බැංකු අය කරන ණය පොලිය වහාම අඩු කළ යුතුයි

0

මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටිනවා.

එලෙස බැංකු පොලී අනුපාත පහත දමන්නේ නැති ආයතනවලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සදහන් කළේ.

ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම්වලද පොලී අනුපාත අඩු කිරීමට බැංකුවලට සිදුවනු ඇති බවටයි මහ බැංකුවේ අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අධිපතිවරයා සදහන් කළා.

තවද මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා පළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *