ලෙඩේ මොකක් වුණත් සජිත්ගෙ තත්වය බරපතලයි.

0

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය අවස්ථාවක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට මතුවූ ප‍්‍රශ්නය නම් පාර්ලිමේන්තු කැමරාව තමන් දෙසට එල්ල නොවීම ගැනය. එය එම සජීව විකාශය නැරඹූ කිසිවෙකුට හසුවීමට තරම් විශේෂ නොවීය. නමුත් ඒ තත්පර කිහිපයක කාලය විපක්ෂ නායකයාට ප‍්‍රශ්නයක් විය. එය පාර්ලිමේන්තුව පමණක් නොව එවර සජීව විකාශය නරඹමින් සිටි කාටකාටත් සිනා නොවී සිටිය හැකි වූයේ නැත. කෙසේ වුවත් ඒ අවස්ථාවේ ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසා සිටියේ සෑම අවස්ථාවේම කැමරාව විපක්ෂ නායක වෙත යොමුකර තබන ලෙසය.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ප‍්‍රශ්නකර සිටින්නේ අසාමාන්‍ය ලෙස වීඩියෝ කැමරාව, කතාකරන මන්ත‍්‍රීවරයා වෙත යොමු නොකර තිබේ නම් ය. ඒ හැර තත්පර කිහිපයක සිදුවීමක් මාර ප‍්‍රශ්නයක් කරගන්නේ නැත.

කොහොම නමුත් විපක්ෂ නායක ඔය ආකාරයට ඉතාම සුළු දෙයක් සම්බන්ධයෙන් පවා බරපතළ කරගන්නේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපිටදීම වීමත් විශේෂය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි සෑම දිනකම පාහේ විපක්ෂ නායකගේ මේ වෙනස්වීම දකින්නට පුළුවන. ඊට අදාළ තවත් පැරණි මතකයක් නම් කොවිඞ් 19 වසංගතය අවස්ථාවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙවන වර කැඳවූ පක්ෂ නායක සමුළුව විපක්ෂ නායක සජිත් වර්ජනය කිරීමය.

ඊට හේතු දක්වමින් ඔහු චෝදනා කර සිටියේ, පළමු පක්ෂ නායක හමුවේදී තමන්ට වඩා අවධානයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහට ලබාදුන් බවය. මාධ්‍ය වාර්තාකරණයේදී ද ඒ බව කැපී පෙනුණු බවත්, එය රාජපක්ෂවරුන් ප‍්‍රමුඛ ආණ්ඩුව තමන්ට හිතාමතා සිදුකරන අපහාසයක් ද බවය.

එහෙත් එහිදී විපක්ෂ නායක තේරුම් නොගත්තේ තනි මන්ත‍්‍රීවරයකු ලෙස සහභාගී වුවත් එම පක්ෂ නායක හමුවේ කොවිඞ් 19 වසංගතයට මුහුණදීමට සූදානම් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැදගත්ම අදහස් දැක්වීම සිදුකළේ රනිල් වික‍්‍රමසිංහ බවය. අනෙක් සියලූ දෙනාම පාහේ දක්වා සිටියේ සාමාන්‍ය අදහස්ය. ඉතිං එදත් තමන්ගේ අඩුපාඩුව සජිත් තේරුම් ගත්තේ නැත.

ඒ අනුව මෙම මෑත අතීත සිදුවීමේ සිට අද දක්වාම ද සජිත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් හැසිරෙන්නේ ඒ අඩුපාඩුව සමඟය. එය පිටතට පෙනෙන්නේ සජිත්ට තිබෙන රනිල් ෆෝබියාවක් ලෙසය. ඒ ෆෝබියා ලක්ෂණ වසං කරන්න ගන්නා උත්සාහයේදී සිදුවන්නේ විපක්ෂ නායක වෙතින් දැඩි හීනමානයක් ප‍්‍රදර්ශනය වීමය.

විපක්ෂ නායක සජිත්ගේ මේ අවුල පසුගිය දිනවල ළඟ ළඟ දකින්නට ලැබුණේ අයවැය විවාදය සඳහා සහභාගීවීමට ජනාධිපති වික‍්‍රමසිංහ දින කිහිපයකම පාර්ලිමේන්තු පැමිණි නිසාය.

සැබවින්ම විපක්ෂ නායක සජිත්ගේ මේ අවුල මානසික දුර්වලතාවයක් බව පැහැදිලිය. නමුත් එය කඩිනමින් සුවපත් කරගැනීමට උත්සාහ කළ යුතුය. නැත්නම් එය තවත් ජාතික ප‍්‍රශ්නයක් වෙන්නත් බැරි නැත.

ඒ බව තේරුම් ගන්න තිබෙන හොඳම උදාහරණය ද මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයම ය. සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් වූ පසුව ඒ විවාදයේ කොඩිය අතට ගන්නේ විපක්ෂය ය. ආණ්ඩුව කොපමණ බලවත් වුවත් විවාදයේ ලකුණු විපක්ෂයට ය. නමුත් එවැන්නක් 2024 අයවැය විවාදය හමුවේ නැත.

2024 අයවැයට අදාළව විපක්ෂ නායක සජිත්, විපක්ෂය මෙහෙය වීමට උත්සාහ කළේ, 2023 අයවැයේ බහුතර යෝජනා ප‍්‍රමාණයක් ඉටුනොකර ඇති බැවින් 2024 ගැන කතාකරලා වැඩක් නෑ කියා ඊට ඇති ජනතා විශ්වාසය බිඳ දමන්නය. නමුත් එය සාර්ථක වූයේ නැත. ඒ 2023 අයවැය අපේක්ෂාව කුමක්ද යන්න ආණ්ඩුව පැහැදිලිව පෙන්වා දුන් නිසාය. අද රට මේ තත්ත්වයෙන් තිබෙන්නේ 2023 දැමුණු පදනම් මත බව පෙන්වා දුන් නිසාය.

ඒ සමග ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ පවා රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දැමීම, ආර්ථික පීඩනය හමුවේ වැඩිම පීඩාවට පත්ව ඇති ජනතාවගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පසුගිය වසරට සාපේක්ෂව ප‍්‍රතිපාදන තුන් ගුණයකින් වැඩි කිරීම, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, ඩිජිටලකරණය, මුල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිසංස්කරණ, ගොවි ඉඩම් ජනතාව වෙත සින්නක්කරව ලබාදීම, නාගරික කුලී නිවාසවලින් තවදුරටත් කුලී මුදල් අය නොකොට එම නිවාස ඒවායේ වෙසෙන ජනතාව වෙත පැවරීම ආදී වශයෙන් 2023 පදනම් මත රට ගොඩනැගීම වෙනුවෙන් වූ ප‍්‍රතිපත්තිමය සහ ප‍්‍රායෝගික අත්‍යවශ්‍ය යෝජනා ගණනාවක් මෙවර අයවැයේ ඇතුළත් ය.

සියල්ලට වඩා වැදගත් කරුණ වන්නේ 2023ට අදාළ අයවැය ඉදිරිපත් කරන සමය වන විට මෙරට ආර්ථිකය තිබූ තැනය. ජනාධිපතිවරයා ධුරය බාරගත් අවස්ථාව කියන්නේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී රට ගිනිගෙන දැවෙමින් තිබු මොහොතක්ය. රට මිහිපිට අපායක් වෙලා තිබු මොහොතක්ය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු, රැකියා අහිමිවීම්, මේ ආකාරයේ රටේ සෑම ක්ෂේත‍්‍රයකම දරුණු කඩා වැටීම් රැසක් සමඟ දරුණු ප‍්‍රචණ්ඩත්වයක් හා දිග්ගැස්සෙන අරාජිකත්වයක් මතුව තිබුණ මොහොතක්ය.

එමෙන්ම ඒ වියවුල් අවස්ථාව රට බාරගන්න කිසිවෙක් ඉදිරිපත් නොවූ මොහොතක්ය. ජනාධිපති, අගමැති ධුර පමණක් නොව, අමාත්‍ය ධුරයක් බාරගන්නවත් කිසිවෙක් ඉදිරිපත් නොවූ මොහොතක්ය. සාමාන්‍ය දේශපාලනඥයින් ඒ මොහොත ගණන් තබන්නේ ඉල්ලං කන්නත් නැතිවන මොහොතක් ලෙසය. නමුත් කවර දේශපාලන අවාසිදායක තත්ත්වයක් හමුවේ වුවත් රට වෙනුවෙන් නිවැරදි තීන්දුතීරණ ගන්නා නායකයකු ලෙස රනිල් වික‍්‍රමසිංහ ඒ අභියෝගය බාරගත්තේය. ඔහු ඒ වගකීම බාරගත්තා  පමණක් නොව, පක්ෂ විපක්ෂ සියලූ දෙනාට රට ගොඩනඟන වැඩපිළිවෙලට එක්වෙන ලෙස ඉල්ලීම ද සිදු කළේය. නමුත් අර්බුදයේ තිබු බරපතල බව නිසාම විපක්ෂය ඒ අවස්ථාව කරහැරියා පමණක් නොව, ආර්ථික ස්ථායිකරණ වැඩසටහන කඩාකප්පල් කරන්න ගතහැකි සෑම උත්සාහයක්ම ගත්තේය.

 එසේම 2021 අවසන් කාර්තුවේ සිට ක‍්‍රමිකව උද්ධමනය වැඩිවීමට පටන්ගත් අතර එය කෙතරම් ඉහල ගියාද කිව්වොත් 2022 අවසන් කාර්තුව වන විට 73.70%ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ලෝකයේ ඉහළම උද්ධමනයක් සහිත රටක් බවට ලංකාව පත්වු අතර  මෙම තත්වය කළමනාකරණය කරමින් අධි උද්ධමන තත්වයකට රට පත්වීම වළක්වන්න දැඩි මුල්‍ය පාලනයක් අවශ්‍යව පැවතියේය.

2023 අයවැය මුළුමණිින්ම ඉලක්ක කළේ මේ අරමුණු ඉෂ්ට කර ගැනීමටය. ඒ ඉලක්කය සපුරාගන්න ආණ්ඩුව සමත් වූ අතර 2023 සැප්තැම්බර් වන විට උද්ධමනය 0.80% දක්වා අඩුකර ගැනීමට සමත් විය. මෙරට විපක්ෂයේ ගොඩහේවාලාගේ කුහක මානයට හැර ලෝකයේ ආර්ථික විද්‍යාඥයන්ට අනුවත් ඉතාම කෙටි කාලයක් තුළ ලංකාව සිදුකළ මේ නැගිටීම ආර්ථික ඓශ්චර්යක්ය.

එබැවින් 2024 අයවැය ගැන තවත් කතාවක් විපක්ෂයට තිබුණේ නැත. මිහිමත අපායක් වෙන්න ගිය රටක් පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් හිමිව තිබු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිය ප‍්‍රතිවාදි දේශපාලන කඳවුරේ සහයද ගෙන ආර්ථිකය ස්ථායිකරණයක් වෙනුවෙන් අවශ්‍ය සියලූ පසුබිම සකස්කර ඇත. 2024 සිට ඇත්තේ ඒ පදනම් උඩ රට ගොඩනැගීමය.

ඇත්ත තත්ත්වය එසේ වන විට, විපක්ෂ නායක සජිත්ගේ රෝගය උත්සන්න වීම කොහෙත්ම පුදුම වෙන්න දෙයක් නොවේය. මන්ද මේ ලෝක ආදර්ශයක් බවට පත්ව ඇති ලාංකේය ආර්ථික නැගිටවීමේ මහ මොළය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වන නිසාය.

ඒ හමුවේ තමන් අර්බුදයට යාම විපක්ෂ නායක වළක්වා ගන්න උත්සාහ කළේ, අයවැය මාතෘකාව මුළුමනින්ම බැහැර කරමින්ය. ඒ සඳහා දිව්‍ය ඖෂධයක් ලෙස ඔහුට ලැබුණේ ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ ක‍්‍රිකට් ජවුසමය. එයින් විපක්ෂ නායකයා කොතරම් සැනසීමක් ලැබීද යත් අයවැය දෙවනවර කියවීම සම්මත වීම දක්වාම සජිත් කළේම පාර්ලිමේන්තුවේදී කටින් ක‍්‍රිකට් ගැසීමය. ඔහුගේ හැසිරීම පෙන්නුම් කළේ, ‘‘අයවැය මොකක්ද, ක‍්‍රිකට්නේ කේස් එක.. මාරම සීන්නෙක” ලෙසය.

සැබවින්ම විපක්ෂ නායක සජිත් 2024 අයවැය විවාදය පුරාවට ක‍්‍රිකට් සමඟ සෑහෙන්න විනෝද විය. චිත‍්‍රසිරි කමිටු වාර්තාව සමඟ ක‍්‍රිකට් අර්බුදය විසඳීමට ඒ වන විටත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කටයුතු කර තිබුණත්, ඒ නොදුටු පරිදි සජිත් පාර්ලිමේන්තුව තුළ කටින් ක‍්‍රිකට් ගසා මාරම වින්දනයක් ගනු දකින්නට ලැබිණ.

මේ අතර සිදුවූ ලස්සන සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ මන්ත‍්‍රීවරුන් ද සජිත්ගේ ගැලවීමේ ප‍්‍රයෝගයට හසුවීමය. එනම් ඔවුන්ද ඉතාම ඇල්මැරුණු ආකාරයකට අයවැය විවාදය හා සම්බන්ධවීමය. එසේ නොමැති නම් ජවිපෙ ලෙස අයවැයට විරුද්ධව සිටියත් ජාතික ජනබලවේගය ලෙස අයවැයට පක්ෂ වනවා විය යුතුය. නැත්නම් මේ කරුණු දෙකෙහිම බලපෑමට ජවිපෙ – ජාජබ හසුවූවා විය යුතුය.

ඒ කෙසේ වුවත් මේ වන විට ක‍්‍රිකට් ජවුසම ඇති තැන අනුව තවදුරටත් එය මාරම මාතෘකාවක් කරගෙන ඇදගෙන යාම දුෂ්කර වී ඇත. ඒ හමුවේ විපක්ෂ නායක සජිත්ගේ අවුල තවත් වර්ධනය වී ඇත. රජයේ කටයුතු අඩාල කිරීමට කළ හැකි සෑම නාඩගමකම ප‍්‍රමුඛ සන්නිය බවට ඔහු පත්ව සිටින්නේ ඒ අනුවය.

ප‍්‍රශ්නය මඳක් විමසා නොබලන, මතුපිටින් දකින කෙනෙකු පහසුවෙන් රැවටිය හැක්කේ විපක්ෂ නායක ලෙස සජිත් මේ ආණ්ඩුවෙන් රට බේර ගන්න මාර කතාවක් කරනවා කියාය. මාර මහන්සියක් ගන්නවා කියාය. නමුත් ඇත්තටම සිදුවෙමින් ඇත්තේ, සජිත්ගේ රනිල් භීතිකාවත්, එයින් ගැලවෙන්න සජිත් දරණ වියරු වෑයමත් හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පවා පවත්වාගෙන යාම දුෂ්කරව තිබෙන බවය. මාතෘකාව කුමක්ද යන්න අදාළ නැත. පාර්ලිමේන්තුවේ වැඩිම වෙලාවක් කතා කරන්නේ විපක්ෂ නායකය. එකම දේ නැවත නැවත කියන්නේය. සිංහලෙන් කියූ දේම නැවත අමාරු වචන යොදාගෙන ඉංග‍්‍රීසි බසින්ද කියන්නේය. මේ කරදරය නිසා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීම සහ ඇහුම්කන් දීම දුෂ්කරව ඇත. හැම මොහොතේම මොනවා හෝ කියන්න ඔහු හිතෙන්නේය. ඒ අස්සේ කැමරාවද තමන් දෙසට එල්ලවී තිබිය යුතුය. රුපවාහිනී මාධ්‍ය ආයතනවලට නිරන්තරයෙන් කතා කරමින් තමන්ගේ කතාව ප‍්‍රවෘත්ති විකාශනයට ගන්නැයි බලපෑම් කරනවාටත් සැක නැත. එහෙම ඉතිහාසයකුත් සජිත්ට තිබේ.

මේ සේරම හැසිරීම් මැද, පාලම ළඟ තියාගෙන අමාරුවෙන් ඒදණ්ඩෙන් ගිය චාරිකා ද සිහිපත් කළ විට රෝගය කුමක් වුවත් තත්ත්වය නම් බරපතළ බව හොඳටම පැහැදිලිය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *