බේදයකින් තොරව පීඩාවට පත් වූ සියලු‍දෙනාට ප්‍රතිලාභ ද හිමිවිය යුතුයි ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කිසිවෙකු මග හරින්නේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ ජාතික උත්සවයේදී කියයි

රටේ මෙන්ම ජනතාවගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යෑමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු‍ ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලු‍දෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21දා) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.