රටක් ගොඩගන්න විදිහ ගැන ලංකාවෙන් ජාත්‍යන්තරයට පාඩමක්!

0

ලංකාව, රටක් ලෙස මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ තීරණාත්මක සංදිස්ථානයකට මේ වන විට පැමිණ තිබේ. ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව (Official Creditor Committee – OCC ) ප්‍රතිපත්තිමය එකඟත්වය මේ වන විට ලැබී තිබීම මතය. නිල ණය හිමියන්ගේ කමිටුව තුළ ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය (පැරිස් සමාජයේ සභාපති ලෙස) සම සභාපතිත්වය දරයි. මෙම කමිටුවට පැරිස් සමාජයේ රටවල් 15 ක මෙරට ණය හිමියන්ට අමතරව ඉන්දියාව සහ හංගේරියාව ඇතුළත් වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීමේදී ප්‍රමුඛතම කොන්දේසිය වූයේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියය. එය ඉටුකර නොගෙන මෙරටට ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබිණි. එහිදී දේශීය සහ විදේශී යන දෙපාර්ශ්වයේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම විය යුතු බවට නිර්දේශ වී තිබිණි.

පසුගිය කාලයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු සම්පුර්ණ කිරීමට ශ්‍රි ලංකාවට හැකි විය. විපක්ෂයේ විවිධ බාධා කිරීම්, කඩාපල්කිරීම් මධ්‍යයේ සිදුවූ ප්‍රමාදවීම් සහිතව හෝ මෙය සාර්ථක කරගැනීමට රජය සමත් විය. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රමාදයට හේතු වූයේ චීන රජය සමඟ මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙරට යෝජනාව සඳහා එකඟත්වය ලබාගැනීම දුෂ්කර වීමය. ඊට හේතුව වූයේ චීනය මෙරටට සහය වීමට තිබූ නොකැමැත්ත නොවේ.

භූ-දේශපාලනික සාධක සහ චීනය අනුගමනය කරන ජාත්‍යන්තර ගනුදෙනු ක්‍රමයේ ඇති වෙනස නිසා චීනයට රැකගත යුතු වූ ඔවුන්ගේ ම කොන්දේසි තිබිණි. මේ නිසා මෙරට නිල ණය හිමියන් වන පැරිස් සමාජයේ සාමාජික රටවල්, ඉන්දියාව සහ අනෙක් රටවල අනුගමනය කරන ක්‍රමවේදයන්ගේ සමාන තත්වයන් මත ඔවුන්ට එකඟත්වයකට පැමිණීම පහසු වූවත් චීනය සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට සිදුවිය. කෙසේ නමුත් පසුගිය ඔක්තෝබර් මාසයේදී චීන රජය සමඟ ඔවුන්ට අනන්‍ය ක්‍රමවේදයක් මත මේ වෙනුවෙන් වන එකඟත්ව ගිවිසුමක් අත්සන් කිරීමට හැකිවූ අතර එම එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිළිගැනීමටද ලක්විය. ඒ අනුව  නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ වූ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය පිළිබඳ නිවේදනය පසුගිය 29 වෙනිදා නිකුත් කර තිබිණි.

මෙහි ඉදිරි වර්ධනයන් නුදුරු දින කිහිපයේදී සිදුවනු ඇති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඒ අනුව අවසන් කෙරෙනු ඇත. මෙහිදී ඩොලර් බිලියන 5.9 ක විදේශ ණය සම්බන්ධයෙන් සහනයක් මෙරටට හිමිවනු ඇත. මෙහි වැඩිම පංගුව චීනයෙන් ලබා ගෙන ඇති ණයය. එය චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 4.2 ක තරම් විශාල ප්‍රමාණයකි. මෙහිදී ශ්‍රී ලංකාව මෙම ණය හෝ පොලී කපාහැරීමක් ඉල්ලා නොසිටි අතර ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාතයන් අවම කිරීම යන ප්‍රතිකර්ම දෙක යෝජනා කර තිබිණි. ඒ අනුව මෙම ප්‍රතිකර්ම දෙකෙහි සංයෝගයක් ලෙස මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සිදුවනු ඇත.

මෙම එකඟත්වය මඟින් ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය වැඩසටහනේ පළමු සමාලෝචනය සඳහා එහි විධායක මණ්ඩලයේ කඩිනම් අනුමැතිය සඳහා වැඩි උත්තේජනයක් ලැබී තිබේ. ඒ අනුව අරමුදල යෝජනා කළ මූල්‍යකරණයේ මීළඟ වාරිකය ලෙස ඩොලර් මිලියන 334 ක් ලබා දීම සිදුවෙනු ඇත.

කෙසේ නමුත් මෙම නව වර්ධනය හා මෙරට අයවැය යෝජනා පිළිබඳ සලකා බැලීමට සති දෙකක අවශ්‍යතාවය මතුව තිබීම නිසා 2024 අයවැය තුන්වන වර කියවීමෙන් පසුව මේ සම්බන්ධ තීරණය ප්‍රකාශ කරනු ඇති බව ද දැනගන්නට ඇත.

එසේම නිල ණය හිමියන්ගේ කමිටුව එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් ප්‍රකාරව ශ්‍රී ලංකාව සහ කමිටුව අතර අවබෝධතා ගිවිසුමකින් තවදුරටත් විස්තර කර විධිමත් කරනු ලබන අතර, එය එක් එක් කමිටු සාමාජිකයා සමඟ ඔවුන්ගේ රාජ්‍යයන්හි නීති සහ රෙගුලාසිවලට අනුකූලව ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම සෞදි අරාබිය, පකිස්තානය, කුවේට් සහ ඉරානය ඇතුළු ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවත් ඩොලර් මිලියන 274 ක ණය පිළිබඳ ගිවිසුම් අවසන් කිරීම ද මීළඟ පියවරට ඇතුළත් වේ. ඉන් අනතුරුව විදේශ වාණිජ ණය හිමියන් සමඟ සහ විශේෂයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකගතා ගිවිසුම්වලට එළඹීමට ද ශ්‍රී ලංකාව පියවර ගනු ඇත. මේ වන විටත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මණින් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමේ අරමුණින් මෙම සාකච්ඡා කඩිනම් කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් තිබේ.

කොහොම නමුත් මේ කටයුතු මුළුමණින් අවසන් වීමට තවත් මාස කිහිපයක් ගත වෙනු ඇතත් මේ වන විට ලැබී තිබෙන සුබවාදී එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට මෙම ආර්ථික අර්බුදයෙන් මීදීමේ විසල් මඟක් විවෘත වීම සහතිකය.

මෙරට රජය විසින් වර්තමානයේ ක්‍රියාත්මක කරමින් සිටින් නව ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව පවසා සිටින්නේ රට තිරසාර මාවතකට නැවත පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳ ප්‍රශංසා කරන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මඟනොහැර ඒ සමඟ අනුකූල වෙමින් සහ මෙරටට දරාගත හැකි ප්‍රමාණයන් සමඟ වන කේවල් කිරීම් ද සහිතව මෙම කටයුතු මේ දක්වා සාර්ථකව සිදු වෙමින් තිබේ. කෙසේ නමුත් මෙම වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා මෙරට විපක්ෂයේ කොටස් කවර දේ සිදුකළත් මෙය සාර්ථක කරගැනීමට හැකිවීම පිටුපස සිටි අයෝම ශක්තිය වූයේ ජනපති රනිල්ය. විපක්ෂ මත දැරු ආර්ථික විශ්ලේෂකයන්, ඇතැම් ප්‍රසිද්ධ ආචාර්ය මහාචාර්යවරුන් පවා මෙම වැඩපිළිවෙල අසාර්ථක වන බවට විවිධ සංඛ්‍යා දත්ත න්‍යායන් තර්ක ගෙන හැර පාමින් කළ කී දෑ බොහෝය. මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන බවත් සේවක අර්ථ සාධක අරමුදල විනාශ වන බවත් තැනපත්කරුවන්ගේ තැන්පතු අහිමි වෙන බවත් ආදී බොහෝ දේවල් මේ අය කිවූ බවත් අමතක නොකළ යුතුය. ජනතාව උසිගන්වමින් යළි පාරට බැස්සවීමට විපක්ෂය ගත් උත්සාහයන් ගණනාවක් තිබිණි. මුල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී ගතු කියමින් සහ ඔවුන්ටද තර්ජනාත්මක දේ පවසමින් මේ වැලැක්වීමට උත්සහගෙන තිබිණි. ජනපති රනිල්ට මේ කටයුතු සාර්ථකත්වය කරා ගෙන යාමට සිදු වුයේ මෙවැනි දුෂ්කර තත්වයන් හමුවේය.

කෙසේ නමුත් වර්තමානය වනවිට  මෙරට ණය තිරසර භාවය ගැන ශක්තිමත් සහතිකයක් මෙරට හිමි වන අතර ඉන් අනතුරුව නැවත වතාවක් මෙරට සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම සඳහ ජාත්‍යන්තර ණය ආධාර, ආයෝජන සහයෝගයන් ලබා ගැනීමේ ඉහළ අවස්ථා විවෘත වෙනු ඇත. එසේම රජය වෙත පැටවී තිබුණ මහා පීඩාවකින් නිදහස් වීමට ලැබෙන අවස්ථාව අනුව රජයට අලුත් හුස්මක් කටක් රැගෙන රාජ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු වේගවත් කිරීමේ පහසුව හිමිවේ.

ණය හිමි රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ණය ගණුදෙනුව මෙලෙස බේරා ගැනීමට හැකිවීම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය තවදුරටත් ශක්තිමත් වන අතර මුල්‍ය අරමුදලේ නිර්දේශ කොන්දේසි ප්‍රකාරව මෙරට ආර්ථිකය යළි ස්ථාවර කිරීමේ රජයේ වැඩ සටහන සාර්ථකව සිදුවෙන බවට දුන් සහතිකයක් ලෙස දෙවන ණය වාරිකය ලැබීම මඟින් සනිටුහන් කරයි. ඒ අනුව යළි රට කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගීම සිදුවේ. ණය ප්‍රතිව්‍යූහගත කිරීමත් මුල්‍ය අරමුදලේ සහතිකයත් අනුව ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ මිළඟ පියවරයන් වන්නේ කෙටි අඩි තැබීම් නොවේ. එය ඉදිරි පිමි වශයෙන් වේගවත් වන්නකි.

ජනාධිපතිවරයා මීට වසර එකහාමාරකට පෙර කිවූ වැල් පාලමේ උදාහරණයෙන්ම කියනවා නම් ඒ දුෂ්කර වැල්පාලමෙන් ගොඩබිමට තබන පළමු පියවර තැබීමේ මොහොත දැන් එළඹ ඇත. ඒ අනුව 2024 වසර කියන්නේ සංවර්ධනයේ මාවතට පිවිසෙන වසරය. බොහෝ තෝරාගැනීම් මෙම වසර තුළදී සිදුවිය හැකිය. අල්ලාගැනීම් මෙන්ම අත්හැරීම් සිදු වෙමින් නව මාවත සකසා ගන්නා වසර වෙනු ඇත. ජනාධිපති රනිල් මෙරට ආර්ථිකය තාවකාලිකව හුදු ප්‍රතිසංස්කරණයන්ට පමණක් යටත් කරමින් ජනප්‍රිය තීන්දු තීරණ ගෙන සිල්ලර දේශපාලනයක යෙදුනා නම් මේ ගමන යන්න වෙන්නේ නැත. මෙලහකටක් වැල් පාලමත් කඩාගෙන අගාධයක් පතුලේය.

ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී තිබුණේ සම්ප්‍රදායික ලෙස හැමදාමත් මුහුණ දෙන්නට සිදුවන ආර්ථික ගැටළුවලට පැලැස්තර විසඳුම් දෙමින් පමණක් මේ ගමන යන්න බැරි බවය.  ඔහු ක්‍රමපද්ධතියම වෙනස් කිරීම සඳහා රැඩිකල් තීන්දුවක් ගත්තේ ඒ අනුවය.  මෙතුවක් කල් කළ වැරදි භාවිතාවන් කණපිට හරවන තීන්දු ගත්තේ එබැවිනි.  සමාජ ආර්ථික ක්‍රමයක් වෙනස් කිරීම කියන්නේ විප්ලවීය මොහොතකි.  එවැනි කාලයන් බොහෝ විටම දුෂ්කරය. වේදනා සහිතය. තිබුණු යමක් කඩා බිඳ දමා අලුත් යමක් බිහිකිරීමක දී ඒ වෙනුවෙන් වන කැපකිරීම මහන්සිය විඳ දරා ගැනීමට පාලකයන්ට පමණක් නොව පාලිත සමාජයටම සිදුවේ.  මේ ගත කරමින් සිටින්නේ ඒ විඳදරා ගැනීම්වල ප්‍රතිලාභය ගැන අපේක්ෂා දැල්වෙමින් තිබෙන මොහොතකි.  ජයග්‍රහණයන් වෙත ක්‍රමයෙන් ආසන්න වෙමින් පවතී. සමස්ත ජනතාවටම වැදගත්ම දෙය එයය.

ලෝකයේ ආර්ථික අර්බුදයන්ට ගොදුරුව තිබු බොහෝ රටවල් තවමත් ගොඩ ඒමක් නොමැතිව තිබියදී ඊට සාපෙක්ෂව ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒමට ගත් කෙටි කාලය විසින් පෙන්වා දෙන්නෙත් අනාගතය නිසැකවම සුබවාදී බවය.  ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්, බංකොලොත් රටක් නැගිටින්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකාවෙන් ආදර්ශයන් ගත හැකි බව කියන්නේ ඒ නිසාය. පසුගියදා මෙරට මහබැංකු අධිපතිවරයාව ජර්මනියේ මුදල් අමාත්‍යංශය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට ආරාධනා කර තිබුණේ ලෝකයේ ඉහළම උද්ධමනය වේගයක් වාර්තා කළ රටක් ඉතා කෙටි කලකින් උද්ධමනය බිංදුවේ අගයට ආසන්න තත්වයට ගෙන ආවේ කොහොමදයි දැන ගැනීමටය. 

කොහොම නමුත් මේ හපන්කම කළේ ජනාධිපති රනිල්ගේ මෙහෙයුම නිසා බව අවිවාදිතය. කොන්ද පණ ඇතිව ධෛර්ය සම්පන්නව අධිෂ්ඨානශීලීව නොබියව ගත් තීන්දු තීරණ නොවන්න මෙම හපනකම ගැන අද කතා කරන්නට වන්නේ නැත.

විපක්ෂය මොන කෙණහිලිකම් කරමින් හෝ මේ ජයග්‍රහණයන් වැලැක්වීමට කවර තුච්ඡ ක්‍රියාමාර්ග ගත්තත් ජනපති රනිල් ඒ කිසිවක් හමුවේ සැළුනේ නැත. එසේම මෙහිදී විශේෂයෙන්ම මතක කළ යුතු දෙය නම් මේ රටේ බහුතර ජනතාව මේ වෙනුවෙන් ලබාදුන් සහය ගැනය.

සාමාන්‍ය ජීවන තත්වයන් හෝ පවත්වාගෙන යෑමට නොහැකිව දැඩී පීඩනයට ලක්ව ඊට එරෙහිව පාරට බැහැපු, අරගල කළ බහුතර ජනතාවක් ආපසු ගෙවල්වලට ගියේ රනිල් රට බාරගැනීම ප්‍රකාශයට පත්වීමත් සමඟය. ඒ රනිල් රට ගොඩනඟනවා කියන විශ්වාසය ජනතාවට තිබු නිසාය. මේ ජනතාව රනිල්ට ඉඩ දී නිහඬ විය.  රට වෙනුවෙන් කැපකිරීම් කරමින් ක්‍රමක්‍රමයෙන් රනිල් ජනතාවගේ පීඩාවන් අවසන් කරමින්, බංකොලොත් රට ගොඩගනිමින් සිටිනවා මේ ජනතාව නිහඬව බලා සිටියේය.

විපක්ෂයේ හෝ ඔවුන්ගේ පතුරු සංවිධානවල විරෝධතා හෝ යළි අරගල ඇරැඹීමේ කූඨ උත්සාහයයන්ට හෝ මේ ජනතාව අසු වුණේ නැත. විපක්ෂයේ බොරු රැවටිලිකාර තක්කඩි දේශපාලන මෙහෙයුම්වලට, රට නොමඟ යවන මාධ්‍ය මෙහෙයුම්වලට මේ නිහඬ බහුතරය අසු වූයේ නැත. අරුන්ට මුන්ට තියෙනවා කියන ඊනියා ප්‍රචාරක රෑලිවලට රැවැටුනේ නැත. අර සමීක්ෂණයෙන් මේ සමීක්ෂණයෙන් අරයා ජනාධිපතිය, මෙයා ජනාධිපතිය කියන උගුල්වලට අසු වුයෙත් නැත. රටේ නිහඬ බහුතරය, සියල්ල ඉවසා දරාගනිමින් ජනාධිපතිවරයාට ලබා දුන් සහය නොවන්න ජනාධිපතිවරයාට වුව මෙතරම් වේගයෙන් රට ගොඩගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැත. ඒ නිසා රට අද මේ තත්වයට හෝ ගොඩනඟා ගැනීම කෙරෙහි රටේ මේ නිහඬ බහුතරය ලබා දුන් සහය ඉතිහාසගත විය යුතු ජනතා ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකිය යුතුය. 

මෙය යළි තහවුරු වෙන්නේ ඉදිරි මැතිවරණයකදීය. සැබැවින්ම රටේ ජනවරම තිබෙන්නේ කාටද යන්නත් සැක නැතිව එම ප්‍රතිඵලයන් විසින් පෙන්වා දෙනු ඇත.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *