නව විදේශ ප්‍රතිපත්තිය තුළ සාමකාමීත්වයට ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකාව ආදර්ශමත් වෙනසකට අවතීර්ණ වෙනවා

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් සඳහා පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමගින් සාම සාධක කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ පමණක් සම්බන්ධ කිරීමේ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් බැහැර වන අතර එම කටයුතු රටේ ආරක්‍ෂක මෙන්ම විදේශ ප්‍රතිපත්ති රාමුවේද අනිවාර්ය අංගයක් වනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වර්ණ ප්‍රති ප්‍රදානය කිරීමේ සහ විසිරයාමේ පෙළපාලියට සමගාමීව පැවති අවසන් ඉදිරිපත් කිරීමේ රාත්‍රිය අමතමිනි.
සාම්ප්‍රදායික දේශපාලන සබඳතාවලින් ඔබ්බට විහිදෙන ගෝලීය ප්‍රවේශයක් අවධාරණය කරමින් නව විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයන් පිළිබඳව මෙහිදී කරුණු දැක්වූ ජනාධිපතිවරයා සාමය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාස සහ වෙනත් විවිධ ගෝලීය බලපෑම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා උපාය මාර්ගයේ කේන්ද්‍රීය කුළුණු වන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,
1978 දී මම යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ යුද හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ සිදු කරමින් එවක යුද හමුදාපති දිවංගත ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා දියතලාවේ හමුදා ඇකඩමියක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.
එතුමා එවකට ආරක්ෂක ඇමති වූ ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාටද මේ බව දැනුම් දුන් අතර ඒ අනුව අප මෙම ඇකඩමිය ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළා. මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා දියතලාවට ලබා දිය හැකි හොඳම දේ, හමුදා ඇකඩමිය බව.
මේ අවස්ථාවේදී මෙතැන රැස්ව සිටින අනාගත නිලධාරීන් විසින් සිදු කළ ඉදිරිපත් කිරීම්වලට සවන් දෙන විට, අප එදා ගත් නිවැරදි තීරණය පිළිබඳව මෙන්ම මෙම ඇකඩමිය පිළිබඳවත් ආඩම්බර විය හැකියි .
මා මීට දින කිහිපයකට පෙර සඳහන් කළ පරිදි, හමුදාවක ගුණාත්මක භාවය පවතින්නේ එහි නිලධාරීන් සහ ඔවුන්ගේ හැකියාව තුළයි. එය ඔවුන් අත්කර ගනු ලබන්නේ මේ අයුරින් ලබන පුහුණුව තුළයි.
වෘත්තීය යුද හමුදාවක් ඇති කිරීමට නම් ආධුනික පුහුණු කඳවුරේ සිට උසස් නිලධාරීන් බිහි කරන ස්ථානය දක්වා සියළුම අංශ නිසි පරිදි නඩත්තු කළ යුතුයි. කොතරම් උසස් මට්ටමේ යුද උපකරණ තිබුණත් නිසි පුහුණුවක් නොමැති නම් එම උපකරණ තිබීමෙන් ඵලක් නැහැ.
අනෙක් අතට, උසස් උපකරණ තිබුණත් නැතත් උසස් පුහුණුවක් තිබේ නම් , එම උපකරණවල අඩුපාඩු පවා මඟහරවා ගත හැකියි. සියල්ලටම පදනම වන හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබීම ශ්‍රී ලංකාවේ අපට විශේෂ වාසියක් වෙනවා. එම නිසා මෙතනට පැමිණෙන පිරිසත් එලෙස හොඳ අධ්‍යාපනයක් ලබා පැමිණෙන අයයි.

සාම සාධක කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් අප කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟයි. අප එය මෙරට ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තියේ සමස්ත කොටසක් ලෙස සැලකුවේ නැහැ. මෙහිදී අප කළ වෙනස එයයි. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ මෙන්ම අපගේ ආරක්ෂක ප්‍රතිපත්තියේද කොටසක් විය යුතුයි.
එබැවින්, උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය තුළ, මූලිකවම සාම සාධක, දේශගුණික විපර්යාස, මෙන්ම ජාත්‍යන්තර සබඳතාවයන්හි අපට වැදගත් බොහෝ අංග ඇතුළත් කෙරෙනවා.
එය තවදුරටත් දේශපාලන සබඳතා හෝ දේශපාලනය පමණක් නොවේ. මේ සම්බන්ධයෙන්, අපගේ අසල්වැසියන්ට, විශේෂයෙන් මාලදිවයින සහ අප්‍රිකානු රටවලට ලබා දිය හැකි සේවාවන් පිළිබඳ දැනුවත් කරන ලෙස මම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ සේවා අණ දෙන නිලධාරීන්ට දැනුම් දුන්නා.
එසේම මම රාජ්‍ය අමාත්‍යවරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මේ රටවලට ගොස් අපගේ තීරණය පිළිබඳව දැනුම් දෙන ලෙස පැවසුවා.
අද ඔබ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සුබ පතන අතර , එම නිර්දේශ අනිවාර්යයෙන්ම මා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය නොමැති නම් මේ කිසිවක් කළ නොහැකි බව මම ඔබට මතක් කරන අතර එබැවින් මුදල් අමාත්‍යාංශයද ඇතුළත් කර මෙම යෝජනා වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට කැමතියි.
සාම සාධක හමුදාව තුළ ශ්‍රී ලංකාව විශාල කාර්යභාරයක් ඉටු කරනු දැකීමට මම කැමතියි. නමුත් සාම සාධක භූමිකාවම වෙනස් වෙමින් පැවතීම ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙය 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන අවස්ථාවේ කටයුතු කළ ආකාරයට වඩා වෙනස් වී තිබෙනවා .
1956 දී බ්‍රිතාන්‍යය අසාර්ථක වන තුරු එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් ලෙස පැවතුණා. එම ගෝලීය ස්ථාවරය අවසන් වීමත් සමඟම එක්සත් ජනපදය සහ සෝවියට් සංගමයේ එකඟතාව අනුව සාම බලකාය යෙදවීම වඩාත් පහසු වුණා. ඒ නිසා බොහෝ ප්‍රදේශවල සාමය ස්ථාපිත කළ හැකි වුණා.
මට මතකයි උදාහරණයක් ලෙස කොංගෝවේ සිවිල් යුද්ධය අවස්ථාවේ අප හමුදාවක් යැව්වා.
අද තත්ත්වය ඊට වඩා වෙනස්. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එක්සත් ජනපදය හා චීනය එකට වැඩ කළ යුගය නිම වී තිබෙනවා.
සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, සාම්ප්‍රදායික සන්ධාන විසුරුවා හැරීමට සහ ස්වාධීන කණ්ඩායම් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් බිහි වුණා.
අද භූ දේශපාලනයේ සංකීර්ණත්වය තුළ ඇත්ත වශයෙන්ම, අප්‍රිකානු සංගමය සමහර සාම සාධක ප්‍රයත්නයන් සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම භාරගෙන තිබෙනවා. එය මේ වන විට තව දුරටත් ගැටළුකාරී තත්ත්වයන් ඇති කර තිබෙනවා.
ඒ වගේම අද එක් පසෙකින්, යුක්රේනයේ යුද්ධය තිබෙනවා. එය ‍විසඳුමකට පැමිණීමට අපොහොසත් වී ඇති නිසා එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව සහ බටහිර අතර අස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. ආර්ථික සම්බාධක පැනවූවත් රුසියාව එයින් ඇද වැටුණේ නැහැ. කෙසේ වුවත් එයින් රුසියානු සංචාරක කර්මාන්තයේ සහ ආයෝජනවල වැඩි වීමක් පෙන්නුම් කළා.

එය දැන් මැදපෙරදිග සහ බටහිර ආසියාවට මෙන්ම අපේ රටටද පැමිණෙමින් තිබෙනවා. මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ගේ වැඩි වීමත් සමඟ ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට පවා උත්සාහ කරන බව පෙනෙනවා.
අනෙක් ගැටළුව ඇත්තේ තායිවානයේයි. ඇමරිකාව ස්වාධීන රාජ්‍යයකට සහාය පළ කිරීමත් සමඟ දැන් ඔවුන් ෂැංහයි ගිවිසුමෙන් ඔබ්බට ගොස් තිබෙනවා. එය තවත් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ සමඟම ඉන්දියන් සාගරයේ චීනයේ භූමිකාව වෙනස් වෙනවා. ඒ සමඟ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව තවත් සංවිධානයක් පිහිටුවා තිබෙනවා.
ඒ සමඟ තවත් ගැටුමක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ ගාසා තීරයේ යුද්ධයයි.
එය රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් අවුලුවන ලද යුද්ධයක්. මේ යුද්ධයේදී අප දුටුව නරකම දේ නම් විශාල මිනිස් සංහාරයක් සිදු වීමයි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සඳහා මැදිහත් වීමට ඇති සීමාවන්ද කණස්සල්ලට හේතු වෙනවා. මේවා තමයි අපිට තිබෙන ප්‍රශ්න.
බටහිර ඉන්දියන් සාගරයේ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සමඟ අපට මුහුණ දීමට සිදු වී ඇති ගැටළු යුද්ධයට වඩා සංකීර්ණ වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටද ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව පෙනී යනවා.
ඒ අනුව දේශපාලනය පරිණාමය වන විට එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවල ස්වභාවය ද වෙනස් වන බව පෙනෙනවා. එබැවින් සාම සාධක මෙහෙයුම් භූ දේශපාලනය අනුගමනය කරන බව සැමවිටම මතක තබා ගන්න. නමුත් භූ දේශපාලනය සාම සාධක මෙහෙයුම් අනුගමනය කරන්නේ නෑ.
ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එය පරිවර්තනය වන ආකාරය ඔබට දකින්නට ලැබෙනු ඇතියි. නමුත් එයින් අදහස් වන්නේ අප එයින් ඉවත් විය යුතු බව නොවේ.
මෙය අවබෝධ කර ගනිමින්, 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරන විට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් මීට සම්බන්ධ කර ගැනීමට අප සැලසුම් කළ යුතුයි. එය ඔබට බාරයි.
ඒ වගේම මෙහි සිටින අනාගත නිලධාරීන් ගෙන් එක් අයකු හෝ , එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල යට සම්බන්ධ වන්නේ නම් එය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ඉතා වැදගත් වනු ඇතියි. එය ඔබ ලබන අත්දැකීම්වලට තවත් දෙයක් එක් කර ගැනීමක් වනු ඇතියි. දෙවනුව, වෙනස් වන භූ දේශපාලනයට අනුව, වෙනස් වන මෙහෙයුමකට ඔබ සූදානම් විය යුතුයි.

ජනාධිපති මාධ්‍ය අංශය

2023/12/18