රටේ සංවර්ධනය ආපසුහරවන්න නොහැකි නීතියක්

0

දේශපාලන පක්ශ සහ ඒවායේ නායකයන් තමන් බලයට පත් වූ විට කරන කියන දේවල් ගැන පොරොන්දු ටොන් ගනන් ලෝස් නැතිව බෙදා හරිමින් තිබේ. සාමාන්‍යයෙන් සහන මළු, ලාබ සිල්ලර පොරොන්දු වැඩියෙන් දෙන තරමට ජනතාවගේ කැමැත්ත ලැබී බලයට පත්වීමට ලෙහෙසි පහසු මාර්ගයක් විවෘත වෙනු ඇතැයි මේ අය කල්පනා කරයි. එසේම මේ රටේ බහුතරක් ජනතාවද පුරුදු වී සිටින්නේ මේ පොරොන්දු දේශපාලනය අනුව තීන්දු තීරණය ගැනීමටය. මේවායේ හරි වැරැද්ද කුමක් වුවත් දශක ගණනාවක් තිස්සේ මේ පොරොන්දු දේශපාලනය විසින් රටට කළ දෙයෙහි කූටප්‍රාප්තිය පසුගිය ගෝඨාභය පාලනය සමයේදී සිදු විය.
රටේ ආර්ථිකය ඇද වැ‍ටුණු තැන අනුව තවදුරටත් පොරොන්දු ඉටුකිරීමේ හෝ දීමේ හැකියාව නැත්තටම නැතිව ගියත් ඒ අර්බුද අස්සේත් විපක්ෂය නම් දිගින් දිගටම පොරොන්දුම දෙමින් සිටියේය. එහෙත් ඒවා කරන්න තබා රටේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් ප්‍රමාණයවත් දරාගැනීමට තරම් රජයට ආදායම් උපදවා ගැනීමට නොහැකිව සිටියදී මේ විපක්ෂය ආදායම් සොයාගනීම ගැන කිසිවක් යෝජනා කළේ නැත.
තමන් බලයට පත්වූ විට අරවා කරනවා මේවා කරනවා කියන්නෙත් හරියට රජය ඒ දේවල් නොකර රාජ්‍ය ආදායම් ගොඩ ගහගෙන හංගගෙන සිටිනවා යන අදහසත් සමඟය. නැතිනම් විපක්ෂය ඇත්තටම එහෙම සිතනවාද විය හැකිය.
මීට දෑ අවුරුද්දකට පෙර තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටිකවත් ගෙන එන්න ඩොලර් නැතිව වැලේ වැල් නැතිව සිටියා කියා වත් විපක්ෂයට දැන් මතක නැත.
කොහොම වුණත් අද රාජ්‍ය ආදායම වර්ධනය කරගනිමින් විදේශ සංචිත වර්ධනය කරගනිමින් රට යම් ස්ථාවරත්වයකට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා හැකි විය.
එහෙත් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් නැත. එය තව වසරකින් දෙකකින් අවසන් වන්නක්ද නොවේ. මේ ප්‍රතිසංස්කරණ අනුව රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීම පමණක්ද ප්‍රමාණවත් නොවේ. එම මාර්ගයෙහිම 2048 සංවර්ධන ඉලක්කය කරා ඉදිරියට යායුතුව තිබේ.
එහෙත් විපක්ෂ කණ්ඩායම් මැතිවරණ වේදිකාවල දී ලබා දෙන පොරොන්දු කන්දරාව අනුව ඔවුන්ගේ බලයක් හමුවේ මේ සංවර්ධන මාර්ගයේ ගමන් කිරීමක් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. රටේ ආර්ථිකය සංවර්ධනයේ දිශාවට හරවා වේගවත් කරන ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟ අර්බුද විසඳාගෙන යන ගමනක් වෙනුවට යෝජනා කරන්නේම සහන ගැනය. මේ සහන‍ බෙදිමට නම් මේ කරගෙන යන ප්‍රතිසංස්කරණයන් වහාම නවතා දමා,‍ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බම්බු ගහගන්න කියා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙරට වැද්ද ගැනීම නොකළ යුතුය. ද්විපාර්ශ්විය බහු පාර්ශ්වික ගිවිසුම් පවා ක්‍රියාත්මක නොවන තැනට පත් විය යුතුය.
බදු ආදායම් වෙනුවට බදු ලිහිල් කිරීම වෙත යා යුතුය. ඉන්ධන මිල, විදුලි මිල ආදිය රජය පාඩු දරාගෙන අඩු කළ යුතුය. රාජ්‍ය ආදායම් සහන වෙනුවෙන් යොදා ගත යුතුය. තම තමන්ගේ ජනප්‍රිය දේශපාලනය පවත්වගෙන යාම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රටේ ජාතික ප්‍රතිපත්ති වුව වෙනස් කිරීමට සිදුවෙනු ඇත.
කොහොමත් මේ තත්වයන්, අලු‍තෙන් වීමට නියමිත දේවල් නොවේ, මේ රටේ සාමන්‍යයෙන් වුණු දේවල්ය. ඉදිරියටත් සිදු විය හැකි දේවල්ය.
මෙම අනතුර ජනාධිපති රනිල් අවබෝධ කරගෙන තිබේ. ඔහුට එම අවබෝධය තිබෙන්නේම ඔහු මේ ජනප්‍රිය පොරොන්දු දේශපාලනයෙහි නොයෙදෙන්නෙක් නිසාය. ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අදාලව ගන්නා පියවරන් නව ජාතික ප්‍රතිපත්ති නීතිගත කිරීම සිදුකරමින් සිටින්නේ ඒ නිසාය. මහ බැංකුවට හෝ රජයකට හිතු මනාපේ මුදල් අච්චු ගැසීම තහනම් කරමින් නීති ගෙනාවේ ඒ නිසාය. රජයට හිතු මනාපේ වියදම් කරන්න බැරි වෙන්න නීති ලෙනාවේ ඒ නිසාය.
මේ අනුව පසුගියදා අනුරාධපුරයේ පැවැති ‘මගෙන් පටන් ගමු’ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවේදී ජනාධිපතිවරයා තවත් අතිශය වැදත් පියවරක් ගැන හෙළිකර තිබිණි. ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාල සියලු‍ පියවරයන් රටේ නීතියක් බවට පත් කිරීමට සූදානම් බවය. ඒ අනුව එළැඹෙන මැයි මාසයේදි ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය (Economic Transaction Law) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කිරීම සිදුවනු ඇත.
මේ අනුව ඉදිරියේදී කවර පාර්ශ්වයක් රාජ්‍ය බලය අත්කර ගත්තත්, මැතිවරණ වේදිකාවල මොන පොරොන්දු දුන්නත්, තම තමන්ගේ ජනප්‍රිය දේශපාලනය පවත්වාගෙන යෑමට, වංචාවට දුෂණයට නාස්තියට අකාර්යක්ෂමතාවට ඉඩ සලසන ක්‍රමවේදයන්ට ඉඩක් ලැබෙන්නේ නැත.
මේ යන ධාවන පථයේම අධි වේගයෙන් ජයග්‍රහණය තෙක් දුවන්න සිදුවේ. කවුරු බලයට ආවත් කරන්න වෙන්නේ එකම දේය. ජනාධිපති රනිල් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරමින් යන පුළුල් නිවැරදි වැඩසටහන හැර වෙනකක් සිදු කිරීමට අවස්ථා අහිමි වෙනු ඇත.
මෙය තවදුරටත් අතිශය වැදගත් වන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳීමට කිසිදු සාදනීය විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරපු විපක්ෂ කණ්ඩායමකට බලය මාරු වුවහොත් විය හැකි පිස්සු විගඩම් වලක්වා ගැනිමට හැකි වීමය. ජනාධිපති රනිල් මේ පිස්සු විගඩම්කාරයන්ගේ තරම දන්නා නිසා, විය හැකි අනාගත අනතුරු වලක්වාලීම වෙනුවෙන් මේ ගන්නා පියවර ද රටේ අනාගත අභිවෘද්ධිය ගැන කල්පනාකර ගත් ජනතාවාදි පියවරකි.
කෙසේ නමුත් මේ අනුව සංවර්ධිත ශ්‍රී ලංකාවක සිහින යථාර්තයක් කරගන් තෙක් රටේ එකම නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනු ඇත. එය වෙනස් වන්නේ නැත. වෙනස් කිරීමටද නොහැක. බංකොලොත් බාවයෙන් රට මුදවා, යළි ගොඩනැගෙන සංවර්ධිත ශ්‍රී ලංකාව නම් මේ අලු‍ත් රටේ පදනමම රනිල් වික්‍රමසිංහ වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *