ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන ජීවිත රගමඩලෙන් සමුගනී.

0

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

1966 වසරේදී කලාවට පිවිසි සුමින්ද සිරිසේන මහතා මිය යන විට 75 හැවිරිදි වියේ පසු වුණා.

මූදු පුත්තු ඔහු රංගනයෙන් දායක වූ පළමු වේදිකා නාට්‍යය වු අතර කදා වළලු, මනමේ, සිංහබාහු , බවකඩතුරාව, මුහුණු දෙකක්, වෙස් මුහුණු, අන්දකාරය, ආනන්ද ජවනිකා වැනි වේදිකා නාට්‍ය රැසකට සුමින්ද සිරිසේන මහතා සිය දායකත්වය ලබා දුන් අතර දුහුළු මලක්, දඬු මොනර, ගුරු ගෙදර, සමනල තටු, යකඩ පිහාටු, සප්ත කන්‍යා, නිසල විල, උඩුගංයාමය, ගාමණි, ගිනි කිරිල්ලී වැනි සිනමා නිර්මාණ විශාල සංඛ්‍යාවකට ඒ මහතා රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔහුගේ පළමු ටෙලිනාට්‍යය සිහින නිම්නය වු අතර බෝගල සවුන්දිරිස්, චරිත තුනක්, රම්‍ය සුරම්‍ය, අසනි වැසි, එකට ගැටුම, දුම්රිය අන්දරය, අබුද්දස්ස කාලය, හතර වටේ, ජීවිතය දකින්න, මෙහෙව් රටේ, සඳ අමාවකයි, නිසල විල, යස ඉසුරු, සේපාලිකා, තෙත් සහ වියළි, පිපි පියුම් වැනි නිර්මාණ රැසකට සුමින්ද සිරිසේන මහතා රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර කැපී පෙනුණා.

සුමින්ද සිරිසේන මහතා අවසන් වරට දායක වුයේ බොරළු පාර ටෙලි නිර්මාණයට වන අතර එහි රූපගත කිරීම් කටයුතු සිදු කරන අවසන් කාලයේදී ඔහු රෝගී තත්ත්වයට පත් වුන බවයි වාර්තා වන්නේ.

ඉන් පසු වසර ගණනාවක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (04) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සුමින්ද සිරිසේන මහතා කලා කීර්ති, කලා භූෂණ, හොඳම නළුවා, සහය නළුවා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබු රංගධරයෙකු වනවා.

සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *