රට වැටෙන්න දී රෙද්ද අල්ලා ගත්තට වැඩක් නැත

0

රනිල් වික්‍රමසිංහට කලිසම් ඇඳීම ගැන උපදෙස් දෙන පිරිස්වලට මේ දවස්වල තමන්ගේ රෙද්ද කැඩී ඇති වග පෙනෙන්නේ නැත. අපි එහෙම කියන්නේ රනිල්ගේ වේගවත් ජවසම්පන්න සහ උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය හමුවේ මේ අයට කරකියාගැනීමට දෙයක් ඉතුරුව නැති බව ඔවුන්ගේ දෙඩවීම්වලින් පැහැදිලි නිසාය.
ආසන්න හොඳම උදාහරණය පෙන්වන්නේ ණය ප්‍රතිවු්‍යගත කිරීම හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල සමඟ වන සාකච්ඡාවට රජය සමඟ සම්බන්ධ වන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනාවට පිටු පෑමය. මෙවැනි සාකච්ඡාමය අවස්ථාවක් අනෙක් දේශපාලන පක්ෂ නායකයන්ට උදාකරදීමට තීරණය කළේ සජබයේ හර්ෂ ද සිල්වා කළ ඉල්ලීම අනුවය. කෙසේ නමුත් සජබයත් පසුව ජාජබයත් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. ඒ දෙගොල්ලොම එකම හේතුවක් කියමිනි. ඒ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට තමන් අසු නොවන බව කියමිනි. එසේම තමන් ෂඵත්‍ සමඟ වෙන වෙනම කතා කරන බවත් කීවේය. මේ විපක්ෂයේ දේශපාලනික බංකොලොත්කමය. මුල්‍ය අරමුදලේ එකඟතාවයන් යනු ආණ්ඩුවේ එකඟතාවයක් නොවේ. එය ශ්‍රී ලංකා රජය ලෙස එකඟවීමකි. එනම් ආණ්ඩුවද විපක්ෂයද කියා එතැන බෙදීමත් නැත. මෙම වැඩසටහනට අද මේ ආණ්ඩුව මුහුණ දෙනවා සේම යම් ලෙසකින් වෙනත් ආණ්ඩුවක් බලයට ආවත් ඊට මෙලෙසම මුහුණ දීමට සිදුවේ. ආණ්ඩුවේ නියෝජිතයන් සමඟම එකට වාඩි වී මේ එකඟතාවයන් ගැන සාකච්ඡා කළේ නම් එහි වෙනස්කම් කළ යුතු නම් එයත් කරගත්තා නම් එහි වාසියත් මේ ඊළග ආණ්ඩුව පිහිටුවන කාට හෝ ලැබිය හැකිව තිබිණි. ප්‍රධානම දේ ගැටුමකින් තොරව මුල්‍ය අරමුදල සමඟ අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව රට ගොඩනැගීමේ කාර්යය සිදුකර ගැනීමේ හැකියාව ලැබෙන බැවිනි. මේ රටට තිබුණු ලොකුම ගැටළුවක් වුවේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කරමින් රට නිරන්තරයෙන්ම අර්බුදයයන්ට ලක් කිරීමය. 2016 දී මුල්‍ය අරමුදලේ එකඟතාවයන් සමඟ එම යුගයේ ප්‍රතිසංස්කරණ රැසක් කරමින් රටේ ආර්ථික අර්බුද විසඳමින් ආ ගමන කඩාකප්පල් කරගත්තේ ගෝඨා පාලනය විසිනි. එදා අරමුදලේ එකඟතා කඩාදමමින් එහි සහය ලබාගැනීම ප්‍රතික්ශේප කළේය. එසේ නොවන්න ගෝඨා පාලනය තවමත් පවතින අතර රටද සංවර්ධන මාර්ගයේ බොහෝ දුරක් ඉදිරියට පැමිණ තිබීම විය හැකිව තිබිණි.
යම් සෙකින් ඉදිරි මැතිවරණයකදී ආණ්ඩු වෙනසක් සිදුවුණහොත් මේ විපක්ෂ කණ්ඩායම් දෙකම කියන පරිදි මෙම එකඟතාවයන් වෙනස් කිරීම හෝ ඒ අත්හැර දැමීම සිදුවනු ඇත. එහි ප්‍රතිපලය වන්නේ තවත් කාලයකට රටේ සංවර්ධන ගමන අඩාල වීමය. එක්කෝ මේ අයගේ බහුබූත ප්‍රතිපත්ති නිසා රට නැවත බංකොලොත් වීමය. මෙය මේ අය නොදන්නවා නොවේ. මන්ද මුල්‍ය අරමුදලේ නියෝජිතයන්ද වරින් වර පැමිණ විපක්ෂයට කියා දුන්නේ ඒ සත්‍යය නිසාය. තවත් පිස්සු කෙලින්න එපා කියන අනතුරු හැඟවීම කර තිබෙන නිසාය.
එහෙත් මේ සාකච්ඡා මඟ හැරීම සිදු කළේ තමන්ගේ පටු දේශපාලනික වාසිය මුල් කර ගෙනය. ආණ්ඩුවට හෝ රනිල්ට විරුද්ධවීම තමයි දේශපාලනය කියා කල්පනා කිරීම නිසාය. එහෙම නැතිව තමන්ට ඡන්ද ලබා ගැනීමට නොහැකි බව කල්පනා කිරීමය. මේ ජඩකම විපක්ෂ දේශපාලනය තුළ මේ ගෙවුණු වසර දෙකතුන තුළ දීත් නිරන්තරයෙන් පෙන්වුවක් නිසා ඒ ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නැත.
ඒ එසේ නොවේ නම් අනෙක් කරුණ වන්නේ ඉදිරි මැතිවරණයකදී තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව දැනටම තීන්දු කරගෙන ඇති බවය. ඒ නිසා මේ සාකච්ඡාවලින් තමක්ට වැඩක් නැති බවත් එය කඩාකප්පල් වන තැනට පත්වුවහොත් පසු කාලයක හරි තමන්ට බලය ලබාදීමට ජනතාව කල්පනා කරනු ඇති බව සිතන නිසාය. අර්බුදයන් දරුණු වෙන තරමට තමන්ට දේශපාලන වාසි ලැබෙන බව මේ අය කොහොමත් කල්පනා කළ දෙයකි. ගෝඨා පාලන සමයේදී අර්බුදයන් තිව්‍රවෙමින් පවතිව විට එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි රනිල් කීවේ වහාම ෂඵත්‍ යන්න, අවශ්‍ය දේ වෙනුවෙන් තමන්ගේ සහය ලබාදෙන බවය. ණය ප්‍රතිව්‍යහගතකරණය ආදිය වෙනුවෙන් ජාත්‍යන්තර විශෙෂඥයන්ගේ සහය ලබා ගැනීමට උදව් කරන්නම් ලෙසය. වගකීම් සහගත දේශපාලනය කියන්නේ එයටය. තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් වැඩ කරන විපක්ෂය ඊට වෙනස්ය.
කොහොම නමුත් විපක්ෂයේ මුග්ධ තීරණයේ වාසිය අත් වූයේ ආණ්ඩුවටය. විපක්ෂයේ බාධා නොමැතිව ආණ්ඩුවට ආණ්ඩුවේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරවීමේ හැකියාව ලැබී ඇත. දැන් එයට එරෙහිව විපක්ෂයට කිසිවක් කීමේ අයිතියක් නැත. ගැටළු විසඳා ගැනීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළා නම් එහි වරද ආණ්ඩුවේ නොවේ. මේ නිසා විපක්ෂය සිය වගවීම අත්හැර ඇති බව ජනතාවට පැහැදිලි කරගන්න අපහසුවක් නැත. ඒ අනුව ජනතාවට විශ්වාස කරන්න සිදුවන්නේ ආණ්ඩුවය. රට ගොඩ නැගීම වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ ආණ්ඩුව පමණක් බව මේ මුග්ධ විපක්ෂයේ වැඩ නිසා ජනතාවට අවබෝධ වෙමින් ඇත. මේ අනුව රනිල්ගේ පිළිවෙල විසින් දැන් රෙද්ද බුරුල් වී ඇත්තේ විපක්ෂයේය.
ඒ අස්සේ පසුගිය 2022 වසරේ අවසන් මාස තුනේදී දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය සෘණ 12.4කට ඇද වැටී තිබුණ රට 2023 එම කාර්තුව තුළදී 4.5 වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන බව වාර්තා වීම විපක්ෂයට තමන්ගේ රෙද්ද කඩා වැටීම වැලැක්විය නොහැකි වෙනු ඇත. මේ වර්ධනයේ ආරම්භය පමණි. සිස්ටම් එකකට රට දුවන්න හැදුවට පසු එය යන්නේ ඉදිරියටය. වර්ධනීය අවස්ථා හොයාගෙනය.
මේ දිනවල විවිධ දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු, ප්‍රතිපත්ති, වැඩ පිළිවෙලවල් ගැන නිරන්තරයෙන් කතාකරන්න සිදුව තිබෙන බව පෙනෙන්න තිබේ. එහෙත්, විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වැඩපිලිවෙල සහ ඔවුන්ගේ නායකයන් මැතිවරණ වේදිකාවල මාධ්‍ය හමුවල දී ලබාදෙන පොරොන්දු කන්දරාව ගැන අවධානය යොමු කළ විට ඒවා මුළුමනින්ම පාහේ රටට අලු‍ත් දේ නොවේ. රටේ ක්‍රියාත්මක වෙන හෝ මේ වන විට පියවර ගෙන තිබෙන දෑය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරය භාර ගැනීමෙන් පසුව ගෙවුනු වසර දෙකක තරම්වත් නොවන කාල සීමාව තුළ ඔහු අධිවේග වැඩසටහනක යෙදී සිටී. ඒ තුළ පැවැති අර්බුද ගැටළු‍ ප්‍රශ්න විසඳාලීමත් සහ අති විශාල ක්‍රියාමාර්ග ගනනාවක්ම රටේ අනාගත සංවර්ධනය වෙනුවෙනුත් ගෙන තිබේ.
ඇතැම් විට මේ වැඩ කිරීමේ වේගය අනුව ඔහු කරමින් සිටින්නේ කුමක්ද යන්න ‍තෝරාබේරා වෙන් කරගැනීමත් ඇතැමෙකුට අපහසු වන්නට ඇත. ඔහු කටයුතු කරමින් සිටින්නේ සමාජයේ එක් එක් ජන කොටස් අරමුණු කර, නිශ්පාදන හෝ සේවා ක්ෂේත්‍ර වෙන වෙනම ගැනීම, වෙනස් කොට ආමන්ත්‍රණය කරමින් තීන්දු තීරණ ගැනීම නොව පවතින ක්‍රම පද්ධතිය නැතිනම් සිස්ටම් එකම සමස්තයක් ලෙස ගනිමින් එය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බරපතල වෙනස් කමකට භාජනය කිරීමය. සිස්ටම් චේන්ජ් කිරීමකි. ඒ අනුව සිදුවන ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ හරහා සෑම සියලු‍ ක්ෂේත්‍රයක්ම වෙනස් වෙමින් අලු‍ත් වෙමින් පණගහමින් ජවසම්පන්නව ඉදිරියට වර්ධනය වීමක් අපේක්ෂා කරයි. ඔහු
පසුගියදා පාර්ලිමේන්තුව හමුවේද සිය ක්‍රියාමාර්ගයන්හී ප්‍රතිපළ සංඛ්‍යා දත්ත
සමඟින් අවධාරණය කළේ මේ කරුණය.
ජනප්‍රිය දේශපාලනයේ දී ගැටළු‍ විසඳීමේ පිළිවෙල වූයේ කොහේ හෝ ගැටළුවක ඇති වන විට එයින් වන අනෙක් බලපෑම් නොසලකා පැලැස්තර් විසඳුම්වලින් තාවකාලික සහනයන් ලැබීමය. එහෙත් මේ විසඳුම් පිළිවෙල නිසා රට බංකොලොත් වෙන තැන දක්වාම තල්ලු‍ විය. රෝගයට අවශ්‍ය නියම ප්‍රතිකාරය ලබානොදී විටින් විට ගොඩ වෙදකම් කිරීමට ගොස් සියල්ල ඔද්දල් වීම සිදුවිය. තවත් කළ හැකි පැලැස්තර උත්තර නොවීය. මේ නිසා මුල සිට එනම් පදනමේ සිටම යළි ගොඩනැගුමක්, රට ඉල්ලා සිටියේය. අරගලයේදී රටේ ජනතාව ඉල්ලා සිටියේ ඒ නව ගොඩනැඟුමය. සිස්ටම් චේන්ජ් එකය.
ජනාධිපති රනිල් අපට මතක ඉතිහාස තුළත් හැමදාම අවධාරණය කළේ සිස්ටම් චේන්ජ් විය යුතු බවය. 1978න් පසුව සිදු කළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයට සක්‍රීයව දායක වූ රනිල් එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ආවේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් රට ගොඩ නැගීමට අවශ්‍ය මානව ප්‍රාග්ධනය
බිහි කරගැනීම වෙනුවෙනි. තරුණත රුණියන්ට නව අවස්ථා ඇති කරමින් තරුණ ජවය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට නවමු ක්‍රමවේදයන් ගොඩ නැගුවේ 77 සීස්ටම් චේන්ජ් එක යථාර්ථයක් කිරීමටය. කර්මාන්ත පුනර්ජීවනකට අතගැසුවේ 77ට පෙර ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වට්ටවා රටේ ආර්ථිකය එක තැන පල් වෙන ගොහොරුවක් බවට පත් කිරීම නිසාය. 2002 දී රිගේනින්
ශ්‍රී ලංකා වැඩපිළිවෙල ගෙන ආවේ 77 පටන්ගත් වැඩපිළිවෙල එක තැන පල්වීම වළක්වා දැවැන්ත වර්ධනීය යුගයකට රට ගෙන යායුතු බැවිනි. 2015 දී දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙමින් පියවරයන් ගනු ලැබුවේත් ඒ වන විට රට පත්ව තිබුණු තත්වයන් අනුව වසර කිහිපයක් තුළ බංකොලොත් වීමේ අනතුර දැක තිබුණ නිසාය. එදත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගනිමින් රටේ ආර්ථිකය හරි පාරට ගැනීමට ඔහු පියවර ගත්තේය. ඒ නොවන්න රට බංකොලොත් වීම 2016 වන විට සිදුව හැකිව තිබිණි. නමුත් රනිල්ට මේ දේවල් අඛණ්ඩව කරගෙන යෑමට වාම-ජාතිකවාදි බලවේගවල ප්‍රහාරයන්, විපක්ෂවල අවස්ථාවාදී දේශපාලනය, ඉඩ දුන්නේ නැත. ඒවයේ ප්‍රතිපල වූයේ රටට තිබු අවස්ථාවන්, රටේ ජනතාවගේ අහිංසක අභිලාශයන් විනාශකර දැමීම පමණය.
එහෙත් රනිල් කුමන බාධක මධ්‍යයේ වුව තමන්ගේ වැඩපිළිවෙල අත්හැරියේ නැත. අද ක්‍රියාත්මක වන්නෙත් සිස්ටම් චේන්ජ් කරමින් යළි රට හරි පාරට ගැනීමේ පියවරයන් අධිවේගයෙන් ගැනීමය. වසර තිහ හතලිහක් ප්‍රමාද වූ සංවර්ධනය අධිවේගවත් ගමනකට ගැනීමය. මෙහි සුවිශේෂත්වය වන්නේ රට බංකොලොත්කර දමා කාබාසීනියා කරදමා තිබියදීත් එයිනුත් ගොඩ එමින් ඔහුට ක්‍රියාත්මකවීමට හැකිවීමය.
කොහොම නමුත් වළකට වැටීමත් මොළයට ලාභයක් කිව හැකි වාතාවරණයක් රටට උදාවී ඇති බවත් බහුතර ජනතාවක් අද ඔහුගේ වැඩපිළිවෙල අනුමත කරමින්
පිළිගනිමින් ඊට සහයෝගය ලබාදෙමින් තිබීම අනුව පෙනී යයි.
මේ අතර සාම්ප්‍රදායික පරණ හණමිටි සංකල්ප ඔළු‍වේ තිබාගෙන ජනතාව ගොනාට අන්දවමින් දේශපාලනය කරමින් සිටි කණ්ඩායම්වලට රනිල්ගේ මේ අධිවේග වැඩපිළිවෙල ඉදිරියේ නිරුත්තර වන්න සිදුව තිබේ. කොටින්ම දැන් විපක්ෂ මත දරන්නෝ කල්පනා කරන්නේ මේ මිනිහා ඇයි කලිසම වට්ටගන්නේ කියාය. එය දැවෙන ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් මේ රනිල්ට තමන්ගේ කලිසම කඩා වැටීමට වඩා ඔහුට විසැඳීමට අත්‍යවශ්‍ය වැදගත් ප්‍රශ්නය වන්නේ රට කඩා වැටීම නැවැත්වීම බව විපාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. තමන්ගේ රෙද්ද කඩා වැටුණත් රට වැටෙන්න රනිල් ඉඩ තබා නැත.
එය තේරුම් ගන්න තරම් දියුණු දේශපාලනයක් විපක්ෂයට නැත. ඔවුන් සිදු කරන්නෙම ඡන්ද ගොඩවල් දෙස බලාගෙන අර්බුදය තමන්ට පහසු තේරෙන ආකාරයකට තැනින් තැන විග්‍රහකරගෙන ජනප්‍රිය පැලැස්තර විසඳුම්වලට යෑමය. එය තක්කඩි දේශපාලනයක් කරගැනීමය. ඊට වඩා දෙයක් දන්නේ නැත. ජනප්‍රිය වුවත් ඔවුන් රනිල් හමුවේ පරාජය වන්නේ මේ ප‍ටු දේශපාලනික භාවිතය නිසාමය. ඔවුන්ගේ දේශපාලන පඩංගු හැමදාම පරණ වන්නේ ඒ නිසාමත් නොව, රනිල් නිරන්තරයෙන් අප්ඩේට් වෙන තරුණ ජව සම්පන්න දියුණු නවීකාරක දේශපාලනයක නියැලෙන නිසාය. විපක්ෂයට රනිල්ව තේරුම් ගැනීමට නොහැකි තැනත් එතැනය.
මේ වයසක මිනිහා මේ නාකි මිනිහා කලිසම කඩාහැලෙන මිනිසා කොහොමද රටක් මේ තරම් ජව සම්පන්නව අධිවේගයෙන් ඉදිරියට තල්ලු‍ කරන්නේ යන්න ඔවුන්ට තේරුමක් නැත. තමන්ගේ පරණ හණ මිටි අදහස් සමඟ රනිල් හා ගැටෙන්නට නොහැකි බව තවමත් ඔවුන්ට තේරුමක් නැත. ඔවුන්ගේ පොරොන්දුවල, ප්‍රතිපත්තිවල පරණ යල් පැන ගිය සහ දැනටමත් ඉ‍ටුකර අවසන් දේ තොග පිටින් ඇත්තේ ඒ නිසාය.
රට අලු‍ත් දේශපාලනයක් ඉල්ලා සිටින විට රට අලුත් ආර්ථිකයක් ඉල්ලා සිටින විට එය තේරුම් ගන්නත් ඒ අනුව අලු‍ත් වෙනසක් කරා යෑමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ගැනීමටත් හැකි වන්නේ ඒ අවබෝධය සහිත පරිණත නිරන්තරයෙන් අප්ඩේට් වන දේශපාලන පෞර්ෂයකට පමණි. රනිල් රටේ තරුණම දේශපාලනඥයා වන්නේ ඒ නිසාය. රට ඉල්ලන එකම විකල්පය වන්නෙත් ඒ නිසාය.

…….ඝෝෂක……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *