සියක් නගර අලංකරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 600ක්

0

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය කියා සිටිනවා.

එම අදාළ ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ .

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර මෙම වසර අවසන් වනවිට අදාළ ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කොට එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීමේ අරමුණින් සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණේ 2021 වසරේදීයි .

මේ සදහා පළමුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 100 ක් හඳුනාගත්තද පසුව එය නගර 116 ක් දක්වා වැඩි වූ අතර 2022 වසර අවසන් වන විට මෙම නගර 116 හි සංවර්ධන කටයුතු අවසන් කෙරුණා .

ඒ සදහා වැය කෙරුණු මුළු මුදල රුපියල් මිලියන 1,620ක්

සියක් නගර අලංකරණ වැඩසටහන යටතේ 2023 වසර සදහා සියලු පළාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති 156 ක් හදුනාගෙන ආරම්භකළා .

පොදු වෙළදපොළවල්, බස් නැවතුම්පොළවල්, රථගාල්, ඇවිදින මංතීරු, බහුකාර්යය ගොඩනැගිලි, නාගරික උද්‍යාන සහ නගර අලංකරණ ව්‍යාපෘති ඊට ඇතුළත් වන අතර 2023 වසර අවසන් වනවිට ඉන් ව්‍යාපෘති 133 ක් අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරනවා .

ඉතිරි ව්‍යාපෘති 23 හි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා .

රටේ සියලුම නගර සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි.

ඒ වෙනුවෙන් එම අධිකාරිය මේ වනවිට විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතිනවා .

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධනය මගින් රටතුළ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *