විපක්ෂය දැන් මොකද කියන්නේ?

0

විවිධ ව්‍යාකූල තත්වයන් මඟ හැරෙමින් මෙරට දේශපාලනය ක්‍රමයෙන් පැහැදිලි වෙමින් තිබේ. ඒ අනුව අනාගතයේ දී සිදුවීමට නියමිත දේ ගැන, සාමාන්‍ය අවබෝධයක් සහිත අයකුට වුව තේරුම් ගැනීම පහසු වෙමින් තිබේ.
අප එසේ කියන්නේ විවිධ දේශපාලන බලවේග විසින් ඇති කරමින් තිබූ විකාර සහගත තත්වයන් දැන් ඔවුන්ටම පාරාවල්ලක් වී පැමිණෙන බව නීරික්ෂණය වන නිසාය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වාම ජාතිකවාදය, බටහිර විරෝධය, ඉන්දියානු විරෝධය අත්හැර දක්ෂිණාංශික දේශපාලනය වැළඳගන්නා තැන දක්වා හැකිළෙමින් තිබේ.

ඔවුන් විරුද්ධ වූ, එසේම අනෙක් කණ්ඩායමකට ක්‍රියාත්මක කරන්න ඉඩ නොදුන්, ඒ වෙනුවෙන් මාරාන්තික ප්‍රහාරයන් ගණනාවක් ඇති කර මහා විනාශයක් කර තිබූ ජවිපෙට එදා තමන් කළ දෙයට හාත්පසින්ම වෙනස් දේශපාලනයක් තෝරාගැනීමට බලකර තිබීම මෙහිදී කැපි පෙනෙන දෙයකි. එසේම ප්‍රධාන විපක්ෂය වූ සජබයටද යනඑන මන් නැති වීමත් පැහැදිලිය. ජනාධිපති රනිල්ට එරෙහිවීම, නම් පටු දේශපාලනය තෝරාගත් මෙම කණ්ඩායම් දෙකට ද ප්‍රතිපත්ති සාධක මත ජනාධිපතිවරයාට මුහුණ දීමේ හැකියාව ද නැති කර තිබේ.

පසුගිය 07 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ වැඩපිළිවෙලෙහි සාර්ථක බව සහ එහි ඉදිරිය ගැන සවිස්තරව ඉදිරිපත් කරන ලදී. නමුත් එය සජබය විසින් විපක්ෂය මෙම අවස්ථාව වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව සජිත් ඇතුළව පිරිසක් ක්‍රියාත්මක විය. වර්ජනය කළා කීවද සජිත් සහ පිරිස මෙහිදී කළේ ජනාධිපතිවරයා සිය දේශනය පටන් ගැනීමෙන් පසු නැගිට යාමේ තුට්ටු දෙකේ ග්‍රාම්‍ය භාවිතාවකට යෑමය. මේ තීරණය ගත් මොහොතේදී ඊට එරෙහිව සජබයෙන්ම විරෝධයක් පැන නැග තිබිණි. මේ නිසා පිරිසක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවී සිටි අතර තවත් පිරිසක් සජිත්ගේ මෝඩ ග්‍රාම්‍ය භාවිතාවට එරෙහිව ජනාධිපතිවරයාගේ දේශනයට සවන් දීමට තීරණය කර තිබිණි. ඒ මොහොතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් සභා ගර්භයේ රැඳී සිටීමෙන් සජිත්ගේ විපක්ෂ නායකකම පිළිනොගැනීම ගැන පණිවිඩය දී තිබිණි.

සජිත්ගේ තීරණයට එරෙහි වූවන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට සජිත් තීරණය කළද ඊට ලැබුණු ප්‍රතිචාරය වූයේ පුළුවන් දෙයක් කරලා පෙන්වාපන් කියන්නා සේ දරුණු ප්‍රහාරයකි. ඒ අනුව සජිත්ට තමන්ගේ තීරණය හකුළා ගැනීමට සිදුව තිබිණි. මේ අනුව සජිත් දැන් සිටින්නේ තමන්ගේ කණ්ඩායමේ අඩකගේ පමණකගේ සහය ද අහිමි කරගෙනය.
රටට වගකිව යුතු විපක්ෂයක් නම් කළ යුතු වන්නේ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔවුන් දරණ මතවාදයන් අනුව විවේචනය කිරීම හා විකල්පය පෙන්වා දීම හෝ ඊට එකඟ වීමය. නමුත් සජිත් එය අත්හැරියේ අඩුම තරමින් ජනාධිපතිවරයා කියන්න උත්සහ කරන්නේ කුමක්ද යන්න ගැන හෝ ඇහුම්කම් දීමට තරම් හෝ පරිචයක් තමන්ට නැතිබව පෙන්වමිනි.

රජය කරමින් සිටින්නේ කුමක්ද? ඉදිරියට කරන්න යන්නේ කුමක්ද යන්න ගැන වටහාගැනීමට තරම් හැකියාවක් නැති නිසාද නැතිනම් මේවා අහගෙන සිටින විට තමන්ගේ පරාජිත බව දරාගැනීමට නොහැකිවීම නිසාද විය හැකිය. නමුත් පසුවදා පැවැති ප්‍රතිපත්ති දේශනය ගැන විවාදයට පැමිණ සුපුරුදු පරිදි නන්දෙඩවීමට කටයුතු කර තිබිණි. කොහොම නමුත් එක් වැදගත් දෙයක් නම් ජවිපෙ අනුර හා විජිත ඉන්දියාවට ගොස් අලුත් දේශපාලන පාඩමක් ඉගෙන ගන්නා අතරේ එම කණ්ඩායම නියෝජනය කරමින් හරිනි අමරසූරිය ජනාධිපතිවරයාගේ කතාවට ඇහුම්කම් දීමට පියවර ගැනීමය. හරිනි දරණ ප්‍රතිපත්තිය, රනිල් දරණ ප්‍රතිපත්තියෙන් වෙනස් වන්නේ නැත. එමෙන්ම හරිනි අහන්නත් කැමති කතාවක් ජනාධිපතිවරයා වෙතින් ඉදිරිපත්ව තිබිණි. එසේම මේ මොහොතේ දී මාලිමාවේ නමින් ප්‍රකාශිත ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් කියවනවාද යන්න හරිනිට සිතුනාද සැක නැත. මාලිමාව දේවල් යෝජනාකර ඒවා ක්‍රියාත්මක කරන්න බලය ඉල්ලද්දී ජනාධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කර අවසන්ය. මාලිමාවේ ආර්ථික වැඩපිළිවෙල තුළ ඇති ඉලක්කම් ඉතා අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කළ ඉලක්ක වූවද එම වැඩපිළිවෙල රනිල්ගේ මහා වැඩපිළිවෙළෙන් උපුටා ගන්නා සුළු කොටසක් බව ද කිව හැකිය.

එහෙත් ජනාධිපතිවරයාට එරෙහිවීම තමන්ගේ දේශපාලනය වන නිසා ඊට එරෙහිව මොනමොනවා හෝ දෙඩවීම හරිනිද සිදු කළේය.
සජබයේ බ්ලු‍ ප්‍රින්ට් නමින් හර්ෂලා, ඉරාන්ලා, කබීර්ලා මැදිහත්ව ඉදිරිපත් කළ වැඩපිළිවෙලද රනිල්ගේ ප්‍රතිපත්තියෙන් වෙනස් නැත. එසේම යෝජනා කරන වැඩසටහන්ද ඊට සමාන්තරය. නමුත් මෑතකදී සජිත්ගේ ආර්ථික උපදේශකයා ලෙස ගෝඨාභයගේ ආර්ථික උපදේශකයකු වූ නාලක ගොඩහේවා පත්වීමෙන් පසුව බ්ලු‍ ප්‍රින්ට් එක කුණු කූඩයට වැටී තිබේ. ගොඩහේවලා යෝජනා කරන්නේ ගෝඨාභය සමයේදීත් කූජිත වූ වාම ජාතිකවාදයක තබා ගොඩනගනු ලැබූ අඳබාල වැඩපිළිවෙලය. මේ නිසා සජිත්ට රනිල්ගේ වැඩපිළිවෙල අසාගෙන සිටීම අමාරු වන්නට ඇත. සජබයේ හර්ෂලා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වැඩපිළිවෙල රනිල් මේ වන විට යථාර්තයක් කිරීමට පියවර ගැනීම නිසා සජිත්ට ඇත්ත වශයෙන්ම දැන් එයින් වැඩක් නැත. රනිල්ට විරුද්ධ වන්න නම් රනිල්ගේ වැඩපිළිවෙලට අභූත හේතු හදාගෙන හෝ විරුද්ධ විය යුතුය. එනම් රට ගොඩනඟනවා වෙනුවට බංකොලොත්වන ප්‍රතිපත්තියකට මාරු විය යුතුය. ගොඩහේවලාගේ මුග්ධ උපදේශයන් පතාගෙන සිටින්නේ ඒ නිසාය. මේ අනුව හර්ශලා ලියා දී සජිත්ට පැහැදිලි කර දුන් වැඩපිළිවෙල යළි සජබයේ වැඩපිළිවෙල වෙන්නේ නැත. ඒ අනුව හර්ෂලාට සජබය තුළ පැවැත්මක්ද නැති වෙනු ඇත.

කොහොම නමුත් ගොඩහේවලාගේ මාර්ගයේ ගියහොත් වන්නේ ගෝඨාට සිදුවූ දේ තමන්ටත් සිදුවීම බව සජිත් නොදැන සිටින්නට තරම් මැට්ටකු විය නොහැක. ඒත් අඩුම තරමින් තමන්ගේ පියා ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙල ගැනවත් අවබෝධයක් හා එකඟතාවයක් තිබුණා නම් ගොඩහේවලාගේ පස්සෙන් වැටෙන්නේ නැත. මේ නිසා සජිත්ට ගොඩහේවලාගෙන් යැපෙමින් හෝ රනිල්ගේ වැඩපිළිවෙල විවේචනය කිරීම විය යුතු නිසා ජනප්‍රිය සටන් පාඨ ගෙන හැර පාමින් රට රැවැටීමේ තැනට වැටී තිබේ.

ජවිපෙටත් සිදුව තිබුණේ මෙවැනිම තත්වයකට මුහුණ දීමටය. නමුත් ජවිපෙ ප්‍රතිපත්තිවලට කිසිවක් කරන්න බැරි බව හොඳාකාරව පැහැදිලි නිසා උගුරට හොරා බෙහෙත් කනවා සේ මාලිමා ප්‍රතිපත්තිවලට මාරුවීම සිදුවෙමින් තිබේ. එය එක අතකට බුද්ධිමත් තීරණයකි. මාලිමා ප්‍රතිපත්ති යනු නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ප්‍රතිපත්තීන්වලින් උකහාගත්තක් මිස වෙනකක් නොවේ. මේ අනුව විශේෂයෙන්ම ජවිපෙ නායකයාට ඉන්දීය සංචාරය තුළදී දේශපාලනයේ තෝරා බේරාගැනීම් ගැන බොහෝ දේ ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනු ඇති නිසා ද ඉදිරියේදී සජිත් මෙන් පිස්සු කෙළීම්වලට නොයනු ඇතැයි කල්පනා කළ හැකිය.

මේ නිසා තවදුරටත් ජනතාව හමුවේ පට්ට්ටපල් බොරු දෙසා බාමින්, සංදර්ශන පෙන්වමින් ජනාධිපති රනිල්ට විරුද්ධ බව, ඔහුගේ වැඩපිළිවෙලට විරුද්ධ බව පෙන්වීමේ සටකපට වැඩවලින් මිනිස්සු නොමඟ යවා යළි මේ රට අනතුරකට ඇද දැමීමට ක්‍රියා නොකර සිටිනවා නම් එය ජවිපෙට රට වෙනුවෙන් ගත හැකි යහපත්ම පියවරයය. තමන්ට ජනපති රනිල්ගේ ප්‍රතිපත්තිය විවේචනය කිරීමට හැකියාවක් නැතිනම් හෝ තමන්ගේ කියා විකල්ප ප්‍රතිපත්තියක් නැතිනම් හෝ රට නොමඟ යවමින් තක්කඩි දේශපාලනයක යෙදීම කිසිවකුගෙන් නොවිය යුත්තකි.

කෙසේ නමුත් දැන් පෙනෙන සත්‍යය නම් මේ කිසිදු පාර්ශ්වයකට ජනපති රනිල් සමඟ එක්වී රට ගොඩනැගීම වෙනුවෙන් සහය වීමට කිසිදු බාධාවක් නැති බවය. ප්‍රතිපත්තිමය ගැටලු‍ ඇත්තේ නැත. අනෙක මේ විරෝධයන් මතු කරන සජබ-ජවිපෙ යනු ජනාධිපති රනිල් සමඟ එකඟව එකට කටයුතු කර පළපුරුදු අයය. රනිල් කියන්නේ හුදු දේශපාලනික වාසිය උදෙසා කටයුතු කරන්නකු නොවන බව මේ අය ඔහු සමඟ වූ සමීප ඇසුර නිසාම මේ රටේ ජනතාවට වඩා ඒ හරිය දන්නවාට සැක නැත.

රට අර්බුදයට පත්වූ මොහොතේ රට භාරගන්නයි විපක්ෂයට හිටපු ජනධිපතිවරයා ආරාධනා කළ මොහොතේ ඒ අභියෝගයට බිය වී සැඟවී පළා යාම කවරක් වුවත්, දැවැන්ත අවදානමක් තමන් ඉදිරියේ තිබියදීත් ඒ අභියෝගය ජය ගැනීමේ ආත්ම ශක්තියෙන් එය භාර ගත් රනිල්ට හෝ සහය දීම සෘජුව හෝ අනියමින් හෝ විය යුතුව තිබිණි.
එදා මේ සහයෝගය රනිල් දිගින් දිගටම ඉල්ලා සිටියදී රටේ නැති ප්‍රශ්න මතු කර එයින්ද පළා ගියේ රනිල්ට රට ගොඩදැමීමේ හැකියාවක් නැතැයි අවතක්සේරුවක සිටි නිසාය. එසේම රනිල්ට වැරදුනොත් තමන්ටත් වැරදෙනු ඇතැයි බියෙනි. මේ අය බය වුණේ අරගලයටය. තමන්ට පාලනයක් නැති තැනට අරගලය උත්සන්න වීම තුළ අඩියක් දෙකක් පස්සට වී බලා සිටීම වඩාත් හොඳම ක්‍රියාමාර්ගය ලෙස මේ අය සිතුවේය. අරගලකරුවන්ගේ පැත්ත ගැනීම ඉදිරි දේශපාලනයට හිතකර වේ යැයි පසුව කල්පනා කළේය.

එහෙත් අවාසනාවකට සිදු වූයේ අරගලකරුවන්ගේ ඉල්ලීම් එකින් එක සම්පූර්ණ කරගනිමින් ආර්ථික අර්බුදය විසඳමින් රටට නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් එනම් සිස්ටම් චේන්ජ් කරමින් රනිල් සාර්ථක වීමය. අරගලය තමන් අතටගැනීම රනිල් සිදු කළේය. දැන් සජිලාට අනුරලාට අරගලකරුවොත් නැත, රනිලු‍ත් නැත. කොටින්ම තමන්ගේ පාක්ෂිකයාත් නැති වෙමින් තිබේ. විපක්ෂය රටට කළ බොරුව රැවැටීම සහ ඔවුන්ගේ දුර්වලකම දැන් අන් කවරදාවකටවත් වඩා රට හමුවේ, ජනතාව හමුවේ හෙළි වී අවසන්ය.

රනිල්ට මුහුණ දෙන්න බැරි විපක්ෂයට දැන් ජනතාවට මුහුණ දෙන්නත් නොහැකිය. අද රනිල් කියන්නේ ජනතාවය, ජනතාව කියන්නේ රනිල්ය. රනිල්ගේ අභිලාශය කියන්නේ ජනතාවගේ ආභිලාශයන්ය. ජනතා අභිලාශය කියන්නේ රනිල්ගේ අභිලාශයය. අද ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න ටික ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න සිදුව ඇත්තේත් රනිල්ටය. ජනතාව දරුණු පීඩාවකට ගොදුරුව සිටින බවත් ඔවුන්ට සහන දියයුතු බවත් කියන්නේත් එය ඉටුකරන්නෙත් රනිල්ය.

විපක්ෂයට තියෙන්නේ ක්‍රිකට් ප්‍රශ්න, ව්‍යවස්ථා අර්බුද, පරණ විගණන වාර්තාවල ඉලක්කම් ප්‍රශ්න, සමාජ මාධ්‍යවල බොරු ලියන්න නොදීමේ ප්‍රශ්න, ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ වැරද්ද, මැතිවරණ ඉල්ලීම් වැනි දේය. ජනතාව කිසිවිටෙක තමන්ගේ පැවැත්මට අදාල කරනොගන්නා ප්‍රශ්න සමුහයක් වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ මරා ගන්නා අතර ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රශ්න ජනතාව සමඟ එකතුවෙමින් විසඳමින් තිබේ.

ජනාධිපතිවරයාට ජනවරමක් නැතැයි කියමින් විපක්ෂය කළ චෝදනා සියල්ලමත් දැන් වලංගු නැත. ජනවරමක් නොව ජනතාව පොදිය පිටින්ම ඉන්නේ රනිල් සමඟ බව ඉදිරි ජනාධිපතිවරණයෙන් පැහැදිලිව පෙන්නුම් කරනු ඇත්තේ මේ නිසාය.
අප එසේ කියන්නේ මේ වන විට ජනාධිපති රනිල් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙල මේ රටේ සුවහසක් ජනතාව සුඛිත මුදිත කිරීමේ පියවර බවට පත්වෙමින් තිබෙන නිසාය.

දශක ගණනාවක් නොවිසඳුන ඇතැම් ගැටළු පවා මේ ගෙවුණු වසර එකහාමාරක් කාලය තුළ මුළුමනින්ම විසඳීමට ජනාධිපතිවරයා සමත්ව තිබේ. ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසඳීම ඒ අතර විප්ලවීය පියවරකි. රටේ දරිද්‍රතාවය අවසන් කිරීමට ගත් පියවර, ව්‍යවසායකයන් විසි ලක්ෂයක් බිහිකිරීමට ගත් පියවරයන් මේ රටේ ආර්ථිකය නව පිම්මකින් ඉදිරියට තල්ලු කරනු ඇත. පරම්පරා ගණනාවක් තිස්සේ අහපු රාජ්‍ය ආයතන පාඩු ලැබීම, දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතා අවම කිරීමට ගත් පියවර දැන් සාර්ථකව දියත්වෙමින් තිබේ. මෙවැනි සාර්ථක පියවරයන් ගැන දිගු ලැයිස්තුවක් සඳහන් කළ හැකිය.
ඒ කොහොම නමුත් මේ මොහොතේ දීත් එනම් රට බංකොළොත් බවින් මුදවාගෙන සංවර්ධන ගමනට මුළපුරා ඇති මොහොතෙත්, ජනාධිපති රනිල්, විපක්ෂයෙන් ඉල්ලා සිටියේ මේ සාර්‍ථක වැඩපිළිවෙල හා දැන්වත් එක් වී රට ගොඩනැඟුමට දායක වන ලෙසය. තවමත් විපක්ෂයට ඒ අවස්ථාව විවෘත බවය. ඒ ජනාධිපති රනිල්ගේ අවංක අභිලාශය රට ගොඩනැඟීම බව පෙන්වීමකි. තමන්ට ලකුණු එකතුකර ගැනීමට වඩා සියළු දෙනා සමඟ සාමුහිකව රට ගොඩනැඟීම කළ බව ඉතිහාසයේ ලියැවීම ඔහුගේ අපේක්ෂාවය. එහෙම වන්නේ නම් රටේ ඉතිහාස කතාව වඩාත් ලස්සන විය හැකිව තිබේ.

එහෙත් අවාසනාවන්ත විපක්ෂය තවමත් සිතා සිටින්නේ රනිල්ව පන්නා ජනතාව තමන්ව බලයට පත් කරනු ඇති බවය. මේ රටේ මිනිස්සුන්ට එච්චචර පිස්සු නැත. ජනතාව එච්චර මෝඩ නැත. මේ යුගය යනු ජනතාව අනාගතවාදී ලෙස කල්පනා කරන, සිහිබුද්ධියෙන් දේවල් තෝරාබේරා ගන්නා කාලයකි. තමන්ගේ අත්දැකීම් තුළින් පාඩම් ඉගෙන ගෙන ඒ අනුව කල්පනා කරන පිරිසකි. ජනතාව, තමන්ගේ ප්‍රශ්නයට විසඳුම දුන්නේ කවුද රටේ ප්‍රශ්නයට විසඳුම දුන්නේ කවුද ඒ විසඳුම රැක ගෙන රට ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙන්නේ කාටද කියන එක ගැන පුළු‍ල් අවබෝධයක පසුවේ.
දැන් කඩපොළේ මඟතොටේ මිනිස්සු කතා කරන්නෙ ඒ ගැනය. රනිල් කියන දේ කරන, කරන දේ කියන විශ්වාසනීය නායකත්වයක් බව දැන් සැක කරන්න කිසිදු හේතුවක් ඉතිරි කර නැත. විපක්ෂයේ රෑ දනියෙල් දවල් මිගෙල් දෙබිඩි කුහක තක්කඩි පිළිවෙත ද රනිල් කෙරෙහි විශ්වාසය නංවාලීමට හේතුවක්වද තිබේ.

තවදුරටත් ජනාධිපතිවරයාව සැක කරන කෙනෙක් වේ නම් මෙවර ජනාධිපති රනිල් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යළි යළිත් කියවීම සත්‍යය තේරුම් ගැනීමට පිටුවහලක් වෙනු ඇත. ඊට එරෙහි මතයක් තිබේ නම් ඒ ඉදිරිපත් කර වඩා හොඳම දේ ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා එකඟය. ජනතාව දැන් බලා සිටින්නේ විපක්ෂය ඊට දෙන උත්තරය දිහාය.

……ඝෝෂක…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *