සජිත් පලා යාමට නියමිතය!

0

වළගම්බා රජතුමා ක්‍රි. පූ. 103 දී සිංහාසනාරූඨ වුණත් එතුමාට රාජ්‍යය කරන්න ලැබෙන්නේ මාස 5ක් වැනි කෙටි කාලයක්ය. එක් පසෙකින් එවකට රෝහණ දේශයේ සිටි තීය නම් බමුණෙක් රාජ්‍යය ඉල්ලා රජුට එරෙහිව කැරලි සූදානම් කරන විට, අනෙක් පසින් ද්‍රවිඩ සේනාවක් ද රාජ්‍යත්වය පැහැර ගැනීමට මහාතිත්ථ වරායෙන් ගොඩ බැස්සේය. මෙහිදී උපක්‍රමශීලී වූ වළගම්බා රජු තීය බමුණාට පණිවිඩයක් තැබුවේ
“දැන් නම් රාජ්‍ය නුඹගේය, නුඹ දෙමළුන් හා සටන් කොට රාජ්‍යය ගනුව” කියාය. ඒ ද්‍රවිඩ සේනාව සමඟ සටනට ගිය තීය බමුණා පරාජය වූ අතර, කොළොම්භාලක නම් ස්ථානයේදී ද්‍රවිඩයින් හා කළ සටනින් පැරදුනු වළගම්බා රජුද පළාගියේය. ඒ දුටු “ගිරි” නම් නිඝන්ඨයා උපහාසයෙන් ඝෝෂා කරඇත්තේ “මහා කළු සිංහලයා පළා යනවෝ” කියමින්ය. එදා වළගම්බා රජුගේ පළායාම සාර්ථක කරන්න “සෝමා දේවිය”‍ කරත්තයෙන් බැස සහාය දැක්වූයේ, ඒ පළයාමේ පෙරළා ප්‍රතිඵලය ගැන දැන සිටි නිසාය. යළි සංවිධානය වී පැමිණ සටන් කරනු ඇති බවට විශ්වාසයෙන්ය. අනතුරුව නිසි වෙලාව බලා ප්‍රහාරය එල්ලකරන වළගම්බා රජු “දාඨික”‍ පරාජය කර රාජ්‍යත්වය ලබා ගත්තේය.
රාජාවලියේ එන මේ සිදුවීම අප උපුටා ගත්තේ දේශපාලන බල ක්‍රීඩාව තුළ අත්‍යවශ්‍ය ආරක්‍ෂිත පසුබැසීම, උපක්‍රමශීලී බව, මෙන්ම අභියෝගයට මුහුණදීම සහ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම ගැන සිහිපත් කරන්නටය. ඒ වෙනුවෙන් මැකියාවෙලිගේ ‘කුමාරයා’ කියවා නොතිබුණත් ලංකාවේ ලිඛිත ඉතිහාසය හෝ නිවැරදිව කියවා තිබීම වැදගත් බව තහවුරු කරන්නටය. ඒ මතින් විපක්ෂ නායක සජිත්ගේ දේශපාලන පළායාමේ සූදානම ගැන පොඩි පහේ අනාවැකියක් ගෙනෙන්නටය.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් අවසන් වූ පසුව පරාජිත අපේක්ෂකයා සිය පාක්ෂිකයින් ඇමතීම සාමාන්‍යයෙන් සිදුකරන්නක්ය. ලංකා දේශපාලන ඉතිහාසයේ අත්දැකීම අනුව නම්, එය මැතිවරණ ප්‍රතිඵල නිකුත්කර දින දෙක තුනක් යන මොහොතේ සිදුවන්නක්ය. එහිදී පරාජිත අපේක්ෂකයා තම පාක්ෂිකයන්ට තමන් ගැන තැබූ විශ්වාසය ගැන කෘතවේදීත්වය පළ කරනවා පමණක් නොව, පරාජයෙන් ලද අත්දැකීම ඊළඟ දේශපාලන ජයග්‍රහණයට සූදානම් කරවීමටද යොදාගන්නේය. කෙසේ වුවත් 2019 ජනාධිපතිවරණයෙන් පරාජය වූ සජිත් එවැන්නක් සිදුකළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ සැඟවී සිටීමය. කෝ සජිත් කියා හොයපු අයට “දේශපාලනයට වඩා යාලේ ගිහින් කොටි බැලීම වටිනවා”‍ කියා පණිවිඩ එවීමය. කොහොමින් කොහොම හරි මැතිවරණ පරාජයෙන් සති ගණනක් යනතුරු සජිත් හොයාගන්න හිටියේ නැත. ඒ අනුව පරාජිත අපේක්ෂකයා වෙනුවෙන් එදා මාධ්‍ය සාකච්ඡාව පවත්වන වගකීම ගත්තේ රනිල් වික්‍රමසිංහය.
අනතුරුව වෙන කරන්න කිසිවක් නොතිබූ නිසාම, සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කළ දේශපාලනඥයන් මැදිහත්ව දාහක් පොරොන්දු ගෙන සජබ නමින් පක්ෂයක් අටවා සජිත් එහි නායකයා කළේය. අනතුරුව පැවති 2020 මහ මැතිවරණ පරාජය හමුවේද පාක්ෂිකයාගේ මොරාල් හදන්නත් සජිත් පෙරට ආවේ නැත. ඒ වෙනුවට ඔහු කළේ යාලට ගිහින් කොටි හුරතල් බැලීමය. අවම වශයෙන් තමන්ට පක්ෂයක් හදාදී, එහි නායක පුටුව ලබාදුන් සගයන් පත්වන අසීරුතාව ගැනවත් සජිත් සිතුවේ නැත. අනතුරුව සජිත් දේශපාලනය කියා කළේ මහ මැතිවරණ ප්‍රතිඵලය මත ඉබේ ලැබුණු විපක්ෂ නායක ධුරය ගෙන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් කරගෙන කාලය ගෙවා දැමීමය.
කොරෝනා වසංගතය සහ එවකට පැවති පාලනයේ වූ වැරදි ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය පැමිණියද ඒ පසුබිමේය. ආණ්ඩුව මොන යෝජනාව ගෙනාවත් ඊට විරෝධය දැක්වීම විපක්ෂයේ සම්ප්‍රදායික කාර්යභාරයය වී තිබුණු නමුත් රටක් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ අභියෝගයකට මුහුණදීමට සිදුවූ විට නව තත්ත්වයට හැඩ ගැසෙන්නට තරම් දේශපාලන පරිණතභාවයක් විපක්ෂය සතුවිය යුතුය. විශේෂයෙන්, කාට නැතත් ඒ පරිණත බව විපක්ෂ නායකයාට තිබිය යුතුය. නැත්නම් තට්ටු වෙන්නේ ආණ්ඩුවට පමණක් නොව, විපක්ෂ නායක ධූරයටත් එක්වය.
ඒ ගැනවත් කිසිඳු සංවේදීත්වයක් සජිත්ට තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයා වූ රනිල්, ගෝඨාභය කැඳවූ කොරෝනා පාලනයට අදාළ සර්ව පාක්ෂික සමුළු අවස්ථාවේ, වෙන්ටිලේටර්වල අවශ්‍යතාව පෙන්වා දෙන විට සජිත් කළේ ඒ අවස්ථාව මඟ හැරීමය. ඒ අතිශය තීරණාත්මක අවස්ථාවක විපක්ෂ නායක කාර්යභාරය නොදැන සිටි නිසාය. අවම වශයෙන් ගෝඨාභය පාලනයේ සොහොන් ලකුණු පෙන්වන සමයේ පවා තම කාර්යභාරය ගැන අවබෝධයක් සජිත්ට තිබුණේ නැත.
එසේ තිබුණා නම් ගෝඨා ගෝ හෝම්, ගෝල්ෆේස් අරගලය ඇරඹීමට පෙර සංවිධානය කළ සජබ නුවර සිට ගෝල්ෆේස් දක්වා පැමිණි විරෝධතා පාගමනේ, අවසන් දිනයේ “සර්, අපි ගෝල්ෆේස් එනවා. අපිට ගහන්නේ නෑ නේද?”‍ කියා අහන්න තරම් නිවට වන්නේද නැත. එහෙත් දිගින් දිගටම සජිත් අතින් ගිලිහී ගියේ, අලු‍ත් තත්වයට මුහුණදීමට නොහැකිවූ පරාජිත විපක්ෂ නායක වගකීමය.
එය තවදුරටත් තහවුරු කරසිටියේ, ගෝඨාභය නව ආණ්ඩුවක් පිහිටුවීමට සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම හමුවේය. සජිත් හැරදා පැමිණි හරීන් ඒ ගැන චෝදනා කළේ “සජිත් ආසයි බයයි”‍ කියමින්ය. ඒ න්‍යායෙන් දේශපාලනය කළ නොහැකි බවය. මීට අදාළ ඊළඟ අවස්ථාව නම් ගෝඨාභයගේ නික්මයාම හමුවේ කැඳවනු ලැබූ ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ පාර්ලිමේන්තු ඡන්ද අපේක්ෂකත්වය ද නැති කරගැනීමය. ජනාධිපති ධුර අපේක්ෂකත්වය ඩලස්ට බන්දේසියේ තබා පිරිනමා පසුව ඩලස් සමඟ සපත්නිරෝෂයක් ඇතිකර ගැනීමය.
එදා එජාපය තුළ සිටිමින් අනෙක් සියලු‍ වැඩ පසෙක තබා රනිල් වික්‍රමසිංහ නැතිකිරීම වෙනුවෙන් වෙහෙසුන ආකාරයට, සජිත් දිගටම කළේ ඩලස්ගෙන් පන්න පන්නා පළිගැනීමට අවස්ථාව ගැනීමය. ඒ හමුවේ එකතු කරගත් කුණුගොඩවල් නිසා, සජිත් නාමය කූජිත වන බව තේරුම් ගන්න තරම්වත් මොලේ කඳුලක් තිබුණේ නැත.
ඒ නිසාම ඔහු රට බංකොලොත් කිරීම වෙනුවෙන් ගෝඨාට උපදෙස් දුන් නාලක ගොඩහේවා වැනි උපදේශකයන් තමන්ගේ ලඟට ගත්තේය. චන්න ජයසුමන වැනි ජාතිවාදී භ්‍රෂ්ඨයන් ළඟට ගත්තේය. ඒ සමඟ එතෙක් පැවති සජබ ආර්ථික වැඩපිළිවෙල පවා කුණු කූඩයට දැම්මේය. ජාතිවාදීන් ළංකරගැනීම ගැන විරෝධය දැක්වූ සුළු ජාතික පක්ෂ නායකයන්ට පළ නොකියා පලා බෙදුවේය. සජිත් එයින්ද නැවතුනේ නැත.
තමන්ට අභියෝගයක් වෙතයි සිතු සරත් ෆොන්සේකා පසෙකට කළේය. ඔහුව සජබ රණවිරු එකතුවේ රැස්වීම් සඳහාවත් නොගෙන්වන තරමට සජිත් බොළඳ විය. ෆොන්සේකාගේ අඩුව පිරවීමට දයා රත්නායකලා පක්ෂයට එක්කර ගත්තේය.
මේ ආකාරයට විපක්ෂ නායක ධුරය පමණක් නොව අවම වශයෙන් බිම් මට්ටමේ සජබට ඇති දේශපාලන හයිය ගැනවත් නිවැරදි කියවීමක් සජිත්ට තිබුණේ නැත. මේ සියලු‍ නොහැකියාවන්ගේ ප්‍රතිඵලය වුයේ සජබ සන්ධානය නියෝජනය කළ නායකයන් සජිත්ගේ මේ විගඩම් ප්‍රතික්ෂේප කර දේශපාලන තීන්දුවක් ගන්නා තැනට පත්කිරීමය. ඒ බව නිශ්චිතව එළියට ආවේ, පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන මොහොතේ ජනාධිපති රනිල්ගේ රාජාසන කතා වාරය වර්ජනය කිරීමට සජිත් දියත්කළ සිඟිති සැලැස්ම අසාර්ථකවීම හමුවේය.
ඒ වෙනුවෙන් සජිත් පිටිය සූදානම් කළේ ඊට පෙර දින සිටය. එනම් පෙබරවාරි 06 වනදා සවස කැඳවූ සජබ සන්ධානයේ සූම් සාකච්ඡාවක් හරහාය. එහිදී සජිත්ම යෝජනාව ඉදිරිපත් කර සිටියේ, “හෙට ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව අපි වර්ජනය කරලා, සභා ගැබෙන් එළියට එන තීන්දුවක් ගමු”‍ කියමින්ය. ඒ යෝජනාවට සජිත් සමඟ සිටින සජබ ළමා සමාජයේ කිහිපදෙනෙකු එකඟ වූවද ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සුළු පක්ෂ නායකයන් එකඟ වුයේ නැත. ඒ හමුවේ සජිත් පෙරලා යෝජනා කළේ, “හරි අපි හෙට උදේ තීන්දුවක් ගමු”‍ කියාය. ඒ හමුවත් අවසන් වුයේ කාගේවත්
දැනෙන ප්‍රතිචාරයක් නොමැතිවය. එදා සුළු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවට ආවේවත් නැත. ඒ හමුවේ සජිත්ගේ ටිකිරි මොළය මෙන්ම සජබ ළමා සමාජයේ සජිත්වාදීන් හිතුවේ, දැන් සියල්ල සම්පුර්ණ බවය. මාධ්‍යවල ශීර්ෂ පාඨ යනු ඇත්තේ, “ජනපතිගේ රාජාසන කතාව විපක්ෂය වර්ජනය කරයි- ජනපති ආණ්ඩු පක්ෂය පමණක් අමතයි”‍ ආකාරයට කියාය. නමුත් ඒ වෙනුවට මාධ්‍ය වාර්තාවල සිරස්තල හැඩ ගැන්වුණේ, “සජබ පිරිසක් පමණක් එළියට යද්දී ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්න සභා ගැබේ හිටි සජබ මන්ත්‍රීවරුන් කවුද? ෆොන්සේකා – රාජිත-වෙල්ගම- චම්පික නැවතුණේ ඇයි? මෛත්‍රීට කිව්වේ නැද්ද? මාලිමවේ හරිනිත් වාඩිවෙලා හිටියා!”‍ ලෙසය.
පැහැදිලිවම එදා මීඩියා ටෝකින් පොයින්ට් එක වුණේ, සජබේ සමහරු ජනාධිපති කතාකරද්දී නැගිටලා යද්දී තවත් සමහරු ජනාධිපතිගේ කතාව අහගෙන හිටපු එකය. මාධ්‍යවලත් සංවාදේ ගියේ සජබ අභ්‍යන්තර ගැටුම පොලා පැනීම ගැනය. සජබයේ කොටසක් පාර්ලිමේන්තුව වර්ජනය කළත් ෆොන්සේකා, රාජිත, චම්පික, වෙල්ගම, ෆවුසි, ඉෂාක් රහුමාන්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම්, වඩුවේල් සුරේෂ් වගේ පිරිසක් එම තීරණයෙන් ප්‍රතික්ෂේප කරමින් සභා ගැබේ රැදී සිටියහ. ඒ වගේම විග්නේශ්වරන්, හරිනි, මෛත්‍රී, අන්ගජන් ඇතුළු සජබට අයත් නැති පිරිසද හිටියේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සවන් දෙමින් සභා ගැබ ඇතුළේය.
රාජිත එළියට පැමිණ මාධ්‍යට කිව්වේ, රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරමින් ඉන්නේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ බවය. අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේද තමන් නියෝජනය කරන වැඩපිළිවෙළ තුළ බවත් එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස ද? රනිල් වික්‍රමසිංහ ද? කියන එක සුළු කාරණාවක් බවත් කියන්න තරම් රාජිත දුරදිග ගියේය. සජබ ජ්‍යෙෂ්ඨයකු වූ රාජිත එහෙම කියන විට මෛත්‍රීපාල කිව්වේ, රනිල්ගේ ප්‍රතිපත්ති කතාව වර්ජනය කිරීමක් සම්බන්ධයෙන් කිසිවකුත් තමන්ව දැනුවත්කර නොතිබූ බවය. අඩුම ගානේ නැගිටලා යාම ගැන කිරිඅල්ලේගෙන් අහද්දී, ඔහුවත් මොකුත්ම නොකියූ බවය.
ඒ සමඟ මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකිරීමෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහයෙන් පසුව ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ ඇති ජනාධිපති කාර්යාලයට ගිය බවත් ඒ සමඟ සජබ සභාපති ෆොන්සේකා ද ගිය බවත්ය. අනතුරුව දෙදෙනා මිනිත්තු 30ක් පමණ ඒ තුළ කිසියම් සාකච්ඡාවක් සිදු කළ බවත් වාර්තාකර සිටියේය. කර ලිහපු මල්ලේ ඔබා බලන්න දෙයක් නැතුවා මෙන් රනිල් – ෆොන්සේකා සාකච්ඡාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. එසේම දඹුල්ලේ පැවති උරුමය සින්නක්කර ඔප්පු ප්‍රධාන අවස්ථාවට සජිත්ට නොකියා ගයන්ත කරුණානායක ගිය එක ගැනත් කියන්න දෙයක් නැත. මැතිවරණ උණුසුමක් මැද්දේ ඔහොම ගමන් වගේම ඔහොම සාකච්ඡා යන්නේ නිකමට නොවන බව හොඳටම පැහැදිළිය.
ඔය සිදුවීම් සේරම මැද සජිත් සමඟ සිටින සජබ ළමා සමාජය තීන්දුවක් ගන්නේ ජනපතිගේ කතාව ඇසීමට පාර්ලිමේන්තුවේ සිටි කිසිවෙකුට පසුව පැවැත්වෙන විවාදයේ අවස්ථාවක් නොදෙන්නටය. ඒ ගැන වන දැනුම්දීමක් කිරිඇල්ල විසින් චම්පිකට කර ඇති බවත් රහසක් නොවේය. ඒ ඇසූ සැනින් චම්පිකගේ ප්‍රතිචාරය වී ඇත්තේ
“ඔය සජිත් මහත්තයට කියන්න අපි එයාගේ තාත්තත් එක්කත් හැප්පිච්ච මිනිස්සු. එදා ලොකු ප්‍රේමදාසට බයවෙච්ච නැති අපි, පොඩි ප්‍රේමදාසට කොහොමත් බය නෑ. කතාකරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ දොරවල් කඩාගෙන හරි ඇවිත් කතාකරන හැටි දන්නවා. ඒ නිසා එයාට වැඩිය දඟලන්න එපා කියන්න.” කියාය.
මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ විපක්ෂ නායක ලෙස පමණක් නොව පක්ෂ නායකයකු ලෙස සජිත්ගේ දුර්වලතා එන්න එන්නම කැපී පේන්න අරගෙන ඇති බවය. ඒ සියල්ල වසාගන්න සජිත් කළේ පසුගියදා
පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ හොර බාල්දුවක් ගැසීමය. ඒ “ජනාධිපතිතුමා මට කිව්ව ජූනි මාසෙ මහමැතිවරණයක් එනව කියලා”‍ කියමින්ය. ඉතා සරලව සජිත් මේ කියන්නේ මහ මැතිවරණයක් ළඟ එන නිසා, ජනපතිට සහය දෙන්න ඉන්න කවුරුත් සජබ අත්හැර නොයන ලෙසය. ඒ සාකච්ඡාවේ පවා සජිත්ගේ මේ හොර බාල්දුවට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ කියන්නේ සජබ ඉවුරුවල කාර්යභාරය අවසන්ව ඇති බව නොවේද? එක් පසෙකින් නවදිල්ලි පාලනය අනුරට නිල ආරාධනයක් සිදුකර ඇත. ඒ සජිත්ගේ තැන අනුරට දෙමින් බව පැහැදිළිය. අනෙක් පසින් ඒ නවදිල්ලි පාලනයේ නිල ආරාධනය සජිත් ද ගෙන්වා ගන්න වෙහෙසෙමින් ඇතත් තවමත් ඊට දින ලැබී නැත. ඒ පසුබිමේ සජබ ඉවුරු බිඳගෙන එහි ප්‍රබලයන් ජනපති රනිල් සමඟ සෘජු සාකච්ඡා සිදුකරමින් ඇත. මේ හමුවේ සජිත්ට තෝරාගැනීම් ගොඩක් නැත. එක්කෝ රනිල්ට දන ගසා දමනය විය යුතුය. නැත්නම් දේශපාලනය වෙනුවට කැලේ ගොස් කොටි සුරතල් බැලිය යුතුය. මෙයින් වඩාත් වැඩි සම්භාවිතාවක් ඇත්තේ සජිත් කැලේ ගොස් කොටි හුරතල් බැලීමය. ඒ කියන්නේ මේ මොහොතේ දේශපාලන පළා යාමකට වැඩි දෙයක් සජිත්ට ඉතුරුව නැති බවය.

…………කුසල් ජයම්පති………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *