පාස්කු ප්‍රහාරයට වසර පහයි – දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී අදට (21) වසර පහක් ගත වීම හේතුවෙන් දේවස්ථානවල පැවැත්වෙන ආගමික වැඩසටහන්වලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් ඒ සදහා යොදවා ඇති බවයි.

ඒ අනුව කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සර්ව ආගමික නායකයින්ගේ සහ තානාපති වරුන්ගේ සහභාගීත්වයෙන් සැමරුමක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, කටුවපිටිය දේවස්ථානයේ උදෑසන 8.45 ට සහයක රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක් ද පැවැත්වේ.

මීට අමතරව පස්වරු 3 ට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් භූමීයේදී ද සැමරුමක් පැවැත්වෙන අතර පස්වරු 3.30 ට මාරිස්ටෙල්ලා භූමීයෙන් පටන්ගෙන කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානය දක්වා කාදිනල් හිමිපාණන්, රදගුරු තුමන්ලා, සර්ව ආගමික නායකයින් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් පාගමන ද පැවැත්වෙනවා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලුම රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන යාච්ඥා මෙහෙය කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.