බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්!

0

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු කණ්ඩායමක් පසුගියදා
ඉන්දියානු රජයේ නිල ආරාධනයකින් එරට සංචාරයක යෙදිණ. අනුරගේ මේ සංචාරය ජවිපෙ සාමාජිකයන්ට පමණක් නොව ලංකා දේශපාලන කරළියම උණුසුම් කළ සිදුවීමක් විය. ඒ හමුවේ කාටත් වඩා බරපතළ අර්බුදයට පත්වුණේ විපක්ෂ නායක සජිත්ය. සැබවින් ම නවදිල්ලි පාලනයේ මේ නව එළඹුම හමුවේ විපක්ෂ නායක ලෙස සජිත් අර්බුදයට යාම තාර්කික ය.

ඒ සාමාන්‍යයෙන් නවදිල්ලි පාලනය, පවතින කොළඹ පාලනයට හැර මෙවැනි ආරාධනයක් සිදුකරනවා නම්, එක්කෝ ඒ මෙරට විපක්ෂ නායකයාට වන නිසාය. නැතිනම් උතුරු-නැගෙනහිර හෝ වතුකරයේ ද්‍රවිඩ පක්ෂ නායකයන්ට වන නිසාය. ඒ කාට ආරාධනා කෙරුණත් ඒ සෑම අවස්ථාවක්ම යනු ඉන්දීය බල දේශපාලනයේ අවශ්‍යතා වෙනුවෙන් බවද රහසක් නොවේය. ඒ අනුව මේ සිදුවීම සජිත්ගේ දේශපාලනයට එල්ල වූ මරු පහරක් ය. සජිත්ව නොතකා හැරීමක් ය.

යම් තරමක හෝ දේශපාලන පරිණතභාවයක් ඇති පක්ෂ නායකයකුට නම් නවදිල්ලි පාලනයේ මේ පණිවිඩයේ ඇති දේශපාලන අර්ථය තේරුම් ගැනීම දුෂ්කර නැත. නමුත් වෙන්ඩ ජනාධිපති සිහිනයක සිට හංදියක් හන්දියක් ගාණේ කයිවාරු ගසමින් ඇවිදින සජිත් වැනි නොමේරු දේශපාලන ළදරුවෙකුට මේ නව තත්වය දරාගැනීම කොහෙත්ම පහසු නැත. ඒ බව සජිත් ම තහවුරු කළේ, “‍අනුරට වගේ මටත් ආරාධනයක් අරගෙන දෙන්න”‍ කියමින් දන්නා කියන උදවිය අමතා උපකාර ඉල්ලීමෙන්ය. සජිත් තම නොමේරූ ගතිය එසේ තහවුරු කරන විට, අනුරලා සිය පරිණතභාවය ඔප්පු කළේ, “‍රටේ ඊළඟ පාලනය ජවිපෙ බවට නවදිල්ලි පාලනය සිදුකර ඇති තක්සේරුව නිසා තමයි අනුර සහෝදරයාට මේ ආරාධනය ලැබුණේ. ඒක මේ වෙලාවේ ලොකු වාසියක්”‍ කියා, උපන්ගෙයි ඉන්දීය විරෝධීන් වූ ජවිපෙ පාක්ෂිකයන්ගේ හිත හදමින්ය.

ඉන්දියානු විරෝධයේ සිටින ජවිපෙ කාඩර්ලාගේ හිත හදන්න කිව්වත් එය අසත්‍යක් නොවේ ය. එහි අර්ධ සත්‍යක් ඇත. එක් පසෙකින් ජනාධිපති රනිල් දියත්කර ඇති නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ ඉන්දියාව සමඟ වන, ආර්ථික වෙළඳ සහ ආයෝජන සම්බන්ධතා පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් මෙන්ම වර්ධනීය පිම්මක් ලබන බව පැහැදිළිය. ඊට අදාළ ජනාධිපති රනිල්ගේ උපාය මාර්ගික සැළැස්ම උතුර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රයක් බවට පත්කිරීමත්, ඒ සමඟ ඇතිවන අතිරික්ත බලශක්තිය ඉන්දියාවට විකිණීම දක්වා දිගු වන්නක්ය. ඉතිහාසය පුරා මේ වෙනුවෙන් ගැනුණු උත්සාහයන් ව්‍යර්ත වන්නට ජවිපෙ දැක්වූ ඉන්දීය විරෝධයද ප්‍රධාන හේතුවක් වූ බව රහසක් නොවේය. ඒ නිසා මේ තීරණාත්මක මොහොතේ ළඟට කැඳවා ඊට අදාළ තම ප්‍රතිචාරය පැහැදිළිකර දීමට නවදිල්ලි පාලනය ක්‍රියා කළා විය යුතුය. ඒ බව තහවුරු කරන එක් නිදර්ශනයක් මෙසේය.

අනුර ඉන්දියාවේ යාමට දින කිහිපයකට පෙර ජවිපෙ දේශපාලන මණ්ඩලය මෙන්ම ජාජබ විධායක කමිටු සාමාජික නාමල් කරුණාරත්න ප්‍රසිද්ධ වේදිකාවක කිව්වේ, ඉන්දියාවේ අමුල් සමාගමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර විසි අටදහසක් ඇතුළු සම්පත්

රැසක් කුණු කොල්ලයට වත්මන් රජය අළෙවි කිරීමට සූදානම් වන බවත්, මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු‍ දේපොළ නැවත පවරා ගැනීමට පියවර ගන්නා බවත්ය. නමුත් ඉන්දියාවට ගිහින් පැමිණි අනුර සිරසට ගිහින් රටටම කිව්වේ ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා තමන් මීට අවුරුදු පහළොවකට දාසයකට කළින්ද ගිය බවත් ජවිපෙ අධ්‍යාපන සාකච්ඡාවලදී අමුල් පිළිබඳව වන චිත‍්‍රපටයක්ද පෙන්වා ඇති බවත්ය. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගීම සඳහා ඔවුනගේ තාක්ෂණික සහාය ලබාගැනීමට කැමති නමුත් මෙරට කිරි වෙළඳපොළ සම්පූර්ණ වශයෙන් අත්පත් කරගැනීමට විරුද්ධ බවත් මෙවර ඉන්දීය සංචාරයේදී තමන් අමුල් සමාගම සමඟ පැවසූ බවත්ය. මිල්කෝ – අමුල් සමාගමට අදාළ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල සහ අනුර කියන කතාව අතර ද වෙනසක් නැත. ඒ අනුව ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල නිවැරදි බව නොකියා එය තම ස්ථාවරය බව කියන්න තරම් අනුර සූක්ෂම වූ බවත් පැහැදිළිය.

එහෙත් එතරම් සූක්ෂම බවක් සජිත්ට නැත. නවදිල්ලි පාලනය සජිත් වෙනුවට අනුරට ආරාධනා කරසිටියේ අනුරගේ මේ තත්වය අනුව වෙනස් වීමේ ගුණය නිසාය. එම ගුණය ඉන්දු-ලංකා සම්බන්ධතාවල ප්‍රමාණයේ වෙනසක් කිරීම වෙනුවෙන් දායක කරගැනීමට ඇති හැකියාව නිවැරදි ව ගණනය කර ඇති නිසාය.

එහෙත් මේ සත්‍යය සජිත්ගේ උපදේශකයන් ඔහුට පහදා දී නැත. නැත්නම් නොමේරූභාවය නිසාම ඒ සත්‍ය තේරුම් ගන්න සජිත් අසමත්වීමය. ඒ සමඟ සජිත් පෙරමුණේ තබාගෙන දිව්‍ය ලෝකයේ යන්න හීන දකින දේශපාලන නොදරුවන් පිරිසක් ද ඇත. ඒ නිසාම සජිත් සජබ නම් දේශපාලන පක්ෂය ළමා සමාජයක් බවට පත්කරගෙන හමාරය. මුහුණත් සමඟ තරහට නහය කපාගන්නවා වැනි වැඩ වැඩ වැඩියෙන් සිදුකර සජබ ළමා සමාජයේ සාමාජිකයන් සමඟ විනෝදය බෙදා ගනිමින් ඇත. ළමා කාලය අහිමිවූ දේශපාලන මහල්ලන් පිරිසක්ද ඊට ආශක්තව සිටින නිසා, දැන් සජබ කියන්නේ සජිත් ජනාධිපති කරගෙන දිව්‍ය ලෝකයේ යන්න බලාගෙන සිටින පිරිසකගේ “විනෝද සමයක්”‍ය. ඒ විනෝද සමයේ කතාංග ද දිනපතා දේශපාලන කරළියට පැමිණෙමින් ඇත.

ජවිපෙ මේ මොහොතේ වීදි සටන්වලින් බැහැරව ඇත. ඇතැම් විට ඒ, ජනපති රනිල්ගේ සැලැස්ම අනුව සංචාරක ව්‍යාපාරය හිස ඔසවා, රටම සංචාරකයන්ගෙන් පිරීගොස් ඇති නිසා වන්නට පුළුවන. අමුල්- මිල්කෝ ප්‍රතිපත්තියේදී වගේම ආර්ථිකය ගොඩ දැමීමේදී සංචාරක ව්‍යාපාරය ඉහළටම එසවිය යුතුය යන ජනාධිපති රනිල්ගේ ස්ථාවරය රහසින් පිළිගෙන ඇතුවා වන්නටද පුළුවන. කෙසේ වුවත් ජවිපෙ අත්හළ වීදි සටන්, සජබ කරට ගෙන ඇත. කිසිම හේතුවක් නොමැතිව පසුගියදා කොළඹ යකා නැටීමට පාක්ෂිකයන් දැක්ක වූයේද ඒ නිසා විය යුතුය. එය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාකළ විට කිරිඇල්ල කිව්වේ, “‍සජිත් මරවන්න ආණ්ඩුව සජබ පෙළපාලියට කඳුළු ගෑස් ගැස්සවූ බවය. ඒ කතාවේ උණුසුම මැකෙන්නට පෙර මරික්කාර් මාධ්‍ය හමුවක් පවත්වා කිව්වේ, සජබ ආණ්ඩුවක් යටතේ යම් කාලරාමුවක් යන තුරු වැඩවර්ජන නතර කරන බවය. එය හොඳින් හෝ නරකින් සිදුකරන බවය. ආයෝජකයන්ට මිත්‍රශීලී පරිසරයක් දිය යුතු බවය. “හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. තද තීරණ ගන්න වෙනවා… දැනට එච්චරයි”‍ කියාය.
ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී යන්තම් සුසුම් හෙළන තැනට ගෙනා රටක් ඊළඟ අදියරට ගැනීමට පෙර සජබ මහ පාරේ යකා නැටීම පාලනය කිරීම අසාධාරණ වන විට, සජබ සිහින ආණ්ඩුවක් යටතේ වැඩ වර්ජනයක් කිරීම පවා හොඳින් හෝ නරකින් නැවත්වීම සාධාරණ වන්නේ කෙසේද? මේ සරල දේශපාලන තර්කයවත් සජබට නොතේරෙන්නේ ඔවුන් දේශපාලන නොදරුවන් නිසා නොවේද?
එපමණක් නොව, පසුගියදා ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව වර්ජනය කරන්න තීරණය කළේද මේ නොදරුවන්මය. නමුත් ඒ නොමේරූ ක්‍රියාවට සහය නොදැක්වූ සජබ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්
පළිගන්නද මේ නොදරුවන් ක්‍රියා කළ බවත් දැන් රහසක් නොවේය. ඒ බව පසුගියදා
චම්පික ප්‍රසිද්ධියේ කියා සිටියේ

“මාව, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කරලා, ඉවත් කරලා තියෙන්නේ විපක්ෂයෙන්.”‍ කියාය. ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ ‘ජනාධිපති රාජාසන කතාව සිදුකරන අවස්ථාවේ සභා ගර්භයෙන් පිට නොවී, ඊට ඇහුම්කන් දීම‍’ කියාය.

සජබ සන්ධානය නියෝජනය කරන ෆොන්සේකා, රාජිත ඇතුළු ප්‍රබලයන් ගණනාවක් සජිත්ගේ මේ ළපටි වර්ජනයට සහාය දුන්නේ නැත. දැන් සජබ විනෝද සමය දියත්ව ඇත්තේ ඔවුන්ගෙන්ද පළිගන්නට ය. පළ නොකියා පලා බෙදන්නට ය. ඒ අනුව දැනටමත් ෆොන්සේකා වෙනුවට ගෝඨාභය ඇසුරේ සිටි විශ්‍රාමික හමුදා නායකයන් හොය හොයා සජබට බඳවා ගනිමින් ඇත. සජබ රණවිරු සමුළුවලින් ෆොන්සේකා ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ගොවි සමුළු වෙත ඔහුට ආරාධනා කර ඇත. ෆොන්සේකා ප්‍රසිද්ධියේ තම විරෝධය පළකර සිටියේ,
“ඔය විදිහට අපකීර්තිමත් හමුදා විශ්‍රාමිකයන් ගන්නවා නම් සජබට ගෝඨාභයවත් එක්කර ගන්න පුළුවන්”‍ කියාය. එපමණක් නොව සජබ ගොවි සමුළුවද ඔහු වර්ජනය කළේය.
ඒ සජබ ළමා සමාජයේ ඒ පළිගැනීම්
එතනින් අවසන් නැත. සජබ සිටින ජ්‍යෙෂ්ඨයකු වන ගයන්ත කරුණාතිලක ද ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත. ඒ ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ පැවති උත්සවයකට සහභාගී වූ නිසාය. එය සංවිධානය කරතිබුණේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාය. ඉඩම් ඇතත් ඔප්පු අහිමි ලක්ෂ 22ක ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබාදීමේ එම “උරුමය”‍ වැඩසටහන ගයන්තට වැදගත් වූයේ ඒ වෙනුවෙන් යහපාලන සමයේ ඉඩම් ඇමති ලෙස සිදුකළ කැපවීම නිසාය. කඩාකප්පල්කාරී විරෝධතා හමුවේ එදා ඒ උත්සාහය ව්‍යර්ථ විය. එදා ඔහු කළ කැපවීමට සහතිකය දෙන්න ජනාධිපති රනිල් හෝ හරින් ලෝභ වූයේ නැත. ඒ
“මැතිවරණ කාලෙට ප්‍රතිවිරුද්ධ දේශපාලනය කරමු, අනිත් කාලේ සමගියෙන් රට හදන්න කැපවෙමු”‍ යන නව ශිෂ්ට දේශපාලන ප්‍රයත්නය ප්‍රායෝගිකව
ඔප්පු කරමින්ය. නමුත් සජිත් සහ ළමා සමාජය එය ගත්තේ සාම්ප්‍රදායික, පසුගාමී
මනෝභාවයකින්ය. ඒ බව වේලාසනම තේරුම් ගිය නිසාදෝ සජිත් සහ ළමා සමාජයේ නොදරුවන්ට බම්බු ගහගන්න කියා ගයන්ත උරුමය වැඩසටහනට ආවේය.
සජිත් සහ ළමා සමාජයේ තවත් නොමේරූ හැසිරීමක් නම් මේ වන විට රෝගාතුරව සිටින ගාමිණී ජයවික්‍රමගේ සුවදුක් බලන්න ජනාධිපති යාම මුල්කරගෙන ඇතිවූ සිදුවීම ය. ගාමිණි ජයවික්‍රම කියන්නේ එජාපයේ හිටපු ප්‍රබල චරිතයක් ය. නමුත් ඔහු පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ සජබට එකතු විය. මේ වන විට ඔහු රෝගාතුරව හිටියත් සජිත් ඔහුව නිකමටවත් බැලු‍වේ නැත. නමුත් ජනාධිපති රනිල්, ගාමිණි ජයවික්‍රමගේ කටුගම්පළ නිවසට යෑම නිසා සජිත් සහ ළමා සමාජය පළිගත්තේ ඔහුගේ පුතා වූ වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක සුධීර ජයවික්‍රමව සජබ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමෙන්ය.
එපමණක් නොව ජනාධිපති රනිල් සිදුකරන සංචාරවලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වීම ගැනත් සජිත් සහ ළමා සමාජය ඉන්නේ අර්බුදයකය. භීතියකය. ඒ එම සංචාර සඳහා යන මන්ත්‍රීවරුන් තීරණාත්මක මොහොතක ජනාධිපති රනිල්ට එක්වනු ඇතැයි කියාය. නමුත් ඒ කිසිවෙක් සජිත්ගේ මේ ළපටි භීතිය තකන්නේ නැත. ඔවුන් ඔවුන්ට ලැබෙන අවස්ථාව ගන්නේය. ඒ හමුවේ සජිත් පත්ව සිටින්නේ බිරිඳ පිටයන සැමියකුගේ කම්පනයකටය. එයින් මිදීමට පවා සජිත් තෝරාගෙන ඇත්තේ ළපටි උපායක් ය. එනම් කසාද බිරිඳ ආයෙත් කසාද බඳිනවා වැනි නාඩගමක්ය. ඒ බව තහවුරු කෙරුණ අවස්ථාවක් වූයේ උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු‍වලට විසඳුම් ලබාදෙන සම්මුතියකට අත්සන් ගනිමින් හා ඊට අදාළව සජබ රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින් සිදු කළ
නාඩගම ය. පසුගිය 14 වනදා මෙයට අත්සන් තැබුණේ, සජිත් ප්‍රේමදාස, දමිළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන්, කෑගල්ල දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, මහනුවර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලු‍කුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර්ය.
සජිත් එලෙස වතුකරේ අලු‍ත්ම කණ්ඩායමක් එක්ක ගිවිසුම් අත්සන් තැබුවා වගේ පෙන්නුවත් ඒ සියලු‍ දෙනා කොහොමත් සිටියේ සජබ සමඟය. ඒ අනුව මේ නාඩගම අවසන් වුයේ ළමා විගඩමක් ලෙසය. මේ වන විටත් සජිත්ගේ දේශපාලන අංගාරක්ෂකයකු වූ ඉමිතියාස් පවා සජබ අභ්‍යන්තර අර්බුදය තීව්‍ර වී ඇති බව මල්වතු අස්ගිරි නාහිමිවරු අභිමුව පවා පිළිගෙන හමාරය.
මේ සියල්ලේ එකතුව කියා පාන්නේ සජිත්, වෙන්ඩ ජනාධිපතිට ඇඳ සිටියත් මේ වන විට විපක්ෂ නායකකමත් ජෝක් වී ඇති බවය. තවදුරටත් ජනාධිපතිවරණ අපේක්ෂක කතිකාවේ සජිත් නොමැති බවය. ඒ බව ඉන්දියාව පවා සහතික කර ඇති බවය. සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ හැසිරීම තුළ ඔවුන්ගේ ද තේරීම ජනපති රනිල් බවට පත්ව ඇති බවය. ගඟක් පිටාර ගලන්න ගත්කළ එහි ඉවුරුවල කාර්ය අවසන් වන්නේය. සජිත් විපක්ෂ නායක ලෙසත් සජබ නායක ලෙසත් ඒ ඉරණමට හිමිකම් කියා ඇත. ඒ කියන්නේ ඉදිරිය සජිත්ට ලේසි වන්නේ නැත. සජබය ළමා සමාජයක් වී, ඉතුරු ටික, ජනපති රනිල් සරණ ගියොත්, සජිත්ගේ වෙන්ඩ ජනාධිපති හීනය විතරක් නොව, යළිත් පාර්ලිමේන්තු එන්න වෙයි ද කියලත් ෂුවර් නැත.
මේ හමුවේ සජිත් වෙනුවෙන් ඔහුගේ හිත හදන්න සජබ ළමා සමාජයට ගයන්න ඇති ගීතය වී ඇත්තේ, ආනන්ද එස්. විජේසිරි අධ්‍යක්ෂණය කළ ”‍දෙව්ලොව යනකන්”‍ වේදිකා නාට්‍යයේය.
“‍දිව්‍ය ලෝකේ ළගයි පෙනෙන මානේ
බොල බූරු පුතේ..
බොල බූරු පුතේ…
දුක සෝකා ඉතින් ඉවසන් !”‍

……..කුසල් ජයම්පති………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *