මහ පොළොවේ දේශපාලනය, සයිබර් රැළි අවසන් කර ඇත

0

පහුගිය 30 වෙනිද සජබය අලු‍ත් අරගලයක් පටන් ගන්නවාය, ආණ්ඩුව පන්නවාය, ජනාධිපතිව පන්නවාය, අලු‍ත් ආණ්ඩුවක් පිහි‍ටුවනවාය ආදී මහා සටන් පාඨ තොගයක් කියමින් කොළඹට රැස් වූයේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන කැරැල්ලක් ගසනු රිසියෙනි. පනස්දහසක තරම් තමන්ගේ පාක්ෂිකයන් පිරිසක් රටෙන්ම ගෙන්වාගෙන මේ වැඩේට ලක ලැහැස්ති වුණත් බස් දාලා කෑම බීම සහ ඇඟ රත්වෙන ජාතිද ලෝස් නැතුව දීලත් සමහරුන්ට සල්ලි දීලත් දෙතුන්දහසක්වත් එකතුකර ගැනිමට නොහැකි විය. ඒ අඩුව පුරවා ගන්නට නිකරුනේ පොලිසිය සමඟ ගැ‍ටුමක් ඇති කරගෙන ජනතාව වෙනුවෙන් මහා අරගලයක් සජබය කරනවා පෙන්වන්න දැඩි උත්සහයක් දැරීය. කොටින්ම බලාපොරොත්තු වූයේ දවස් දෙක තුනක්වත් එක දිගට වැඩේ අල්ලාගෙන සිටීමටය. දවස් කිහිපයකටම ඒ අවට පිට්ටනි වෙන් කරගෙන රජයට ගාස්තු ගෙවා තිබුණු බවත් වාර්තා වී තිබිණි.

කෙසේ නමුත් කෙටි වෙලාවකින් කට්ටියම හොඳට නාගෙන, කඳුළු‍ ගෑස් විඳිමින් වැඩේ අවසන් කර ගියේය. කට්ටියට කළින් සජිත් වේලාසනම පළා ගොස් තිබිණි. වැඩේට බලාපොරොත්තු වූ මාධ්‍ය අනුග්‍රහයද ඒ හැටි ලැබුණේ නැත. වැඩේ පුස්සක් විය. සජිත්ට සිදුවූයේ මහ මැතිවරණයක් දෙන්න යැයි ජනපතිට ආයචනා කර සිටීම පමණය.

එහෙත් මෙහිදී සජබයට වඩාත්ම වුවමණාකර තිබුණේ ආණ්ඩුවට අභියෝග කිරීමකට වඩා ජවිපෙට අභියෝග කිරීමය. ජවිපෙට වඩා තමන්ට දෙයක් කරන්න පුලු‍වන් බවත්, ජවිපෙට වඩා තමන්ට ජනතා පක්ෂපාතිත්වය තිබෙන බවත් පෙන්වන්නය. ඒ මන්ද යත් කවර මැතිවරණයක් තැබුවත් සජබයට, ජවිපෙ අභියෝගයක් වෙන බව මේ වන විට තේරුම් ගෙන තිබෙන ඇත්ත තත්වය නිසාය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ජවිපෙ ශක්තිමත්වීම නිසා ඉදිරි මැතිවරණයක දී සජබය අභිබවා ජවිපෙ මාලිමාව පෙරට එනු ඇතැයි සජබය හමුවේ ඇති අනතුරය. විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණයේදි තමන්ට දැනට ඉතිරිව තිබෙන පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයත් නැති වෙන බව සරළ ගණන් හැඳීමකින් වුව තහවුරු වන්නකි. සජිත් ප්‍රේමදාසගේ සජබයේ ජනප්‍රියත්වය සහ සංවිධානාත්මක වශයෙන් වැඩිම ශක්තියක් තිබු පසුගිය මහ මැතිවරණයේදී ද සජබයට ලබාගත හැකි වූයේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 23 කි. එනම් ඡන්ද 2,771,980 කි. මේ වන විට මේ ප්‍රතිශතය දෙගුණයකින්වත් ඉහළ යෑම හෝ සිදු නොවී මැතිවරණ ජයක් ගැන කල්පනා කළ නොහැක.

සජබයේ හිටපු ප්‍රබලයන් ගණනාවක් එයින් වෙන්ව සිටීම සහ සජිත්ගේ නායකත්වයේ දුර්වලතාවයන් සහ විහිළු සහගත බව නිසා සජබයෙන් බොහෝ පිරිසක් ඉවත්ව තිබේ. සජබයට එක්ව සිටි පක්ෂිකයන් යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාක්ෂිකයන්ය. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපය ශක්තිමත් වීම තුළ එජාපය හැර ගිය පාක්ෂිකයන් විශාල වශයෙන් යළි එජාපයට එක්වෙමින් තිබේ. ජනාධිපතිවරයා රට බංකොලොත් භාවයෙන් මුදවාගෙන ඉතා සාර්ථක ලෙස රට යළි ගොඩනංවමින් තිබීමත් ජනාධිපතිවරයා කෙරෙහි ගොඩනැගෙන ජනතා ආකර්ෂණයත් වැඩි වෙමින් තිබීමත් මත එජාපයේ පාක්ෂික ශක්තිය ගොඩනැගෙමින් තිබේ. මේ ආදි හේතු

රැසක් නිසා සජබ දැනටම ඉන්නේ පරාජිත ස්ථාවරයක යන්න අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැත. එසේම ඉදිරි කාලයෙහි දේශපාලනයේ තීරණාත්මක වන මැතිවරණ ආසන්නයේදී සජබයේ ප්‍රබලයන් ගනනාවක් එජාපය ප්‍රමුඛ සන්ධානයට එකතු වීමට නියමිත බවත් ඒ ඒ දේශපාලන පාර්ශ්වවලින් ලැබෙන තොරතුරු මාර්ග ඕනෑවටත් වඩා තහවුරු කර ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස, රට බංකොලොත් කිරීමට ජනාධිපති ගෝඨාභට සහය දුන් උපදෙස් දුන් පිරිස් එකතු කරගැනීම තුළ සජිත් ගැන කළකිරුණු උග්‍ර සජිත් හිතවාදින්ද

රැසකි. විශේෂයෙන්ම රට බංකොලොත් කිරීමට ආර්ථික උපදෙස් ලබා දුන් නාලක ගොඩහේවා වැන්නකු, අවස්ථාවාදීව එහෙට මෙහෙට පැන පැන හිටපු ජී.එල්. පීරිස් වැන්නකු. ජාතිවාදී ස්ථාවරයක සිටිමින් සුළු ජාතින්ට එරෙහිව කටයුතු කළ චන්න ජයසුමන වැන්නකු සජිත් තමන්ගේ දේශපාලන උපදේශකයන් කරගැනීම සජබය තුළ අර්බුදයකට හේතු වී ඇත. පසුගියදා ගෝඨාභයගේ මිලිටරි සහයකයකු වූ, සරත් ෆොන්සේකාට අනුව ගෝඨාභයගේ දකුණු අත වූ දයා රත්නායක වැන්නකු සජිත් උපදේශකයකු කරගැනීම එම අර්බුදය තවත් තිව්‍ර කළේය. එසේම කුල සාධකය දේශපාලන උපාය මාර්ගයක් කරගැනීම නිසාද සජබය තුළ කුල ගැ‍ටුමක් ද ඇතිව තිබේ. සජිත්ගේ පියාණන් වූ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ද, බලය රැකගත්තේ ද මේ කුල ගැ‍ටුම කැත විදිහට පාවිච්චි කරමින්ය. නමුත් රට නූතනත්වය කරා ගෙන යායුතු කාලයක සජිත් උපක්‍රම තෝරන්නේ පිළිකෙව් කළ යුතු වැඩවසම් යුගයේ භාවිතාවන්ය. මේ නිසාද අද සජිත් ගැන කළකිරුණ නූතනවාදීන් සජබයෙන් ඈත් වෙමින් තිබේ.

කොහොම නමුත් සජිත්ට ජනාධිපතිවරණයකට මුහුණ දී එහිදී සැලකිය යුතු අභියෝගයක් ජනාධිපති රනිල්ට තබා අනුර කුමාරටවත් එල්ල කිරීමේ හැකියාව අද නැත. එය පැහැදිලිය. ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරන්නේ එමඟින් පක්ෂයේ ජාම යන්තමින් හෝ බේරාගැනීමට වැඩි ඉඩ කඩක් තිබෙන බව කල්පනාකරය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයකදී දුර්වල කණ්ඩායමක් වෙනු ඇති බැවින් එම අවස්ථාව සජබයට තමන්ගේ වාසියට යොදාගැනීමට හැකි බව විශ්වාස කරයි.

ජවිපෙ අනුර කුමාර සිල්ලර දේශපාලනය තුළ ජනප්‍රිය නායකයකු වූවද එවැනි ජනප්‍රියත්වයක් හෝ විශ්වාසයක් ඇති වෙනත් නායකයන් ජවිපෙ තුළ ඇත්තේ අතළොස්සකි. මාලිමාවේ හරිණි අමරසූරිය වැන්නකු බහුජන දේශපාලනය තුළ අනුරට වඩා විශ්වසනීයත්වයක් ගොඩනගා ගැනීමට සමත්ව තිබුණත් ජවිපෙ තුළ ඇය ජවිපෙට ද්‍රෝහී ප්‍රතිපත්ති සහිත අයකු බව ජවිපෙ සාමාජිකයා තේරුම් ගෙන ඇත. ඒ නිසා මහ මැතිවරණයක්දී ඇය හෝ ඒ මඟ යන සෙසු ජනප්‍රිය මාලිමා අපේක්ෂකයන්ට ජවිපෙ සාමාජිකයාගේ හෝ සහයෝගය පවා නොලැබෙනු ඇත. ජවිපෙ සුපුරුදු දේශපාලනය එහෙමය. දක්ෂිණාංශික නව ලිබරල් මත දරණ හරිණි වැන්නකු සිය අගමැති අපේක්ෂකයා වෙනු දැකීම ජවිපෙ සාමාජිකයා ඉවසන දෙයක් නොවේ. ඒ නිසා මාලිමා වියතුන් සහ ග්‍රාම්‍ය මධ්‍යම පාංතිකයන්ගේ සහය යම් තරමකට ලබාගෙන හරිණිලාට සෑහීමකට පත්වන්නට සිදු වෙනු ඇත. එසේම දිස්ත්‍රික් වශයෙන් ගත් කළ ජනප්‍රිය විශ්වාසවන්ත අපේක්ෂකයන් ජවිපෙට ‍දෙතුන්දෙනෙකුට වඩා ඇත්තෙත් නැත. මේ තත්වයන් තුළ ජවිපෙ, මාලිමා ගැටුමත් උත්සන්න වන විට මහ මැතිවරණයකදී තිබෙන්නේ ඉතා අවාසි සහගත තත්වයකි. ඔවුන් ජනාධිපතිවරණයක්ම බලාපොරොත්තු වන්නේ එමඟින් සජබය අභිබවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා පසුව මහ මැතිවරණයකට ගියහොත් තමන්ට වැඩි ආසන ප්‍රමාණයක් දිනාගැනීමේ හැකියාව ඇතැයි ගණන් හදාගෙන සිටින නිසාය.

සජබයේ සහ ජවිපෙ අර්බුද එසේ තිබිය දී පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ ඒ සමඟ සිටි බලවේග යළි නැඟී සිටීම පෙන්නුම් කර තිබීම මෙම දෙපාර්ශ්වයම යළි අර්බුදයකට ලක් කර ඇත.

තමන්ගේ පාක්ෂිකයන්ම කළ අරගලයෙන් පසුව විපක්ෂය ගණන් හදා තිබුණේ ජනතාව පොහොට්‍ටු දේශපාලනය අවසන් කළ බවය. තමන්ගේ කල්ලි කණ්ඩායම් පොහොට්ටු දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කළ නමුත් ඒවා ජනතාව විසින් කළ දේවල් බවට කල්පනා කිරීමෙන් ද විපක්ෂය මුලාවේ වැටී තිබිණි. නමුත් ඒ එසේ නොවන බව පසුගියදා හදිසි අනතුරකින් මියගිය පොහොට්ටුවේ සනත් නිශාන්තගේ අවමගුල් උත්සවයේදී පෙන්වා තිබිණි. එම මළ ගෙදරට වැල නොකැඩී පැමිණි සෙනඟ කන්දරාව කියා පෑවේ පොහොට්‍ටුවේ ජන පදනම තවම ශක්තිමත් බවය. විපක්ෂයේ ඉතා බරපතල ප්‍රහාරයකට ලක්වුණු සනත් නිශාන්ත වැන්නකු වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට පැමිණි සෙනඟ අනුව ඒ දේශපාලනය සමඟ ජනතාව සිටින බවට උපකල්පනයකට යා හැකිය.

එසේම පොහොට්‍ටුවෙන් වෙන්ව වෙනම සන්ධානයකට ගොනුවී සිටින නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම ජාඇලදී පවත්වනු ලැබු ගම්පහ දිස්ත්‍රික් රැස්වීම

අතිශය සාර්ථක විය. කිසිවකුත් බලාපොරොත්තු නොවූ තරමින් ඊට ජන සහභාගිත්වයක් පෙන්වා තිබිණි. ඔවුන්ගේ ඉදිරි දිස්ත්‍රික් රැස්වීම් ආසන රැස්වීම් තුළින් මෙම තත්වයන් තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකිය. මන්ද පසුගිය ගෝඨා පාලනය නිසා කළකිරුණු පාක්ෂිකයන් සහ අරගලය නිසා මරණ බියට පත්ව පසු බැස සිටි පාක්ෂික හිතවතුන් මෙම ජාඇල රැස්වීමේ සාර්ථකත්වය මත යළි ඉදිරියට ඒම අපේක්ෂා කළ හැකි නිසාය. වඩාත් ශක්තිමත් ලෙස පක්ෂයක් නැඟිටින

විට ජන කොටස් ඊට ආකර්ෂණයවීම සිදුවෙයි. එමෙන්ම බිම් මට්ටමේ වැඩිම සංවිධානාත්මක ශක්තිය තිබෙන, වැඩිම සාමාජිකයන් පිරිසක්, වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පක්ෂයක් රටේ හදිසි දේශපාලන ආර්ථික අර්බුද නිසා එහෙමට සෝදා පාළුවට ලක් වන්නේ නැත. එසේම තවදුරටත් ආණ්ඩු බලය සාර්ථකව හොබවන විට ජනතාව සමඟ වන බැඳීම දිය වන්නේ නැත. මේ ආදී සාධක නිසා ඔවුන්ගේ ජන පදනම අරගල සමයේදී පිරිහිමකට ලක් වුණු බව මතුපිටින් පෙනෙන්නට හෝ විපක්ෂය එහෙම කතා මැව්වද ඒ එසේ නොවන බව දැන් තහවුරුව තිබේ.

මේ අනුව ඉදිරි මැතිවරණයකදී පොහොට්‍ටුව හෝ ඒ සමඟ වූ දේශපාලනය තීරණාත්මක බව සජබයට හෝ ජවිපෙට නොසලකා හැරිය නොහැකිය. ඔවුන් පෙර හදා තිබු ගණන් දැනටම වැරදී ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් විතැන් වූ දේශපාලන ශක්තිය යළි ගොඩනඟමින් තිබේ. ගම් මට්ටමින් යළි සංවිධාන කටයුතු දියත් කර තිබේ. එළැඹෙන මාර්තු මාසයේ සිට මැතිවරණ දේශපාලන ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමත් සමඟ එජාපය නැවත වටයකින් ශක්තිමත්වීම වැලැක්විය නොහැකි දෙයකි. වැදගත්ම දේ මේ වන විට නොනිල එකඟතාවයක සිටින පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධව සිටි බහුතරයක් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සන්ධානගතව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට නියමිතය. එසේම හිටපු ජනාධිපතිනිය මේ වන විට ශ්‍රීලනිපය හා අනෙක් පක්ෂ ගණනාවක් ඒකරාශි කරගනිමින් තවත් සන්ධානයක් පිහි‍ටුවා ගැනීම සිදු කර ඇත. මෙහි සහයද අවසානයේදි ජනාධිපති රනිල්ටම බව පෙනෙන්නට තිබේ. සජබයෙන් කැඩී වෙන්වන කොටස්ද ජනාධිපති රනිල්ට එකතු වන විට සජබය හා ජවිපය අභිබවා මෙම නොනිල සන්ධානය ඉදිරියට පැමිණ තිබේ. මේ වර්ධනයන් අනුව සුළු‍ ජන පක්ෂවල සහය ද ජනධිපතිවරයාට ආකර්ෂණයවීම සාමාන්‍යය. විශේෂයෙන්ම වතුකර ජනතාවගේ ප්‍රධානතම කණ්ඩායම මෙහෙයවන්නේ තොන්ඩමාන්ය. ඔහු දැනටත් සිටින්නේ ජනාධිපති සමඟය. උතුරු නැගෙනහිර දේශපාලන තත්වයන් තවමත් පැහැදිලි නැතත් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව විසඳන්න, එම ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් ජනපතිගේ මැදිහත්වීම තුළ එම ප්‍රදේශවලට කේන්ද්‍ර වූ පක්ෂ දේශපාලනය කවර තීන්දුවක් ගත්තත් සාමාන්‍ය ජනතාවගේ කැමැත්ත අනෙකක් විය හැකිය. එසේම එම ප්‍රජාව නියෝජනය කරමින් වෙනම ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් වීම සිදු වුවහොත් එහි බලපෑම වන්නේ සිංහල ජනතාව මත කේන්ද්‍රගතව අනෙක් සියලු‍ අපේක්ෂකයන්ට තරග කිරීමටය. එවැනි තත්වයක් හමුවේ දැනටමත් රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන් සිටින බව වර්ධනය වෙමින් තිබෙන දේශපාලන ප්‍රවණතා විසින් පෙන්වා දෙනු ලබයි.

කොහොමටත් ජනාධිපතිවරයා සිය තනතුරු භාරගත් දිනවලම රටේ ජනමතය ගැන අර්ථදැක්වීමට යොදාගත් වචන දෙකක් තිබේ. ඒ ‘නිහඬ බහුතරය’ය. රාජ්‍ය විරෝධි ආණ්ඩූ විරෝධි අරගල කවරාකාරයෙන් සිදු වුවත් රටේ නිහඬ බහුතරය තමන්ගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයට සහය වෙන බව ජනපති කීවේය. මේ නිහඬ බහුතර ගෙවුණු වසර එකහාමාරක කාලය තුළ ජනපති රනිල් අනාවැකි පළ කළා සේම මේ සිස්ටම් චේන්ජ් එක පිළිගනිමින් සිටින බව පැහැදිලිව තිබේ.

ජනධිපති රනිල් යනු දේශපාලනයෙන් හොඳටම තෙම්පරාදු වූ පරිණතම දේශපාලනඥයාය. කෘතහස්තම රාජ්‍ය තාන්ත්‍රිකයාය. ඔහු පැවැසූ අනාවැකි වැරදී නැත. ඔහු බය නැතුව කෙළින් වැඩකරන්නේ රටේ බහුතර ජනමතය තමන් සමඟ වන නිසාය. තමන් කරන කියන දේවල්හී ප්‍රතිලාභයන් දිනෙන් දිනම රටට ලැබෙමින් තිබීම තුළ මේ නිහඬ බහුතරයේ විශ්වාසයද තර වෙයි. විශේෂයෙන්ම දැනට සුළු‍වෙන් හෝ ඉතිරිව තිබෙන ආර්ථික පීඩාකාරිත්වයන් මෙම වසරේ දෙවන භාගය වන විට මඟ හැරී යාමට නියමිතය. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකය. ජනාධිපතිවරයා දින වකවානු සහිතව අර්බුදයෙන් රට මුදාගන්නා බව පැවැසුවා සේම ඉදිරි වර්ධනයන් ගැනද කියා ඇත. ඒ අනුව ජනතාවට පීඩාව වෙනුවට ප්‍රතිලාභ ඉදිරි මාස කිහිපය තුළ ලැබෙන්න පටන් ගන්නා විට රනිල්ට වඩා මිනිහෙකු රටට නැතිවෙනු ඇත. විපක්ෂය සමාජ මාධ්‍ය තුළ මවපු රැළි දැන් ක්ෂය වෙමින් තිබෙන විට තව මාස කිහිපයකින් මේ රැලිවල ඡායාවක්වත් ඉතිරි වන්නේ නැත.

මේ සියල්ල අතරේ ජනාධිපතිවරයා තමන්ගේ වැඩේ වැඩි සද්ද බද්ද නැතිව කරමින් ජනතා විශ්වාසය තහවුරු කරගනිමින් ඉදිරියට ගෙන යාම වෙනම කේස් ස්ටඩි එකක් ලෙස සැලකිය යුතු කාරණයක්ව තිබේ.

…….ඝෝෂක…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *