ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සුදුසුම කාලය මෙයයි

0

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කරතිබුන ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී “බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 2 තුළ රජය විසින් ගත් පියවර ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිළි කළ අතර ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් කියා සිටියා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *