ලෙනින් අභිබවන රනිල්!

0

ගෞතම බුදුන් වහන්සේ සිය ධර්මය සෙසු අයට පහදා දීමට පෙර ශ්‍රාවකයාගේ බඩ කට පිරී තිබිය යුතු බව සඳහන් කර ඇත. ඒ, ධර්මය වටහා ගෙන ධර්මයේ හැසිරෙන්න නම් මිනිස්සු අනෙක් පීඩාවන්ගෙන් නිදස්ව සිටිය යුතු බව කීමය.
මේ කාරණය දේශපාලනයටත් අදාලය. දේශපාලනයේදී කවර ක්‍රමයකින් හෝ බලය අත්පත් කරගැනීම වැදගත් නමුත් ජනතාව පීඩාවට පත් නොකර දේශපාලනය කිරීම ඊට වැදගත්ය. එමෙන්ම ශිෂ්ඨ සම්පන්නය. පසුගියදා මේ ගැන ජනාධිපති රනිල් මතක් කළේ රුසියාවේ 1917 සමාජවාදී විප්ලවයේ අසහය නායකයා වූ වී.අයි. ලෙනින්ගේ සුප්‍රසිද්ධ දේශනයක් මතක කරමිනි. අනුරාධපුර පිරිසිදු පානීය ජලය බෙදා හැරීමේ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී රනිල් කීවේ ලෙනින් රුසියාවේ විප්ලවයට පෙර සැපිරිය යුතු කරුණු තුනක් අවධාරණය කළ බවය.

“Pão, Terra e Paz” (Bread, Land and Peace) එනම් ‘පාන්, ඉඩම් සහ සාමය’ යන මෙම කරුණු තුන සම්පූර්ණ කරගෙන මිස සමාජවාදී විප්ලවය සම්පූර්ණ කිරීමට නොහැකි බව ලෙනින් පෙන්වා දී තිබිණි. ඒ වන විට රුසියාව තිබුණේ පළමු ලෝක යුද්ධයෙන් පසුව පැවැති දුෂ්කරතා සහ පැවැති සාර් පාලනයේ තාඩන පීඩනයන් සහ රදලයන්ගේ, ධනපතියන්ගේ කොල්ලකාරී ක්‍රමවේදයන් නිසා සමස්ත සමාජයම බරපතල දුක්ඛිත තත්වයක තිබිණි. ජනතා කලකෝලහල සහ රාජ්‍ය මර්දනයන් දියත්ව තිබිණි. මේ තත්වයයන් මත සමාජවාදි විප්ලවයට පෙර, එනම් කොමියුනිස්ට්වාදී දේශපාලන ජයග්‍රහණයන්ට පෙර මුලින්ම සාමය ඇති කිරීමත් දෙවනුව ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමත් තුන් වෙනුව ආහාර ප්‍රශ්නයට විසඳුමක් දීමත් විය යුතු බවය. ඒ හදිසි අවශ්‍යතාවයක් විය.

මේ තත්වයන් මෙරටට ගැලපුන සමයක් ලෙස මෙම වකවානුව සැලකිය හැකිය. පැවැති රාජ්‍ය පාලනය නිසා රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම හා ඊට එරෙහිව ජනතාව කැරලි ගසමින් අරගලවල නිරතව සිටියේය. රට අරාජක වෙමින් පැවැතිනි. මේ වියවුල්කාරිත්වයෙන් රට මුදවාලීම භාර ගත් ජනාධිපති රනිල් මුලින්ම කළේ රටේ කලබගැනිය අවසන් කර ව්‍යවස්ථාපිත නීතිය අනුව සාමය ස්ථාපිත කිරීමය. දෙවනුව ජනතවගේ ආහාර ඖෂධ ඉන්ධන ඇතුලු‍ අත්‍යවශ්‍ය වුමනාවන් සපුරාලීමට කටයුතු කිරීමය. අස්වැසුම හා තවත් වැඩසටහන් රැසක් ඔස්සේ ක්‍රියාත්මක වී පීඩාවට පත් ජනතාවට අස්වැසිලල්ක් ගෙන ආවේය. තුන් වෙනුව ඉඩම් ඇතුළු අනෙකුත් ජනතාවගේ ආර්ථික ගැටළු විසඳීම ආරම්භ කිරීම සිදුවිය. උරුමය වැඩසටහන හරහා ලක්ෂ විසි ගණනක් පවුල්වලට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමටත්, නාගරික ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරීම හා වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දීමටත් පියවර ගැනුනි. මේ ආදී වශයෙන් හදිසි අවශ්‍යතා බවට පත්ව තිබු සියළු ගැටළු විසඳීමේ පියවරයන් ගණනාවක් ගෙන තිබේ.

ජනාධිපතිවරයා දිගින් දිගටම පවසා සිටියේ දේශපාලනය පැත්තකින් තබා ජනතාව මුහුණ දෙන ගැටළුවලින් ඔවුන්ව මුදා ගත යුතු බවය. රට ගොඩ නැඟුමට කටයුතු කළ යුතු බවය. ඒ වෙනුවෙන් විපක්ෂයට පසුගිය රාජාසන කතාව කරමින්ද නැවත ආරාධනා කර සිටියේ දැන්වත් පොදු වැඩපිළිවෙක් යටතේ එකතු වෙමු යනුවෙනි. නමුත් මෙමම ආයාචනය විපක්ෂය පිළිගත්තේ නැත. ඔවුන්ට ඔවුන්ගේ පක්ෂ දේශපාලනය ජනතාවට හා රටට වඩා ලොකු විය.
පසුගිය ඔස්ටේ්‍රලියානු සංචාරය අතර තුරදී ඉන්දීය මාධ්‍යවේදියකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවාද යන්න ප්‍රශ්න කළ විටත් ජනපති අවධාරණය කළේ තමන් ආවේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න බවත්, එය සිදු කිරීමෙන් පසුව දේශපාලනය ගැන සිතන බවය.

ජනාධිපති රනිල් සිය ධුරය භාරගෙන මේ ගෙවුණු මාස 20ක පමණ කාලය තුළ කළේ රටත් ජනතාවත් අර්බුදයෙන් මුදාලීමට අවශ්‍ය පියවර ගැනීමය. ඔහු ප‍ටු පක්ෂ දේශපාලනය කරමින්, ජනප්‍රියවාදී ගොහොරුවට වැටී, රටත් ජනතාවත් දඩමීමා කරගෙන අර්බුදය තුළින් දේශපාලන වාසි හෙව්වේ නැත. දේශපාලන අවදානම නොතකා අති දුෂ්කර තීන්දු තීරණවලට එළැඹියේ ජන කොටස්වල විරෝධයන් විපක්ෂයේ විරෝධයන් මතු වීම දැන ගෙනය. නමුත් නිවැරදිම ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වූයේ නැත. නමුත් ඒ සියල්ල ජයගෙන අද යම් ස්ථාවරත්වයකට රටත් ජනතාවත් පත් කිරීමට ඔහු සමත්ව ඇත.
ආර්ථිකමය වශයෙන් බංකොලොත් රට යළි අධිවේගයකින් ගොඩගැනීමට සමත් වූයේ ලොව මවිත කරමිනි. මේ වන විට රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් වන පියවරයන් ගණනාවක් ද ගෙන තිබෙන්නේ ජනතාවගේ ඉල්ලීම් වුවමණාවන් අනුව පැවැති අසාර්ථක ක්‍රමවේදයන් වෙනස් කරමින් නව පදනමක් මත ලංකාව ගොඩ නැගීමට අවශ්‍ය සැලසුම් සහිතවය.
එහෙත් රනිල්, ලෙනින්ගෙන් වෙනස් වන තැනක් තිබේ.

ඒ රට ගොඩනැගීම ගැන ගත් දේශපාලන ආර්ථික පියවරයන්ගේය. ලෙනින් සමාජවාදී ප්‍රතිපත්ති මත නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් පිහි‍ටුවමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලමින්, විප්ලවීය රතු හමුදාවේ මිලිටරි පාලනයක් ගෙන යමින් රුසියාව ගොඩගන්න උත්සහ කළද ඒ උත්සාහයන් තුළ සිදුවූ විනාශයන්ද අති මහත්ය. සමාජවාදී දේශපාලන ආර්ථික ක්‍රමයේ ආවේනික සහ විසඳිය නොහැකි අර්බුද මත පසු කාලයක දී රුසියාව කඩා වැටීම සිදු විය. ජනතාව ඒ වන විට යළි බරපතල පීඩාවන්ට ගොදුරුව සිටියහ. මේ තත්වයන් මත රුසියාවට සමාජවාදි ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ධනේෂ්වර ආර්ථික පිළිවෙත්වලට මාරු වීමට බල කර තිබිණි. රුසියාව යළි නැගී සිටියේ ඒ අනුවය.

ජනාධිපති රනිල්, සාමය ආහාර සහ ඉඩම් පිළිබඳ ගැටළු‍ව නිමා කරමින්අනුගමනය කරන්නේ ලෙනින්ගේ අසාර්ථක දෘඩ සමාජවාදය නොව, සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයය. ඒ අනුව රටේ අනාගතය සැලසුම් කර තිබේ. මේ නුතනවාදී ප්‍රවේශය තුළ පීඩිත ජනතාවක් කියා කොටසක් ඉතිරි නොවේ. ඔවුන්ගේ ගැටළු‍ නව ආර්ථික ක්‍රමවේදය තුළ විසඳනු ලැබේ. එමෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, අයිතිවාසිකම් සියල්ල ස්ථාපිත කර ඇත. වාම ජාතිකවාදීන් විසින් ක්‍රියාත්මක කළ අවස්ථාවාදි මුග්ධ පියවරන් නිසා විනාශ වූ රට යළි එම තත්වයන්ට පත්වීම වලකාලීම වෙනුවෙන්ද දේශපාලනික ආර්ථික හා නෛතික පියවරයන් රැසක් ගෙන තිබේ. සියලු‍ දෙනා මෙම ප්‍රතිපත්තිය වටා ගොනු වීමට අවශ්‍ය කරන මතවාදී මැදිහත් වීමද ජනාධිපති රනිල් විසින් ඉටුකරමින් තිබේ.
මේ අනුව රනිල් කියන්නේ ලෙනින් අභිබවා ගිය නූතන පන්නයේ විප්ලවාදී නායකත්වයක් ප්‍රකට කරන සුවිශේෂී දේශපාලනඥයකු බවට විවාදයක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *