රට යළි ගොඩනැගීමේ අභිමානය හිමිවන්නේ බදු ගෙවන ජනතාවටයි.

2024 අය වැය පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ අතර එහිදී වැඩි කතා බහට ලක් වූ විවාදාත්මක මාතෘකාව වූයේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමට ගෙන තිබෙන පියවර පිළිබදවය. මෙවර අය වැයෙහි සුවිශේෂිතවය වුයේ රජයේ ණය ගැනීම් අතිශය සීමාකර තිබීමය. ඒ අනුව රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමේ ප‍්‍රධාන මෙවලම වී ඇත්තේ බදු ආදායම්ය. අයවැයට පෙරම වැට් බදු ප‍්‍රතිශතය සියයට 15 සිට 18 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබු අතර බදු පදනම පුළුල් කිරීම සඳහා නව යෝජනාවක් අයවැයෙන් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවා පැහැර හරිමින් සිටින විශාල පිරිසකට බදු ගෙවීමට සිදුවෙනු ඇත. එමෙන්ම වසර ගණනාවක් පුරා බදු ගෙවීම් පැහැර ඇති ආයතන රැසක බදු අය කරගැනීම් වෙනුවෙන් දැඩි වැඩපිළිවෙලක්ද ක‍්‍රියාත්මකය. මේ වන විට වංචාකාරී ලෙස බදු නොගෙවා පැහැරහැරීම් ප‍්‍රමාණය මුදලින් රුපියල් බිලියන 900 කට අධික ප‍්‍රමාණයකි. මේ අනුව සමස්ත බදු ආදායම පුළුල් කරගැනීම රජයේ අපේක්ෂාව වී ඇත.

 කොහොම නමුත් රජයේ බදු ප‍්‍රතිපත්තිය ජනතාවගේ බෙල්ල මිරිකීමක් බවට චෝදනා කරමින් විපක්ෂයේ ඩෙ`ගා නැටීම්ද කෙළවරක් නොමැතිව සිදු වෙමින් තිබේ. එහෙත් එය රාජ්‍ය ආදායම් ඉතිහාසය දන්නා ජනතාව විසින් අනුමත නොකරන විකාරයකි. ලංකා ඉතිහාසයේ බදු ආර්ථික වර්ධනය වූයේ අද ඊයෙක නොවේ. පෙර රජ දවස පටන් බදු අයකිරීමක් සිදු වූ අතර එකී ඉතිහාසයක් දක්වා නොගොස් බදු සම්බන්ධ මෑත දශක කිහිපයක අධ්‍යනයක් කළත් බදු අයකර ගැනීමේ ක‍්‍රියාවලියේ වර්තමාන පසුබෑම කොතරම්ද යන්න දැන ගත හැකි වනු ඇත.

රටක ආර්ථිකය මෙහෙයවීමේ මූලික වගකීම ඇත්තේ එහි රජයටය. රජයේ මූල්‍ය උත්පාදන මාර්ගයේ කේන්ද්‍රය වන්නේ බදුය. ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතන කොතරම්ද යන්න කිව නොහැකි තරම්ය. රාජ්‍ය සුබ සාධන ක‍්‍රියාවලිය මෙන්ම රාජ්‍ය සේවක වැටුපේ සිට අනෙකුත් බොහෝ සංවර්ධන වියදම් සැදුම්ලත් වනුයේ බදු මුදල් මතය. මෙරට පාසලකින් විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත් කවරෙකු හෝ වෙද්ද ඔහුට හෝ ඇයට ජනතාවගේ බදු මුදලින් වැය කර ඇති මුදල අති විශාලය. රටේ සෞඛ්‍යය රැඳී පවතින්නේ බදු මුදල් මතය. මේ බදු මුදලින් ලබා ගන්නා ප‍්‍රතිලාභවලට පෙරලා රටට සේවය කිරීම තම යුතුකමක් සේ සැලකීම ජනතාවගේ වගකීමකි. නමුත් එම භාවිතාව වෙනුවට රජය ඇත්තේ තමන්ට සහන සැලසීමට පමණක් බව සිතන පිරිස ක‍්‍රමයෙන් වැඩි වීම රට මුහුණ දෙන ගැටළුවක්ව තිබේ.

බදු ආදායම බිඳවැටීම

2019 වසරේ අග භාගයේදී බලයට පත් වුණ පාලනය විසින් ශ‍්‍රී ලංකාවේ එතෙක් පැවැති බදු ක‍්‍රමය වෙනුවට විශාල සහන අත්පත්කර දෙන බදු ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නේය.

එම`ගින් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2019 වසරේ 12.7%ක් ව පැවති එම බදු අනුපාතය, 2020 වසරේ දී 9.1% දක්වා අඩු විය. එසේම  2021 වසරේ දී එය 8.7% දක්වා තවදුරටත් අඩු විය. මෙම`ගින් අහිමි වූ සමස්ත බදු ආදායම රුපියල් ටි‍්‍රලියනය ඉක්මවිය. මෙය නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හි සාමාන්‍ය වන 25% ට වඩා සැළකිය යුතු ලෙස අඩු අගයක් ගත්තේය.

2020/2021 වසරවල දී ආදායම් එකතු කිරීමේ ක‍්‍රියාවලියට බලපෑම් එල්ල කරන ලද කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තිය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රවණතා යම් තාක් මෙයට හේතු පාදක වුවත් මෙම බදු ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම සැළකිය යුතු ලෙස අඩු වීමට හේතු විය.  එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි* ප‍්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තා විය.

නැවත බදු ආදායම් ප‍්‍රතිශතයන් ඉහළ දැමීමට ගත් පියවර නිසා 2023 මුල් මාස 09 තුළ 51%ක බදු ආදායමේ වර්ධනයක් ලබා ගැනීමට සමත්ව තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රජයට මේ දක්වා නොහැකි වී ඇත. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු අය කිරීම 15% දක්වා වූ අවමය ඉලක්කය සපුරා නොගෙන මෙරට ආර්ථිකය නඩතුත් කිරීමට සමත් නොවන බව ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන්ගේ මතය වී ඇත.

ලෝක මට්ටමින් සලකා බැලූවිට අඩුවෙන්ම බදු අයකරන රටවලින් ශ‍්‍රී ලංකාව 08 වන ස්ථානයේ සිටින අතර අඩුම බදු අයකරන රටවල් අතර තිබෙන්නේ හයිටිය, සෝමාලියාව, සුඩානය, ඉරානය, වෙනිසියුලාව සහ නයිජීරියාව වැනි රටවල් කිහිපය පමණි.

ලංකාවේ බදු අය කිරීම් කඩා වැටීම ආරම්භ වන්නේ නවසිය අනූව දශකයෙන් පසුවය. එතෙක් වාර්ෂිකව බදු අය ආදායම් සීමාවන් දළ දේශීය නිෂ්පාදනයෙන් 20% ටත් වැඩි සීමාවන්ගේ පවත්වාගෙන ගිය ඉතිහාසයක් අපට තිබිණි. 1990 වන විට මෙරට දදේනිය රුපියල් බිලියන 322ක් වන විට ඉන් බදු ආදායම් ප‍්‍රතිශතය  21.1%ක් විය. නමුත් 2015 වන විට දදේනිය රු11,183 වන විට බදු ආදායම් ප‍්‍රතිශතය 13% ක් විය. ඉන් පැහැදිලි වන්නේ දදේනියට සාපේක්ෂව බදු ආදායම් රැස්කර ගැනීමට අසමත් වීමය. එසේම 2015 දී රැස්කරගත් බදු ආදායම් ප‍්‍රමාණයට සාපේක්ෂව 2020 හා 21 වසරවලදී බදු ආදායම තවත් අඩුවිය.  මෙම අවුල ලෙහා නොගෙන තවදුරටත් රාජ්‍යයට ඉදිරි ගමනක් නැති බව

පසුගිය වසරේදී මුහුණ දුන් ආර්ථික අර්බුදය විසින් පැහැදිලි කර ඇත. මිනිස්සු පාරට බැස්සේ මේ අර්බුදය හමුවේ පැනනැගුණු පීඩනය නිසාය. කෙසේ නමුත් මේ නිසා ඇති වූ ආර්ථික අවපාතයේ බලපෑම අප රටක් ලෙස අසමත් හා බංකොලොත් රාජ්‍යයක් බව ලෝකය හමුවේ නිරාවණය කළේය. ඊටත් වඩා තවදුරටත් මේ අර්බුදය ජයගැනීම අභියෝගයක්ව තිබීම මෙහි ඇති බරපතල බව කියාපායි.

අභියෝගයේ අභියෝගය

මෙවැනි වටපිටාවක් තුළ රජයට ඇති ආර්ථික අභියෝග කිහිපයකි. මෙතෙක් උපයා නොගත් බදු ආදායම් උපයා ගැනීම, නව බදු ක්ෂේත‍්‍ර හ`දුනා ගැනීම, සාධාරණ පදනමක් නොමැතිව බදු ඉවත් කළ භාණ්ඩ හෝ සේවා මත යළි බදු පැනවීම, පැහැරහැර ඇති බදු අය කරගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම හා ශත්තිමත් හා පුළුල්ව ක්ෂේත‍්‍ර ආවරණය කරන ලිහිල් බදු ක‍්‍රමයක් සහිත නව බදු ප‍්‍රතිපත්තියක් හා නීතිමය රාමුවක් ගොඩනැගීම සිදුකළ යුතු වේ. 

කොහොම නමුත් 2024 ජනවාරි 01 දින සිට බදු ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග කිහිපයක් සකී‍්‍රය කරෙනු ඇත. වත්මන් රජයේ බදු ප‍්‍රතිපත්තිය අනුව පැවැති සෘජු බදු ප‍්‍රතිශතය වු 20% සහ වක‍්‍රබදු ප‍්‍රතිශතය වූ 80% අතර විශාල පරතරය අඩුුකිරීම සිදුව ඇත. ඒ අනුව මේ වනවිට සෘජු බදු ප‍්‍රතිශතය 30%කට ආසන්න අගයක් දක්වා ඉහළ දමා ගැනීමට හැකිවීම ද වැදගත්ය. ඒ තවදුරටත් ඉහළ දමාගැනීම මගින් අඩු ආදායම් ලාභී මහජනතාව වෙත පැටවී ඇති පීඩාවන් අවම කිරීමට ද හේතුවක් වනු ඇත.

කෙසේ නමුත් රජය වැට් බදු ප‍්‍රතිශතය ඉහළ දැමීම යළි වක‍්‍ර බදු ප‍්‍රතිශතය ඉහළ යෑමට හේතුවක් වනු ඇත. නමුත් මෙම`ගින් වන යම් භාණ්ඩ හා සේවාවන්ගේ මිළ ඉහළ යෑම නිසා ජනතාවට වන අමතර පීඩාව කළමණාකරණයට රජය පියවරයන් ගත යුතුය.

වැට් බද්ද නැතිනම් එකතු කළ අගය මත බද්ද යනු පෙර නොවූ විරූ එකක් යැයි විපක්ෂයේ බොහෝ කයිවාරුකාරයින් කතන්දර පැවසූවත් 2019 යට පෙර රටේ පනවා තිබූ වැට් බදු අය කිරීම් සාමාන්‍යය ජනතාවගේ ජීවන ක‍්‍රියාවලිය අවුල් කිරීමට හේතු වී තිබුණේ නැත. 2002 වර්ෂයේ මුල් වරට වැට් බද්ද පැනවීමට පෙර 1998 දී හදුන්වා දුන් ජී.එස්.ටී. බද්ද හෙවත් භාණ්ඩ හා සේවා බද්ද පැවැති අතර ඊටත් පෙර බී.ටී.ටී. බද්ද පැවැතුනි.  මෙම බදු ද්විත්වයම අසාර්ථක වීම තුළ වැට් බදු ක‍්‍රමය හදුන්වාදෙන අතර එය මේ වන විට රටවල් 130ක පමණ ක‍්‍රියාත්මක වන බදු ක‍්‍රමයකි.

කෙසේ නමුත් අදාළ බදු මුදල එළඹෙන 2024  ජනවාරි මස 01 දින සිට මෙතෙක් 15%ක පැවැති අගය 18% දක්වා වැඩි කිරීමට නියමිතව ඇත. මෙයට හේතුව වන්නේ රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රජයට ගත හැකි වෙනත් විකල්ප විස`දුමක් නොමැති තත්වයන්ය.

2023 පළමු මාස 9 තුළ රටේ  මාසික බදු ආදායම රුපියල් බිලියන 215 ක් වන අතර  රුපියල් බිලියන 168ක හිඟයක් දිගින් දිගටම පවත්වාගෙන යාමට සිදුව ඇත. මෙසේ නොවන්නේ නම් මේ හිඟය පියවීම සදහා නැවත ණය ගත යුතුවේ. ණය නොගෙන අදාළ ගෙවීම් සිදු කරන්නේ නම් මුදල් අච්චු ගැසීම කළ යුතුය. නමුත් මේ පියවරයන් කිසිවක් ගැනීමේ හැකියාව දැන් රජයට නැත.

මේ වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 කි. මෙතෙක් උපයා ඇති ආදායම රුපියල් බිලියන 2,410 කි. ඒ අනුව ඉලක්ක ගත ආදායම උපයා ගැනීමට නොහැකි වූ බව පෙන්නුම් කරයි.  එසේ නම් මෙම හිඟය පියවීමට බදු පැනවීම අනිවාර්යකි.  විපක්ෂයේ සුන්දර කතා හා සිහින සාප්පු මගින් මේ අර්බුදය විසඳීම කිසිසේත්ම කළ නොහැකිය.

උවදුරෙන් මිදීමට නම්

මෙතෙක් බදු අය කිරීම් සිදුකිරීම සදහා දියත් කළ වැඩිපිළිවෙලෙහි කුමන හෝ අඩුවක් පැවතුනි. බදු ඉතිහාසයේ බදු ගෙවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර පැවැතියේ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකමක් ලෙසය. එය අභිමානයක් වන තැනට පත් කිරීමට නම් බදු ගෙවීමේ සංකීර්ණතාවයෙන් සහ වැරදි වැටහීම්වලින් ජනතා මුදවාලිය යුතුය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම අය වැය කතාවේදී ද සදහන් කළේ, ‘‘..අලූතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නෑ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙතැයි කියන විශ්වාසය. ඒක ඇත්ත. බදු අය කිරීම් සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම්වලට යටත් වෙන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක‍්‍රම සංකීර්ණයි.

අපේ බදු ක‍්‍රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටස් කිහිපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක‍්‍රමවේදයන්හි කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම් නිසා බදු පැහැර හැරීම් සිදු වෙනවා.

මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අයවැයට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක රැයෙන් ක‍්‍රියාත්මක කළ හැකි වන්නේ නෑ. ඒවා ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත් විට අපට අදට වඩා බදු සහන ලබාදීමේ අවකාශය උදා වෙනවා…  යන්නය.

එබැවින් විපක්ෂයේ හා වෘත්තීය සමිති බංකොලොත්වාදීන් විසින් ගෙන යන පදනම් විරහිත කතා පුස් වෙඩි මෙන් ඉවත ලා මේ රට නැවත ගොඩනැගීම සදහා දුෂ්කරතා විඳගෙන හෝ මේ මග ගමන් කළ යුතුව ඇත. බදු ගෙවීම තමන්ට අභිමානයක් වන තැනට සමාජ ආකල්ප ගොඩනැගිය හැක්කෙත් මේ රට යළි නිවැරදිව ගොඩනැගීමට තමන්ද දායක වන බව බදු ගෙවන ජනතාවට හැෙඟන්නේ නම් පමණි.

රජය මෙහිදී වගවන්නේ ඒ රට ගොඩනැගීමටය.

කේ.පී.අයි.ප්‍රියංගනී