සමුහ මීනී වළක අපේක්ෂාව පමණක් ඉතිරිකර ඇත.
මැද පෙර දිග කලාපයේ යුද ගිනි මෙන්ම මළ කඳන් ගොඩගැසීම අලුත් දෙයක් නොවේ. ඊශ්‍රායල් පලස්තීන දරුණු යුදගැටුම් ද ඒ අනුව වන තවත් අවස්ථාවක් පමණි. වර්තමාන ගැටුමේ ප්‍රභවයට වසර සියයකට ආසන්න ඉතිහාසයක්ද වෙයි. ඒ කෙසේ වුවත් පසුගිය සතියේදී හිටි හැටියේ ඇවිළුන යුද තත්වය ඉතිහාසයට තවත් මහා මානව ඛේදවාචකයක් නිර්මාණය කරමින් තිබේ. මිනිස්කමට නිගා දෙන භාවිතයක් වූවද යුද්ධයේදීත් අනුගමනය කළ යුතු පිළිගත් නීති රීති තිබේ. ආචාර ධර්ම තිබේ. නමුත් ඒවා මඟහැරී නැතිනම් හිතාමතාම උල්ලංඝණය කරමින් මේ වන විට දෙපාර්ශ්වයම තම තමන්ගේ ම්ලේච්ඡත්වයේ තරම ලෝකයට පෙන්වමින් තිබේ. මෙය යුද්ධයකට වඩා යුධ අපරාධ සමූහයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.
කොහොම නමුත් ඊශ්‍රාලය සහ පලස්තීනය අතර යුද්ධයක් ලෙස මෙය ජාත්‍යන්තර මාධ්‍යයේ මෙන්ම මෙරට මාධ්‍යයන් විසින් හැඳින්වුවත් වඩා නිවැරදි වන්නේ ඊශ්‍රාලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයක් වීමය. අසුව දශකයේ බිහිවූ හමාස් සංවිධානය පලස්තීනයේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින සංවිධානයකි. ඔවුන්ගේ මිලිටරි ක්‍රියාකාරිත්වය ත්‍රස්තවාදී වීම නිසා පලස්තීනයේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමණාව සහිත අනෙක් පාර්ශ්වයන් අධෛර්මත් කරවන්නක් නමුත් එලෙස නොවෙන්නත් හේතු තිබේ. මන්ද වත්මන් යුද්ධයේ කේන්ද්‍ර භූමිය වන ගාසා තීරය වෙතින් ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාරය ත්‍රස්තවාදී නොවී වෙනකක් වීමට ඉඩක් ඉතිරිකර තිබුණේ නැති නිසාය.
පලස්තීන්ය ලෙස හඳුන්වන්නේ ඊශ්‍රායලයේ නිරිතදිගට වන්න තිබෙන කුඩා ගාසා තීරයත් නැගෙනහිරට වන්නට තිබෙන වෙස්ට් බෑංක් භූමි ප්‍රදේශයත්ය. පලස්තීන පාලනාධිකාරිය ක්‍රියාත්මක වන්නේ වෙස්ට් බෑංක් කොටසේ සිටය. එහෙත් ගාසා තීරය යනු මුළුමනින්ම එළිමහන් සිරකඳවුරක් ලෙස සැලකිය හැක්කකි. වර්ග කිලෝමිටර් 325 ක් පමණ වන, දිගින් කිලෝමීටර් 41 ක් දිග 10 ක පමණ පළලැති කුඩා බිම් තිරුවකි. වර්ගකිලෝ මීටර් 699කන් යුතු කොළඹ දිස්ත්‍රික්කයත් එමෙන් දෙගුණයක් විශාලය. ඒ අනුව ගාසා හි ප්‍රමාණය ගැන අදහසක් ගත හැකිය. ලොව අධිකම ජනගනත්වය ඇත්තේ ගාසා වලය. ඒ වර්ග කිලෝමිටරයට 825ක තරම්ය. ඒ කියන්නේ සෑම වර්ගමීටරයකම පාහේ පුද්ගලයකු සිටිනවා යන්නය.
එහෙත් මේ බිම් තීරුව නිදහස් භූමියක් නොවේ. ජාත්‍යන්තර ආධාර උපකාර ඇතිව පලස්තීන් පාලන අධිකාරිය යටතේ මෙහි වෙසෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සැපිරීම සිදුවුවත් ගසා තීරය ඊශ්‍රායල් මිලිටරි යටත්භාවය යටතේ තිබෙන්නකි. මෙම ජනතා අවශ්‍යතාවයන් ද ඊශ්‍රාලය විසින් අනුමත කරන ලද භාණ්ඩ හා සේවාවන්ට සීමා වේ. ඒ අනුව තහනම් භාණ්ඩ ලැයිස්තුවක්ද ඇත. ගාසා තීරයට ඇතුලු වීමේ පිටවීමේ ස්ථාන තුනක් පමණක් ඇති එය හතර වටින්ම දැවැන්ත කොන්ක්‍රීට් තාප්ප හා කටු කම්ඹිවලින් වැටවලින් කොටු කරන ලද ප්‍රදේශයකි. ඒ සීමාවන් අතික්‍රමණය කිරීම ඊශ්‍රායලයේ අවසරය මත පමණක් සිදුවේ. බටහිර පසින් මධ්‍යධරණි සාගරය පිහිටා තිබුණද ඒ දෙස බලා සිටිනවා හැර අහලකටවත් යෑමේ නිදහස නැත. මෙහි සියයට 75 ක් පමණ සිටින්නේ යුද්ධ නිසා අවතැන් වූ සරණාගතයින්ය. නමුත් ගාසා හී මුල් පදිංචිකරුවන්ගෙත් මේ සරණාගතයින්ගෙත් වෙනසක් නැත. මේ භූමිය තුළ පලස්තීන විමුක්තිය වෙනුවෙන් වන සංවිධාන ගනනාවක් සක්‍රීය වුවද දේශපාලන බලය අත්පත් කරගෙත තිබෙන්නේ හමාස් සංවිධානය විසින්ය. වෙස්ට් බැංක් කොටස පලස්තීන විමුක්ති සංවිධානය යටතේ වෙයි.
කෙසේ නමුත් ගාසා තීරයේ මිනිසුන් මුහුණ දෙන පීඩාව අනුව ඊශ්‍රායලයට එරෙහිව ගල් මුල් මිස රෝස මල් බලාපොරොත්තු වීම විය නොහැක. යුද ඇවිලීමත් සමග ඊශ්‍රායලය විසින් ගාසා තීරයට විදුලිය ඉන්ධන ආහාර ජලය ඖෂධ ආදි සැපයුම් සියල්ල නතර කිරීමට පියවර ගැනීම සමඟ ඇති විය හැකි තත්වය ගැන අමුතුවෙන් කිව යුතු ද නැත. මේ මිනිස්සුන්ට අඩු තරමින් ප්‍රදේශයෙන් පලා යන්නට හෝ මුහුදට පැනීමට හෝ අවස්ථාවත් නැත. එවැනි තත්වයක් හමුවේ ඊශ්‍රාලය ගසා තීරයට එල්ලකරන දරුණු ප්‍රහාරයන් හමුවේ සිවිල් වැසියන් මිය යමින් සිටින්නේ තොග වශයෙනි. ඒ අතරම හමාස් සංවිධානය ඊශ්‍රාලයට එල්ල කළ ප්‍රහාරයද දශක ගනනාවකින් එල්ල වූ දරුණුම ප්‍රහාරය බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම ඊශ්‍රායලය ලෝකයේ ප්‍රබලම ආරක්ෂක විධිවිධාන සහිතව ජාතික ආරක්ෂාව සහතික කර තිබෙන රටකි. එසේම ඔවුන්ගේ විදේශ ඔත්තු සේවාව වන ‘මොසාඩ්’ ආයතනය යනු ලොවක් බියට පත්කරවීමට සමත් අති දක්ෂ මෙන්ම දරුණු ගනයේ මෙහෙයුම් රැසක් කළ ආයතනයකි. එසේම අභ්‍යන්තර ඔත්තු සේවා වන ‘ෂබාක්’,’සින් බෙත්’ සහ මිලිටරි ඔත්තු සේවාව වන ‘අ මාන්’ මඟ හැර මැස්සෙකුටවත් ඉගිලා යා හැකි තත්වයක් තිබුණේ නැත. නමුත් ඊශ්‍රායාලයේ මේ හැකියාවන අභිබවා හමාස් සංවිධානය ඊශ්‍රාලයට ඇතුළු වූයේ විශ්මය ජනක හා දරුණුම ප්‍රහාරයක් සමඟිනි. ගාසා තීරය වටකර ඇති සුවිශේෂි ආරක්ෂක වළල්ල ඊශ්‍රාලය විසින් පැය විසි හතරේ අඛන්ඩ අධීක්ෂණය යටතේ තිබියදීත් හමාස් සංවිධානය අති විශාල ආයුධ ප්‍රමාණයකින් සන්නද්ධ වීමත් පුදුමසහගතය. එය දීර්ග කාලයක් තිස්සේ සිදු කර ඇති බවත් පැහැදිලිය. කෙසේ නමුත් දෙපාර්ශවය විසින් මෙතෙක් සිදුකරගෙන ඇති විනාශය මේ හැකියාවන් හෝ ඔවුනොවුන්ගේ යුධ වීරත්වයන් නිසා කිසිසේත්ම නොසලකා හැරිය නොහැක. මේ යුද්ධය ඉතිහාසයට එකතු කර ඇත්තේ මහා ඛේදවාචකයකි. එය තවමත් අවසන් නැත.
කොහොම නමුත් මෙම අර්බුදය විසඳා ගැනීම හදිසි අත්‍යාවශ්‍ය කරුණක්ව තිබේ. මීට පෙර යුගයන් වල මෙය සාමකාමීව විසඳාගැනීමේ අභිප්‍රායයන් තිබුණද එම අවස්ථාවලින් නියම ප්‍රයෝජනය ගැනීමෙන් වැලැකීමට දෙපාර්ශ්වයම කටයුතු කර ඇත. එසේම කලාපීය සෙසු රාජ්‍යයන් පවා බොහෝ විට කටයුතු කළේ සාමකාමීව සියලු දෙනාට සාධාරණ විසඳුමක් වෙනුවෙන් නොවේ. ඊට යුක්තිසහගත විවිධ හේතු සියළු පාර්ශ්වයන්ට තිබිය හැකිය. නමුත් වැදගත්ම දේ අනාගතය වෙනුවෙන්, මිනිස් පරපුර වෙනුවෙන් වඩාත් හොඳම විසඳුමක් තෝරාගැනීමය. ගෝත්‍රික යුගවල මෙන් වර්ථමානයේදී ප්‍රශ්න විසඳාගැනීම විය යුත්තක් නොවේ. ශිෂ්ඨ සම්පන්න පියවරයන් අවශ්‍යතරම් තිබේ. ලෝකය අත්හදා බලා සාර්ථක කරගත් අත්දැකීම් ද තිබේ. නමුත් මේ කිසිවක් මෙම ගැටළුවේදි වලංගු වී නැත.
ඊශ්‍රායලය යනු යුදෙව් ජාතික ක්‍රිස්තියානින්ගේ රාජ්‍යය ලෙස ස්ථාපිත කර ඇති රාජ්‍යයකි. ඔවුන්ගේ සාම්ප්‍රදායික භුමි ප්‍රදේශයක් ලෙස ඓතිහාසික උරුමයක්ද මෙම ඊශ්‍රායල් භූමියට ඇත. කිතු උපත සිදුවු ජෙරුසලම ඇත්තේ එහිය. එහෙත් පල්තීන සුන්නි මුස්ලිම් ජාතිකයන්ගෙත් සාම්ප්‍රදායික භූමිය ද මෙම කලාපයය. ඊශ්‍රාලය වෙනම රාජ්‍යයක් ලෙස පිහිටුවීමට පෙර සිටම මෙම ප්‍රදේශයට පලස්තීනුවන් අයිතිවාසිකම් කීවේය. නමුත් ඉතිහාසය තුළ පලස්තීනය යනුවෙන් ද වෙනම රාජ්‍යයක් තිබුණේ නැත. එය වරෙක දකුණු සිරියාව ලෙසත් වරෙක් ජොර්දානයේ කොටසක් ලෙසත් ආදී ලෙෂ පැවැතිනි. පළමු ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනුවන්ට වෙනම රාජ්‍යයක වුවමණාව ඇති විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර බලවතුන්ගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායල් රාජ්‍යය බිහිවිය. එතැන් පටන් ජාති හා ආගමික ගැටුමක් ලෙෂ ද තමන්ගේ භූමිය මුළුමනින්ම අත්පත් කරගැනීම වෙනුවෙන් ද දශක ගනනාවක් මේ දෙපාර්ශ්ව ලේවැකි යුද්ධ වල පැටලී සිටී.
කොහොම නමුත් මේ වන විට ඇවිල යන යුද්ධය ලෝකයේම යළි අනතුරකට හෙළන්නකි. විශේෂයෙන්ම මැද පෙරදිග සෙසු රටවල් හා ලෝක බලවතුන්ගේ පාර්ශ්වික මැදිහත් වීම් මෙම ගැටුම් උත්සන්න කිරීමට හේතු වුවහොත් ලෝක මට්ටමෙන් ඉන්ධන අර්බුදයක් ඇති වීම වැලැක්විය නොහැක. යුක්‍රේන් රුසියා යුද්ධ විසින් ද ඉන්ධන අර්බුදයෙනුත් එහාට ගොස් ලෝක ආහාර අර්බුදයක් ඇති කිරීමට සමත්ව තිබිණි. ඒ අනුව එම යුධ ගැටුමෙන් බොහෝ දුරස්ථව සිටියත් ශ්‍රි ලංකාව වැනි රටවල්ට මුහුණ දීමට සිදුවූ ගැටලු නිසා මෙම රටවල් ආර්ථික අර්බුද කරා ගෙන ගියේය. එම අර්බුද වල තිව්රතාවයන් විසින් තවත් වසර ගනනාවකට නැගී සිටිමේ හැකියාවද අහෝසි කර ඇත. මේ අනුව ඊශ්‍රායල් පලස්තීන භූමිය පිළිබඳ ගැටළුව එම රටවලට පමණක් අදාල හුදු ගැටළුවක් වන්නේ නැත. ගැටුම්කාරී තත්වය පාලනය කරගැනීමට සමත් නොවුණහොත් විදෙස් සංචිත අර්බුදයක සිටින ශ්‍රි ලංකාව වැනි රටවලට මුහුණ දීමට සිදුවන බරපතලකම මීට වසරකට පෙර ද මෙරට වැසියන් අත්විඳ තිබේ. මේ නිසා මේ ප්‍රශ්න විසඳාගැනීම විය යුත්තේ සමස්ථ ලෝකය ගැන කල්පනා කරය. කලින් කී ලෙස ගෝත්‍රික කල්පනාවන්ට නොගොස් අනාගතය වෙනුවෙන්, මිනිස් පරපුර වෙනුවෙන් වඩාත් හොඳම විසඳුමක් තෝරාගැනීම විය යුතුය. අනෙක අද රාජ්‍යයකට යටත් භූමිය කියන්නේ යල් පැන ගිය සංකල්පයක් වෙමින් පවතින්නකි.
මේ අතර පසුගියදා ජනාධිපති රනිල් යුද ගැටුම විසඳාගැනීම වෙනුවෙන් අප්‍රිකානු සංගමය විසින් යෝජනා කර ඇති විසඳුම සඳහා යොමු විය යුතු බව පෙන්වා දී තිබිණි.
සාමාජිකයින් 55 දෙනෙකුගෙන් යුත් අප්‍රිකානු සංගමයේ කොමිසමේ ප්‍රධානියා වන Moussa Faki Mahamat ප්‍රකාශයක් නිකුත්කරමින් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ “පූර්ව කොන්දේසි නොමැතිව, රාජ්‍යයන් දෙකක් කරටකර ජීවත් වීමේ මූලධර්මය ක්‍රියාවට නැංවීම සඳහා සාකච්ඡා මේසයට ආපසු යන ලෙස” ය.
තවදුරටත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ විශේෂයෙන්ම ප්‍රධාන ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමය පැනවීමට සහ ජාතීන් දෙකේ අයිතිවාසිකම් සහතික කිරීමට ඔවුන්ගේ වගකීම් භාර ගන්නා ලෙසයි.
Moussa Faki Mahamat විශ්වාස කරන්නේ මෙය පලස්තීන ජනතාවගේ සහ ඊශ්‍රායල ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇති බවයි. එසේම පලස්තීන ජනතාවගේ, විශේෂයෙන්ම ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක මූලික අයිතීන් ප්‍රතික්ෂේප කිරීම, මගින් ගැටුම් මතුවී ඇති බව අප්‍රිකානු සංගමයේ ප්‍රකාශය තුලින් ඉස්මතු කළේය.
මේ අතර ලෝකයේ බොහෝ රාජ්‍යයන් වෙතින් මෙම ගැටළුව විසඳීම වෙනුවෙන් පෙර යෝජනා කරන ලද ‘රාජ්‍ය දෙකේ විසඳුම’ වෙත යොමු වන ලෙස ද වහාම සටන් විරාමයක් ද ආයාචනා කර තිබිණි. එසේම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාධාරණ සහ පුළුල් සාමයක් සඳහා වූ එක්සත් ජාතීන්ගේ පූර්ව යෝජනා රාශියක ඉල්ලීම් ඉටු කරන විශ්වසනීය සාම ක්‍රියාවලියක් කලාපයට අත්‍යවශ්‍ය වන බවත් පෙන්වාදී තිබිණි.
”රාජ්‍ය දෙකේ විසඳුම”යනු 1937 දී බි්‍රතාන්‍යයන් විසින් පිහිටුවන ලද පීල් කොමිෂන් සභාව විසින් මෙම ගැටුම් තිව්ර වීමට පෙරම යෝජනා කරන ලද්දකි. 1947 දී එක්සත් ජාතීන් විසින් ද මෙම දෙරටම වෙනම ස්වාධීන රාජ්‍යයන් දෙකක් බවට පත් කරලීම වෙනුවෙන් මෙම විසඳුම යෝජනා කරන ලදී.
කෙසේ වෙතත්, ඉන් වසර අසුවක් ඉක්මවා ගියද, එය අපේක්ෂා කළ පූර්ණ විසඳුම කිසි විටෙකත් ඉටු නොවීය. එහෙත් ඊශ්‍රාලය ස්වාධීන රාජ්‍යයක් ලෙස 1948 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය එක්සත් ජාතීන් විසින් පිළිගනු ලැබීය. නමුත් මෙතැන් පටන් පලස්තීනය ඇතුළු අරාබි පාර්ශ්ව සහ ඊශ්‍රායලය සමඟ යුද ගැටුම් බරපතල ලෙස ඇතිවීම සිදුවිය. කලාපයම යුද පිටියක් විය.
කෙසේ නමුත් තවමත් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිනොගනී. එය විශේෂ පාලන අධිකාරියක් සහිත යම් තරමක ස්වාධීනත්වයක් සහිත ප්‍රදේශයකි. 1993 දී ඊශ්‍රායල රජය සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඔස්ලෝ ගිවිසුමේ කොටසක් ලෙස රාජ්‍ය දෙකේ විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මකට එකඟ වීමෙන් පසුව, පලස්තීන පාලන අධිකාරිය පිහිටුවීම සිදු විය. එහෙත් පලස්තීන පාලන අධිකාරිය යටතේ වන ප්‍රදේශය පවතින්නෙ ඊශ්‍රායලය හරහා බෙදුනු ප්‍රදේශ දෙකක් ලෙස වීමත් මෙම අර්බුද නිරාකරණයට අසීරු වී තිබේ. එම නිසා පලස්තීනයට එහි කටයුතු තීරණය කිරීමේදී ඊශ්‍රායලයේ බලපෑම් එල්ලවිය. විශේෂයෙන්ම ඉහත ද සඳහන් කළ ලෙස ගාසා තීරය ඊශ්‍රායල් අත්අඩංගුවේ පසුවන ප්‍රණ ඇපකරුවෙක් තත්වයේ පවතී.
මෙම ඔස්ලෝ ගිවිසුම අත්සන් කිරීම ඊශ්‍රායල-පලස්තීන සබඳතාවයේ ඓතිහාසික සන්ධිස්ථානයක් විය. මෙම ක්‍රියාවලිය ආරම්භයේදී ප්‍රගතියක් පෙන්නුම් කළද, අතෘප්තිය සහ අවිශ්වාසය මත ක්‍රියාවලියේ බිඳ වැටීමට හා ප්‍රමාදයට හේතු විය. කොහොම නමුත් පලස්තීන ස්වාධීන රාජ්‍යයන් වෙනුවෙන් සටන් වැද සිටින විමුක්තිකාමී සන්නද්ධ සංවිධාන වන හමාස්, හිස්බුල්ලා සහ තවත් සංවිධාන ගනනාවක් මෙම රාජ්‍ය දෙකේ විසඳුම පිළිගැනීමට සූදානම් නැත. මන්ද ප්‍රධාන වශයෙන් එමඟින් යෝජිත පලස්තීනය යනු ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමියෙන් විශාල කොටසක් අහිමි වීමක් නිසාය.
ඒ අතර යළි ප්‍රචණ්ඩත්වයන් වර්ධවය වූ අතර 2008 න් පසු නැවත සාකච්ඡා ආරම්භ කිරීම දුෂ්කර විය. හමාස් සංවිධානය යනු පලස්තීන විමුක්ති සංවිධානය යනුවෙන් වන සන්ධානයේ සිට පසුව එයින් වෙන්ව කටයුතු කරන සන්නද්ධ සංවිධානයකි. රාජ්‍ය දෙකක විසඳුමක් ප්‍රතික්ෂේප කළ හමාස් සංවිධානය එම වකවානුවේදීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකරමින් ප්‍රචණ්ඩකාරිත්වයන් ආරම්භ කළේය. එම මතය හා සිටින පලස්තීනුවන්ගෙන් බහුතරයක් පවසන්නේ, 1967ට පෙර පැවැති දේශ සීමා අනුව ඓතිහාසික පලස්තීනය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවයි.
එමෙන්ම පාලකයන් විසින් යම් සාමකාමී විසඳුමක් වෙත අවතීරණය වුවද මෙම ගිවිසුමේ ආරම්භයේ සිටම බොහෝ ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන් දෙරටේ විසඳුම කඩාකප්පල් කිරීමට උත්සාහ කළහ. දෙපාර්ශ්වයේම ආගමික ජාතිකවාදීන් විශ්වාස කළේ තම පාලකයන්ට භූමියෙන් කොටසක් ලබා දීමට අයිතියක් නොමැති බවයි. ජනමත විමසුම් වලින් දෙපාර්ශවයේම බහුතරය මෙම විසඳුම ප්‍රතික්ෂේප කරයි. මෙම ගැටළුව සිරවී ඇති ප්‍රධාන සංධිස්ථානය මෙතැනය. මෑත කාලීනවත් ගැටළුව විසදීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීම් රැසක් ඇති වුණද ඒ කිසිවක් සාර්ථක වුයේ ද නැත. යළි යුද්ධය ඇවිලෙන්නේ රාජ්‍ය දෙකක විසඳුමක මේසය මත තිබියදීය.
කොහොම වෙතත් ලෝක බලවතුන්ගේ මැදිහත් වීම පසෙක් තබා කලාපීය ප්‍රශ්නයක් ලෙස අප්‍රිකානු සහ අරාබි කලාපීය රටවල මැදිහත් වීමෙන් විසඳුම් සොයාගත හැකි වන්නේ නම් එය වඩා කල් පවත්නා විසඳුමකට මඟ විය හැකිය. මන්ද කලාපීය සහයෝගිතාවය ඒකබද්ධතාවය මෙහිදී ප්‍රමුඛ කරගත හැකි නිසාය. එහෙත් ඇතැම් රාජ්‍යයන් පෙන්නුම් කරමින් තිබෙන්නේ යුද්ධයටම ආවඩන ක්‍රියාකාරිත්වයක් වීම මෑතක මෙම ප්‍රශ්නය විසඳෙනු ඇතැයි සිතන්නට ඉඩ නොදේ.
මෙම ගැටළුව විසදාගැනීම වෙනුවෙන් රාජ්‍ය දෙකේ විසදුමට විකල්පව, ඒකීය රාජ්‍යයක් තුළ ද්විත්ව තන්ත්‍ර ෆෙඩරල්වාදී විසදුමක්ද ඉදිරිපත්ව තිබේ.
ඒ අතර තවත් විකල්පයක් ලෙස තුන් රාජ්‍ය විසඳුම යෝජනා වී ඇත. ඒ අනුව ගාසා තීරයේ වගකීම ඊජිප්තුවටත් සහ වෙස්ට් බැංක් හී වගකීම ජෝර්දානයට පැවැරීමය.
තවත් යෝජනාවක් ලෙස ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව ඇත. ඒ අනුව පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ ජීවත් වන්න පුරවැසිභාවය හෝ නේවාසික බලපත්‍ර ලබා දීම සේම, යුදෙව්වන්ට පලස්තීනයේ ජීවත් වීමට පුරවැසිභාවය හෝ නේවාසික බලපත්‍ර ලබා දීමය.
සාමකාමී විසඳුම් යෝජනා ගනනාවක් ඉදිරිපත්ව තිබුණද තෝරාගැනීම සිදුවන්නේ ම්ලේච්ඡ යුධමය භාවිතය තුළින් නම් විය හැක්කේ ගාසා තීරය සමුහ මිනීවළක් බවට පත් කිරීමේ ඊශ්‍රායලයේ වුවමණාව සැපිරීමය. එමෙන්ම හමාස් සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ සිවිල් පුරවැසියන්ගේ මළකඳන් ඊශ්‍රායලයට දරාගැනීමට ලෙහෙසි නොවනු ද ඇත. මේ යුද්ධය, මළකඳන් ගනන් කිරීමෙන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ ගෝත්‍රික ක්‍රමය තවමත් පරණ නැති බව, මේ දෙපාර්ශවයම විසින්ම ඔප්පු කරන්න දැඟලීමක් කිව්වත් වැරදි නැත.
ජයතුංග බණ්ඩාර (The Chatham Street Journal)