ව්‍යවස්ථා සභාව අවශ්‍යද?
රජයේ කටයුතු පවත්වාගෙන යෑමේදී ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, පාරදෘෂ්‍යභාවය, වගවීම සහ වගකීම වැනි මූලධර්ම සුරැකීම සඳහාත්, රට තුළ යහපාලනයක් (good governance) ගොඩනැගීම සඳහාත්, පසුගිය කාලය තුළදී ඉතා දියුණු යැයි සැලකෙන ආකාරයේ වෙනස්කම් කීපයක්ම හඳුන්වා දෙනු ලැබීය. එවැනි එක් වෙනස්කමක් වන්නේ රජයේ සමහර ඉහළ නිලධාරීන් පත් කිරීම සහ ස්වාධීනව පැවතිය යුතු කොමිෂන් සභා සහ මණ්ඩල ආදියට අදාළ පත් කිරීම් සඳහා ව්‍යවස්ථා සභාව පිහිටුවීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාවේ යම් යම් කටයුතු හේතුවෙන් අධිකරණ, පොලිස් සහ දූෂණ මර්දනය පිළිබඳ ආයතනවලට පත් කිරීමට නොහැකි වීමෙන් රටේ කටයුතු අවුල් සහගත තත්ත්වයකට ලක්ව ඇති බවයි.
පැවැති ක්‍රමයේ දක්නට ලැබුණු යම් යම් දුර්වලතා මග හරවා ගැනීම සඳහාත්, සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ සහ යුක්ති සහගත පාලනයක් ගොඩනැගීම සඳහාත් ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව රට තුළ දිගින් දිගටම විවිධාකාරයේ සාකච්ඡා ඇති විය. ව්‍යවස්ථා සභාව ගොඩනැගුණේ එවැනි සංවාදවල ප්‍රතිඵලයක් ලෙස යැයි සඳහන් කළ හැකිය. ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන හඳුන්වා දීමෙනි. එසේ වුවද, එය හඳුන්වාදීම සහ අහෝසි කිරීම පිළිබඳව දිගු වාර්තාවක් අපට තිබේ. මැතිවරණ කොමිසම, අධිකරණය, විගණකාධිපතිවරයා වැනි කිසිම බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු නිලධාරීන් සහ කොමිෂන් සභා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී තිබීම නිසා බලාපොරොත්තු වන ස්වාධීනත්වය ආරක්ෂා නොවන බවටත්, එබැවින් එවැනි පත් කිරීම් සඳහා ජනපතිවරයාගේ ඒකාධිකාරි බලය අහෝසි වන ආකාරයේ ව්‍යුහයක් සකස් කළ යුතු බවටත්, අදහස් ප්‍රකාශ විය.
ඒ අනුව 2001 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවෙන් යුතුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් බලාපොරොත්තු වූයේ එවැනි ආයතනයක් ගොඩනැගීමටයි. එවැනි පත් කිරීම් පිළිබඳව සලකා බැලීම සඳහා ව්‍යවස්ථා සභාවක් පිහිටුවීමට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉඩ ලැබුණද, එහි ගමන පිළිබඳ අපූර්ව කථාවක් ඉන් පසුව ඇති වූ වෙනස්කම් ඔස්සේ අපට නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබෙනු ඇත.
17 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභා ක්‍රමය සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක වුවද, 2010 වර්ෂයේදී හඳුන්වා දුන් 18 වැනි සංශෝධනය මගින් එය අහෝසි කරනු ලැබීය. 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසු නැවත වරක් ව්‍යවස්ථා සභා සංකල්පය පණ ගැන්වීමට කටයුතු කළ අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළිත් ව්‍යවස්ථා සභාව ඇති කිරීමටත්, ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමටත් කටයුතු කරනු ලැබීය. එහෙත් ගෝඨාභය රජය මගින් ගෙන එන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යාවස්ථා සභාව නැවත වරක් අහෝසි කරනු ලැබීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළිත් වරක් ව්‍යවස්ථා සභාව ඇතිකිරීමට කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මුලදී ව්‍යවස්ථා සභාවක් ඇති කිරීම පිළිබඳව ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බව සඳහන් ලිපියක් සතිඅන්ත පුවත්පතක පළ වී තිබෙනු දුටුවෙමු. ව්‍යවස්ථා සභාව ගෙන ඒමටත්, එය අහෝසි කිරීමට ගත් උත්සාහය පරාජය කිරීමටත්, අඛණ්ඩව කටයුතු කළ දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රකාශ කළ යුතුව ඇත. එය අහෝසි කළ සෑම අවස්ථාවකදීම එය නැවත සම්මත කර ගැනීමට ඔහු සෑම උත්සාහයක්ම දැරූ බව ඉතිහාසය නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ.
අද ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවා ගැනීමට හැකිව තිබෙන්නේත්, එය අද ක්‍රියාත්මක වන්නේත් තනිකරම රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත පමණක් බව ප්‍රකාශ කළ යුතුව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අනුපූරක ජනාධිපති ධුරයට පත්විය. එම අවස්ථාවේදී බොහෝ දෙනකු තෙල්, ගෑස් සහ ඖෂධ පෝලිම් නැති කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නමුදු 21 වැනි සංශෝධනය ගෙනවිත් ව්‍යවස්ථා සභාව නැවත වරක් ස්ථාපිත කරන ලෙස කිසිවකු ඉල්ලා සිටියේ නැත. අඩුම තරමින් එම කාලපරිච්ඡේදය තුළ යහපාලනය, මැතිවරණ ස්වාධීනත්වය, මානව හිමිකම් සුරැකීම ආදිය පිළිබඳව නිරන්තරයෙන්ම හඬ නඟන රාජ්‍ය නොවන සංවිධාන පවා ඒ වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ බවක් වාර්තා වන්නේ නැත. එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 21 වැනි සංශෝධනය ගෙනවිත් ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමටත්, ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමටත් කටයුතු කළේය.
20 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධුරය යළිත් වරක් ශක්තිමත් කර තිබුණි. අධිකරණය සහ අනෙකුත් ස්වාධීන ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට අත්විය. රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේ දේශපාලනික වශයෙන් ශක්තිමත් තත්ත්වයක සිටියේ නැත. ඔහුගේ පක්ෂයට තිබුණේ එක ඡන්දයක් පමණි. එවන් තත්ත්වයක් තුළ කිසිදු පුද්ගලයකු ජනාධිපති ධුරයේ බලතල කපා හැරීමට සූදානම් වනු ඇතැයි සිතිය නොහැක. අනෙක් අතට ව්‍යවස්ථා සභාව නැවත ඇති කරන ලෙස කිසිදු බලපෑමක් දැනෙන තරමකට එම යුගයේදී ඇතිව තිබුණේද නැත. එසේ වුවද, රට තුළ සාධාරණ පාලනයක් පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා 21 වැනි සංශෝධනය ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමටත්, ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීමටත්, සියලුම පක්ෂවල සහාය ලැබුණි. ඒ මගින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යළිත් තහවුරු කිරීමට අවස්ථාවක් සැලසුණි. එසේ වුවද, ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වත්මන් ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය රටේ පාලනය අවුල් කිරීම සඳහා හේතු වී ඇති බවයි. පත්කිරීම් 04ක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. දූෂණ විරෝධී පනත සම්මත කර ගත් නමුත්, එම කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීමට මේ දක්වාම ව්‍යවස්ථා සභාවට හැකි වී නැත. අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් සඳහා පත් කිරීමට කර ඇති යෝජනාව ද අභියාචනාධිකරණයේ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කිරීමට කර ඇති යෝජනාවට ද අනුමැතිය ලැබී නැති අතර, පොලිස්පතිවරයකු පත් කිරීමට ද නොහැකි වී ඇත.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවත්නා මෙම පසුබෑම රටේ පාලනය කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපවත්නා බවයි. රටේ පාලනය පවත්වාගෙන යෑම සඳහා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන අංශවල මනා ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ. මෙම අංශ අතර බලතල බෙදාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉතා විධිමත්ව සිදුකර ඇති අතර, මෙම අංශ තුනෙහි බලය පිළිබඳව කිසිම ආයතනයකට අභියෝග කළ හැකි යැයි නොසිතමි. කෙසේ වුවද, අද වනවිට ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලය හිමිකර දී ඇති ඉහත සඳහන් අංශ තුනේම පැවැත්ම කෙරෙහි බලවත් අභියෝගයක් එල්ල කරන සතර වැනි ආණ්ඩුවක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.
දූෂණ විරෝධී පනත ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසින් සම්මත කර බොහෝ කලක් ගත වී ඇතත්, ව්‍යවස්ථා සභාවේ කටයුතු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. පොලිස්පතිවරයා පත් කිරීම විධායකයේ වගකීමකි. එහෙත් ව්‍යවස්ථා සභාව එකඟ නොවීම හේතුවෙන් තවමත් පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වී තිබේ. අභියාචනාධිකරණයේ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට නිර්දේශ කර ඇත්තේ අගවිනිසුරු විසිනි. එසේ වුවද, එම පත් කිරීම් සිදු කිරීමට නොහැකි වීමෙන් අධිකරණයේ ක්‍රියාකාරීත්වයට ද බාධා පැමිණ තිබේ. මේ ආකාරයට රජයේ බල ව්‍යුහය මෙන්ම බලය බෙදීම තුළ බිහිව ඇති ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනවල ක්‍රියාකාරීත්වයට බාධා කළ හැකි ආකාරයේ හතරවැනි බලයක් බිහිවෙමින් පවත්නා බව පෙන්වා දිය හැක.
ව්‍යවස්ථා සභාව බිහි කරන ලද්දේ රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ සැමට යුක්තිය සහ සාධාරණත්වය ඉටුවීම සහතික කිරීම සඳහාත් ය. එසේ වුවද, දේශපාලන බලපෑම් සහ ඒ තුළින්ම බිහිව ඇති කුළල් කා ගැනීම හේතුවෙන් ව්‍යවස්ථා සභාවට සමහර කරුණු සම්බන්ධයෙන් නිගමනවලට එළැඹීමට නොහැකි වී ඇති අතර, තීරණ ගැනීම බොහෝ සේ ප්‍රමාද කර ඇති බව පෙනේ. ජාතික අභිමතාර්ථ වෙනුවට දේශපාලන අභිමතාර්ථ මත කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සිතමි. ව්‍යවස්ථා සභාව වැනි ආයතන පිහිටුවීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා මැනවින් තහවුරු කිරීමට ඉඩ ලැබෙන නමුදු දේශපාලන අභිමතාර්ථ අනුව හැමදේම පවත්වාගෙන යෑමට උත්සාහ කරන අයට ඒවා පිළිබඳ වැටහීමක් නැති බව පෙනේ. ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට හේතු තිබේ. එවැනි තත්ත්වයක් තුළ එවැනි ආයතන තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව මහජනතාව විසින් ප්‍රශ්න කිරීමට පෙර එම ගැටලු විසඳා ගැනීමට ව්‍යවස්ථා සභාව විසින් කටයුතු කළ යුතුව ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර