විපක්ෂයේ බයිස් COPE

0

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමත් එක්ක පාර්ලිමේන්තු කාරක සභා වලට නව සාමාජිකයන් පත්කිරීම සිදුවෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවක් විදිහට සැලකෙන පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවට (COPE – The Committee on Public Enterprises) සාමාජිකයන් විදිහට මන්ත්‍රීන් 31 දෙනෙක් පත් කරගත්තා.
මේ 31 දෙනා තෝරගන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය විදිහට. ඒ නිසා නිරන්තරයෙන් ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් පිරිස වැඩිවීම කොහොමත් වෙනවා.
ඊට පස්සේ කාරක සභාවට සභාපතිවරයෙක් පත්කර ගන්නේ සාමාජික ඡන්දයෙන්. එතකොටත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙන් පත්වීම සාමාන්‍ය තත්වයක්. විපක්ෂයේ මන්ත්‍රීවරයකු සභාපතිධුරයට පත්කරගත් අවස්ථාත් තිබුණා. ඒ ආණ්ඩු පක්ෂයේ එකඟතාවයන් අනුවයි.
කොහොම වුණත් පසුගියදා කෝප් සභාපතිවරයා විදිහට ආණ්ඩු පක්ෂයේ යෝජනාවෙන් රෝහිත අබේගුණවර්ධන පත්කරගෙන තිබුණා. ඒත් මේ ගැන වාර්තා වීමත් එක්කම ඒකට මුලින්ම විරෝධයන් එල්ල වුණේ සාමාන්‍ය සමාජයෙන්. සමාජ මාධ්‍යවල ඒක හොඳටම පෙනුනා. කෝප් කමි‍ටුව බයිස්කෝප් එකක් වෙලා කියලා උපහාසයට ලක්කරලා තිබුණා. කොහොම වුණත් ඒක උපහාසයකට කිව්වත් ඉතිහාසය පුරාම කෝප් එක බයිස්කෝප් එක්ක තමයි කිව්වට වැරදි නැහැ. මොකද මේ කාරක සභාව ගන්න තීන්දු තීරණ, මාධ්‍ය සංදර්ශනවලින් එහාට යන්නේ නැති නිසයි. වරදක් හරි වරදකරුවකු හරි අඳුනගත්තත් ඒවාට දෙන නිර්දේශයන් ක්‍රියාත්මක වෙනවා දකින්න නැහැ. බොහොම විරලයි. කෝප් කමි‍ටුවට මේ නිරදේශයකින් එහාට යෑමේ නීතිමය හැකියාවත් නැහැ. ඒත් බොහෝ විටම වැරදි ගැන වාර්තා කිරීම නිසා, රජයට, ජන සමාජයට ඒ ගැන අවබෝධයක් ලැබීමනම් වෙනවා. ඊට පස්සේ රජය ප්‍රශ්නය විසඳීමට අධිකරණයට බාරදීම හරි ඒක වෙන් නැත්නම් ජනතා අධිකරණය තුළ ඒ විසඳාගත යුතු වෙනවා.
ඒක කොහොම වුණත් රෝහිතගේ පත්වීම ගැන සමාජයෙන් චෝදනා එල්ල වීමෙන් පස්සේ කෝප් නියෝජනය කළ විපක්ෂයේ සාමාජිකයන් එයින් ඉවත් වීම් වාර්තා වුණා. රෝහිත හොරෙක් කියලා චෝදනා කරන විපක්ෂය, දැන් කෝප් එකෙන් හොරු අල්ලන්නේ නෑ, ඒ නිසා එයින් ඉවත්වීම සාධාරණීය කරනවා. ඒත් කෝප් එකෙන් කොහොමත් හොරු අල්ලනේ නැහැ. ඒකෙන් කරන්නේ කරුණු විමසීම් කරලා, විය යුතු දෙයක් නිර්දේශ කිරීමක්.
ඒත් මේ විපක්ෂයේ අය අයින් වෙන්න ගත්ත තීරණය නම් බොළද අවස්ථාවාදී තීරණයක්. එහෙම ඉල්ලා අස්වෙනවා නම් මේ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්වෙන්න ඕන. තමන්ට පිළිගැනීමට
බැරි අයෙක්, මහජන විරෝධයකට ලක්වුණු කෙනෙක් අගමැතිධුරයට පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පත්වනවා නම්, මේ කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට විපක්ෂය තමන් යොදාගත්ත තර්කය නිවැරදි නම් පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්වීම කරන්න ඕන. මොකද මේ දෙකම එකයි. කෝප් කමිටුව කියන්නේ අති සුවිශේෂි ස්වාධීන ආයතනයක් නෙවෙයි. කොටින්ම පාර්ලිමේන්තුවේ කටයුතු පහසු කරගන්න, වෙලාව ඉතිරිකර ගන්න තමයි අදාල සභාවාරයේ දී මේ කමිටු හදාගන්නේ.
“ව්‍යවස්ථාදායකයක් සතුව ඇති අධික වැඩ ප්‍රමාණය හා ඒ සඳහා යොදාගත හැකි කාලය සීමාසහිත වීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසු කාරණයකි. මෙම වැඩකටයුතු ඉක්මනින් හා සාධාරණ සැලකිල්ලකින් යුතුව සිදුකිරීමට නම් එහි යම් යම් වගකීම් සමස්ත සභාවේම විශ්වාසය දිනාගත් යම් කිසි කණ්ඩායමකට පැවරීමට සිදුවේ. මෙම කාර්යය සපුරා ගැනීම සඳහා යොදාගෙන ඇති වඩාත් ප්‍රා‌‌යෝගික ක්‍රමය වන්නේ කාරක සභා ක්‍රමයයි.” පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන්නේ එහෙමයි. යම් සිදුවීම් ගැන විස්තරාත්මකව, මූලික සාකච්ඡාවන් කරන්න කාරක සභා පිහිටුවීම ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ඇති හැම රටකම පාහේ ස්ථාපිතව තියෙන පිළිවෙලක්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා වර්ග පහක් විතර තියෙනවා. ප්‍රධාන කාණ්ඩ දෙකකට මේවා වෙන් වෙනවා. ස්ථාවර කාරක සභා සහ තත් කාර්ය කාරක සභා (තනි විශේෂ කාර්යයක් සඳහා වන කාරක සභා) විදිහට. ස්ථාවර කාරක සභා පාර්ලිමේන්තු නිල කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. තත් කාර්ය කාරක සභා බොහෝ විට තාවකාලික වන අතර නියමිත කාර්යය අවසන් වෙනකොටම ඒවා අහෝසි වෙනවා.
රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ බලය අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වන්නේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයනවල මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි.
මේ කාරක සභාවේ විෂය පථයට, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැරුණු විට රාජ්‍ය ආයතන 250කට ආසන්න ආයතනත් සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තියෙන රජය සතු සමාගම්ද යටත්. ඒත් මේ ඔක්කොම පරික්ෂා කිරීමේ පුළුවන්කම කෝප් කමිටුව නැති නිසා ඔවුන් තෝරා ගන්න ආයතන ගැන විතරක් විමර්ශනය කරනවා. ඒ නිසා මෙකේ තියෙන වගකීමත් ගොඩක් පොඩියි.
අනෙක් කාරණය මෙහි විමර්ශන කටයුතු නිර්දේශයන් ආදිය තීරණය වන්නේ, සභාපතිවරයාගේ තනි කැමැත්තට නෙවෙයි. සමුහිකවයි. වරක් එක මතයකට එන එක ප්‍රශ්නකාරී වෙච්ච තීන්දුවක් වුණු මහ බැංකු බැඳුම්කර ගැන කෝප් වාර්තාව වුණත් නිකුත් කෙරුණේ සභාවේ ඒකමතික එකඟත්වයෙන්. සමහර කරුණු වලට තිබුණු වෙනස් මතය වෙනම පාදක සටහන් දාලා තිබුණා.
මේ නිසා රෝහිත ඉන්නකොට හොරු අල්ලන්න බැරිය, කියන එකේ තේරුම, රෝහිතට බැරිකමට වඩා රෝහිත එක්ක බෑ කියන අයගේ බැරිකම කියලා හිතන්න පුළුවන්. විපක්ෂය මේ වෙලාවේ කරන්නේ දේශපාලනික වාසියට ආණ්ඩු විරෝධයක් හදන්න කරන පච ප්‍රචාරයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
ඒවා මොනව වුණත් මේ කාරක සභාවට නියෝජිතයන් නම් කිරීමේදි ඊට වඩාත්ම සුදුසු විශ්වාසනීය පුද්ගලයන් නම් කිරීම සියළු පක්ෂ වල වගකීමක්. දැන් රෝහිත හොරා කියලා පිළිගන්නවා නම් මේ කාරකසභාවට විපක්ෂයෙන් පත්කරපු අය අතරත් ඒවගේ හොරු ඉන්නවා කියලා පෙන්නන්න පුළුවන්.
කිරෙන් පෙරළා ගත්ත සුපිරිසිදු සර්වතෝභද්‍ර අය පාර්ලිමේන්තුවේ තියා අද යතිවර සමාජයේවත් නැහැ කියන එක බොරු නෙවෙයි. ඕනෑම අයකුට අනෙක් කෙනෙකටු කරන්න චෝදනා තියෙන්න පුළුවන්..ඒවාට සාධාරණ හේතු නැති වුණත්.
කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත පත්වීම ගැන විරෝධයක් එන්නේ එයා ගැන සමාජයේ ඇතැමුන් තුළ තියෙන ප්‍රතිරූපය එතරම් හොඳ නැති නිසයි. ඒත් එයත් වැඩිම ජන මනාපයකින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. එල්ල වෙලා තියෙන චෝදනා, හරි හෝ වේවා වැරදි හෝ වේවා පොදුවේ සමාජය තුළ විශ්වසනීයත්වය අහිමි කරගත් පුද්ගලයකු මේකට යෝජනා කිරීමෙනුත් හෑල්ලු‍ වන්නේ පාර්ලිමේන්තුවයි. ඒත් මොන කාරක සභාවකට වුණත් නියෝජතයන් පත්කරගන්න වෙන්නේ ජනතාව පත්කර එව්ව අයගෙන්. මේ අයගෙන් නියෝජනය වන්නෙත් මේ ජනතා අභිලාෂයන්ගේ ස්වභාවයමයි.
එහෙම බැලුවාම මේ පත්වීම ගැන පුදුමයට පත් වෙන්න, හඬා වැලපෙන්න හෝ කැරලි ගහන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ. ඇත්තටම මේ විරෝධයෙත් බයිස්කෝප් සංදර්ශනයකට වඩා දෙයක් නෑ.

………ලොකූ………

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *