විපක්ෂය සනසා ජනතාව අන්දන අතේ පත්තු වෙන සමීක්ෂණ ප්‍රෝඩා

0

ආණ්ඩුව ගැන ජනතා කැමැත්තක් නෑ, ආර්ථික ක‍්‍රියාවලිය පිළිබඳ ජනතා විශ්වාසයක් නෑ, ආණ්ඩුව කරන වැඩ ගැන ජනතාව ඉන්නේ අප‍්‍රසාදයෙන් වැනි විපක්ෂයේ උදාන වාක්‍යයයන්,  මේ දිනවල විපක්ෂයේ උන්දැලා රටේ මහජනතාව හමුවේ මන්ත‍්‍රයක් වගේ ජපකරමින් සිටිනු පෙනේ. මේ ජප කිරිල්ල අද පමණක් නොව ලංකා දේශපාලන ඉතිහාසය පුරාම විපක්ෂ කඳවුරේ මූලිකම කටයුතුවලින් එකකි. එකී වදන් පෙළ කට පුරුද්දට හෝ දිව පුරුද්දට කියවනවා මිස ඒ පිළිබඳ කිසිදු වගවීමක් හෝ වගකීමක් ඔවුන්ට නැත. බොහෝ විට පවතින ආණ්ඩුවේ නොසැලකිල්ලට හෝ තමන්ට වාසියක් අත්පත් කරගැනීමට අසමත් වූ ඇතැම් පුද්ගලයෝ හෝ කණ්ඩායම් හෝ ආයතන විසින් පිරිවැයක් දරමින් විපක්ෂයේ කටපුරුද්දට කියවන වදන් සනාථ කිරීමට මහජන සමීක්ෂණ වාර්තා එළිදැක්වීමට කටයුතු කිරීමද සුලබ දෙයකි. 

මෑතක දී එසේ ප‍්‍රසිද්ධ කළ වාර්තාවක් පදනම් කරගෙන විපක්ෂය නියෝජනය කරන හෝ රටේ ජනතාව තුළ ආණ්ඩු විරෝධය පතුරුවා හැරීමට කටයුතු කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් 2024 අයවැය පදනම් කරගෙන ලොකු ඝෝෂාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය. ඒ ‘2024 අයවැය සිහින අයවැයක්, පොරොන්දු අයවැයක්’ කියන ගමන්ම 2023 අයවැයට ඉදිරිපත් කළ යෝජනා 77කින් 69ක් මොකුත්ම කරලා නෑ, වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නෑ, ව්‍යපෘතිවලින් 68%ක් ක‍්‍රියාත්මක කරලා නෑ කියලා තොරතෝංචියක් නැතුව කැමරා ඉදිරියේ රඟපාමින් කිය කියා ගියේය.  එසේ ආණ්ඩු කෙරෙහි අප‍්‍රසාදයක්, විරෝධයක් මතුකරමින් හෝ ජනගත කරමින් උත්සාහ කරන්නේ රටේ අර්බුදයට පිළියම් සෙවීමට හෝ ඊට සහය වීමට හෝ නොවන බව නම් පැහැදිලිය. මන්ද මේවා ඉදිරිපත් වන්නේම  පක්ෂග‍්‍රාහි විවේචන ලෙස නිසාය.

ලාභ සිල්ලර දේශපාලනය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය දා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේ, වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකට අනුව 2023 වසර සඳහා වූ අයවැයේ විශේෂිත යෝජනා 50ක් සඳහා වෙන් කළ ප‍්‍රතිපාදන තුළින් සියයට 97ක ප‍්‍රමාණයක් වැය කළේ කුමක් සඳහා ද යන්න සම්බන්ධ නිශ්චිත තොරතුරු නොමැති බවත් එසේම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නොමැති හෝ සොයා ගත නොහැකි බවත්ය.

විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් සමඟ එකතු වී 2023 අයවැය යෝජනා 77ක් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී ඒ අතුරින් යෝජනා 69ක තොරතුරු අසම්පූර්ණ බවත් ඒ අතර යෝජනා 12 (17%)ක තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් ව්‍යාපෘති 16ක් ආරම්භ කර නොමැති බවත් ව්‍යාපෘති 29 (42%)ක ප‍්‍රගතිය සියයට 50ට අඩු බවත් ව්‍යාපෘති 12ක ප‍්‍රගතිය සියයට 50ට වැඩි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙකී වාර්තාවම පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ නායකයෝද තැන් තැන්වල ආණ්ඩුව වැටිලා. ගිය අවුරුද්දේ අයවැය යෝජනා ක‍්‍රියාත්මක කරලා නෑ වගේ කතා කිය කියා ආණ්ඩු විරෝධය පෝෂණය කිරීමට උත්සා දරණු පෙනේ. ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ ආර්ථික විශ්ලේෂකයකු සේ පෙනී සිටින චතුරංග අබේසිංහ වෙරිටේ රිසර්ච් වාර්තාව පදනම් කරගෙන කියා තිබුණේ, ලබන වසරේ 11.6%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වුණාට 22-2023 අයවැය යෝජනාවලින් 70%ක තොරතුරු සොයා ගැනීමට නොහැකි බවය.

එපමණක් නොව රටට මොකවුණත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මහපාරේ දේශපාලනය තෝරාගත් පෙරටගාමී පක්ෂයේ උදවිය ද වෙරිටේ රිසර්ච් තමන්ගේ වාසියට පාවිච්චි කරමින් සිටී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක් තියා කියා සිටියේ මෙසේය.  ‘‘වෙරිටේ කියන පර්යේෂණ ආයතනය පසුගිය අයවැය ගැන පසුවිපරමක් කර තිබුණා. 2023 අයවැයේ ප‍්‍රගතිය තක්සේරු කරන්නවත් මොකුත් තොරතුක් නැති තත්වයක් ඔවුන් වාර්තා කරනවා.  ඔවුන් කියන ආකාරයට අයවැය යෝජනාවලින් ඉහළම වැය කිරීම් අගයන් සහිත ව්‍යාපෘති 25ක් වෙනුවෙන් වැය කරන්න යෝජනා කළ ව්‍යෘපෘති අතුරින් 68% ගැන මොකුත්ම තෙරතුරු නෑ. ඒ ව්‍යාපෘතිවලින් 68%ක් මොකුත්ම කරලා නෑ. ඒ ව්‍යෘපෘති 25 සඳහා වෙන් කළ රුපියල් බිලියන 49කින් බිලියන 47ක්ම සම්බන්ධ කිසිම දෙයක් වෙලා නෑ. මොනවා හරි ක‍්‍රියාත්මක වෙලා තියෙන්නේ අයැවය යෝජනා තියෙන්නෙ 8%ක් පමණයි.’’ 

වෙරිටේ රිසර්ච් පමණක් නොව සජබ ආර්ථික ඔස්තාර්ලා එකතු වෙලා කරපු රිසර්ච් එකකට අනුව 2023 අයවැය යෝජනා 77කින් 69ක්ම කරලා නෑ කියලා විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී කිව්වේය. ඔහුට අනුව ආණ්ඩුව විසින් සිදුකර ඇත්තේ, පසුගිය වසරේ අයවැය යෝජනාවලින් 8ක් පමණි. ඒ කතාව ඇත්ත නම් පසුගිය අවුරුද්දේ තිබුණු සියලූ ආර්ථික අහේනිය, කඩාවැටීම සහ සමාජය පුරා උඩුදුවපු අර්බුද අද නැත්තේ රනිල් ක‍්‍රියාත්මක කළ යෝජනා අට නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් අනුරල, සජිත්ල පුබුදුල හැමදාම ලාභ සිල්ලර දේශපාලනයෙන් ගොඩයන්න උත්සාහ කරනවා මිස විචාරශීලී දේශපාලනයක් ගැන අදහසක්වත් නොමැති වීම රටේ අවාසනාවකි. මේ ‘රිසර්ච්’ ගැන වරෙක එංගලන්තයේ හිටපු අගමැතිනි මාග‍්‍රට් තැචර් පවසා තිබුණේ, ‘යමෙකු මත විමසුම් මගින් මඟ පෙන්වනු ලබන්නේ නම් ඔහුට අනුගාමිකයකු මිස නායකයකු විය නොහැකිය’ යන්නය.

වෙරිටේ රිසර්ච් අනාවරණය

2023 වසරේ අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබූ වියදම් පොරොන්දු 25 ක් අතරින් 17 ක ප‍්‍රගතිය ඇගයීමට ලක් කිරීමට හැකියාවක් නොලැබුණු බවත් අදාළ අමාත්‍යංශ එම පොරොන්දු පිළිබඳව ප‍්‍රසිද්ධ කළ යුතු තොරතුරු ‘මාර්ගගතව’ ප‍්‍රසිද්ධ කර නොතිබීම එයට හේතු වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප‍්‍රකාශ කර තිබුණි.

එම පොරොන්දු 25 න් පොරොන්දු දෙකක ප‍්‍රගතිය සතුටුදායක බවත් තවත් පොරොන්දු 6 ක් මන්දගාමී ප‍්‍රගතියක් ලබා ගෙන ඇති බවත් එම පොරොන්දු ක‍්‍රියාත්මක කිරීම බාරව තිබෙන අමාත්‍යංශ 15 න් ප‍්‍රසිද්ධ කළයුතු තොරතුරු මාර්ගගතව එනම් වෙබ් අඩවියක ප‍්‍රසිද්ධ කර ඇත්තේ එක් අමාත්‍යංශයක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසා තිබිණි.

මෙම අනාවරණය අනුව වෙරිටේ රිසර්ච් සිදුකර ඇත්තේ, ආර්ථික දත්ත හෝ අයවැය සම්බන්ධ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සමීක්ෂණයක් නොව මේ රටේ අමාත්‍යාංශ කුමන ප‍්‍රමාණයකින් අන්තර් ජාලය හා ගනුදෙනු කරන්නේ ද යන කරුණ තහවුරු කරගැනීමේ පරීක්ෂණයක් ය. ඒ අනුව එක අමාත්‍යාංශයක් ඔවුන්ගේ අනාවරණය අනුව සතුටුදායක ලෙස කටයුතු කර තිබේ. අනෙක් අමාත්‍යාංශ එසේ කටයුතු නොකරනවා යන්නෙන් ඔවුන් සිය අමාත්‍යාංශයට පැවරුණු  කාර්යභාරය ඉටුකර නැතැයි නිගමනය කිරීම මන්ද බුද්ධික, මරි මෝඩ තකතීරු වැඩකට වඩා තක්කඩි වැඩකි. මේවා පක්ෂග‍්‍රාහී විවේචන කියන්නේ ඒ නිසාය. අනුරලා සජිත්ලා පුබුදුලා සිදුකරමින් සිටින්නේ ඒ තක්කඩිකම තමන්ගේ දේශපාලනයට ඈදා ගැනීමය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පසුගියදා මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ, ‘වෙරිටේ රිසර්ච් ආයතනය වර්තමානයේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයාට තිබෙන ප‍්‍රසාදය 9%දක්වා අඩු වෙලා කියලා ප‍්‍රකාශ කරනවා. කලින් ජනාධිපතිතුමාට තිබුණු 34%ක ජනප‍්‍රියතාව එක සතියෙන් 9%ට අඩු වෙලා තිබෙනවා. මේක විශ්වාස කරන්න කියල ද අපට කියන්නෙ. වෙරිටේ රිසර්ච් ආයතනයේ නිශාන් ද මෙල් කියන මහත්මයා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ තනතුරක් බලාපොරොත්තුවෙන් හිටියා. ඔහුට තනතුරක් ලබා දුන්න නම් මේ ආයතනය මෙවැනි ප‍්‍රකාශයක් සිදු කරන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන කමිටුවක් පත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළා. ඒ කමිටුවේ සාමාජිකයකු වෙන්න ඔහුට අවශ්‍යතාවක් තිබුණා. එයත් ඉෂ්ට වුණේ නැහැ. ඊට පස්සේ ඔහු සම`ගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ජාතික ජන බලවේගයට සහාය දෙමින් විවිධ දේවල් ප‍්‍රකාශ කරනවා. පහුගිය කාලේ ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ්. පොලී අඩු කරනවයි කියලා උසිගැන්නුවෙත් මේ මහත්මයාම තමයි.’

එකී කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අදටත් නිශාන් ද මෙල් ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව ද සිහිපත් කළ යුතුය. ඒ කෙසේ වෙතත් මේ කරුණු අනුව වෙරිටේ රිසර්ච් සිදුකරමින් සිටින්නේ ආණ්ඩු විරෝධී වෛරීසහගත දේශපාලනයකි. තුච්ඡ ලෙස ජනතාව නොමඟ යැවීමකි. ඒ සඳහා තමන්ගේ වෘත්තීය අමු අමුවේ බාල්දු කර ඇති ආකාරය අන්තර්ජාලයේ තොරතුරු සටහන් නොවීම මත පදනම්ව පසුගිය අයවැය යෝජනා 25කින් 17 සිදුකර නැතැයි අනාවරණය කිරීමෙන් පැහැදිලිය. මේ ආකාරයෙන් කලින් තීරණය කරන ලද යම් තොරතුරක් හෙළිකිරිම වෙනුවෙන් සමීක්ෂණ වාර්තා සැකසීම හුදෙක් බොරු සමීක්ෂණයකි (Fake Research). සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කිවහොත් එය ‘බෝක්කු රිසර්ච්’ එකකි.

ගොඩයන්න නම් බොරුවෙන් නැතුව ඔරුවෙන් එන්න

තමන් සිතන දේ ‘රට හිතන හැටි’ යැයි සමාජගත කරන වෙරිටේ රිසර්ච් වේවා, දොස්තර රවි රන්නන් එලියගේ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ, ශ‍්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය වේවා, එසේත් නොමැතිනම් සජබ ආර්ථික ඔස්තාර්ලා හදපු 2023 අයවැය සමීක්ෂණය හෝ මත සමාජය නොමග යවා තමන්ගේ බල දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට කැසකවන විපක්ෂයේ මහත්වරුන්ට විශේෂයෙන් යෝජනා 77 න් 69ක් ක‍්‍රියාත්මක කරලා නෑ කියලා අමු බේගල් දෙසා බෑ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට මතක් කළ යුත්තේ, ප්ලේටෝ වරෙක පැවසූ ආකාරයට ‘සියලූ රැවටීම් අතරින් නරකම දෙය නම් ස්වයං රැවටීම’ බවය.

එසේම කාගෙවත් බොරු රිසර්ච් එකක් උස්සගෙන අඳබාල දේශපාලනය කරනු වෙනුවට තමන්ට ඒ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි තොරතුරු මත පිහිටා තර්කයක්, චෝදනාවක් ගොනුකර ගන්න බැරිකම ආණ්ඩුවේ වරදක් නොව ඔවුන්ගේම නොහැකියාවේ තරම කියාපාන කාරණයක් බව ද සිහිපත් කළ යුතුය. අනෙක රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධූරය දැරූ යහපාලන ආණ්ඩුව විසින් රටට ලබාදුන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතක් රට තුළ ක‍්‍රියාත්මක වන පසුබිමක, සෑම අමාත්‍යාංශයකම තොරුතුරු නිලධාරීන් සක‍්‍රීයව කටයුතු කරන පසුබිමක, කාගෙවත් බොරු රිසර්ච් එකක් උස්සගෙන සමාජය ඉදිරියේ ‘ලොකුම බොරුකාරයා’ වීමට උත්සාහ කිරීම නින්දා සහගතය.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සවිස්තරාත්මක පිළිතුරක් දී තිබිණි. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ, 2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා සංඛ්‍යාව 120 ක් වන අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප‍්‍රතිපත්තිමය යෝජනා 61ක් වූ බවය. ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප‍්‍රතිපත්ති යෝජනා 17 මේ වන විට ක‍්‍රියාත්මක කර තිබෙන අතර ආරම්භකර ක‍්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62ක් බවත් ඊට ආදායම් යෝජනා 5ක්, වියදම් යෝජනා 27ක් සහ ප‍්‍රතිපත්ති යෝජනා 30ක් ඇතුළත් බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි. ඒ අනුව සමස්ත අයවැය යෝජනා අතරින් 86% අවසන් කර හෝ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු පවසා තිබිණි.

මේ අතර අයවැය යෝජනා 17ක් මෙතෙක් ක‍්‍රියාත්මක නොමැති බවත් ඊට අදාළ අමාත්‍යාංශවලින් ඊට හේතු විමසීමට කටයුතු කරන බවත් අවධාරණය කළ අතර තාක්ෂණික ඌණතා, මානව සම්පත් ඌණතා සේම නෛතිකමය ගැටළු ද මේ තත්වයට හේතු විය හැකි බවත් විපක්ෂ නායකයාට කරුණ පැහැදිලි කර දුන්නේ ඔවුන් සමාජගත කරන බොරුවලට පිළිතුරු වශයෙනි.

මේ නිසා නිවැරදි තොරතුරු නොසොයා, කාගෙවත් ෆේක් රිසර්ච් පාවිච්චි කරන්න ගිහින් සමාජයට විහිළු සපයන්න එපාය යනුවෙන් කාට කාටත් කියන්න සිදුවේ.

මේ අයගේ අනෙක් විහිළුව නම් මේ බොහෝ ජනමත විමසුම් සමීක්ෂණ සඳහා යොදා ගන්නා පුද්ගල නියැදිය ද පුද්ගලයන් දහසක පමණ කුඩා ගොනුවක් වීමය. මේ ගොනුවට පුද්ගලයන් තෝරා ගත්තේ කෙසේද ඊට පදනම් වු කරුණු කවරේද යන්න කියන්නේද නැත. මේවා විහිළු ලෙස හැ`දින්විය හැකි නමුත් මේවායේ ප‍්‍රතිඵලය මිලියන 22ක ජනතාවක් නොමඟ යවන සාපරාධි අපරාධ ගනයේ තුච්ඡු වැඩ ලෙස නම් කිරීම වැරදි නැත. මන්ද ගොඩ නගන්න හදන රටක් යළි බංකොලොත් කර විනාශකර දමන්න මේ ඊනියා සමීක්ෂණ වාර්ථා හේතු විය හැති බැවිණි.

නවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *