වය උත්සන්න වෙන්න වෙන්නම සූක්ෂම වනවා පමණක් නොව, දොස්තරට ඇඳ, බෙහෙත් දෙන්නත් එන්නේය. ඒ නිසා අපේ යෝජනාව නම් මෙවැනි ව්‍යාධිවලට ගොදුරු දේශපාලන පිටියෙන් අතුගා දැමිය යුතු බවයි. සැබෑ නිර්පාක්ෂික අරගලය ඉල්ලු‍ සිස්ටම් චේන්ජ් දේශපාලනය පෙරට ගන්න නම් මේ ව්‍යාධී බාධක ඉවත් කළ යුතුය. “ඃපන්නමු”‍ කියන්නේ අන්න ඒ මල් වට්ටියට අත ගැසීමේ ශුද්ධ වූ යෝජනාව ය.

……..කල්ප අනුත්තර ලියනගේ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *