සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්‍යයි – පා: මන්ත්‍රී වජිර අබේවර්ධන

0

සමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටිනවා.

තවද සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කළේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මගින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියෙකු නිර්මාණය වන බව “ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසමට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.

ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් සන්නිවේදනය දියුණුවීමත් සමග එහි ප්‍රතිලාභ ජනතාවට ලැබී ඇති නමුත් සන්නිවේදනය පුරවැසියා නොමඟ යැවීමට මෙන්ම අපහාස කිරිමට යොදා ගැනීම අවාසනාවත්ත තත්ත්වයක් බවයි ඔහු පවසන්නේ.

එම නිසා මෙම සමාජ මාධ්‍ය නිර්මාණය කළ තැනැත්තන්ම මේ වන විට ඒ සඳහා නීති රීති ගෙන ඒමටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *