වොෂින්ටන් සම්මුතියෙන් පිට පැනීමේ අවධානම
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෑත කාලය තුළ ගෝලීය භු දේශපාලනික තත්වයන් හා ගැටෙමින් සිටින බව පැහැදිලිව ප‍්‍රදර්ශනය කරමින් තිබේ. ඔහු විදේශ රාජ්‍යන්හි කළ සංචාරයන් තුළදි මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදිත් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සම්මුඛ වීමේදීත් ඉතා දැඩිව කරුණු කරණා පෙන්වා දෙමින් මේ වන විට භූ දේශපාලනික ගැටුම් නිසා ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට අත්වෙමින් තිබෙන පීඩාවන් සහ ඉන් ගැලවීමේ අවශ්‍යතාවයත් ඒ සඳහා වන විසඳුම් වෙනුවෙන් ගත යුතු මඟ ඉදිරිපත් කර තිබිණි. මෙහිදි ඔහු සංවර්ධනය වෙමින් තිබෙන රාජ්‍යයන් වෙනුවෙන් පොදු විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කළ අතර ධ‍්‍රැවීකරණය වී ඇති මහ බලවතුන්ගේ කඳවුරුවලට විකල්පව ශ‍්‍රී ලංකාවද අයත් මෙම ඉන්දියානු සාගර කලාපය තුළ නව භූ දේශපාලනික ගොඩනැංවීමක් වෙනුවෙන්ද පෙනි සිටියේය.
මෙම ගැටළුව, ගෝලීය ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස ආදිය පදනම් කරගෙන පසුගියදා ජර්මනියේ පැවැති බර්ලින් ග්ලෝබල් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරමින් ද සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් මුහුණ දෙන අර්බුදයට ගෝලිය වශයෙන් විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර තිබිණි. මේ වන විට ලෝක පර්යායන් අනුව ක‍්‍රියාත්මක ඇතැම් ජාත්‍යන්තර ක‍්‍රමවේදයන්, නිර්ණායකයන් ආදියෙහි ඇති යල් පැන ගිය බවද ඔහු පෙන්වා දුන් අතර ඒ තත්වයන් වෙනස් කර නව විසඳුමක් වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් එක් වේදිකාවකට පැමිණිය යුතු බවද පෙන්වා දී තිබිණි. එසේම මේ ඉතා හදිසි කටයුත්තක් බව පෙන්වා දෙමින් 2024 වසර තුළදී මේ විසඳුම් ක‍්‍රියාත්මක විය යුතු බවත් එසේම අර්බුද ජයගැනීම සඳහා ලෝකය හමුවේ අවශ්‍ය සම්පත් සහ විසඳුම් තිබෙන බවත්, එය ක‍්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණක් යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.
මෙම දේශනය තුළදී ජනාධිපතිවරයා වෙතින් අවධාරණය කෙරුණු වැදගත් කාරණයක් වූයේ ”වොෂින්ටන් සම්මුතිය” බැහැර කිරීමට ඇමරිකාව ගෙන තිබෙන තීරණය ගැනය. ජනාධිපතිවරයා වෙතින් ඇමරිකාව සහ බටහිර බලවතුන් විවේචනයට ලක්වීම කෙරෙහි මෙම තීරණය බරපතල හේතුවක් විය. මන්ද ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පැවැති රාජ්‍යයන් බොහෝ විටම අනුගමනය කළේ බටහිර
විසින් අනුගමනය කළ සහ ඒ සඳහා සංවර්ධිත රාජ්‍යයන් වෙත බලපෑම් සහගත වූ යම් නිදහස් නිර්භාධී වෙළඳපොළ ආර්ථිකයක් වෙත ගමන් කිරීමේ ආර්ථික පිළිවෙත නිසාය. වොෂින්ටන් සම්මුතිය බැහැර කිරීමට ගෙන තිබෙන තීරණය නිසා එම පිළිවෙත් යළි ආපසු හැරවීමකට ලක්වීමෙන් ලෝකය හමුවේ විශාල අනතුරක් ගොඩනැගෙනු ඇති බවට දැනටමත් පුරෝකථනයන් ඇත. එමඟින් වඩාත්ම අර්බුදයට යන්නේ ශ‍්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ය. තනිව පැවැත්මක් නැති කුඩා රාජ්‍යයන්ගේ ආර්ථික සංවර්ධනය රඳා පැවැතියේ මේ ගෝලීය පිළිවෙත් සමඟ ගැටගැසීම මතය.
”…එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්වයන් එවැනි වෙළඳපොල සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප‍්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ වියෑදුම් කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවල් සමඟ සාකච්ඡා නොකරම අංශක 180ක් හැරී ආපසු ගමන් කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, පවතින ක‍්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. එය කුමක් වුවත්, අපට එයට ”වොෂින්ටන් සම්මුතිය” ඇතුල් වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා…” ජනාධිපති රනිල්ගේ විවේචනය එයය.
මෙම වොෂින්ටන් සම්මුතිය යනු ආර්ථික ප‍්‍රතිපත්ති දහයක එකතුවකි. හැත්තෑව දශකය තුළ ලෝක ආර්ථිකය එකතැන පල්වීම වැලැක්වීම සහ බටහිර වෙළඳ ආධිපත්‍යය පැතිරවීම වෙනුවෙන් ගත් මේ පියවරයන් පසුව ගොලීයකරණය නමින් ද මතුවිය. ඒ අතර මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැනි වොෂින්ටන් පදනම් වූ ආයතන විසින් සංවර්ධනය වෙමින් පවතින සහ අර්බුදකාරී රටවල් සඳහා ප‍්‍රවර්ධනය කරන ලද ප‍්‍රමිතිගත ප‍්‍රතිසංස්කරණ පැකේජයක් ලෙසද පැමිණියේය. වෙළඳ ලිබරල්කරණය, පෞද්ගලීකරණය සහ මූල්‍ය ලිබරල්කරණය වැනි නිදහස් වෙළඳපොළ ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිපත්ති මෙන්ම මූල්‍ය හිඟය අවම කිරීම සහ උද්ධමනය අවම කිරීම අරමුණු කරගත් මූල්‍ය හා මුදල් ප‍්‍රතිපත්ති ද ඒවාට ඇතුළත් විය.
වොෂින්ටන් සම්මුතියේ සංකල්පය සහ එම නාමකරණය ප‍්‍රථම වරට 1989 දී ඉදිරිපත් කරන ලද්දේ වොෂින්ටන්, ඞී.සී. හි පිහිටි ජාත්‍යන්තර ආර්ථික බුද්ධි මණ්ඩලයක් ලෙස සැලකෙන ජාත්‍යන්තර ආර්ථික විද්‍යා ආයතනයේ :ෂබිඑසඑමඑැ දෙර ෂබඑැරබ්එසදබ්ක ෑජදබදපසජි) ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් විලියම්සන් විසිනි.
ඔහු විසින් මුලින් ප‍්‍රකාශ කරන ලද සම්මුතියට සාපේක්ෂව නිශ්චිත ප‍්‍රතිපත්ති නිර්දේශ දහයක් ඇතුළත් විය. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති විනය, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විශාල රාජ්‍ය මූල්‍ය හිඟයන් වළක්වා ගැනීම; රාජ්‍ය සහනාධාර ප‍්‍රාථමික අධ්‍යාපනය, ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා සහ යටිතල පහසුකම් ආයෝජනය වැනි ප‍්‍රධාන වර්ධනයට හිතකර, දිළිඳු හිතවාදී සේවාවන් සැපයීම වෙනුවෙන් පුළුල්ව යොමු කිරීම; බදු ප‍්‍රතිසංස්කරණ, බදු පදනම පුළුල් කිරීම සහ මධ්‍යස්ථ ආන්තික බදු අනුපාත අනුගමනය කිරීම; සැබෑ ලෙස ධනාත්මක (නමුත් මධ්‍යස්ථ) වෙළෙඳපොළ තීරණය කරන පොලී අනුපාත; තරඟකාරී විනිමය අනුපාත; වෙළඳ ලිබරල්කරණය: ආනයන ලිහිල් කිරීම, ප‍්‍රමාණාත්මක සීමාවන් ඉවත් කිරීම (බලපත්‍ර දීම, ආදිය); අඩු සහ සාපේක්ෂ වශයෙන් ඒකාකාර තීරුබදු මගින් සපයනු ලබන ඕනෑම වෙළඳ ආරක්ෂාවක්; සෘජු විදේශ ආයෝජන ලිහිල් කිරීම; රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම; නියාමනය ඉවත් කිරීම: ආරක්ෂාව, පාරිසරික සහ පාරිභෝගික ආරක්ෂණ හේතුන් සහ මූල්‍ය ආයතනවල විචක්ෂණශීලී අධීක්‍ෂණය මත යුක්ති සහගත කරන ලද ඒවා හැර, වෙළඳපොළ ප‍්‍රවේශයට බාධා කරන හෝ තරඟකාරිත්වය සීමා කරන රෙගුලාසි අහෝසි කිරීම; දේපල අයිතිවාසිකම් සඳහා නීතිමය ආරක්ෂාව. ඇතුළත් විය.
මේ අනුව ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන සහ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර යුරෝපා රාජ්‍යයන් මඟින් සංවර්ධනය වෙමින් පැවැති රාජ්‍යන්හි අර්බුද සඳහා විසඳුම් යෝජනා වූයෙත්, සහය හිමි වූයෙත් මෙම සම්මුතියට යටත්වය. කෙසේ නමුත් මේ හැර වෙනත් විකල්ප ලෝකය හමුවේ වුයේ නැත. මෙම කඳවුරට පරිබාහිරව පැවැති රුසියාව චීනය කේන්ද්‍රගත වූ කඳවුර වෙතින් එතෙක් විධිමත් සම්මුතිගත සංවිධානාත්මක සහයක් සංවර්ධනය වෙමින් පැවැති රාජය්‍යන්ට ලැබුණේ නැත. මේ නිසා මේ වොෂින්ටන් සම්මුතිය හරහා ගොඩනැගුණ ලෝක පර්යායන් මඟ හැර ජාතිකවාදී ලෙස කල්පනාකරමින් සංවෘත්තව කටයුතු කරන්නට යෙදුනු රාජ්‍යයන් බොහොමයක් අවසානයෙදී ආර්ථිකමය වශයෙන් කඩා වැටීම්වලට ලක් වු අතර වොෂින්ටන් සම්මුතිය අනුගමනය කළ රාජ්‍යයන් බොහොමක් ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමත් දකින්නට ලැබුණකි.
ජාත්‍යන්තර වෙළඳ විවෘතභාවය යනු ඇමරිකානු ප‍්‍රතිපත්තියේ අඛණ්ඩව සහ වැඩි හ`ඩක් නංවමින් අනුබල දෙන ලද්දකි. ඒ අනුව බොහෝ රාජයයන්හි දේශීය මූල්‍ය විනය – වියදම් පියවා ගැනීම සඳහා ආදායම් ඉහළ නැංවීම, නීතියේ ආධිපත්‍යය සඳහා කැපවීම, ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයක් සඳහා අඩිතාලම දැමීම සිදු විය. ලාභ විනය ගරුක ශ‍්‍රම සැපයුමක් සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සමඟ වෙළඳපොළට ප‍්‍රවේශ වීම, තාක්‍ෂණය මෙන්ම මූල්‍ය ද ගෙන ආ විදේශීය ආයෝජකයින් වෙත රාජ්‍යයන් ආකර්ශනීය කළේය. එනමුත් මේ මුළු මනින්ම සාර්ථක වූ බවත් පැවැසිය නොහැක. ඇමරිකාව පවා මීට මුළුමනින්ම අනුගත නොවීය.
කෙසේ නමුත් මේ වන විට අමරිකාව ප‍්‍රකාශයට පත්කර තිබෙන නව ආර්ථික පිළිවෙත නැතිනම්, ”නව වොෂින්ටන් සම්මුතිය” යනු කමක්ද යන්න ගැන පසුගිය අපේ‍්‍රල් මාසයේදී බෲකින්ස් ආයතනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශකවරයාද වන ජේක් සුලිවන් වෙතින් ප‍්‍රකාශය පත්ව තිබිණි. මේ සම්බන්ධයෙන් බොහෝ බටහිර ආර්ථික විවේචකයන් පෙන්වා දී තිබෙන්නේ අමරිකාව වසර 80 කින් ආපස්සට පියවරක් තැබූ බවය. එනම් දෙවන ලෝක යුද්ධයට පෙර පැවැති ජාතිකවාදී සහ වානිජ්‍යවාදී ආර්ථික ප‍්‍රතිපත්තියකට මාරුවීම සිදුවනු ඇති බවය. නිදහස් නිර්භාධී වෙළඳපොළ ක‍්‍රමය අත්හැර ජාතික ආරක්ෂාව පදනම් කරගත් පිළිවෙතක් වෙත අමරිකාව එහි හවුල්කාරී රාජ්‍යයන් කැඳවාගෙන යෑමට උත්සහ කරන බවය. තවදුරටත් ඇමරිකාව නිදහස් වෙළදපොළක් නොවන බවත් එය කර්මාන්ත භූමියක් වෙනු ඇති බව ජේක් සුලිවන් වෙතින් ප‍්‍රකාශට පත්වූ අදහසය. ඇමරිකාව මේ තැනට යන්නේ මේ වන විට ගෝලීය භු දේශපාලනික තත්වයන් හමුවේ චීනය අත්පත් කරගනිමින් යන වර්ධනයන්ට මුහුණ දීම වෙනුවෙනි. අමරිකානු පාර්ශ්වය නිදහස් නිර්භාධී වෙළඳපොළ ක‍්‍රමය මගින් මෙම යුගය තුළ ඵලදායිතාව ඉහළ නංවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන ආ නමුදු එහි වාසිය අත්පත්කරගෙන චීනය ”ලෝකයටම නිෂ්පාදකයෙකු” බවට පත්වීය. කාර්මික කරණයේ ඉහළටම ගියේය. ඒ සමඟ බටහිර ආර්ථිකයන් සඳහා ආදායම් අසමානතාවය සහ කාර්මික පරිහානිය ද ගෙන ආවේය. අමරිකාව ප‍්‍රමුඛ බටහිරට අර්බුදයක් ඇති වන්නේ එම තත්වයන්ය.
ඒ අනුව කාර්මිකකරණය නිසා ලෝකය මුහුණ දීමට නියමිත දේශගුණික විපර්යාස අර්බුදයන් දඩමීමා කරගෙන චීනය හා සෙසු රාජ්‍යයන් මෙල්ල කිරීමට ද යම් උත්සාහයන් ක‍්‍රියාත්මක වු නමුදු එය අද පාරාවලල්ලක් වී ඇත. මෙහිදී ඇමරිකාවේ ගැලවීමට සහ චීන අභියෝග හමුවේ ඇමරිකානු ආධිපත්‍යය නව ආකාරයකින් පැතිරවීම වෙනුවෙන් වන සුදානමක් ලෙස ‘නව වොෂින්ටන් සම්මුතිය’ කරලියට පැමිණිම සිදුව ඇත..
එසේම ඇමරිකාව මෑතක සම්මත කරගත් අණ පනත් කිහිපයක්ම මෙම ලිබරල් ප‍්‍රතිපත්තිවලින් ඇමරිකාව ඉවත්වන පිලිවෙතකට මාරුවන බව සළකුණු කර ඇත. විශේෂයෙන්ම වෙළඳපොළ වෙත රාජ්‍ය අංශයේ මැදිහත්වීම තිව‍්‍ර කරමින් ඇත.
ඇමරිකාවේ නව එළැඹුම මේ වන විටත් මිත්‍ර පාර්ශ්වීය සංවර්ධනය වෙමින් පවතින රටවලවල කනස්සල්ල සහ අනතුරක සැකය වර්ධනය කිරීම සිදුව ඇත. අමරිකාව සෝවියට් රුසියාව කේන්ද්‍ර කරගෙන වු සීතල යුද්ධයේ අවසානය සටහන් වුයේ, වෙළඳපොළ තර්කයට යටත් වූ ලිබරල් නිර්භාධී සහ වඩාත් සුබවාදී කාල පරිච්ඡේදයක් ලෙසය. එහෙත් නව අමරිකානු ආර්ථික ප‍්‍රතිපත්තිය නිර්මාණය කිරීම මගින් භූ දේශපාලන ගැටුමට වෙලඳපොළවල් යටත් වන යුගයක් බිහිවීමේ අනතුර ඇත.
ඇමරිකාව සමඟ මිලිටරි සමානාත්මතාවයට පැමිණීමේ හැකියාවන් චීනයට අහිමි කිරීම නව සම්මුතියේ අපේක්ෂාව බවත් ඒ අනුව යුද්ධයේ අවදානම පෙරට වඩා බෙහෙවින් වැඩි වන කටුක අනාගතයක් බිහිවෙනු ඇති බවටත් මත පළවී ඇත.
මෙම නව තත්වයන් අනුව ශ‍්‍රී ලංකාව වැනි රාජ්‍යයන්ට මුහුණ දීමට සිදුවන් පීඩාවන් වර්ධනය වීම නොවැලැක්විය හැකිය. ජනාධිපති රනිල් දිගින් දිගටම කළ ඉල්ලීම වූයේ මේ අනතුර වලක්වාගැනීම වෙනුවෙන් ගෝලීය බලවතුන්ට මැදිහත් වන ලෙසය. ඒ ඒ පාර්ශ්ව සියල්ල අතර සංවාදයක් අවශ්‍ය බව කීවේ එම නිසාය.
එසේම මේ නව අර්බුදය හමුවේ ඉන්දීය සාගරයට වටා වූ රාජ්‍යයන්ගේ නිදහස් සාමකාමී පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිවරයා බරපතල මැදිහත් වීමක් සිදුකරමින් තිබේ. එළැඹෙන ඉන්දීය සාගර වටද්දර සමුළුවේදී මේ සම්බන්ධයෙන් මෙම කලාපීය නායකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වෙනු ඇත. ඉන්දීය සාගර කලාපය ලෝක බල ගැටුම්වලින් නිදහස් වූ සාමකාමි කලාපයක් බවට පත් කිරීමත් ඒ ඒ රාජ්‍යයන් අතර වන හවුල්කාරිත්වයන් මතින් ඒකාබද්ධව නැගී සිටීමේ ආවශ්‍යතාවය වෙනුවෙන් පියවරයන් ගනු ඇත. මෙම සමුළුවේ සභාපතීත්වය මෙවර ශ‍්‍රී ලංකාවට හිමිවනු ද ඇත. මේ වන විට බි‍්‍රක්ස් එකතුවට සම්බන්ධ වී සිටින බ‍්‍රසීලය හැර සෙසු රටවල් මෙම ආසියානු කලාපය නියෝජනය කරන අතර එය ගෝලීය දළ දේශීය නිශ්පාදන්යෙන් තුනෙන් එකකට වඩා දායක කරන වැඩිම ජනගහනයක් සහ විශාලම වෙළඳපොළ ද වෙයි. ඒ අනුව අනාගතයේදී වඩාත්ම බලවත් කලාපය වෙනු ඇත්තේ මෙයය. එසේම චිනයේ නොවැලැක්විය හැකි ආර්ථික වර්ධනය හමුවේ ඇමරිකානු වුවමණාව අනුව මෙම කලාපීය රටවලට චීනය නොතකා හැරිය නොහැකි වෙනු ඇත. එහි ප‍්‍රතිලාභයන් මෙම කලාපීය රටවල්ට ලබාගැනීමට නම් මෙම කලාපය ඒ වෙනුවෙන් නිදහස් ආර්ථික කලාපයක් ලෙස සංවිධානය වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මතු කරයි.
කෙසේ නමුත් ගෝලීය බලවතුන් සහ සංවිධාන සංවර්ධනය වෙමින් පවතින රටවල අර්බුදයන් විසඳා ගැනීමට නව ප‍්‍රවේශයකට පැමිණිය යුතු වීම විය යුත්තේ මෙම රටවල් වෙනුවෙන් පමණක් නොවේ, අනාගතයේදී වඩාත් අර්බුදකාරී වන දේශගුණික විපර්යාස පිළිබද ගැටලූව නිරාකරණය කරගැනීම සහ ලෝක සාමය වෙනුවෙනි. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත් වීම ඒ උස් අරමුණ වෙනුවෙන්ය.
ජයතුංග බණ්ඩාර