බහුතරය නිකමුන් වන විට රටක් ගොඩගත නොහැකිය
රටේ ආර්ථික අර්බුදය විසඳාගැනීම ගැන පක්ෂ විපක්ෂ බේදයක් නැතිව නිරන්තරයෙන් කියවීමට ලක්වන දේවල් තිබේ. රටේ ආදායමට වඩා වියදම් වැඩියි, ඒ නිසා ණය වෙනවා, නැතිනම් රටේ වත්කම් විකුණාගෙන කනවා. මේ නිසා ණය නොවී තියෙන දේපොළක් වත්කමක් නොවිකුණා රට ගෙනියන්න නම් රටේ ආදායම් වර්ධනය කරගැනීම වෙන්න ඕනය… යනාදී වශයෙනි. එහෙත් බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම පාහේ රටේ ආදායම් වර්ධනය කරගැනීම ගැන කුමන හෝ උත්සාහයන් දරා ඇත. මන්ද එසේ නොමැතිව පවතින්න නොහැකි නිසාය. ඒ අතර, තිබුණු ආදායමත් නැති කරගෙන ණයක්වත් ගන්න නොහැකි තැනට ඉතිහාසය තුළ පත් වූ එකම අවස්ථාව වූයේ පසුගිය ගෝඨා පාලනයය.
ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා රට බංකොලොත් විය. තවමත් ඒ බංකොලොත් භාවයෙන් පුර්ණ වශයෙන් ගොඩඒමට නොහැකිව රටම පීඩාවට පත්ව සිටී. වත්මන් රජය වියදම් සීමා කරගනිමින් ආදායම් වර්ධනය කරගැනීම ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ මෙම බංකොලොත් භාවයෙන් ගොඩ ඒමටය.
ඒ කෙසේ නමුත් නිවසක නැතිනම් කුටුම්භයක ආර්ථිකය ගත්තත් ලැබෙන ආදායමට වඩා වියදම වැඩිනම් නිවසේ අර්බුදයක් හටගැනීම වැලැක්විය නොහැක. නිවසේ සාමාජිකයන්ට ණය ගැනීමේ සීමාවක් වෙයි. ණය දෙන්නා ණය දෙන්නේ ආපසු ගෙවීමේ හැකියාවක් තිබේද යන්න සැක හැර දැනගෙනය. නිවැසියන්ගේ වත්කම් විකුණා ජීවත් වීමේ හැකියාවද සීමාසහිතය. ඒ විකුණා අවසන් වෙන අවස්ථාවක් එළැඹේ. මේ නිසා නිවසක ආර්ථිකය අර්බුදයකට යනවා නම් විය යුත්තේ නිවැසියන් ආදායම් වැඩි කරගැනීමේ පියවරයන්ට යෑමය.
වර්තමානයේ රට මුහුණ දෙන අර්බුද හමුවේ භාණ්ඩ හා සේවා මිල යම් ඉහළ යෑමක් සිදුවිය. වෙනදා ලැබුණු ආදායමෙන් වියදම් දැරීම අපහසුය. රටේ බහුතරයක් මේ ගැටලුවට මුහුණ දී සිටී.
මේ තත්වයන් හමුවේ පසුගිය දිනෙක මහ බැංකු අධිපතිවරයා බඩු මිල ඉහළ යෑමට තිබෙන එකම උත්තරය ආදායම වැඩි කරගැනීම යැයි අදහසක් ප්‍රකාශයට පත්කළ විට සමාජ මාධ්‍යවලින් දිගින් දිගටම ඔහුව විවෙච්නය කරනු දකින්නට තිබිණි. මේ විවේචකයන්ගේ විශ්වාසය බඩු මිල අඩු කිරීම, සහනාධාර ලබාදීම ආදිය රජය විසින් සිදු කළ විට අර්බුදය විසඳෙන බවය. නමුත් ඒ යථාර්ථයක් වන දෙයක් හෝ මේ මොහොතේ ප්‍රායෝගික වන දෙයක් හෝ නොවේ. ආදායම වැඩි කරගැනීමට නොහැකිනම් වන්නේ වියදම් පාලනය කරගෙන පුළුවන් හැටියකට ජීවත් වීමය. නමුත් මහ බැංකු අධිපති ආදායම වැඩි කරගැනීම ගැන කිව් කතාව නිවැරදිම කතාවය. ඒ පුද්ගලයකුට කුටුම්බයකට පමණක් නොව රටටද අදාල සත්‍යයයි.
නමුත් රටක් විදිහට මේ වෙනුවෙන් පියවරයන්ට එළැඹීම දකින්නට ලැබුණත් කුටුම්බයන් වශයෙන් ගත් කළ ඒ හොඳ මට්ටමක නැත.
පසුගියදා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණයක දී මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබිණි. මේ නවතම දත්ත මඟින් රටේ පවුලක් වශයෙන් ජීවත් වන නිවැසියන් විදිහට නැතිනම් කුටුම්බ විදිහට 2022 වසරේ මාර්තු මාසයේ සිට මුහුණ දී ඇති තත්වයන් අනාවරණය කර තිබිණි.
එලෙස පීඩාවට ලක්වූ කුටුම්භවලින් සියයට 99.1කට වියදම් අධිකවීමට ආහාර වියදම් බලපා තිබිණි. සියයට 83 කට ප්‍රවාහන වියදම් වැඩි වී ඇත. සියයට 73.2 සෞඛ්‍යමය වියදම් ද තවත් සියයයට 51.8කට අධ්‍යාපන වියදම් ද වැඩි වී තිබිණි. විදුලිය, ඇඳුම් පැළඳුම් ආදී සෙසු වියදම් වැඩි බව පවසා තිබුණේ සියයට 1ත් 2ත් අතර ප්‍රමාණයකි.
එමෙන්ම ආර්ථික අර්බුදයේ බලපෑමට මුහුණ දීමේ ක්‍රමයක් ලෙස මෙම කාලය තුළ කුටුම්භවලින් සියයට 75.3කට පමණ වියදම් සීමාකිරීම් හෝ පාලනය කර ඇත. ආහාර වේල වෙනස් කිරීමට යොමු වී ඇති ප්‍රමාණය සියයට 75.2 කි. ණය ගැනීම, විකිණිම, උකස් තැබිම් සියයට 21.3ක් කර තිබේ. අධ්‍යාපන වියදම් කපා හැරීම සියයට 17.5ක් සිදුකර ඇත. එමෙන්ම ආදායම් උපයන්නන් සියයට 60ක දෙනාට අවම වශයෙන් එක් ආදායම් මාර්ගයක් හෝ අඩුවීමක් සිදුව ඇත.
මේ අනුව රටේ ආර්ථික අර්බුදය, නිවාසමය ආදායම් සහ වියදම් රටාවන්ට සැලකිය යුතු ලෙස බලපා ඇති අතර, මෙම අභියෝගාත්මක කාලයේ දී තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා සහ ඒවාට මුහුණ දීම වෙනුවෙන් කුමක් හෝ සිදුකිරීමට බලකර තිබෙන බව පැහැදිලිය.
කොහොම නමුත් මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වූ වැදගත් කරුණක් වන්නේ ආර්ථික අර්බුදය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගැනීමේ පියවර ගත් සහ නොගත් පිරිස සම්බන්ධයෙන් සමීක්ෂණ දත්තයන්ය. යම් පිරිසක් ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් පියවර ගෙන ඇතත් අර්බුදයට මුහුණ දීම සම්බන්ධයෙන් කිසිවක් නොකළ පිරිස ඉතා ඉහළය. එය සමස්ථ කුටුම්භයන්ගෙන් සියයට 73.6 ක් විය. මෙය සැලකිය යුතු කරුණකි. බොහෝ විට ඔවුන්ගේ ආදායමෙන් තවදුරටත් වියදම් දරාගෙන තම පැවැත්ම සහතික කරගැනීමට වෙරදරණ නිසා විය හැකිය.
මේ අතර කුටුම්බ වශයෙන් ද්විතීයික රැකියාවකට හෝ අතිරේක ආදායම් මාර්ගයකට යොමු වීම, වාර්තා වී ඇත්තේ සියයට 6.6ක් පමණි. සියයට 5.6ක් නව රැකියා සොයාගෙන ඇත. සියයට 5.4ක් වගාකිරීම් හෝ සත්වපාලනයට යොමුව තිබේ. වෙනත් එදිනෙදා ආර්ථික ක්‍රියාකාරකම් වලට සියයට 4ක් ගොස් ඇත. විදේශ ගතවීම් සියයට 3කි. කරන රැකියාවේ අතිකාල කිරීම් සියයට 2.4ක් යොමුව තිබේ. සියයට 2ක් යොමුවී තිබුණේ ණය, උකස් කිරීම හෝ අන් අයගෙන් ආහාර, මුදල් සෙවීමටය.
මේ අනුව අමතර ව්‍යාපාර ආදායමක්රැ කියාවක් වැනි දෙයකින් නිවසේ ආර්ථිකය ගොඩදමා ගැනීමට උත්සහ කරමින් සිටින්නේ සුළු පිරිසකි. එම පිරිස තමන් මුහුණ දෙන අර්බුදයේ යථා ස්වභාවය හඳුනාගෙන ආර්ථිකය තිරසාර කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මකව ඇත. නමුත් බහුතරක් දෙනා එවැනි පියවරකට නොයා දිගින් දිගටම පීඩාවන් සමඟ පොර බදිමින් දරිද්‍රතාවයේ පැත්තට ඇද වැටෙමින් සිටින බවත් පැහැදිලිය. ආර්ථික අර්බුදය නොවන්නට වැඩි ආදායම් මාර්ග සොයන පිරිස මීට වඩා බෙහෙවින් අඩුවීමත් නිසැක තත්වයකි.
රටේ බහුතරයක් දෙනා ලැබෙන දෙයක්, තිබෙන දෙයක් මත ඔන්න ඔහේ සිටීමේ මානසිකත්වයට ගාල් වී සිටින රටක් ගොඩගනවා කියන එකත් මහා වික්‍රමයක් යැයි කීමත් වැරදි නැත. නමුත් ඇතැම් විට රස්සාව නැති වෙලා, රස්සා හොයාගනන් නැහැ, ව්‍යාපාරයක් කරන්න ප්‍රාග්ධනයක් නෑ, අතදෙන්න කෙනෙක් නෑ… වැනි මැසිවිලි තිබේ. මේවායේ සාධාරණ බවක් තිබෙන බව පෙනුනද ඇත්ත වශයෙන්ම කරුණු සොයා බැලුවහොත් අවස්ථා නැතිකමට වඩා ඇත්තේ ඒ වෙනුවෙන් උනන්දුවීම, කැපවීම, වුවමණාව නැතිකමය.
විදේශගතව සිටින මෙරට බොහෝ පිරිසකගෙන් විමසා බැලුවහොත් තමන් විදේශගත වූ රැකියාවට අමතරව අර්ධකාලීන සුළු රැකියාවල හෝ සුළු ව්‍යාපාරවල යෙදී හෝ අමතර මුදල් සොයාගැනීමට කටයුතු කරන පිරිස බොහෝය. නමුත් තමන්ගේ පුද්ගල වටිනාකම්වලට හානි සිදුවේ යැයි සිතමින් සුළු රැකියාවලට යොමු නොවීම හා රැකියාවන්වලින් සමාජ තත්වයන් ගොඩනගා ගැනීමට රැකියා තෝරාගැනීමේ සිරිත් මෙරට තිබේ. තවමත් කුල සාධක වැනි දෙයට සමාජයේ බහුතරයක් තුළ පිළිගැනීමක් ඇත්තෙත් ඒ නිසාය. මේ පටු ආකල්පයන්ද මේ රටේ දියුණුව ආපස්සට ගැනීමට හේතු වී ඇත.
කවර තත්වයන් යටතේ හෝ බහුතරයක් නිකමුන් වන විට රජයකට වුවත් කළ හැකි දෙයක් නැත. රජයක් රටේ සංවර්ධනය උපායමාර්ග තෝරන්නේ රටේ වුවමණාවන්වල හැටියටය. යම් දෙයක් වෙනුවෙන් වුවමණනාවක් නැතිනම් රජයක් ඒ වෙනුවෙන් වද වෙන්නේ නැත. පසුගිය
රජයයන් මෙන්ම වත්මන් රජය ද වෘත්තිකයන්, පුහුණු ශ්‍රමිකයන් ගොඩනැංවීම ආදිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇතත් මේ රටේ බහුතරයක් ඒවායෙන් ගන්නා ප්‍රයෝජනය අල්පය. බහුතරයක් දෙනා දෑතේ කර්මාන්තයක් පුහුණු වීම. ව්‍යවසායකත්වය ගැන, නවෝත්පාදනය ගැන, ආර්ථිකයේ විවිධාංගීකරණය ගැන, ජාත්‍යන්තර වෙළදාම ගැන උනන්දුවක් නැත. මේවා මඟින් තමන්ට ලබාගත හැකි අවස්ථා දන්නේ නැත. නිර්මාණාත්මක ආර්ථික ක්‍රියාදාමයන් ගැන මෙලෝ අවබෝධයක් නැත. මෙවැනි ගැටළු තිබෙන විට රටවල් ගොඩනැගීමට රජයකට කළ හැකි දෑ සීමා වෙයි.
වසරකට විදේශ රැකියා වෙනුවෙන් ලැබෙන ඉල්ලීමවලින් හතරෙන් එකක්වත් නොපියවීම මෑතක් වන තුරුත් තිබිණි. ඊට හේතුව වෘත්තීය සුදුසුකම්, පුහුණුවක් නැතිවීමය. මේ වන විට එහි යම් වැඩි වීමක් ඇත්තේ ආර්ථික අර්බුද නිසා විදේශ ගත වී වැඩි ආදායමක් උපයාගැනීම ගැන වෘත්තීන්වල නියැලෙමින් සිටි බොහෝ දෙනා කල්පනා කළ නිසාය. නමුත් ඒ ඇතිවන මෙරට හිස්තැන් පුරවන්න මෙරට ශ්‍රමබලකායේ සුදුස්සන් අවම විය.
අදාල පුහුණුවක්, හැකියාවන් සහිත සුදුසුකම් පුර්ණ කරගැනීම බොහෝ පිරිස් නොසැපිරීම නිසා තවදුරටත් මෙම විදේශ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අපතේ යමින් තිබේ. මෙරට තුළ විශාල රැකියා ප්‍රමාණයකට අවශ්‍ය සුදුසුකම් සැපිරූවන් හිඟය පුවත්පත් ආදියෙහි වන රැකියා ඇබැර්තු තීරයන්ගේ සති ගණන් එකම දැන්වීම පළවීමෙන් යම් අවබෝධයක් ලැබිය හැකිය.
එසේම මෑත කාලීනව දකින්නට ලැබුණේ තරුණ තරුණියන් අඩුම තරමින් තමන්ගේ පාසල් අධ්‍යාපනයට සරිලන වෘත්තියක් හෝ තෝරාගැනීම නොකරන බවය. විශේෂයෙන් තරුණයන් ත්‍රීවීල් රියැදුරන්වීම තරුණියන් ගාමන්ට් වැනි කර්මාන්තශාලා සේවයට යෑම ප්‍රවණතා පෙන්වා දිය හැකිය. මේ අයගේ අධ්‍යාපනයට රජය සිදුකරන ආයෝජනයද මේ අනුව අපතේ ගොස් ඇත.
එමෙන්ම පසුගිය කාලයේ පෞද්ගලික අංශයේ ගොඩනැංවීමට සහය වෙනවා වෙනුවට රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න රජයේ රැකියා ලබාදීම සිදු කළේය. අද එය රටටම මහා බරක් වී ඇත. රාජ්‍ය සේවා ආයතන සියල්ලම පාහේ පාඩු ලබන තැන දක්වා කඩා වැටෙන විට රජයට සිදු වූයේ මේ අති විශාල පිරිස රජයේ බදු ආදායමෙන් නඩත්තු කරන්නය. මේවා නාස්තිකර වියදම් ලෙස සැලකිය හැකිය. මේ වියදම් දරා ගැනීමට ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් ඉහළ දැමීමට සිදුව තිබේ. ජනතාව ඉල්ලා සිටින සහනයන් දීමටද බදු ආදායම් වැඩි කිරීමට සිදුව තිබේ.
අවසානයේ මේ හැම පියවරකින්ම පීඩාවත් ජනතාවටමය. මෙම චක්‍රය කඩා දැමීමට නම් ජනතාව ආදායම් ඉපදවීම කළ යුතුය. නව මාර්ග සොයාගත යුතුය. නිකමුන් ලෙස සිටිය නොහැක. ජනතාව ඒ වෙනුවෙන් වැඩට බසිනවා නම් රජයකට ඊට පිටුපා සිටිය නොහැක. රජය ඒවාට පහසුකම් සලසමින් දිරිමත් කිරීම සිදු කරනු ඇත. ඒ සඳහා රජයට බලපෑමක් කළ හැකිවන්නෙත් වැඩ කිරීම තුළිනි. නමුත් ජනතාව හුරුව ඇත්තේ වැඩකරන විරුවන් බලයට පත්කර සහනාධාර යදින්නටය. රටේ බරපතලම ගැටළුව මේ හිඟන යැපුම් මානසිකත්වයය.
නිකමුන් ලෙස සිටිමින් අරවා දියව් මේවා දියව් කියා උද්ඝෝෂණ කරමින් සිටිනවාට වඩා දැඩි බලපෑමක් වැඩ කිරීම හරහා කළ හැකිය. රජය පොහොර සහනාධාරය, ජලය සහ වෙනත් පහසුකම් ගොවි ජනතාවට ලබාදෙන්නේ ඔවුන් වගා කරන නිසාය. ගොවියා ගොවිතැනින් ඉවත් වේ නම් රජයට ඒ ගැන උනන්දු වෙන්න අවශ්‍ය නැත. රටට අවශ්‍ය ආහාර ටික පිටරටකින් ගෙන්වා ගත හැකිය. වෙනත් විෂය ක්ෂේත්‍රයක් ගත්තත් එලෙසය. අද විද්‍යා හා තාක්ෂණය ගැන ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ගැන රජය වැඩි බරක් දමන්නේ එම ක්ෂේත්‍රයට වැඩි පිරිසක් යොමුවීම නිසාය. ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් රජය පියවර ගනනාවක් මේවන විට ගෙන තිබේ.
මේ නිසා රජය අවස්ථා නිර්මාණය කරදෙන්නේ නැතැයි කීම සාධාරණ නැත. රජය අවස්ථා ඕනෑ තරම් සකසා දී ඇත. ඉන්දියාව අභ්‍යාවකාශය ජය ගත්තේ ඉන්දීය රජයේ වුවමණාව නිසා නොවේ. ඒ වුවමණාව වෙනුවෙන් මිනිසුන් කිහිප දෙනෙක් කළ කැපවීම නිසාය. එස්.කේ මිත්‍රා, වික්‍රම් සරබායි, හොමි බබා, එච්.ජී.එස්. මුර්ති, නම්බි නාරායනන්, අබ්දුල් කලාම්.., වැනි මිනිසුන් මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන ලදී. මේ මහන්සිය විසින් ඉන්දිය රජයට බල කළේ අභ්‍යාවකාශය තරණය කළ යුතු බවටය. ඒ අනුව ඉන්දියාව අභ්‍යාවකාශය ජය ගැනිමට සමත් විය. අද නව තාක්ෂණයෙන් පෙරමුණ ගත් රටක් බවට පත්වන්නේ එලෙසය. එසේම මෙම ක්ෂේත්‍රයේ ආදායම් උපදවන්නන් වැඩිම පිරිසක් සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබේ. මෙවැනි උදාහරණ බොහොමයක් ඉන්දියාවේ ආර්ථික නැඟීම පිටුපස තිබේ.
එසේම ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් එම තත්වයට පත්වුවේ ජනතාවගේ සහය සහ බලපෑම රජයට තිබීම නිසා බව එම ඉතිහාස තොරතුරු තහවුරු කරයි. නිවැරදි නායකත්වක් ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ජනතාව ඊට තමන්ගේ සහයෝගය උනන්දුව කැපවීම පෙන්වා ඇත. ජනතාව නිකමුන් වන රටක් කිසිසේත්ම ගොඩයන්නේ නැති බවටත් ලෝකයේ උදාහරණ ඇති තරම් තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතහොත් නිකම් කකා ඉන්න, රජයේ සහන මළු ලැබෙනකම් බලා ඉන්න ජාතියක් නිර්මාණය වුයේ නිකම්ම නොවේ. ඊට මෙරට වාමාංශික හා ජාතික වාදී හෝ ජාතිවාදි දේශපාලනය විශාල බලපෑමක් සිදුකර ඇත. අදත් බදු අඩු කිරීම, සහනාධාර වෙනුවෙන්, වැඩි වැටුප්, රජයේ රැකියා ආදිය වෙනුවෙන් උද්ඝෝෂණ සිදුවෙයි. වාම ජාතිකවාදීන් තවත් උත්සහ කරන්නේ මේ හිඟන මානසිකත්වය වර්ධනය කිරීමටය. තරගකාරිත්වය, නිදහස් වෙළඳපොළ ක්‍රමය, පෞද්ගලික අංශයේ ගොඩනැංවීම, ව්‍යවසායකත්වය, නවෝතපාදනය, නව තාක්ෂණය, නිර්මාණාත්මක ආර්ථිකය, ආර්ථික
විවිධාංගීකරණය ආදිය මේ අයට අරහංය. මේ තත්වයන්ගෙන් රට නොගැලවෙන්නේ නම් රට මේ විදිහටම තිබෙනවාට සැක නැත. ඉහත සඳහන් කළ සමීක්ෂණ දත්ත මඟින් පෙන්වා දෙන්නේ මේ අනතුර සුළු පටු නැති බවය.
……ජයතුංග බණ්ඩාර…….