සොම්බි රිද්දපු කොම්බි!

0

රජරට ‘කොම්බි‘ නොහොත් සෙනවිරත්න මුදියන්සේලා කිරිහාමිගේ ඩිංගිරිමැණිකාගේ කතාව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරව, ජාතික ජන බලවේග පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති කිරීමේ අපේක්ෂාවෙන් සංවිධානය කොට ගැහැනු එක්රැස්කළ රැස්වීමක දී කියන්නේ, නිපුණි සාරදා පතිරගේය. ඇය මේ කතාව, ස්ත්‍රිවාදී ආඛ්‍යානයක සිට, පුරුෂාධිපත්‍යය පිරුණු සමාජ ආර්ථික රටාවට එරෙහිව කාන්තාව බලමුළු ගැන්විය යුතු යැයි අවධාරණය කරනු පෙනුනේය. කොම්බි උපුටා දක්වමින් ඇය ඉල්ලා සිටින්නේ, කාන්තා ව්‍යවසායකත්වය, කාන්තා පෞරුෂය, කාන්තාවකට සමාජය ඉදිරියේ තනියම නැගී සිටිමේ හැකියාව නිර්මාණය කරන ක්‍රමවේදයක් මේ රට තුළ නිර්මාණය විය යුතුය කියාය. ඒ වෙනුවෙන් ඇගේ ඉල්ලීම වූයේ මේ රටේ ගැහැණු එක මිටට එකතු වී ඉතිහාස ආඛ්‍යානය වෙනස් කරමු කියාය.
සාරදා මේ ප්‍රකාශය සිදුකරන මොහොතේ එතැන වේදිකාව ඉදිරියේ අසා සිටි කිසිදු කාන්තාවකට මේ පිළිබඳ කිසිදු සංවේදීභාවයක් හෝ කතාවේ රස හෝ ඵල ගෝචර වීමක් සිදු නොවුණු ගානය. මන්ද ඔවුන් එතැනට පැමිණ සිටියේ, සිය සංවිධායකයන්ගේ දැනුම්දීම් මත, දේශපාලන කතන්දර අසා අත්පොළොසන් දීමට මිස හෙට සිට රජරට කොම්බි වගේ වෙන්න හිතාගෙන නොවන නිසාය. එතැන එසේ වුවද පසුව නිපුණි සාරදාගේ දක්ෂතාවය, නිළිකම, උගත්කම ආදි මෙකි නොකී කරුණු කාරණා සමුදායත් එක්ක සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ කතිකාවක් නිර්මාණය වුණේය. එහිදී සිනමා අධ්‍යක්ෂකවරයකු වන අශෝක හඳගම අපූරු විග්‍රහයක් සිදුකොට තිබුණේය. ඔහු කියා තිබුණේ, නිපුණි සාරදා දක්ෂ බවය. එහෙත් ඇය කොම්බි කතාව කියපු තැන ගැන ගැටලු‍වක් ඇති බවය. මන්ද එය සඵල වේ යැයි විශ්වාසයක් නොමැත කියාය. ජවිපෙ දේශපාලනය ගැන ප්‍රාමාණික දැනුමකින් යුතු හඳගමගේ කියවීම අසාධාරණ කියවීමක් නොවේ යැයි මේ ලිපිකරුගේ ද හැඟීම ය. මේ ලියමන අවසානයේ ඔබටම එය තීරණය කළ හැකිය.
‘පසුතැවීමට වඩා අවධානම ගැනීම වඩා වැදගත්’ යැයි කියමනක් ඇත්තේය. ඇතැම් විට නිපුණි සාරදා පතිරගේ මේ කරන්නට ඇත්තේ ද ඒ කියමන
අනුගමනය කිරීමක් ද විය හැකිය. නොමැති නම් ජවිපෙ පවුල් පසුබිමක උපන් දා සිට හැදී වැඩුණු සාරදා ජවිපෙ දේශපාලනයට සමපාත නොවන පරස්පර විරෝධී මෙවන් කතාවක් කිසිදා ප්‍රකාශ කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි නිසාය. ඒ නිසාම යැයි පූර්ව විනිශ්චය නොකළත්, මාලිමාව නියෝජනය කරන කිහිප දෙනෙකු හැර ජවිපෙ යැයි පිළිගත් කිසිවකු මේ වන තෙක් සාරදාගේ කතාව ගැන, එහි ඇති ගුණත්වය ගැන, ආදර්ශය ගැන හෝ අනාගතයේ මේ රටේ කොම්බිලා නිර්මාණය වීමට අවැසි පසුබිමක් ගොඩනගනවා යැයි හෝ නොකියා සිටීමට පරස්සම් වුණේය.
මේ කතාවම තවදුරටත් තහවුරු කරමින් මාලිමාවේ එක් නියෝජිතයකු වන ලියනගේ අමරකීර්ති මෙසේ සටහන් කර තිබුණේය. ඒ “නිපුණිගේ කතාවේ හරය ජාජබයට අලු‍ත් දෘෂ්ටිවාදී මුවහතක් ගේනවා… මීට කලින් ජවිපෙ නායිකාවන් වූ සමන්මලී වගේ අයවත් කවදාවත් නොකියපු කතාවක් නිපුණිගේ කතාවේ තියෙනවා.” කියාය. ගැටුම ඇත්තේ ද එතැනය. ඒ ජවිපෙ වේදිකා මත හැමදාම ප්‍රකාශ නිකුත් කරපු සමන්මලීලා කවදාවත් නොකියපු කතාවක් මාලිමා වේදිකාවේ නිපුණි කිව්වේ ඇයි? කියාය.
කොම්බි දේශපාලනයට අලු‍ත් නැත
“‍කුවේණි රවටපු විජය කුමාරයාගෙන්
පැවත එන ඉතාහාසය තමයි අදටත් මේ පවතින්නේ. ගැහැනු අපිව රවට්ටලා, පාවිච්චි කරලා, අපේ ඡන්දය අරගෙන බලයට පත්වෙලා, ඔවුන් ඒ බලය භුක්ති විඳිනවා. ගැහැනු අපි හැමදාම පීඩා විඳිනවා….”‍ මේ කතාව මාලිමාවේ ෆස්ට් ලේඩ් හරිනි අමරසූරිය කියන්නේ, නිපුනිගේ කතාවට පසු එම වේදිකාවේදීමය. මේ රටේ කාන්තාව දේශපාලනය තුළ පාවිච්චි වනවා යැයි කීම අරුමයක් නොවේය. ඉතිහාසය පුරාම, හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් සමස්ත කාන්තාවෝම පාවිච්චි කළේය. රැවැට්ටුවේය. ජවිපෙට ද එය පොදුය. එදා 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද චින්තනය කරට ගෙන වේදිකා ගානේ යමින්, ජවිපෙ නායකයන්, මහින්ද රාජපක්ෂගේ උඩුරැවුල, දේහදාරි ශරීරය, පෞරුෂත්වය ගැන වර්ණනා කළේ, මේ රටේ කාන්තාවන්ගේ ඡන්ද ඩැහැ ගැනීමට මිස මහින්ද ජනපති වූ පසු කාන්තාවට විමුක්තිය උදා කිරීමට නොවේය. හරිනිගේ උක්ත ප්‍රකාශය තුළ ඇත්තේ ද මෙකී
රැවටීමට කාන්තාවෝ හැමදාම විවිධ මාදිලි, ආකෘති මතින් රැවටෙනවා කියාය.
කොම්බිව වේදිකාව මතට ගෙනත් නිපුණි සිදු කළේ, එක මිටට රැස්කළ කාන්තාවෝ රැවටීමක්ය, නැතහොත් ජවිපෙ දේශපාලනයට එල්ල කළ සැර අතුල් පහරක්ය. එය තීරණය වනුයේ නිපුණි සතු ජවිපෙ සම්බන්ධ කියවීමට සමපාතවය. ලිපිකරුගේ දැනීමේ හැටියට නිපුණි සාරදා යනු ජවිපෙ සම්බන්ධ සැලකියයුතු කියවීමක් සහිත කාන්තාවක්ය.
එය එසේ වෙද්දී කොම්බි ලංකාවේ දේශපාලනය තුළ තොරම්බල් වීම හෝ කිරීම මේ පළමුවරට සිදුවූවක් නොවේය. එදා 2014 කාල වකවානුවේ රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශප්‍රේමය සමාන්‍යකරණය කිරීම වෙනුවෙන් නිමැවුණු ටෙලි නිර්මාණ මාලාවේ එකක් ලෙස ‘කොම්බි‘ නාට්‍යක් ලෙස දේශපාලනය තුළ තොරොම්බල් විය. ඒ වෙනුවෙන් අද මාලිමා වේදිකාවේ සිටින ප්‍රසන්නජිත් වැනි රංගධරයන් ද රංගනයෙන් දායක වුණේය.
කොම්බි සහ ජවිපෙ දේශපාලනය
දශක හයකට නොඅඩු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ මේ රටේ කොම්බිලාට තැනක් හෝ අවස්ථාවක් නිර්මාණය කිරීමට වචනයකින් හෝ දායක නොවුණේය. ඔවුන්ගේ කාන්තා විමුක්තිය කතිකාව එන්නේ ද සිය ඉලක්කගත අරමුණින් පුරුෂ දේශපාලනයට යටත්වය. කිසිදු තැනකදී කාන්තා ස්වච්ඡන්දතාවයක් හෝ කාන්තා ව්‍යවසායකත්වයක් ගැන ඔවුන්ට සටනක් නොතිබුණේය. ඒ ඔවුන්ගේ දේශපාලනයට එය එතරම් නොවැදගත් යැයි ඔවුන් පූර්ව නිගමනයක සිටින නිසාය. ඊට හොඳම නිදසුන නම්, මේ රටේ සංස්කෘතිය, කෘෂිකර්මය, කුඩා කර්මාන්ත සහ ධීවර විෂයයන් භාරව කැබිනට් වගේම නියෝජ්‍ය ඇමතිකම් දරපු ජවිපෙ ඉහළ නිලධාරී මහත්වරු කිසිවකු අපේ සමාජයේ කොම්බිලා නිර්මාණය කිරීම වෙනුවෙන් අබමල් රොනක දෙයක් සිදු නොකිරීමය.
එපමණක් නොව මේ රටේ අධ්‍යාපන අයිතිය කරතියාගෙන සටන් කරන ජවිපෙට සින්න කරගත් එකම සටන් පාඨය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයය. ඉන් ඔබ්බට අනාගතය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ව්‍යවසායකත්ව වර්ධනය කෙරෙහි වන දැනුම හෝ සමාජ සංවර්ධනය වෙනුවෙන් එකඳු සටනක් හෝ වචනයකින් සහයෝගයක් කළා යැයි සිහිකල්පනාව සහිත කිසිවකුට කිව නොහැකිය. මන්ද එවැනි යමක් 60 වසරකට ආසන්න දේශපාලනය තුළ ජවිපෙ අතින් සිදු නොවූ නිසාය. එය එසේ තිබිය දී හෙට දවසේ මේ රටේ පාලනය ඔවුන්ට භාරදිය යුතු යැයි ද එසේ ඔවුන් පාලන බලය ගත් පසු රට සුඛිත මුදිත කරනු ඇතැයි ද යමෙක් මොහොතකට හෝ විශ්වාස කරන්නේ නම් ඔහු හෝ ඇය කොම්බි නොව සොම්බියකු ලෙස නාමකරණය කිරීම සාධාරණය.
සීතා, සාරදා සහ සොම්බි
පොහොට්ටුවේ සීතා අරඹේපොලලා එදා වියත්මගක් ඔස්සේ සමාජයට බෙදා හැරියේ, මේ රට සාර්ථකත්වයේ හිනි පෙත්තටම ඔසවා තබන එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ කියාය. එසේම ගව රැලකට නායකත්ව දෙන්න සිංහයකු එන්නේ නැත, අපිත් සිංහයන් මෙන් ඒ වෙනුවෙන් ඔහු වටා එකතු විය යුතු බවය. අරඹේපොලලා එදා එසේ මනරම් සුන්දර සිහින කන්දක් සමාජ ඉදිරියේ දිග හැරියේ, ගෝඨාභය කෙරේ ඔවුන් තුළ වූ විශ්වාසය නිසාය. ඒ නිසාම සීතලාගේ වදන්වලට රැවටුණු සුවහසක් මිනිසුන් ගෝඨාභය වෙනුවෙන් සිය ඡන්දය ළකුණු කළේය. එහෙත් සීතලා එදා ගෝඨාභය ගැන විශ්වාස කළේ ඔහුගේ නායකත්ව හැකියාවේ දිග පළල ගැන කිසිදු අදහසක් ඇතිව නොවේය. එහි ප්‍රතිඵලය අභාවාචයකින් නිමා වූ අත්දැකීම ඔබ ද නොඅඩුව භුක්තිවින්ඳා නිසැකය.
නිපුණි සාරදාගේ මාලිමා වේදිකාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය දර්ශන ලියනගේ සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ, “සීතා අරඹේපොල ජාජබ වර්ෂන්… කම් ඕන්!” කියාය. නමුත් ලියුම්කරුගේ අදහස නම් සීතා මෙන් නොව සාරදා, අනුර කුමාර කෙරේ විශ්වාසයකින් කළ ප්‍රකාශයකට වඩා ජවිපෙ දේශපාලන පිළිබඳ යම් අවබෝධයක් සහිතව කළ මාලිමා ප්‍රකාශයක් බවය. එහි අර්ථය මාලිමා පාලනයක් යටතේ ඇයගේ කතාව යථාවත් වනවා යන්න නොව, මාලිමාවට එවැන්නක් සිදුකිරිමට අවස්ථාවක් නොමැති බවය. මන්ද ජවිපෙ විසින් තෝරන දේශපාලන මගක හැර මාලිමාට අලු‍ත් ගමනක් නොමැති නිසාය. එහි තීරකයා හැමවිටම ජවිපෙය. ඒ පිළිබඳ යම් කියවීමක් සාරදා සතුව තිබූ බව නිසැකය. එය එසේ නොවන්නට නිපුණි සාරදා, ජාජබ වේදිකාවේ සිට ජවිපෙට මෙවන් සැර පහර ගැසීමක් සිදු නොකරන බව සහතිකය.
එමෙන්ම ජවිපෙ තුළ පූර්ණ කාලීනව සක්‍රීය දේශපාලනයක නියුක්තව සිටි ලීනා අයරින් හපුතන්ත්‍රිලාට, සුනිලා අබේසේකර වැනි ගැහැනුන්ට ජවිපෙ පිරිමි දේශපාලනය තුළ එල්ල වූ අභියෝග මොනවාද යන්න ජවිපෙ ඉතිහාසය දන්නා අයට රහසක් නොවේ.
ජෝන් අඩම්ස් වරෙක් පවසා තිබුණේ, “එකිනෙකින් ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීම තරම් මා බිය වන දෙයක් නැත. එසේම එය විශාලතම දේශපාලන නපුර ලෙස භිය විය යුතුය.” කියාය. අපේ රටට අදාළව ගත්විට රාජපක්ෂවරු සහ වියත්මග එකාබද්ධව පිහිට වූ පොහොට්ටු පාලනයක් යටතේ අපි අත්දුටු සත්‍යය ද එයමය. එවැනි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් තිබියදී හෙට දවසේ මාලිමාව සහ ජවිපෙ ඒකාබද්ධව සිදුකරන පාලනයකින් කොම්බිලාට සුගතියක් අත්කර දේ යැයි යමෙකු විශ්වාස කරන්නේ නම් හේ හිස අහිමි කවන්ධයක් විය යුතුය. නොහොත් බොටුව මත හිසක් ඇති එහි අබ ඇටයක තරම් මොළයක් නැති සොම්බියකු විය යුතුය.

……….නවන් පතිරත්න………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *