බඩගින්නට වඩා ඇවිළෙන බදුගින්න
ලෝකයේ ඕනෑම රටක පුරවැසියන්ගේ ජීවන පැවැත්ම වෙනුවෙන් ඒ ඒ රජය විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවා සඳහා දරන වියදම් පියවීමේ අරමුණින් ඉපයිය යුතු ආදායම උපයා ගැනීමේ සහ වර්ධනය කරගැනීමේ ප්‍රධානතම සහ එකම ප්‍රායෝගික මාධ්‍යය බදු අය කිරීමයි. කෙසේ වෙතත්, කාර්යක්ෂම හා සාධාරණ බදු ක්‍රමයක් පිහිටුවීම හෙවත් ප්‍රශස්ථ බදුකරණයක් පවත්වාගෙන යාම, විශේෂයෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය තුළ හුදකලා නොවීමට සහ ඒකාබද්ධ වීමට අපේක්ෂා කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට අත්‍යවශ්‍ය සාධකයකි. එය රජයකට සිය පැවැත්ම උදෙසා අධික ණය ගැනීම් වළක්වා ගැනීමට මෙන්ම ආර්ථික ස්ථායිකරණය පවත්වාගෙන යාමට ඉවහල් වේ. තවද මේ සඳහා බදුකරණය මගින් අත්‍යවශ්‍ය ආදායම් උපයා ගැනීමට සහ පවත්නා ආර්ථික ක්‍රියාකාරකම් අධෛර්මත් කිරීමට බලපෑම් නොවන ආකාරයේ කාර්යක්ෂම සහ සාධාරණ බදු ක්‍රමයක් විය යුතුය.
ලංකාවේ බදු ක්‍රමය
වර්තමාන ලංකාවේ ක්‍රියාත්මක වන බදු අයකිරීම ප්‍රධාන වශයෙන් දෙයාකාරයකි. එනම් ඍජු බදු සහ වක්‍ර බදුය. මෙහි ඍජු බදු යටතට ආදායම් බදු, තීරු බදු, පිරිවැටුම් බදු වගේම ඉඩම් හෝ දේපළ බදු අයත්වන අතර රජයට ඍජුවම ගෙවීම් නොකරන හෙවත් වක්‍ර බදු යනු පුරවැසියා පරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවා සඳහා රජය අයකරන බදුය. එම බදු පාරිභෝගිකයා මත පැටවේ. එකතු කළ අගය මත පැනවූ (ඪ්ඔ) බදු අයත් වන්නෙත් එම කාණ්ඩයටය.
බදු අයකිරීමේ ප්‍රධාන අරමුණ මහජන සේවාවන් සඳහා අරමුදල් රැස්කරගැනීමයි. පවතින ආර්ථික ක්‍රමවේදය තුළ තම තමන්ගේ දෛනික කටයුතු කරගෙන යාමට තරම් වූ ආදායමක් අහිමි පුද්ගලයන් සහ සහනයන් අවශ්‍යවන ක්ෂේත්‍ර වෙත සහනාධාර ලබා දීමට ද බදු ආදායම් යොදවයි. රජයේ බදු ආදායමේ අඩු වැඩි වීම කෙරේ රජයෙන් ලැබෙන සේවාවන් වෙනුවෙන් පුරවැසියන් බදු ගෙවීමට ඇති කැමැත්ත මූලික සාධයක්ව පවතී.
රට තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි පුළුල් පරාසයක පැතිරුණු මහජන සේවාවන් සැපයීමේ වගකීම රජය සතු ය. කෙසේ වෙතත්, වර්තමානයේ මෙම රාජ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය පිරිවැය සපුරාගැනීමට හෝ බදු එකතු කිරීම ප්‍රමාණවත්ව නැත. ඒ සඳහා බලපානු ලබන හේතු සාධක ගණනාවක් හඳුනාගත හැකි අතර මූලිකවම රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය සහ රජය විසින් සිදුකරනු ලබන මහජන සේවා සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා අතෘත්තිකර ස්වභාවය මත බදු ගෙවීමට ඇති අකමැත්ත මෙන්ම රාජ්‍ය බදුකරණ ප්‍රතිපත්තිය පිළිබඳ මනා අවබෝධයක් මහජනයා සතු නොවීම පෙන්වා දිය හැකිය.
එසේම නිදහසින් පසු ලංකාවේ පැවැති රජයන් සහ පාලනයන් විසින් ක්‍රමවත් බදුකරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිමත් පසුබිමක් නිර්මාණය නොකිරීම හේතුකොට ගෙන බදු පැහැර හැරීම උනන්දු කරන ආකාරයේ පසුබිමක් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයන් හරහා සමාජයට ගලායාම තුළ ඒ ඒ පුද්ගලයන් විසින් අවස්ථානුකූලව අනීතික වාසි ලබාගැනීමට පෙළඹීම රාජ්‍ය බදු ආදායම අඩුවීමට හේතු වී තිබේ. විශේෂයෙන් සුරා බදු සහ රේගු බදු ආදායම් අපේක්ෂිත ආකාරයට එකතුකර ගැනීමට අසමත් වීම මෙම අනීතික බලපෑමේ ප්‍රතිඵලයකි. එය 1990 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 19% සිට 2022 දී 7.3% දක්වා ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි කරගත හැක. එපමණක් නොව දීර්ඝකාලීන ආර්ථික ස්ථායිකරණයක් වෙනුවෙන් වූ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට අපොහොසත් වීම ද මේ බදුකරණයේ අසමත්භාවයට බෙහෙවින් බලපා තිබේ.
මෙවැනි තත්තවයක් යටතේ රටේ බදු ආදායම දීර්ඝ කාලයක් පුරා පැවතියේ විෂම පදනමක් මතය. එනමේ ඍජු බදු 20%ක් ද වක්‍ර බදු 80%ක් ද වන අකාරයට ය. කෙසේ වෙතත් මේ වන විට 30%:70% දක්වා යම් වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. උදාහරණයක් ලෙස මුළු බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස සෘජු බදු ආදායම 2000 වසරේ 15% ක පමණ අගයක සිට 2022 දී 31.5% දක්වා ක්‍රමයෙන් වැඩි වීම පෙන්වා දිය හැක. නමුත් එය ආර්ථික ස්ථායිකරණයකට ප්‍රමාණවත් නොවන තරම්ය. සමස්ත බදු ආදායම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 10% වඩා පහළ අගයක් දක්වා කඩා වැටීම මෑත කාලයේදී සිදු විය. මේ සියලු තත්වයන් යටතේ වත්මන් ආණ්ඩුවේ නව බදුකරණයේ අපේක්ෂිත අගය 2026 වන විට එය 14% මට්ටමක අගයක් දක්වා වර්ධනය කිරීමය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර නිර්ණායකය වන්නේ මෙම අගය 15 % ඉක්මවන්නේ නම් ආර්ථික ස්ථාවරත්වයත් ආර්ථික සංවර්ධන වේගයත් පවත්වාගැනීමට පහසු වන බවය.
වැට් බදු ප්‍රතිශය ඉහළ දැමීම
රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් එළැඹෙන 2024 ජනවාරි 1 දා සිට එකතු කිරීමේ අගය මත පනවා ඇති බදු ප්‍රතිශතය 15% සිට 18% දක්වා 3%කින් ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි වර්ෂයේ සිට වැට් බදු ප්‍රතිශතය 18%කි. සාමාන්‍යයන් බැලූ බැල්මට 3%කින් වැට් බදු ප්‍රතිශතය ඉහළ ගියා යැයි සැලකුව ද නව බදු අනුපාතය හඳුන්වාදීමත් සමඟ එතෙක් වැට් බද්දට හසු නොවූ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නව බදු කරණයට ඇතුළත් වීම හමුවේ ඒ ඒ නව ආයිත්මයන් සඳහා අලුතින් 18%ක බද්දක් අයකරනු ලබයි. ඒ ආහාර, ආහාර නොවන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සේවා සහ වෙනත් යන වර්ගීකරණයන් යටතේ මෙකී නව ආයිතමයන් ගණනාවක් 2024 ජනවාරි සිට නව බදුකරණයට අයත් වේ. එය අවසානයේ ඍජුවම පාරිභෝගිකයා විසින් දැරිය යුතු පිරිවැයකි. තවත් සමාජය මත පැටවෙන බදු බරකි.
ආණ්ඩු විරෝධීන්ගේ බරපතලම විවේචනය වන්නේ ද මෙම වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම අසාධාරණ බවය. සමාජය මත අධික පීඩනයක් එල්ල කරන බවය. එය ජනපති රනිල්ට හෝ ආණ්ඩුවේ බලධාරීන්ට ඇඟිල්ලෙන් ඇනලා, පාරේ උද්ඝෝෂණ කරලා, පිකටිං කරලා , ගිරිය කඩාගෙන කෑගහලා කියලා දෙන්න අවශ්‍ය දෙයක් නොවේ. මන්ද ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහිතව ගන්නා ලද දීර්ඝ කාලීන සැලැස්මක තාවකාලික එක් පියවරක් පමණක් වන නිසාවෙනි. ආණ්ඩු විරොධීන්ට රූපවාහිණි තිරයේ බදු වීරයන් වීමට මිසක මේ බදු විරෝධී විගඩම නටන්නේ, ආණ්ඩුවේ සැලසුම සම්බන්ධයෙන් අනවබෝධයකින් නොවන බව ද ජනතාව තේරුම් ගත යුතුය. ඒ වත්මන් ආණඩුවේ ආර්ථික සැලසුමේ තීන්දු තීරණ නිසා ඉදිරියේදී බරපතල අවාසිය සිදුවන්නේ දැන් ආණ්ඩු විරෝධීව කටයුතු කරන කයිවාරුකරුවන්ට මිසක රටේ ජනතාව නොවන බැවිනි. එසේම ඉතා කෙටි කාලයක් තුළ මේ බදු පැනවීම ආපසු හැරවීමට රජය පියවර ගන්නා විට ද මේ විරෝධතාකරුවන් නැවත කියනු ඇත්තේ ජනතාවට සහනයක් ලැබුණා කියා නොව ආණ්ඩුවේ හිතවාදීන්ට බදු සහන දුන්නා කියා ය. ඒ වෘත්තීය ආණ්ඩු විරෝධීන්ගේ හැටිය. එමනිසා වෘත්තීය ආණ්ඩු විරෝධී කයිවාරුකරුවන්ගේ සිල්ලර දේශපාලනයට නතු නොවී ඇත්තටම රනිල්ගේ ආණ්ඩුව මේ බදු වැඩිකිරීම සිදුකලේ ඇයිද? යන්න විමසා බැලිය යුතුය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස මේ රට භාරගන්නා අවස්ථාව යනු ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ කඩා වැටීමකට ලක්ව අන්ත දුක්ඛිත, පීඩාකාරී, ආර්ථික අගාධයක ඇදවැටී තිබූ බව නැවන නැවත සිහිපත් කළ යුතුය. මන්ද ඒ අඳුරු කාලපරිච්ඡේදය අමතක කොට වත්මන් සුවපහසු වටපිටාවේ සිට අනාගතය ගැන කයිවාරු ගසන දේශපාලන අඳබාලයන්ගේ නොහැකියාවේ තරම රටට අමතක නොවිය යුතු බැවිනි. ඔවුන් එදා තීරණාත්මක අභියෝගයක් වූ රට ගොඩගැනීම වෙනුවෙන් ඉදිරිපත් නොවුණා පමණක් නොව අභියෝගය භාරගත් රනිල්ට දශමයක හෝ උදව්වක් ලබා දුන්නේ නැත. එපමණක් නොව හැකි සෑම අවස්ථාවකම කඩාකප්පල් ක්‍රියාවන් කරමින් රනිල් ගෙන යන වැඩපිළිවෙලට බාධා කළේය.
2024 වැට් බදු වැඩි කිරීමේ යෝජනාවට පෙර මේ රටේ ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන් ගතයුතු පියවරයන් ලෙස රජය ඉදිරිපත් කළ ආදායම් බදු සංශෝධන පනතට එරෙහිව රටේ වෘත්තිකයන් පාරට බැස්සවීම, පෞද්ගලීකරණ වැඩපිළිවෙලට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්වීම ද මේ රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවාගැනීම බාධා කළේය. එය ආණ්ඩුවේ සැලසුම කඩාකප්පල් කිරීම වෙනුවෙන් ගත් පියවරකි. එකී පිරිස අද රූපපෙට්ටි වීරයන් ලෙස රට ගොඩගන්නා ආකාරය ගැන පුරසාරම් දොඩමින් සිටියද ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායම වැඩි කරගැනීම ලැන නොකියයි. මේ නිසා මේ අයගේ අඳෝනා නැඟීම, රට වෙනුවෙන් හෝ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් නොව තම තමන්ගේ පෞද්ගලික ඉලක්ක සපුරාගැනීමට පමණක් බව දන්නා මේ රටේ නිහඬ බහුතර ජනතාව තවමත් රජයේ පියවරයන් උපේක්ෂාවෙන් දරාගනිමින් සිටිති. ඔවුන්ගේ ප්‍රතිචාරය ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේ දී රටට පෙන්වා දෙනු ඇති බව නිසැකය.
කෙසේ වෙතත් ඒ සියලු බාධා කිරීම් මැද ශ්‍රී ලංකාව අත්විඳින ලද දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන යථා තත්ත්වයට පත්කිරීමේ අසීරු කාර්යය සාර්ථකව ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒමට වසර එකහමාරක් පමණ කෙටි කාලයක් තුළ රනිල්ගේ ආණ්ඩුව සමත් විය. 2022 සැප්තැම්බර් 70%ඉක්මවූ උද්ධමන අනුපාතය මේ වන විට 1.5%ට අඩුකිරීමත්, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000ක් වැඩි කිරීමත් (රු. 50,000ක මාසික වැටුපක් ලබන රාජ්‍ය සේවකයාට අදාළව ගතහොත් 20%ක වැටුප් වැඩිවීමකි), විශ්‍රාම වැටුප් වැඩි කිරීම, අස්වැසුම දීමනා වැඩිකිරීම ඇතුළු සමාජ සුබසාධනය වෙනුවෙන් ණය බරින් මිරිකුණු, බංකොලොත් ආර්ථිකයක් සහිත කිසිදු රජයක් නොගන්නා අභියෝගාත්මක තීන්දු ගෙන ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමක,ඊට අදාළ වියදම් සමනය කරගැනීම වෙනුවෙන් වැට් බදු වැඩිකිරීමට සිදුව තිබේ. එයද ඉලක්කගත ආර්ථික ස්ථායිකරණ ගමනක, සංවර්ධනීය ප්‍රවේශයක් වෙනුවෙන් තාවකාලිකව ගන්නා ලද තීරණයකි.
ආදායම අඩුයි වියදම වැඩියි, තුන්වේල කන්න විදිහක් නෑ, කන්න නැතුව මිනිස්සු මරන්න ද හදන්නේ වැනි චෝදනා රජයට එල්ල කරන කවුරුවත් දවසට වේලක් දෙවේලක් කාලා යන්තම් ජීවිතය ගැටගසා ගන්නා අයවලුන් නොවන්නේය. එසේම ලක්ෂයකට වඩා වැඩි ආදායම් උපයන අයගෙන් ආදායම් බදු එකතු කිරීමට යෝජනා කළ අවස්ථාවේ ඊට එරෙහිව මාරාන්තික විරෝධය දැක්වූවේද මොවුන්මය. ඔවුන්ගේ ඉලක්කය රට සංවර්ධනය නොව ඔවුන්ගෙ වෘත්තීය දේශපාලන පැවැත්මය. වර්ෂ අවසාන උත්සව සමයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම සෑම වර්ෂයකම සිදුවන සුලභ ලක්ෂණයකි. ඇතැම් විට එය කූට ව්‍යාපාරිකයන්ගේ උපක්‍රමික වාසි ලබාගැනීමකි. නමුත් මෙවර එය බදු වැඩි කිරීම නිසා යැයි ආණ්ඩු විරෝධීහු ඒත්තු ගැන්වීමට උත්සාහ දරමින් සිටියි. නමුත් බදු අදාළ වෙන්නේ ලබන වර්ෂයේ මුල සිට බවත් එය ද දරාගැනීම නොහැකි තරමේ අසීමාන්තික මිල ඉහළ යාමක් නොවන බවද සිහිපත් කළ යුතුය. ඉතා කෙටි කාලයක් තුළ ජනපති රනිල් ඔප්පු කර සිටියේ, තමන්ගේ සුඛවිහරණය නොව රටේ අනාගතය සංවර්ධනීය මට්ටමට ඔසවා තැබිය හැකි ක්‍රමවේදය මේ යන ගමන මිස වෙනකක් නොවන බවය. එම නිසා යම් දරාගැනීමක්, කැපකිරීමක් රටේ ජනතාවට තම තමන්ගේ මට්ටම් වලින් සිදුකරන්න වන අතර ඒ යළි රට කඩා නොවැටෙන්න අවශ්‍ය ස්ථායිකරණ පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙනි. තවද අද අපේ බඩගින්න දරාගත යුත්තේ අනාගත දුවා දරුවන්ට බඩගින්න දරාගැනීමට සිදුනොවන පරිසරයක්, සමාජයක්, ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. නමුත් බදු මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවට රාජය සේවයට එල්ල වන දූෂණ වංචා නාස්ති අකාර්යක්ෂමතා පිළිබඳ විවේචන චෝදනා නොතකා හැරිය යුතු බව මෙයින් කිසිසේත්ම බැහැර නොවේ. ඒ වෙනම බේරාගත යුතුය. ඒ ගැන අවධියෙන් පසු වීමත් පුරවැසි ජනතාවගේ වගකීමක් වේ. එසේම ඒ අකටයුතුකම් වැලැක්වීම වෙනුවෙනුත් රජය විශේෂ පියවරයන් ගනනාවක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. කෙසේ නමුත් අද රාජ්‍ය නායකත්වය විශේෂයෙන්ම විශ්වාසනීයවත්, දූෂණයෙන්, වංචාවෙන්, අකාර්යක්ෂමතාවලින් තොර ආණ්ඩුකරණයක් සහතික කිරීම වෙනුවෙන් පියවර ගනිමින් රට ඉදිරියට ඇදගෙන යෑම සඳහා ගන්නා දුෂ්කර ව්‍යායාමය හමුවේ, ඒ ආර්ශය හමුවේ, ඒ නොතකා මඟ හැර, වගකීම් සහගත පුරවැසියාට කටයුතු කළ නොහැක. කොහොම නමුත් පුරවැසියා බඩගින්න දරාගෙන හෝ ඇවිළෙන බදුගිනි දුක්ගිනි නිවීමට යම් කැපකිරීමක් අද දවසේ සිදු කිරීම තමන් වෙතම කරගන්නා අනාගතය ආයෝජනයක් වීම සිදුවෙනු ඇත. එහි ප්‍රතිලාබය තමන්ටමය. තමන්ගේ දුවා දරුවන්ටය.