යළි මුව ආවරණ පළඳින්න – නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ

0

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රබේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටිනවා.

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් කරන්නේ.

ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති අතර එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවයි වැඩිදුරටත් එම පණිවිඩයේ සදහන්.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබෙනවා.

එම නිසා ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.

මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි.

දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත්.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *