සජබයට යූ.එන්.පී. වීම හැර වෙන විකල්ප නැත

0

පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදි ජී.එල්. පීරිස් තමන්ට විරුද්ධ වුණේ, යූ.ඇන්.පී.කාරයෙකුට ජනාධිපතිකම දෙන්න නොහැකි බව කියමින් බවත් පොහොට්ටුවේ කෙනෙකුට එය ලබාදීම විය යුතු යැයි ජී.එල්. පීරීස් පවසන විට සජිත් ප්‍රේමදාස සහ සජබය ඊට සහය දුන් බවත් ජනාධිපතිවරයා කුලියාපිටිය රැස්වීමේදී පැවැසූවේ සජබය තුළ තවදුරටත් යූ.ඇන්.පී.ය ප්‍රතිපත්ති නැති බව කියන්නය. එදා එජාප නායක රනිල්ව ප්‍රතික්ෂේප කරමින් එජාප පාක්ෂිකයාට නව නායකත්වයක් සහ පක්ෂයක් ගොඩනැඟීම
කරන බව සජබය ගොඩනැගීමේ මුලික පදනම බව සජිත් ප්‍රේමදාස සහ එම කණ්ඩායම ප්‍රකාශ කළේය. ඒ අනුව එජාපයේ බහුතරය සජබයට එක් විය.
එහෙත් සජබය තුළ එජාප දර්ශනය, මතවාදය, ප්‍රතිපත්තිය නොමැති බව පසක් වන්නට ගියේ කෙටි කලකි. රනිල් තවදුරටත් මෙහිදි පැහැදිලි කළේ, සජබය තුළ යූ.ඇන්.පී. අයට තැනක් නැති බවත් ජී.එල්. පිරිස්ලාට, ගොඩහේවලාට ඕනෑ විදිහට කටයුතු සිදුවන බවත්ය. පොදු මුදල් කොමිටියෙ සභාපති හර්ෂ ද සිල්වා ණය බේරුම්කරන IMF සාකච්ඡා සඳහා විපක්ෂයත් සම්බන්ධ කරගන්නා ලෙස කළ ඉල්ලීම අනුව පක්ෂ නායකයන්ට ආරාධනා කළ නමුත් ගොඩහේවලා මැදිහත් වී හර්ෂගේ යෝජනාව ඉවතලෑමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවැසූවේ දැන් යූ.ඇන්.පී. එකෙන් සජබයට ගිය අයට තැනක් නැති බව තහවුරු කරන්නය.
පසුගිය කාලයේ රට පත් වූ ආර්ථික අර්බුදයට හේතු වූ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා “සෞභාග්‍යයේ දැක්ම” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වමින් දිවා රෑ නොතකා කටයුතු කළේ නාලක ගොඩහේවා, ජී.එල්. පීරිස්, චන්න ජයසුමන ඇතුළු පිරිසයි. “වියත් මග” නමින් සංවිධානයක් බිහි කරමින් රට හදන්න නම් පළපුරුදු දේශපාලනඥයන් පැත්තකට දමා වියතුන් සම්බන්ධ කරගත යුතු බවට ගෝඨාභයට ලණුවක් ගිල්වූයේ මේ අයය. කෙසේ වෙතත් රටට උදා වූ ඒ
සෞභාග්‍යයේ අරුමය අප තවමත් අත්දකිමින් සිටිමු.
වියතුන්ගේ හපන්කමේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂගේ පළායාමෙන් පසු බල්ලා මැරුණට පසුව මැක්කන් නන්නත්තාර වූවා සේ යන එන මං නොමැතිව සිටි නාලක ගොඩහෝවා, ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායම සිය පැවැත්ම වෙනුවෙන් සජිත් ප්‍රේමදාසගේ සජබය තමන්ට ළඟින්න සුදුසු ස්ථානය ලෙස හඳුනාගන්නා ලදී. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් බල්ලාව මැක්කන්ට ඕනෑ විදිහට නටවා ගන්නට හැකි විය.
සජිත්, යූ.එන්.පී.කාරයන්ට අලුත් නවාතැනක් සකසා බහුතරයක් පාක්ෂිකයන් එතැනට කැඳවා ගත්තද, එජාපය ඒ අවාසි සහගත තත්වයන් යටතේ හෝ තමන්ගේ දර්ශනය මතවාදය ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. එය තවදුරටත් ශක්තිමත් කරමින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියේය. එජාප නායක රනිල් වික්‍රමසිංහට තිබූ විශාලම ශක්තිය වූයේ එජාපය අනුගමනය කළ දේශපාලනයයි.
ඒ අනුව 2020 මහ මැතිවරණ තුළදීත් නියත පරාජයක් අත්විඳීමට නියමිත බවත් දැන දැනම එජාපය ආත්මය පාවා දීමට කටයුතු කළේ නැත. ජනප්‍රිය දේශපාලනයට යට වූයේ නැත. එසේම ඒ වන විටත් ගෝඨාභය පාලනය නිසා රටට සිදුවිය හැකි අනතුර ද ටක්කටෙම පැවැසීමට එජාප නායකත්වය සමත් විය. ඒ එජාප දර්ශනයට පෙනෙන දුරය. එක්සත් ජාතික පක්ෂයේ අනාවැකි නිවැරදි වීමට දිගු කාලයක් බලා සිටීමට වුවමණා වූයේත් නැත. පුරෝකථනය කළාටත් වඩා කළින්ම අර්බුදය ගේ දොරකඩටම පැමිණියේය.
මේ අතර සමගි ජන බලවේගය ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර, එහි ද මූලධර්මය වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්මමය. එය විශ්මයට කරුණක් නොව. සමගි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂයේම හැදී වැඩී, උස් මහත් වූ පිරිසකගේ එකතුවක් වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් රට මුහුණ දුන් අර්බුද හමුවේ පසු කාලීනව සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වුණු අතර Blueprint ලෙස නම් කළ එම ප්‍රකාශනයේ මූලධාර්මික පදනම තිබුණේ එක්සත් ජාතික පක්ෂය තුළය.
මෙම ලියවිල්ලෙහි සටහන් කර ඇති ප්‍රධාන කරුණක් ඇත. “ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ සාමාජිකයෙකි. කර්තෘ විසින් මෙහි සඳහන් කර ඇති අදහස් සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකය මඟින් අනුමත කර ඇත. ආර්ථික ප්‍රතිපත්ති ඒකකය කර්තෘ, කබීර් හෂීම් පා.ම. හා එරාන් වික්‍රමරත්න පා.ම. ගෙන් සමන්විත වේ. එසේම මෙය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාම විසින් ද අනුමත කරන ලදී.” යනුවෙන් සටහනක් යොදා ඇත. මේ අනුව සමගි ජන බලවේගය සුළු හා මධ්‍ය කාලීව ක්‍රියා සැලසුමක් වන අවම පොදු වැඩපිළිවෙලක් ලෙස මෙම ප්‍රකාශය ඉදිරිපත් කළ අතර, මෙහි අන්තර්ගතය පූර්ණ වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මූලධර්මවලට යටත් වූ කරුණුය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මු.අ.) අරමුදල් ලබා දෙන තෙක් අප දැනට පවතින ණය අර්බුදය කළමනාකරණය කරගැනීමට කෙටි කාලීන අරමුදල් සපයා ගත යුතු අතර, ජා.මූ.අ. ඵලදායී ලෙස දායක කරගන්නා අතරතුර ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු වේ…
…(රාජ්‍ය) මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉතාම වැදගත් වේ. බදු ආදායම් ඉහළ දැමිය යුතු වන අතර, වියදම් තාර්කික ප්‍රමුඛකරණයකට ලක් කළ යුතු වේ. දූෂණයෙන් ඉහ වහා ගිය රාජ්‍ය ව්‍යවසායක ආයතන ප්‍රතිසංස්කරණය කිරීම මෙහි ප්‍රධාන අංගයක් වේ.” – (Blueprint 2.0)

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කරන්නත් පෙර අගමැති ධුරයේ සිටිමින් ක්‍රියාවට නගන බව ප්‍රකාශ කර තිබූ කරුණු හා මෙහි වෙනසක් නැත. එසේම පසුගියදා ජනාධිපතිවරයා කුලියාපිටියේදී පැවසූ ආකාරයට ඔහුට රට භාරගන්නා ලෙස ආරාධනා කළ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහු මීට සුදුස්සා බවයි.
එසේම මෙම සජබ ප්‍රකාශනය තුළ ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු ලෙස දක්වා ඇත්තේ විශාල ප්‍රමාණයෙන් බදු සහන ලබාදීම හා පරිපාලනය විසින් එක් රැයක් තුළ දී රසායනික කෘෂි නිෂ්පාදනය තහනම් කිරීම බව දක්වා ඇත. මෙයද රනිල් වික්‍රමසිංහගේ දැක්මය. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම ඔහු සිදුකර තිබිණි. එමෙන්ම රාජ්‍ය ආයතන හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළේය.
එසේම (Blueprint 2.0) ප්‍රතිසංස්කරණ ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් දක්වා ඇති අතර, එහිදී 01. ණය අර්බුදය කළමනාකරණය 02. මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය 03. ආදායම් ස්ථාවර කිරීම 04. වියදම් පාලනය 05. රාජ්‍ය අංශය කළමනාකරණය 06. බලශක්තිය සහ මහජන උපයෝගිතා කොමිසම 07. වෙළදාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය 08. නිෂ්පාදන සාධක වෙළඳපොල ප්‍රතිසංස්කරණය 09. ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය 10. විනිවිදභාවය සහ වගවීම යන කාරණා ඇතුළත් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ නායක ලෙස ජනාධිපති ධුරයට පත් වූ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය සමනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දුන් මගපෙන්වීම යටතේ රජයේ වැඩපිළිවෙල ලෙස ඉදිරිපත් කළේද මෙයමය. එය 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය තුළ අඩංගු කරුණුමය. 2015 දී ක්‍රියාත්මක කිරීම ඇරැඹූ ප්‍රතිසංස්කරණයන්මය.
කෙසේ වෙතත් මේ අනුව පැවැති එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය යනු කණ්ඩායම් දෙකක් වුවද නායකයන් දෙදෙනෙක් වූවද එක් අරමුණක් වෙනුවෙන් පෙනී සිටින එකම කඳවුරක කණ්ඩායම් දෙකක් බව පැහැදිලිය. එහෙත් එක් කණ්ඩායමක් සහ එහි නායකත්වය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී රට මුහුණ දුන් අනතුර හමුවේ එම අභියෝගය ජය ගෙන සාර්ථක වන විට, අභියෝග භාරගැනීමට බිය වූ ඒ හමුවේ පළා ගිය නායකත්වයට තවදුරටත් එම කඳවුර නියෝජනය කිරීමට හෝ වරම් නොලැබේ. ඒ තබා මේ වන විට සජිත් ප්‍රේමදාසට තමන් සජබය ගොඩනැගුවේ කුමකටද එහි ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන හෝ වගක් නැත. පාසැල් වේදිකාව මැතිවරණ වේදිකාවක් කරගනිමින් නන්දොඩවන දෑ හී පරස්පරයවත් ඔහුට නොතේරෙන තැනට පත්ව තිබේ.
ඒ අනුව වරෙක කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇතිකර ගත් ගිවිසුමට විරුද්ධ බවයි. එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවාගැනීමට තමන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළ නමුත් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින්නේ සිය පක්ෂයේ හර්ෂ ද සිල්වා සකස් කර තමන් ද අනුමැතිය දුන් (Blueprint 2.0) අඩංගු කරුණු බව අමතක වී ඇත. එපමණක් නොව ඔහු පවසන්නේ තමන් බලයට පත් වූ විගස මෙය ආපසු හැරවීමට කටයුතු කරන බවය. ඒ අනුව ඔහු ආපස්සට හැරවීමට කටයුතු කරන බව පවසන්නේ තමන් ද අනුමත කළ වැඩපිළිවෙලක් වීම හාස්‍යයට කරුණකි. එසේම එම වැඩපිළිවෙල ආපස්සට හරවා ඔහු විසින් ක්‍රියාත්මක කරන්නේ රට අගාධයට පත් කළ ජී.එල්. පීරිස්, ගොඩහේවා වැන්නවුන්ගේ ප්‍රතිපත්තිය වීට ඊටත් වඩා හාස්‍යයට කරුණකි.
කෙසේ වෙතත් ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා ඇතුළු පිරිස සමගි ජන බලවේගය හා එක් වූ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ නව සන්ධානයක් ගොඩනැගීම කාලින අවශ්‍යතාවයක් වුවත් ඊට එක්වන සියලු‍දෙනා තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීම අනිවාර්ය බවයි. එසේම “වංචා – දුෂණ සම්බන්ධයෙන් චෝදනා තියන කිසිම කෙනෙක් සජබ සන්ධානයට ගන්නේ නැ. ඒ වගේම ජාතිවාදීන් එකතුකර ගන්නේ නෑ…” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
හර්ෂ ද සිල්වා මෙසේ පැවසුවත් අන්ත ජාතිවාදී මෙන්ම දූෂණ චෝදනා එල්ල වී සිටි ගොඩහේවා පාර්ශ්වය සිය පක්ෂයට එකතුකර ගැනීමට සජිත් ප්‍රේමදාස කටයුතු කළේය. එපමණකින් නොනැවතුණු සජිත් ප්‍රේමදාස මේ වන විට සිය ප්‍රතිපත්ති හා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ද මෙම පිරිසගේ උපදෙස් මත බව පැහැදිළිය. කලින් කලට වෙනස් වන අමුතු ප්‍රතිපත්ති අනුගමනය කරන සජිත් ප්‍රේමදාස, හිටපු යූ.එන්.පී.කාරයකු වීම කෙසේ වෙතත් ආර්. ප්‍රේමදාසගේ දේශපාලන ආභාෂයවත් ඔහුට නැති බව තහවුරු කරමින් තිබේ. ඔහු නොට්ටිගේ පුතෙකු වී ඇත.
ජනාධිපතිවරයා කුලියාපිටියේදී කළ ප්‍රකාශය මැතිවරණය වෙනුවෙන්, ගැලරිය පිනවීම වෙනුවෙන් කළ ප්‍රකාශයක් නොවන බව පැහැදිලිය. සත්‍ය වශයෙන්ම මේ වන විට සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂ මූලධර්මවලට ඉඩක් නැත. එසේ ඉඩක් ලැබෙන්නේ නම් කිසිසේත්ම හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා ලබා දුන් සාකච්ඡාව සජිත් ප්‍රේමදාස අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කරන්නේ නැත. එයාකාරයෙන් සිය පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රධානත්වය දැරූ මන්ත්‍රීවරයෙකු අමාරුවේ දමන්නේ ද නැත. යූ.එන්.පී.කාරයෝ කියන්නේ එහෙම පජාත වැඩ කරන ජාතියක් නොවේ. රට අර්බුදයට ගිය විට දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් ඉදිරිපත් වීම පක්ෂ ඉතිහාසය තුළම තිබු ගුණයකි. ඩී.එස්.ලා, ඩඩ්ලිලා, ජේ.ආර්.ලා, ආර්. ප්‍රේමදාසලා, ලලිත්ලා, ගාමිණීලා මෙන්ම රනිල් ද ඒ ගුණය පෙන්වු දැවැන්තයෝය.
නමුත් දැන් සජබයට වෙන්න ඕන හරිය සිදු වී හමාරය. එක්සත් ජාතික පක්ෂ මූලධර්ම මත පිහිටා මෙතෙක් ක්‍රියාත්මක වූ සජබය මේ වන විට ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතුව හමාරය. බොරු පොරොන්දු දේශපාලනයට යටවී හමාරය. ජනප්‍රිය රැල්ලේ ගහගෙන යන කසල ගොඩක් වී හමාරය. ඒ අනුව වත්මනේ සජබය තුළ එජාප හිටපු පාක්ෂිකයන්ට ඔළුව උස්සන්න ඉඩ නැත. මේ අය සජබයට ගියේ එජාප නායකත්වය පිළිබඳ ළාමක ප්‍රශ්නයක් මුල් කරගෙනය. නමුත් අද සැබෑ නායකයා යනු කවුද යන්න රනිල් ඔප්පුකර පෙන්වා ඇත.
එසේ නම් සජබයේ සිටින සැබෑ එක්සත් ජාතික පක්ෂ දර්ශනය යටතේ හැදී වැඩුණ මිනිසුන්ට දැන් විකල්පය තෝරා ගැනීමට අවස්ථාව එළඹ ඇත. ජාතිකවාදයට හෝ ජාතිවාදයට හෝ ජනප්‍රියවාදයට හෝ නතු නොවී සැබෑ යූ.එන්.පී.කාරයෙකු වීමට අවස්ථාව උදා වී ඇත. අර්බුදය හමුවේ සියල්ලෝ බිය වී පළා ගොස් සිටි මොහොතක, අර්බුදයට නොබියව මුහුණ දුන් සැබෑ එජාප නායකයා වටා රොක් වීමේ අවස්ථාවට ඉඩ විවරව තිබේ.
අවසන අපට කීමට ඇත්තේ, රට බේරාගැනීමට අවසන් අවස්ථාව බව පැවසූ සියල්ලෝ අර්බුදය හමුවේ රට බේරා ගැනීම පසෙක ලා සිය ජීවිත හා පුද්ගලික වරප්‍රසාද බේරාගැනීමට කටයුතු කරද්දී, තමන්ගේ දේශපාලන අනාගතය පරදුවට තබා නොබියට ඉදිරියට ආ සැබෑ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වටා එක්ව රට සංවර්ධනය කරා ගෙන යමින් සමස්ත ජනතාවටම සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභ අත්පත් කරගැනීම වෙනුවෙන් එක් විය යුතු කාලය එළඹ ඇති බවයි.

…….රිද්ම අනුරාධ ගමගේ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *