හොඳම නැකත රනිල් හෙළි කරයි

0

මැතිවරණ උණුසුමට සමාන උණුසුමක් මේ වන විට අලු‍ත් අවුරුදු නැකත් ගැනද ඇතිව තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ ද මේ කතාවට ඇදී ආවේ දේශපාලන කැබිනෙට්ටුව අවසානයේ ‘අලු‍ත් අවුරුදුත් කාලා, වෙසකුත් බලලා වැඩ පටන් ගමු නේදැයි’ කළ විමසීමත් සමඟය.
“අලු‍ත් අවුරුදු නැකත ගැනත් දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා. කට්ටියක් ආහාර අනුභව කරන නැකත රෑට දැම්මට විරුද්ධයි.” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීවේ මැතිවරණ කතාව අස්සේය.
“හොදම නැකත තිබ්බේ නිදහස ගන්න වෙලාවේ. ඩී.එස්. සේනානායක මහත්තයා හොඳම නැකතට තමයි නිදහස ගත්තේ.” ජනපති රනිල් කී විට සැවොම මුහුණට මුහුණ බලා ගත්තේය.
“ආණ්ඩුවට මේ ගැන කරන්න දෙයක් නෑනේ. නැකත් හදන්නේ ජාතික නැකත් කමිටුවෙන්. එදා ඈපා පංචාංගය අනුව තමයි මිනිස්සු නැකත් බැලු‍වේ. ජාතික කමිටුවත් ඒ අනුව තමයි මේ නැකත් හැදුවා කියන්නේ.” ඇමති ප්‍රසන්න කීවේ ජනපති දෙස බලමිනි.
“සර් මොකක්ද අර හොඳම නැකතක් ගැන කීව්වේ.” මහින්දානන්ද ද විමසා සිටියේය.
“අපිට නිදහස ලැබුණේ 1947 අගෝස්තු මාසයේදි. නමුත් ඩී.එස්. සේනානායක උත්සවය සංවිධානය කළේ පෙබරවාරි මාසේ හොඳම නැකතට. අපිත් එක්කම නිදහස ලැබුණු මියන්මාරය අපිට කළින් නිදහස් සැමරුම ගත්තා. තාමත් රට දුවන්නේ ඒ හොඳම නැකත හින්දයි.” රනිල් කීවේ නළල රැළි කරමිනි.

රනිල්ගේ මැතිවරණ මෙහෙයුම

ජනපති රනිල් සුපුරුදු පරිදි සඳුදා කාර්යාලයට පැමිණියේ වැඩ රාජකාරී වෙනුවෙනි. පළමුව මාධ්‍ය කමිටුව හමුවූ ඔහු දහවල් දේශපාලන කැබිනෙට්ටුව මුණ ගැසිනි. එම කමිටුව මුණ ගැසුණු ජනපති රනිල් එම කමිටුව තවදුරටත් පුළුල් කිරීම ගැන කතා කළේය. එහිදි අගමැති දිනේෂ් මෙන්ම අනෙකුත් පක්ෂ නියෝජනය වන පරිදි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් කරගන්නා ලෙස නම් කිහිපයක් ද කියමින් ජනපති ප්‍රසන්නට උපදෙසක් දුන්නේය.
කමිටුව සෑම බදාදාවකම අගමැතිගේ ප්‍රධානත්වයෙන් රැස්වන ලෙසත් එහි ප්‍රගතිය සෑම සඳුදාවකම කැබිනට් හමුවට පෙර තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී, ලබාගැනීමටත් ජනපති රනිල් තීන්දු කළේ එහිදීය. ඊට අමතරව මැතිවරණය ගැන කාරණා ගණනාවක් සාකච්ඡා වූ අතර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාමාජිකයන් කිහිප දෙනෙකු පත් කිරීමට ද හෙතෙම පියවර ගත්තේය.

රට පැන්න මැතිඇමැතිවරු ගෙන්වයි

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අමතරව කතානායකගේ විශ්වාසභංගය ගැන ද මෙහිදි කතාබහට ලක්වූවේ ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ ලේඛනයක් මතය.
ඒ මේ වන විටත් විදෙස් ගතව සිටින මැති ඇමතිවරුන්ගේ ලේඛනයකි. ඔවුන් ආණ්ඩු පක්ෂ සංවිධායක දැනුම්වත් නොකර විදෙස් ගතව ඇති බව හෙළි වූවේ මෙහිදීය. වහාම මේ මැති ඇමතිවරු දුරකතනයට සම්බන්ධ කරන ලෙස ජනපති උපදෙස් දුන්න ද ඔවුන් සිටින රටවල කාල වේලාවේ වෙනස අනුව එය කළ නොහැකි විය.
වහාම විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධනව දුරකතනයට සම්බන්ධ කර ගත් ජනපති රනිල් ඇයට කීවේ විදේශ තානාපති කාර්යාලවලට කතා කොට වහාම ලංකාවට එන ලෙස තමන් උපදෙස් දුන් බව මේ අයට දැනුම් දෙන ලෙසටය.

විපක්ෂය කාපු ලණුව

එහිදි තවත් ප්‍රශ්නයක් මතුවූවේ විශ්වාසභංගයේ ඡන්දය විමසන දිනය වන බදාදා වනවිට ඔවුනට නැවත ලංකාවට පැමිණිය හැකිවේද යන කාරණයයි. ඊට ජනපති රනිල් කදිම උපායක් යෙදුවේය.
“පක්ෂ නායක රැස්වීමේදි විපක්ෂය විවාදයට දින 3ක් ඉල්ලලා තිබුණා නේද? ඒ දින තුන අපි දෙනවා කියලා කියන්න.” ජනපති රනිල් කී පසු ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න එය ක්‍රියාත්මක කළේ නැවත පක්ෂ නායක රැස්වීමක් ඉල්ලීමෙන් අනතුරුවය.
ඉන් පසු ජනපති රනිල් විසින් විවාදයේදි කතානායකට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන චෝදනා දෙක කඩන්න අවශ්‍ය තොරතුරුද ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති ප්‍රසන්නට දුන්නේ මන්ත්‍රීවරුනට ලබාදෙන ලෙස කියමිනි.
එසේම මින් ඉදිරියට ආණ්ඩු පක්ෂ සංවිධායක දැනුම්වත් නොකර විදෙස් ගත නොවන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්නැයි ජනපති උපදෙස් දුන්නේය. මෙහිදි කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල මැතිවරණ සංවිධාන කටයුතු ගැන ලේඛනයක් කමිටුවට ඉදිරිපත් කළේය. එහිදි කමිටු සාමාජික මැති ඇමතිවරු කීවේ ඉදිරියේදි එන ඡන්දය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ගැටළුවක් පවතින බවය.
එම නිසා ඒ ගැන ප්‍රකාශයක් කරන ලෙස මහින්දානන්ද කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනපති රනිල් කීවේ “මම මේක කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන්නම්” කියාය. “මේක ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීත් කියන්න පුළුවන් නම් හොදයි.” මහින්දානන්ද යළි කී අතර ජනපති රනිල් ඒ අනුව ඇමති මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම දැනුම්වත් කළේය.
ආණ්ඩු පක්ෂ රැස්වීම අවසානයේ ජනපති අසලට පැමිණි මැති ඇමතිවරු කිහිපදෙනෙකු කීවේ මන්ත්‍රීවරුන්ට බදාදා නෙළුම් මාවත කාර්යාලයට එන ලෙස බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවයි. “අපි අපේ මතය කියනවා.” මන්ත්‍රීවරු කියද්දී ජනපති සිනා සුනා මිස කිසිවක් කීවේ නැත.

IMF එකෙන් රනිල්ට පැසසුම්

එදින සවස ජනපති රනිල් අයි.එම්.එෆ් නිලධාරීන් මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී ය. දෙවන සමාලෝචනයට ඔවුන් මෙරටට පැමිණ සිටි අතර ආර්ථික වර්ධනය හොඳ තත්ත්වයක තිබෙන බවත් සංචිත වර්ධනය කර ගෙන ඇති බවත් උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පහළ අගයකට ගෙන ඇති බවත් ඔවුන් මෙහිදි කියා සිටියේය. අමාරු අවස්ථාවේ රට බාර ගෙන කළ සාර්ථක වෙනස්කම් ගැන ඔවුන් ජනපති අගය කළේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ මූණ ගැසීමෙන් පසු නැවත රජය මුණ ගැසෙන බව කී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වා ලෝකයටම මෙම කාරණය ප්‍රකාශ කරන බව ද දැනුම් දුන්නේය.

කෝන්වැවෙන් ආ නෑදෑයෝ

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයට ගියේ සතියේ ආරක්ෂක සමාලෝචනය වෙනුවෙනි. කෘතිම බුද්ධිය පාසල් ක්ෂේත්‍රයට හදුන්වාදීමට අදාළව මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ සාකච්ඡාවක් පැවැතියේ ඉන් පසුව ජනපති කාර්යාලයේදීය.
එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත අමුත්තන් පිරීසක්, නෑගම් ආවේ මේ අතරවාරයේය. ඒ ආණමඩුව අති දුෂ්කර ගම්මානයක් වන කෝන්වැව ප්‍රාථමිකයේ දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන්ය. කැවිලි පෙට්ටි 7 ක් ද රැගෙන අවුරුද්දට පෙර ඔවුන් නෑගම් පැමිණ තිබුනේ ජනපති, ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු නෑ සනුහරේ දැකබලා ගැනීමටය.
කෝන්වැව ප්‍රථමිකය වෙනුවෙන් ලක්ෂ 20 ක මුදලක් වැය කර ගොඩනැගිල්ලක් ඉදිකළ අතර ගුරුවරුන් රඳවා ගැනීම වෙනුවෙන් ගුරු නිවාසයක් ද ඉදිකිරීමට මුල පිරුණේ ජනපති ලේකම් සමන් ඒකනායක ගේ මැදිහත්වීමෙනි. මේ දරුවන්ට ජනාධිපති කාර්යාලය, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ නැරඹීමට පහසුකම් සැලසුනේ ජනපති උපදෙසිනි.
දරුවන් කොළඹ පැමිණියේ සිය ඥාතීන් බැලීමට පැමිණෙන හැඟීමෙන් බව පසක් වූවේ ඔවුන් ගෙනා කැවිලි දැකීමෙනි. දරුවන් ජනපති ලේකම්ට වැද යද්දී කාගෙත් ඇසට කඳුළක් මුහු වුණේ ඉබේටමය. ජනපති කාර්යාලයේ නිලධාරීන් මේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් හඳුන්වා දුන් ශිෂ්‍යත්ව වැඩසටහන ගැනද කියා දුන්නේ එයට ඉල්ලු‍ම් කරන ලෙස කියමිනි.

එජාප මැයි සැමරුම මරදානේ

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ නිලධාරින් සවස මුණ ගැසුණු රනිල් පක්ෂයේ මැයි දිනය ගැන කතා කළේය. මරදාන හා නිදහස් චතුරශ්‍රය යන ස්ථාන දෙක ගැනම යෝජනා පැමිණ තිබෙන බැවින් එම ස්ථාන දෙකම තාවකාලිකව වෙන්කර ඇති බව කී මහලේකම් රංගේ දෙකින් එකක් ඉක්මණින් තෝරාගත යුතුව ඇතැයි දැනුම් දුන්නේ කළමනාකරණ කමිටුවටය. මෙහිදි ජනපති රනිල්ගේ තීන්දුව වූවේ මැයි දිනය මරදාන ජයන්ත වීරසේකර මාවත මධ්‍යයේ පැවැත්විය යුතු බවටය. ඒ අනුව එහි පැවැත්වීමට තීන්දු කෙරිනි.
ආසන වෙනුවෙන් කළාප සංවිධායකවරුන් 1000 ක් පත් කරන බැවින් ඒ සෑම සංවිධායකයෙකුටම මැයි දිනයට 60 ක පිරිසක් සහභාගී කරවන ලෙස දැනුම් දී ඇතැයි කී මහලේකම් රංගේ අනුරාධපුර පැවැත්වීමට නියමිත තරුණ සමුළුව ගැන ද කීවේය.
“හැමදාම මෙතන පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළත් ඉන් එහාට වැඩ කෙරෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක විතරයි. එම නිසා තමන්ට මේ ගැන මට වාර්තාවක් දෙන්න” යැයි පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්ට ජනපති නියම කළේ රැස්වීම අවසානයේදීය.
සවස ජනපති රනිල් හා බිරිද මහාචාර්ය මෛත්‍රි කොළඹ ලයනල් වෙන්ට් රඟහලට ගියේ “මයි ටි්‍රබියුට්” ප්‍රසංගය නැරඹීමටය.

ගුත්තිලයේ කවිය

බදාදා පෙරවරුවේ කෑගල්ල ටැම්පිට පුරාණ රජමහා විහාරයේ බෝධි ප්‍රකාරය විවෘත කළ ජනපති කෙලින්ම පැමිණියේ පාර්ලිමේන්තුවටය. කතානායකට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංගය ගැන සොයා බැලූ ජනපති ඉන් පසුව තමන් මුණ ගැසීමට පාර්ලිමේන්තු කාර්යාලය වෙත පැමිණි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සුහද පිළිසඳරක යෙදුණේය.
එහි පැමිණි නිමල් සිරිපාල ඇමතිවරයා ජනපතිට ගුත්තිල කාව්‍යයේ කවියක් කියමින් දුදනන්ට උදව් කරන්න එපා යැයි ජනපතිට කීවේ මහාචාර්ය ආශු මාරසිංහ දෙසද බලමිනි. ආශු කීවේ ඔය කවිය පාර්ලිමේන්තුව ඇතුලෙත් කියන්න කියාය. ඔහුගේ ඉල්ලීම ඉටු කරමින් ඇමති නිමල් එය පාර්ලිමේන්තුවේදි කීවේ විපක්ෂ නායකට ඇනුම්පදයක් ද එකතු කරමිනි.
මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මෙහිදි විමසා සිටියේ කෝප් කමිටු විපක්ෂ සාමාජිකයන් ඉල්ලා අස්වීම ගැනය. එය තමන්ගේ වපසරියෙන් පිටත තිබෙන කරුණක් බව කී ජනපති පාර්ලිමේන්තුවෙන්ම මෙය විසඳාගැනීම යහපත් බව පෙන්වා දුන්නේය.
එදින සවස ජනපති ගාමිණි දිසානායක ගුණසමරුවට එකතු වූ අතර බ්‍රහස්පතින්දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයට ගිය ජනපති රනිල් එහිදි අයි.එම්.එෆ් දූත මණ්ඩලයේ අවසන් සාකච්ඡාවකට එකතු වූවේය. එය අවසානයේ ජනපති රනිල් එහි සිටි පිරිසට කීවේ රට බංකොලොත් බාවයෙන් මිදීමේ පෙරමඟ සළකුණු පහළ වූ බවය.

…….Mediaman……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *