හදන සන්ධාන සියල්ල රනිල් ජනපති කරන්න

0

1956 බල පෙරළිය සිදුකළේ ශ්‍රීලනිපය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සන්ධානය හරහා ය. 1965 එජාපයේ ආණ්ඩුව පිහිටුවනු ලැබුවේද සන්ධානයක් හරහා වන අතර ඊට කිව්වේ හත් හවුල කියාය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවද දේශපාලන සන්ධානයක්ය. 1994 දී පිහිටවූ පොදුජන පෙරමුණ ආණ්ඩුව ද සන්ධානයක්ය. අනතුරුව චන්ද්‍රිකා ජනාධිපති වූයේද මේ දේශපාලන සන්ධානයේ සහය ඇතුවය. එතෙක් පැරණි වමේ සන්ධාන දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් සිටියද ජවිපෙද සන්ධාන දේශපාලනයට පැමිණියේය. ඒ චන්දිකා පාලනයට සහය දෙමින් 2001 දී පරිවාස ආණ්ඩුව පිහිටුවමින්ය. එතැනින් නොනැවතුණු ජවිපෙ 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනඟා එම ආණ්ඩුව පිහිටුවීමටද මැදිහත් විය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවූ සන්ධානයේ ද ජවිපෙ සිටියේය. 2015 දී සිරිසේන ජනපති කරවා පිහිටවූ යහපාලන ආණ්ඩුවද සන්ධානයක් විය. 2019 දී ගෝඨාභය ජනපති කරවා 2020 දී පිහිටවූ පොදුජන පෙරමුණ ආණ්ඩුවත් සන්ධානයක්මය. ඒ අර්ථයෙන් ජාතික මැතිවරණවලදී සන්ධාන ගැසීම ලංකා දේශපාලනයේ ජාතික පුරුද්දක්ය. ඊට වාමාංශික හෝ දක්ෂිණාංශික කියා වෙනසක් නොමැති බවද පැහැදිළිය.

2024 කියන්නේ මැතිවරණ වසරක්ය. ඒ ජනාධිපතිවරණයක් මෙන්ම මහ මැතිවරණයක් ද 2024 දී පැවැත්වීමට නියමිත නිසාය. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සංවිධාන සන්ධාන හදන්න ගත්තේ 2023 වසරේ පටන්ය. නිර්ධනයන්, පීඩිතයන් ගැන කියමින් සිටි ජවිපෙ නම් සිය වාමාංශික හැඩය යටකර, දක්ෂිණාංශික ජීවන රටාවක සිටින මධ්‍යම පාංතික කණ්ඩායම් කිහිපයක් සමඟ ජාජබ හැදුවේ ඊටත් පෙර සිටය. කෙසේ වුවත් මේ වන විට ලංකා දේශපාලන කරළිය සන්ධාන විසින් උණුසුම් කරමින් ඇත. ඒ හතු පිපෙනවා මෙන් සන්ධාන හැදෙන්න ගෙන ඇති නිසාය. නමුත් ඒ බොහොමයක් පෙනුමින් සහ නමට සන්ධාන වුවත්, සැකැස්මේ සිටින්නේ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණය. ඔවුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු පමණය. ඒ කියන්නේ මේ කොයි සන්ධානයත් ජනාධිපතිවරණය ආසන්නයේ ප්‍රධාන කඳවුරු දෙකෙන් එකකට එක්වන්න සිදුවීම අනිවාර්යයක්ය. නැත්නම් සිදුවන්නේ සන්ධානය අටවාගත් කිහිපදෙනා සමඟ දේශපාලනයෙන් අතුගෑවී යන්නටය.

ඒ පළමු දැවීයාමේ මුල් ලකුණු පෙන්වමින් සිටින්නේ මාස කිහිපයකට පෙර වෙන්ඩ ජනපතිට ඇඳ සිටි ඩලස් අලහප්පෙරුමය. රාජපක්ෂ නැව ගිලෙන මොහොතේ මන්ත්‍රී පිරිසක් සමඟ එයින් පැන නිදහස සභාව අටවා ගන්නට ඩලස් සමත් වුවත් එය ආරක්ෂාකර ගැනීමට සමත්වූයේ නැත. එනිසා සිදුවුයේ ඩලස්ගේ පිරිසක් සජබට යාමය. පසුගිය වසරේ දෙසැම්බර් 28 වනදා නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, වසන්ත යපා බණ්ඩාර සහ කේ.පී.එස් කුමාරසිරි මන්ත්‍රීවරුන් 06 දෙනා සජබ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. දැන් චරිත විදිහට හෝ නිදහස සභාවේ ඉතුරුව සිටින්නේ ඩලස් සහ චරිත පමණය. ඩලස්ගේ කැමැත්ත ජවිපෙ ප්‍රමුඛ ජාජබට එක්වීමට බවට කතා ඇතත්, ඊට එරෙහිව ලාල්ලා දැක්වූ අදහස් අනුව නම් ඩලස්ට ඒ දොර විවරවීමට ඇති ඉඩ සීමිතය. ඒ අනුව දැන් ඩලස්ට ඇත්තේ සරම පැත්තකින් තියා සජිත්ට එක්වීමය. නැතිනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනගන ප්‍රතිපත්තියට සහාය දැක්වීමය. එහිදී ඩලස්ගේ තීරණය කුමක් වුවත් සජිත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කිරීම දුෂ්කරය. ඒ මේ වන විට සජිත් දේශපාලනයේ සෑම පැතිමානයකින්ම දරුණු පසුබැසීමකට ලක්ව සිටින නිසාය.

කොහොමටත් දේශපාලනය තුළ සජිත් කියන්නේ ෆේල් චරිතයක්ය. අවම වශයෙන් සජබ පිහිටුවීමට පක්ෂයක් ගැනීම සඳහා ඇතිකරගත් සන්ධානයවත් හරියට හදාගන්න සජිත්ට නොහැකි විය. ඒ නිසා දැන් සිදුව ඇත්තේ සේරම පසෙක තබා පක්ෂයේ අයිතිය වෙනුවෙන් ඩයනා ගමගේ සමඟ නඩු කියාගන්නය. අනෙක් අතට 2024 ආරම්භයේ සජිත් ශාන් විජේලාල්, චන්දිම වීරක්කොඩි සජබට ගෙන සන්ධාන සැලු‍න් දොර විවෘත කළත්, එය දේශපාලන කුල මෙහෙයුමක් බව තහවරු විය. කුලය පදනම් කරගෙන සජිත්ගේ දේශපාලනය පෙරට ගැනීම ගැන පක්ෂ අභ්‍යන්තරය තුළද දරුණු විවේචන එල්ලවූ බව රහසක් නොවේය. අනෙක් අතට, ජාතිවාදය දේශපාලන අත්පොත කරගත් චන්න ජයසුමන වැන්නන් සමගි සන්ධානයට ගැනීම ගැන ඊට එක්ව සිටින සුළු පක්ෂ නායකයන් ද සිටින්නේ කළකිරීමෙන්ය.

නාලක ගොඩහේවා වැනි ගෝඨාභයගේ උපදේශකයන් ගෙන් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය කණපිට හැරවීම ගැන පක්ෂයේ දැන උගත් දේශපාලනඥයන් සිටින්නේද කළකිරීමෙන්ය. දයා රත්නායක ද පක්ෂයට ගැනීමත් සමඟ ඊට අදාළ විරෝධය ප්‍රසිද්ධියේ දක්වා සිටියේ අනෙකකු නොව සජබ සභාපති සරත් ෆොන්සේකා ය. එහිදී ෆොන්සේකා කිව්වේ “දැන් ඉතින් ගෝඨාභයත් ගත්තා නම් හරි”‍ කියාය. එසේම තමන් රනිල් සමඟද වැඩකර ඇති නමුත්, ඔහු ළඟ “මේ වගේ තුට්ටු දෙකේ වැඩ නෑ”‍ කියාය. බලය නැති කළ සජිත් හැසිරෙන්නේ ඔහොම නම් බලය වැරදීමකින් හෝ ලැබුණොත් යන්න වෙන්නේ යළිත්, 80 දශකයේ අග භාගය සහ 90 දශකයේ මුල් භාගය නියෝජනය කරන “ශ්‍රීමත්”‍ ජවුසමට බව හොඳටම විශ්වාසය. 2019 ජනාධිපතිවරණය අවස්ථාවේ “ශ්‍රී මුඛය”‍ ලෙස එළියට පැන්නේ ද ඒ අවිඥානික පෙළඹුමය. ඒ අස්සේම සජිත් ඥාති සංග්‍රහයට ද බැස්සේ චමින්දට ඉල්ලා අස්වීමට සලස්වා තම බිරිදගේ සල්ලිකාර මස්සිනා වාසල තන්ත්‍රි පාර්ලිමේන්තුවට ගනිමින්ය.

සන්ධාන හැදීම ගෝනියකට පොල් එකතු කිරීමට වඩා දෙයක් බවත්, බලය ලබාගැනීමට සන්ධාන ගහන අය පිළිබඳ පරිස්සම් විය යුතු බවත් කිව්වේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. එදා ජේ.ආර්. ඒ දුන්න ඔවදන ආර්. ප්‍රේමදාස තේරුම් නොගත් අතර ඔහු වරද්දා ගත්තේද කුල පදනම කරට ගැනීම මෙන්ම වැරදි පුද්ගලයන් සමඟ සන්ධාන ගතවීමෙන්ය. එදා පියාණෝ කළ වරදම අද පුතාණෝ ද කරමින් සිටීම ජන්ම ගතියදැයි දන්නේ නැත.

ඒ කතා මොනවා වුනත් මේ ආකාරයට සජිත් නටන පිස්සු ඉවසාගෙන ඔහුව ජනාධිපති කරන ඊටත් වැඩි පිස්සුවක් සජබ බහුතරයට ඇතැයි සිතිය නොහැකිය. ඒ අනුව සජබ විකල්ප කණ්ඩායම හෝ සැබෑ සජබ පෙරමුණක් ලෙස ඔවුන්ට ඇති එකම තෝරාගැනීම නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනගන වැඩපිළිවෙලට සහාය දීමය.

විමල්ලා ගම්මන්පිලලා ඇතුළු උත්තර ලංකා සන්ධානය ද මේ මොහොතේ ඉන්නේ කට උත්තර නැතුවය. ඔවුන්ටද තනියම ගමනක් කොහෙත්ම නැත. ඩලස්ලා විමල්ලා එක්වූවා කියාද කළ හැකි කජ්ජක් නැත. තෝරාගැනීම් ද කිහිපයක් නැත. එක්කෝ ඔවුන් තම ඊනියා ජාතිකවාදී හැව අත්හැර, ඔවුන්ද රහසින් රස කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට සහාය දැක්වීමය. නැතිනම් සජිත් මෙන් දේශපාලනයෙන් අතුගෑවී යාම තෝරාගැනීමය. හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ලා, අර්ජුනලා හදාගෙන යනවා කියන සන්ධානයට නම් තිබෙන එකම මාර්ගය, අපේක්ෂකත්වය පවා නොලැබෙන සජිත් සමඟ එක්ව දේශපාලනයෙන්

අතුගෑවී යාමය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකාද, ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කලකට පෙර පිහිටුවන ලද පොදු පෙරමුණ නැවත පණගැන්වීමට පියවර ගනිමින් හදන සන්ධානයක් ගැනත් අසන්නට ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ සාකච්ඡා මේ වන විට සාර්ථකය. එසේම මේ වන විටත් අනුර යාපා – නිමල් ලන්සා මුලිකත්වයෙන් ගොඩනගා ඇති නව සන්ධානය ද මේ චන්ද්‍රිකා – ශ්‍රීලනිප සන්ධානය සමඟ සන්ධාන ගතවීමේ සාකච්ඡා සිදුවන බවත් දැනගන්නට ඇත.

කොහොම නමුත් 2024 ජනවාරි 01වනදා නව සන්ධානයේ රාජගිරිය මුලස්ථානයේ පැවති නව වසරේ සිය මෙහෙයුම් අරඹමින් පිරිස ඇමතූ මන්ත්‍රී නිමල් ලන්සා කිව්වේ “මෙදා සැරේ ජනාධිපතිවරණෙ දී රනිල් වික්‍රමසිංහ දිනවන්න, අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා” කියාය.

එහිදී මන්ත්‍රී ලන්සා වැඩිදුරටත් කියා සිටියේ “ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් විදියට ජනාධිපතිතුමාට සහය දෙනවා. ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැළඳ ගන්න සිදුවුනා. අපි කියපු දේවල් කරපු අය ටිකෙන් ටික උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලු‍වන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස්වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ.”‍ කියාය.

එසේම “අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලු‍වන්. බොරු කියන්න පුලු‍වන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලු‍වන්. හැබැයි කරන්න බැහැ.” කියාය.

මේ අවස්ථාවට නව සන්ධානයේ මෙහෙයුම් නායක මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා සහ ප්‍රියංකර ජයරත්න ද

සහභාගීව ඇත. මේ වන විට ඊට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්ව හමාරය. ඒ අනුව නව සන්ධානයේ සහාය ජනපති රනිල්ට බව පැහැදිළිය. ඔවුන්ගේ මෙහෙයුම එතන නම්, චන්ද්‍රිකා – ශ්‍රීලනිප සන්ධානය සමඟ යළි සන්ධාන ගත වන විට එහි සහයත් ජනාධිපති රනිල්ට මිස වෙන කාටවත් විය නොහැකිය.

දිනපතා බිහිවෙන මේ සන්ධාන අස්සේ, පොදුජන පෙරමුණ ද සන්ධාන ගැනත් අපේක්ෂකයන් ගැනත් විවිධ ප්‍රකාශ සිදුකරමින් ඇත. කෙසේ වුවත් එහි ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්විය යුතු බවය. මේ වන විට ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරුන්

රැසක්ද ඒ ගැන ප්‍රසිද්ධියේ කියා හමාරය. එපමණක් නොව, පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකුම රනිල් යළිත් ජනපති කරන සටන මෙහෙයවීමට මෙහෙයුම් කාර්යාල පිහිටුවා ඒවායේ වැඩ රාජකාරිද ආරම්භ කර ඇත. ඒ අනුව පොදුජන පෙරමුණ වටා ගොඩනැගෙන සන්ධානයේ සහායද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනගන වැඩ පිළිවෙලට ලැබෙන බව ස්ථිරය. මේ අතර එජාපය ද පක්ෂයක් ලෙස තම නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන බවට ප්‍රසිද්ධ කර හමාර අතර, එහි ජ්‍යෙෂ්ඨයන්ද එජාපය වටා බලවේග එක්

රැස් කරන කටයුතු ආරම්භ කර ඇත. එයද, පක්ෂ, සංවිධාන, පුද්ගල පාර්ශව ඇතුලත් සන්ධානයක් ලෙස වර්ධනය වෙමින් ඇත.

මේ ආකාරයට පසුගිය අරගලයෙන් අනතුරුව බිහිවූ නව දේශපාලන රසායනය තුළ ඇතිවන නව සන්ධාන සියල්ලගේ පාහේ සිය අවසන් තෝරාගැනීම බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙල පත්ව ඇත. උතුරේද විශේෂ අවධානයක් මේ සඳහා ලැබී ඇති අතර ඒ අනුව මුස්ලිම් පක්ෂ නායකයන්ටද තීන්දුවක් නොගෙන සිටීමට බැරි තත්වයක් නිර්මාණය කෙරෙමින් ඇත. ඉතිහාසයේ කසළ බඳුන උරුම කිහිපදෙනෙකු ඊට අදාළ සිය තෝරා ගැනීම වශයෙන් සජිත්ට එක්වනු දකින්නට ඇත. එවැන්නන් ඉදිරියටද දකින්න ලැබෙනු ඇත. නමුත් සියලු‍ භේද පසෙකළා බහුතරය ගොඩනැගෙමින් සිටින්නේ, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ලක්ව, මුළුමනින්ම ඇදවැටුණු රට ගොඩගත් වැඩපිළිවෙල වටාය. එම වැඩපිළිවෙළේ ඊළඟ අදියර ගොඩගත් රට ශක්තිමත් කිරීම වන අතර බහුතරය කඳවුරු බඳින්න ගෙන ඇත්තේ ඒ වටාය. ඒ අනුව කවුරු කොහොම සන්ධාන හැදුවත් ඒ සියල්ල සේවය කරන්නේ රනිල් වික්‍රමසිංහ ආයෙත් ජනාධිපති කරන්නට බව පැහැදිලිය. “‍හදන සන්ධාන සියල්ල – රනිල් ජනපති කරන්න”‍ කියන්නේ ඒකටය.

…..කුසල් ජයම්පති…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *