සමාජවාදී බෝඩ් ලෑල්ලෙන් පලක් නැති බව පෙන්වූ වියට්නාමය

0

(කයිවාරු හැර වමට කිසිවක් බෑ – 7 වන කොටස)

ලෝකයේ සමාජවාදී රාජ්‍ය අතර තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පෙන්නුම් කළ රටක් වන්නේ වියට්නාමයයි. වියට්නාම් සමාජවාදී ජනරජය ලෙසින් හැඳින්වෙන මෙම රාජ්‍යය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ ක්‍රියාත්මක රාජ්‍යයකි. එරට තුළ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
කෙසේ වෙතත් මේ වන විට සමාජවාදී රාජ්‍යයකි යන බෝඩ් ලැල්ලට මුවා වී දක්ෂිණාංශික ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යනු ලබන වියට්නාමය සිය දේශපාලනික උපාය මාර්ගයක් ලෙස ආර්ථික මොඩලය වෙනස් කිරීම හේතුවෙන් දියුණු වූ රාජ්‍යයකි. අග්නිදිග ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයකට උරුමකම් කියන වියට්නාමය ලෝ පුරා ප්‍රචලිතව ඇත්තේ 1960-70 දශකවල එරට පැවැති බිහිසුණු යුද්ධය නිසාය. අද බෙහෙවින්ම සාමකාමී රටක් බවට පත්වෙමින් පවතින වියට්නාමයේ ආර්ථිකය යනු සමාජවාදී මොඩලය තුළ පවතින අනිවාර්ය අසාර්ථකත්වය හා නොබියව සිය උපක්‍රමයක් වෙනස් කිරීමෙන් අත්පත් කරගත් දියුණුව පිළිබඳ මනා උදාහරණයකි.
වියට්නාමය යනු අති දුෂ්කර ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටි රාජ්‍යයකි. රටේ ජනතාවගෙන් 60%ක් දරිද්‍රතාවයෙන් පෙළුණු, උද්ධමනය 400% ඉක්මවා තිබුණු, විදුලිබලය නොමැතිව නිරන්තරයෙන් අඳුරේ සිටින්නට සිදුව තිබුණු, සලාක ක්‍රමයට පමණක් හාල් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වූ, එවකට ලෝකයේ දිළිඳුතම රටක් ලෙස පැවති රටකි. නමුත් මේ වන විට දක්ෂිණාංශික ආර්ථික මොඩලයක් අනුගමනය කිරීම හේතුවෙන් වියට්නාමය, චීනයේ ආර්ථික වර්ධන වේගයට පමණක් දෙවෙනි වූ වේගයකින් වර්ධනය වී සැලකිය යුතු ඒක පුද්ගල ආදායමක් උපයන රටක් බවට පත් විය.
1941 වසර වන විට ප්‍රංශ සහ ජපන් පාලනයට නතුව පැවැති වියට්නාමය ලෝක යුද්ධයෙන් පසු සම්පූර්ණයෙන්ම ජපානය යටතේ පාලනය කෙරිණි. 1945 වසරේදී ජපානයේ බිඳවැටීමත් සමඟ කොමියුනිස්ට් විප්ලවවාදී ‘හෝ චි මිංගේ’ නායකත්වයෙන් යුත් ජාතිකවාදී සන්ධානය ‘වියට් මිං’ අගෝස්තු විප්ලවය දියත් කර උතුරු වියට්නාමයේ හැනෝයි අගනුවර අත්පත් කරගැනීමත් සමඟ වියට්නාමයේ නිදහස ප්‍රකාශයට පත් කළේය. නමුත් ඒ වන විටත් පැවැති යුද්ධයෙන් වියට්නාම් ජනගහනයෙන් 10%ක් පමණ මිය ගොස් තිබිණි.
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, පළමු ඉන්දු-චීන යුද්ධයේදී ප්‍රංශය නැවත යටත් විජිත බලය ලබාගැනීමට පැමිණි අතර, එම සටනෙන් 1954 දී වියට්නාමය ජයග්‍රහණය කළේය. පසුව වියට් මිං සහ ප්‍රංශය අතර අත්සන් කරන ලද ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස වියට්නාමය ද කොටස් දෙකකට වෙන් විය. සෝවියට් සංගමයේ සහ චීනයේ සහාය ඇතිව කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාමය සහ එක්සත් ජනපදයේ සහාය ඇතිව කොමියුනිස්ට් විරෝධී දකුණු වියට්නාමය පාලනය විය.
පසුව 1955 දී දකුණු වියට්නාමයේ ජනමත විචාරණයක් පැවැති අතර, එයින් වියට්නාමය ජනරජයක් ලෙස පරිවර්තනය වූ අතර, නෝ ඩින් ජියෙම් අගමැති බවට පත් විය. කෙසේ වෙතත් දේශපාලන ඉතිහාසයේ මෙම ජනමත විචාරණය හඳුන්වන්නේ අන්ත දූෂිත ජනමත විචාරණයක් ලෙසිනි.
පසුව ජිනීවා සම්මුතිය අනුව 1956 වසරේදී උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය ඒකාබද්ධව එක්සත් මැතිවරණයක් පැවැත්වීමට තීරණය කෙරුණු නමුත් දකුණු වියට්නාමය එම මැතිවරණය වර්ජනය කළේ උතුරු වියට්නාමය තමන්ගේ මිත්‍ර පාර්ශ්වයක් නොවන බව පවසමිනි.
කෙසේ වෙතත් දකුණු වියට්නාමයේ හෝ චී මින් අනුගාමිකයන්ට එරෙහිව පැවැති දරුණු ප්‍රතිවිරෝධය හමුවේ වියට්නාමය තුළ යුද තත්වයක් ඇති වූ අතර, 1959 දී දකුණු වියට්නාම් කොමියුනිස්ට් කැරළිකරුවන්ට සහය දීමට උතුරු වියට්නාමය තීරණය කළේය. 1960 වන විට කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම් “ජාතික විමුක්ති පෙරමුණ” නමින් බලය දකුණු වියට්නාමය පුරා පැතිරූ අතර, ඔවුන්ව වියට්කොං (ඪසැඑජදබට) ගරිල්ලන් ලෙස හැදින්විනි. දකුණු වියට්නාමයේම විශාල මහජන සහයක් ඇතිව වියට්කොං ගරිල්ලන් දකුණු වියට්නාම රජයට ප්‍රහාර එල්ල කළ අතර, කොමියුනිස්ට්වාදය ලොව පුරා වැපිරවීමට තැත් කළ සෝවියට් රුසියාවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය පදනම් කරගත් ඇමෙරිකාවත් අතර වූ සීතල යුද්ධයේ ප්‍රධාන සටන් පෙරමුණක් බවට වියට්නාමය පත් විය.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි දකුණු වියට්නාම් රජයට සහය පළ කළ අතර, පසුව නෝ ඩිං ජියෙම්ගේ ඒකාධිපති වියරුවට විරෝධය පළ කළේය. මේ අතර ඇමරිකාවේ ද සහය ඇතිව දකුණු වියට්නාමයේ හමුදාව විසින් අගමැති නෝ ඩිං ජියෙම් ඇතුළු ප්‍රධානීන් ඝාතනය කොට පාලන බලය හෙබවීය. කෙසේ වෙතත් බලය ලබාගත් හමුදා පාලනය අස්ථාවර වීම හේතුවෙන් කෙනඩි ඇතුළු ඇමරිකාව වියට්නාම් සාමාන්‍ය ජනතාව හරහා වියට්කොං ගරිල්ලන් මර්දනය කිරීමට උත්සාහ ගත්තේය. මේ අතර 1964 දී කෙනඩිගේ අභාවයෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ ලින්ඩන් බී. ජොන්සන් වියට්නාමයට එරෙහි හමුදා ප්‍රහාරවලට අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව වියට්නාමය තුළ දරුණු යුධ තත්වයක් නිර්මාණය වූ අතර, වියට්කොන් ගරිල්ලන් පරාජය කිරීම ඇමරිකාවට අපහසු කාර්යයක් විය. මේ අතර ඇමරිකාව පුරා වියට්නාම් සහයෝගී වාතාවරණයක් නිර්මාණයවීමත් සමඟ 1968 දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු වියට්නාමය අතර සාම සාකච්ඡා දියත් කෙරිණි.
1969 සැප්තැම්බරයේ හැත්තෑනව වියැති හෝ චී මින් අභාවප්‍රාප්ත වූ අතර, මේ අතර ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තය ද දකුණු වියට්නාමයෙන් සිය හමුදා මුළුමනින්ම ඉවත් කර ගත්තේය. 1972දී ඇමෙරිකානු ජනාධිපති නික්සන්ගේ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසින්ජර් හා උතුරු වියට්නාම විදේශ ඇමැති වූ ලේ ඩක් තෝ දෙපාර්ශව අතර සම්මුතියක් උදෙසා පියවර ගත් අතර, නික්සන් ජනපතිගේ දැඩි ඉල්ලීම මත දකුණු වියට්නාමය 1973දී උතුරු වියට්නාමය සමඟ පැරීසියේදී සාම ගිවිසුමකට අත්සන් තැබුවේ දෙරට එක්සේසත් කර ජාතික මැතිවරණයක් පවත්වන පොරොන්දුව මතය.
එසේ උවත් වියට්කොංවරු තම ක්‍රියාන්විතය අත්නොහළ අතර 1975-76 වියළි සමයේදී සයිගොන් නුවර වටලා දකුණු වියට්නාමය ඇල්ලීම ඔවුන්ගේ අපේක්ෂාව විය. නික්සන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ එම ධුරයේ වැඩ භාරගත් ජෙරල්ඩ් ආර්. ෆෝඩ්ට වියට්නාම මෙහෙයුම් සඳහා කිසිඳු සහයක් ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයෙන් නොලැබිණි. යුද බලයෙන් තමන්ට වඩා ඉදිරියෙන් සිටි දකුණු වියට්නාමයට එරෙහිව ඇමෙරිකානු බෝම්බවලින් බැට කෑ උතුරු වියට්නාමය සිය අවසාන ප්‍රහාරය දියත් කළ අතර එහිදී සිදු කළ උපක්‍රමික පසුබැසීම්වලදී දකුණු වියට්නාම හමුදාව අන්ත පරාජයක් ලැබීය. ජෙනරාල් වැන් ටියෙන් ඩංගේ මෙහෙයවීම යටතේ හියු නගරය අත්පත් කරගත් උතුරු වියට්නාම හමුදාව සිය විජයග්‍රාහී හෝ චී මින් මෙහෙයුම දියත් කළේ සයිගොන්
නගරය අත්පත් කර ගැනීමටය. සුවාන් ලොක් නගරය උතුරු වියට්නාම හමුදා අත්පත් කරගැනීමත් සමඟ දකුණු වියට්නාම ජනපති තියූ තම ධුරයෙන් ඉල්ලා අස්ව තායිවානයට පළා ගියේ රාජ්‍ය බලය හමුදාපති ජෙනරාල් ඩුවොං වැන් මින් යටතට පත් කරමිනි. අවසන උතුරු වියට්නාම භටයින් ලක්ෂයක් සයිගොන් නුවර වැටලූ අතර එවිට නගරය ආරක්ෂා කිරීමට ඉතිරිව උන්නේ දකුණු වියට්නාම භටයින් 30,000ක් පමණි. 1975 අප්‍රේල් 30දා සමස්ත දකුණු වියට්නාමය යටත් කරගැනීමට උතුරු වියට්නාමය සමත්විය.
වියට්නාමය එක්සේසත් කිරීමෙන් පසු 1975 වසරේ සිට 1986 වසර දක්වා ඉතා දැඩි කොමියුනිස්ට් පාලනයක් ගෙන ගිය අතර, සිය පාක්ෂිකයින්ට සලාක ක්‍රමයට රජයේ රැකියා ලබා දුන්නේය. මේ වන විට වියට්නාමයේ දරිද්‍රතාවය 70%ක් පමණ වූ අතර, වියට්නාම් වැසියන් අන්ත දුගීබවින් හා සාගතයෙන් පෙළිනි.
ලෝකයේ බලගතු ඇමරිකාවට පවා අත්පත් කර නොහැකි වූ මේ වියට්නාමයට ආර්ථික වශයෙන් පරාජය විය. කොමියුනිස්ට් පාලන ක්‍රමයක් යටතේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියකට නතු වූ වියට්නාමයට ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීම කිසිසේත්ම කළ නොහැක්කක් විය. සෝවියට් සමාජවාදී ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කළ වියට්නාමය තුළ ආනයන සම්බන්ධ ප්‍රතිපත්තිය වූයේ රට තුළ නිෂ්පාදනය කළ හැකි දේ රට තුළ නිෂ්පාදනය කළ යුතු බවත්, නොහැකි දේ පමණක් ආනයනය කළ යුතු බවත්ය. මෙම සංවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් වියට්නාමය තුළ දරාගත නොහැකි අන්දමේ දැඩි භාණ්ඩ හිඟයක් ඇති විය.
කෙසේ වෙතත් මෙම ආර්ථික ක්‍රමයට තිත තැබීමට 1986දී වියට්නාමය තීරණාත්මක තීන්දුවක් ගැනිනි. 1986දී වියට්නාමය “ඩොයි මොයි” නමින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුනි. මෙහිදී ඒකාධිපතිවාදී කොමියුනිස්ට් පාලනය එලෙසම තබා ගනිමින් ආර්ථිකය විවෘත වෙළෙඳපොල ක්‍රමයකට අනුගත විය. ඒ අනුව පෞද්ගලික අංශය දැඩි ලෙස දිරි ගන්වනු ලැබූ අතර ව්‍යාපාර සඳහා වන බදු පහළ දැමීමටත්, විදේශ ආයෝජන දිරිමත් කිරීමට පියවර ගැනිනි. මෙම ප්‍රතිසංස්කරණවල නිල අරමුණ වූයේ වියට්නාමය “සමාජවාදය වෙත නැඹුරු වූ වෙළඳපොළ ආර්ථිකයක්” බවට ක්‍රමයෙන් පරිවර්තනය කිරීම බව දැක්විණි. ඒ අනුව වියට්නාමය කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ මධ්‍යගත සැලසුම් ක්‍රමයේ සිට, වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරමින් ඉතා විශාල ආර්ථික දියුණුවක් ලබාගැනීමට හැකි විය.
“ඩොයි මූයි” ප්‍රතිසංස්කරණවල පළමු ඉලක්කය වූයේ රටේ සාර්ව ආර්ථිකය ස්ථායීබවට පත් කිරීමයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය හිමි වූ අතර, ඒ අනුව, මිල පාලනයන් ක්‍රමිකව ඉවත් කර, පොලී අනුපාතික ඉහළ නැංවීය. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය වෙත ලබා දුන් සහනාධාර ඉවත් කළේය. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් යුද නිමාවෙන් පසු 300%-400%ක මට්ටමක පැවැති උද්ධමනය මේ වන විට 8%ක ප්‍රමාණය පහත හෙළීමට වියට්නාමයට හැකි විය.
“ඩොයි මූයි” ප්‍රතිසංස්කරණ අනුව කෘෂිකාර්මික අංශයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ අතර, සමූහ ගොවිපොළ ක්‍රමය ඉවත් කර, ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා පෞද්ගලික අයිතිය මත පදනම් වූ ක්‍රමයක් වෙත විතැන්වීම සිදුවිය. රාජ්‍ය ව්‍යවසාය, මධ්‍යගත සැලසුමෙන් නිදහස් වී නිෂ්පාදනය, මිල හා බඳවා ගැනීම් සම්බන්ධයෙන් තීරණය කිරීම මත, ඉල්ලු‍ම හා සැපයුම මත මිල ගැලපීම හේතුවෙන් නිෂ්පාදනය දිරිමත් වූ අතර, කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු වර්ධනයක් හිමි කර ගැනිනි. මේ තත්වය යටතේ රටේ රටේ ආහාර ගැටළුව ක්‍රමයෙන් නිරාකරණය විය.
එසේම වියට්නාමය ගෝලීයව ඒකාබද්ධවීමට තීරණය කළ අතර, මේ යටතේ වියට්නාමය විසින් වෙළඳ ගිවිසුම් ගණනාවකට අත්සන් තැබිණි. මේ හරහා රටට සෘජු විදේශ ආයෝජන ගලා ආ අතර, රටේ ඇතැම් ව්‍යාපාර රටෙන් පිටට ගලායාම සිදුවිය. මේ හේතුවෙන් අපනයන ඉලක්ක සපුරාගැනීමට හැකි වු අතර, 1988 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් වූ වියට්නාමයේ අපනයන මට්ටම 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 91.7%ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි විය. 1988දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.9ක් වූ භාණ්ඩ හා සේවා අපනයන ආදායම 2022 වන විට 94.0%ක් දක්වා ඉහළ නැන්විය. ඒ අනුව 1988දී දදේනියෙන් 11.1%ක් වූ විදේශ අංශයේ සම්පත් හිඟය, 2022 වන විට දදේනියෙන් 2.3%ක සම්පත් අතිරික්තයක් බවට පත්කර ගැනීමට සමත් විය.
වියට්නාමය අදත් නිෂ්පාදන සහ තාක්ෂණය ආශ්‍රිත කර්මාන්තවල සෘජු විදේශ ආයෝජන සඳහා ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ඉස්මතුව ඇත. එහි අඩු ශ්‍රම පිරිවැය, අග්නිදිග ආසියාවේ උපායමාර්ගික පිහිටීම සහ හිතකර ව්‍යාපාරික පරිසරය මේ සඳහා දායක වී ඇත. ඔවුන්ගේ ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන බහුජාතික
සමාගම්වල ආයෝජන විශාල වශයෙන් රටට ආකර්ෂණ කර ගැනීම සිදුවෙයි.
කෙසේ වෙතත් වියට්නාමයේ මෙම පරිවර්තනයට ලෝකය ලබා දී ඇත්තෙ බලවත් අත්දැකීමකි. සමාජවාදී ආර්ථික ක්‍රමය තුළින් රටක් සංවර්ධනයක් කරා ගෙන යා නොහැකි බව වියට්නාමය සිය අත්දැකීම් හරහා ලොවට පෙන්වා දී ඇත. රට වසාගත් වාමාංශික හෝ ජාතිකවාදී ආර්ථික ක්‍රමය අතහැර ලෝකයට වඩාත් විවෘත හා තරඟකාරී වෙළඳපොළ ආර්ථිකයක් තුළ ලොව දිනිය හැකි බවට වියට්නාමය අපට ලබා දෙන පනිවිඩය අප නිසි පරිදි තේරුම් ගත යුතුය.

(මතු සම්බන්ධයි)

………..රිද්ම අනුරාධ ගමගේ………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *