වාසනා මුට්ටිය බිඳීම හා සහෘදයාට කිරි කැවීම ගැන රටම කතා වුණා – රාජ්‍ය ඇමැති අනූප පස්කුවල්

ආබාධිත ජනතාව වෙනුවෙන් සිංහල අවුරුදු උත්සව අවස්ථාවලදී මෙතෙක් පැවති කණා මුට්ටිය බිඳීම සහ කණාට කිරි කැවීම යන ඉසව් වාසනා මුට්ටිය බිඳීම සහ සහෘදයාට කිරි කැවීම ආකාරයෙන් වෙනස් කිරීම රටම කතාවෙන වෙනසක් බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පස්කුවල් මහතා පැවසීය.

එවැනි වෙනස්කම් මගින් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමුවීම සුභදායී වෙනසක ඇරැඹුමක් බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ද්විත්වය වන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරීමත් නව අවුරුද්දේ වැඩ ආරම්භයත් වෙනුවෙන් සමාජ සවි බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාර ශාලාවේදී සැමරීමේ අවස්ථාවට එක්වෙමිනි.