“මිජවුම්” ගෙන් ආන්ද්‍රාවට දැඩි බලපෑම්.

0

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුවෙන් අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

“මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 9ක්.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත පෙදෙස්වලට එල්ල වන්නේ දැඩි බලපෑමක් වන අතර පැයට කිලෝමීටර 90ත් 100ත් අතර සුළගේ වේගයක් වාර්තා කරමින් මිජවුම් සුළි කුණාටුව අද ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් රට තුළට ඇතුළුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

එහි බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් නගර ජලයෙන් යටවී ඇති අතර ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවල පහත් බිම්වල වාසය කරන දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ වන විට අවතැන් වූවන් සදහා සහන කඳවුරු 300ක් පමණ සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.

මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රාන්තයේ දෛනික කටයුතු ඇනහිටීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ඊයේ දින නිවාඩුවක් ලබාදී තිබෙන අතර එය තවත් දිනකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය අද තීරණය කර තිබෙනවා.

මේ අතර, මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයට ඇදහැලුනු වර්ෂාව මේ වනවිට අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

නගරයට ඇදහැලුනු වර්ෂාව වාර්තා අතරට එක් වූයේ වසර 80කින් පමණ පසු නගරයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙසයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන්, වසාදැමුණු චෙන්නායි ගුවන්තොටුපළ අද පෙරවරුවේ යළි විවෘත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *